දැවෙන ප්‍රශ්නවලට විසඳුම ඉල්ලා කොහුවලදී අඳුරේ කළ විරෝධතාවය
විදුලිය, ගෑස් සහ ඉන්ධන ඇතුළු දෛනික කටයුතු අඩාල වී ඇති පසුබිම තුළ අත්‍යවශ්‍ය දේවල් නිසි පරිදි සපයන ලෙස රජයට බල කරමින් පසුගිය දිනවල කොළඹ, කොහුවලදී විරෝධතාවයක් පැවැත්වුණි.
පුරවැසියන් හත් දෙනෙකු ආරම්භ කළ එම විරෝධතාවයට මාර්තු 9 වන දා වන විට නව වන දිනය වනවිට විශාල පිරිසක් එක්ව සිටියහ.
ඔවුන් සඳහන් කළේ තමන් කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් නොවන බවයි.
රටේ පවතින ගෑස්, කිරිපිටි, භූමිතෙල් වැනි භාණ්ඩ මිල දී ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින දිගු පෝලිම් හේතුවෙන් දැන් දැන් මහජන විරෝධය ද උත්සන්න වී ඇත. එය මේ වන විට රජයේ මැතිඇමතිවරුන් ඇතුළු ප්‍රධානීන් හට ප්‍රසිද්ධියේ "හූ කීම" දක්වා උත්සන්න වී ඇති බව මහජනතාවට පසුගිය දා විවිධ ස්ථානවලදී දක්නට ලැබිණ.
මේ වන විට කොහුවල පමණක් නොව රාජගිරිය, තුන්මුල්ල වැනි විවිධ ප්‍රදේශවල ද මෙවැනි දේශපාලනීකරණය නොවූ, ජනතාවගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මහජන විරෝධතා කිහිපයක් පසුගිය දා දැක ගත හැකි විය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා පැවසුවේ රටේ ඉන්ධන හිඟයක් නොමැති බවත් පැතිර යන ප්‍රචාර හේතුවෙන් ඉන්ධනහල් ඉදිරිපිට විශාල පෝලිම් ඇතිවී ඇති බවයි. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසන්නේ ලබන සඳුදා හෝ අඟහරුවාදා වනවිට විදුලිය සහ ඛනිජ තෙල් අර්බුදය විසදාගත හැකි බවයි.

