ගෑස් හිඟය රටම අක්‍රීය කරයි - කාන්තාවන් ද මහමඟට බසියි

LP gas crisis sri lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය මේ වන විට උග්‍ර මුහුණුවරක් ගෙන තිබේ. මේ හේතුවෙන් හෝටල්, අවන්හල්, ආපනශාලා, බේකරි, මෙන්ම රෝහල් කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ලවී ඇත.

ගෑස් හිඟය හේතුවෙන් ඇතැම් හෝටල්, ආපනශාලා, සහ බේකරි ආදිය වසා දමා තිබේ.

සමස්ත ලංකා බේකරි නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ මේ හේතුවෙන් බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇති බව යි.

පවතින තත්ත්වය හමුවේ අතැම් සුපිරි වෙළෙඳසැල්වල පිහිටි බේකරිවලින් පාන් ඇතුළු බේකරි කෑම වර්ග නිශ්පාදනය නතරකර තිබේ.

දිනචර්යාවේ කොටසක් වූ පෝලිම්!

පවතින විනිමය කළමනාකරණ අර්බුදය හමුවේ මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ජනතාවට දෛනිකව පෝලිම්වල බොහෝ කාලයක් ගත කිරීමට සිදුව ඇත. ඒ, දිනකට පැය ගණනාවක විදුලි කප්පාදු කිරීම ද මධ්‍යයේ ය.

ගෑස් සඳහා නැවත වතාවක් පෝලිම් ඇතිවූයේ ඉන්ධන හිඟය හේතුවෙන් රට පුරා ඉන්ධන පිරිවුම්හල අසල ද දිගු පෝලිම් පවතින අතරතුර යි.

ගෑස් හිඟය

විටෙක කිරිපිටි මිල දී ගැනීමට ද, තවත් විටෙක සිමෙන්ති මිල දී ගැනීමට ද ජනතාවට පෝලිම්වල ගතකිරීමට සිදුව ඇත. පවතින තත්ත්වය හමුවේ රජයට එරෙහිව ජනතාවගෙන් නැගෙන විරෝධය හා විවේචන ද දිනෙන් දින ඉහළයමින් තිබේ.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කොළඹ දී විරෝධතාවක් පැවැත්වූ අතර එහි තේමාව වූයේ 'කාන්තාවනි, තෙල් - විදුලි අර්බුදයෙන් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහිව සටන් වදිමු' යන්න යි.

පිරිස කොළඹ පංචිකාවත්තේ සිට කොළඹ කොටුව දක්වා පැමිණියේ 'උයාගන්න ගෑසුත් නැහැ' යන සටන් පාඨ කියමිනි.

"මේ වෙනකොට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දරාගන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. කිරිපිටි ටික වෙලාවට දෙන්න බැරි ආණ්ඩුව, ඉන්ධන ටික දෙන්න බැරි ආණ්ඩුව, ණයට අරන් හොරාකන ආණ්ඩුව, ගෑස් ටික දෙන්න බැරි ආණ්ඩුව, වැඩ බැරි නම් ගෙදර යන්න," යනුවෙන් විරෝධතාවට එක් වූ ක්‍රියාකාරිණියක් ප්‍රකාශ කළා ය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ගෑස් පෝලිමේ සිට නම හෙළිකිරීමට අකමැති වූ එක් කාන්තාවක් මෙසේ පැවසුවේ ය: "උවමනා පිළියම් යොදන්න තමා රටක රජයක් කියලා එකක් තියෙන්නේ, එතකොට මේ මුහුද යි, නැව යි, ඩොලර් ප්‍රශ්න යි අපිට ඉදිරිපත් කරන්නේ නැතිව, ඒවා කිවයුතු තැන්වලට කියලා අපට ගෑස් ටික සපයලා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම තමා අපි කරන්නේ."

දිගු ගෑස් පෝලිම්වල සිටිය ද ගෑස් නියෝජිතයින් වෙත ලැබෙන්නේ සීමිත සිලින්ඩර් තොගයක් බැවින්, බොහෝ පිරිසක් හිස් අතින් යළි නිවෙස් වෙත යෑමට සිදුව ඇතැ යි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

ayithin udesa kanthawo protest

ඡායාරූප මූලාශ්‍රය, Women for Rights/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කාන්තා දිනය දා කොළඹ දී විරෝධතාවක් පැවැත්වූයේ ය

ගෑස් වෙළෙඳපොළට ලැබෙන්නේ කවදා ද?

කෙසේ නමුත්, දැනට දේශීය වෙළෙඳපොළ තුළ ඇති ලිට්‍රෝ ගෑස් ඉල්ලුම සඳහා අවශ්‍ය වන ගෑස් තොග ප්‍රමාණය දිවයිනට ලැබෙමින් පවතින බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ ය.

මේ වන විට ගෑස් නෞකාවකින් තොග ගොඩබාමින් පවතියි. එහි අඩංගු ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500කි. මෙම ගෑස් තොගය දින හතරකට පමණ ප්‍රමාණවත් නමුත් පවතින ඉල්ලුම අනුව ඊට පෙර අවසන්විය හැකි බව සමාගම නිගමනය කර ඇත.

තවත් LP ගෑස් නෞකා දෙකක් ශ්‍රී ලංකා මුහුදු කලාපයට ළඟාවී ඇත. එම නෞකා දෙකෙහි ද ගෑස් මෙට්‍රික් ටොන් 5000කට ආසන්න ප්‍රමාණයක් රැගෙනවිත් ඇත.

මෙරට වෙළෙඳපොළ තුළ ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ ආයතනයන්ගෙන් සියලුම සහයෝගය ලැබෙන අතර ඉදිරි දින කිහිපය ඇතුළත ලිට්‍රෝ ගෑස් සැපයුම යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිබව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

රෝහල් කටයුතුවලටත් බලපෑම්

වෙළෙඳපොළේ මේ වන විට පවතින උග්‍ර ගෑස් හිඟයෙන් රෝහල් කටයුතුවලටත් දැඩි බලපෑමක් එල්ලවී ඇතැ යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කළේ ය.

එම සංගමය පැවසුවේ මේ හේතුවෙන් ඇතැම් රසායනාගාර පරීක්ෂණ කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බව යි.

රෝගීන්ට ආහාර සැපයීම ඇතුළු සත්කාර සේවා සැපයීම ද අර්බුදකාරී තත්ත්වයට පත්වෙමින් තිබෙන බව එම සංසදය සඳහන් කළේ ය.

"කාන්තාවෝ දුක්විඳින බව දන්නවා"

මේ අතර, පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ගැටලු හේතුවෙන් කාන්තාවන් "දුක්විඳින" වග දන්නා බව යි.

"අපි අද බොහොම අසීරු තත්ත්වයක ඉන්න බව අපි පිළිගන්නවා. විදුලිය, ඩීසල්, ගෑස් හිඟ වෙනකොට අපේ රටේ කාන්තාවෝ දුක්විදින බව අප දන්නවා."

"මේ ළඟ දී ජනාධිපතිවරයාගේ නිවස ඉස්සරහට ගිය කාන්තාවක් මේ ගැන එතුමා දන්නවා ද කියලා ඇහුවා. කවුරුත් කියන්න ඕනේ නැහැ ජනාධිපතිතුමාට ඒ ගැන. එතුමා දන්නවා ඒ ගැන."

"දෙවැනි කොරෝනා රැල්ල වෙලාවේ ඔය කට්ටිය ජනාධිපතිතුමාට බලකළා රට වහන්න කියලා. වැහුවේ නැත්නම් ස්වයංව රට ලොක්ඩවුන් කරගන්නවා කියලාත් කිව්වා," අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

"එහෙම රටක් මාස ගණනක් වැහුවාම ආර්ථික වශයෙන් ප්‍රපාතයකට වැටෙන බව වහන්න කියපු අය හොඳටම දැනගෙන හිටියා. රට වහලා ගාර්මන්ට් ඇරලා තියෙනකොට ගාර්මන්ට් වහන්න, ගාර්මට් පොකුරක් හැදෙයි කියලා ඒකත් වහන්න ඒ අය බලපෑම් කළා. රට වහන්න කියපු අය කවුරුත් දුක් විඳින්නේ නැහැ, ඔබ වෙනුවෙන් පෙනී සිටියෙත් නැහැ එදා. අපි මේ දුෂ්කර අවස්ථා පමණක් නොවේ පක්ෂ භේදයෙන් තොරව මේ දුෂ්කර අවස්ථාවේ අපි ඉවසීමෙන් වැඩ කරමුයැ"යි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.