"ඇමෙරිකාවට පුළුවන් බැසිල් රාජපක්ෂව Money laundering කියන චෝදනා යටතේ ඕනේ වෙලාවක අඩංගුවට ගන්න"

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ11ක නායකයින්

ඡායාරූප මූලාශ්‍රය, FB/Wimal Weerawansa

ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ11ක නායකයින්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ11ක තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ , කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ජනාධිපතිවරයා එම අමාත්‍ය ධුරවලින් ඉවත් කරීමෙන් පසු මතුවී ඇති තත්ත්වය සහ ඔවුන්ගේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බවට එහි ප්‍රකාශකයකු පැවසීය.

ජනාපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ඔවුන් දෙදෙනා අමාත්‍ය ධුර වලින් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය මාර්තු 3 දා නිවේදනය කළේය.

ජනාධිපති ගෝඨාභය බැසිල්ගේ බලපෑමට ලක්වෙලා

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමත් සමග තමන්ද කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව අමාත්‍ය වාසු දේව නානායක්කාර අවධාරණය කළේය.

ඔහු පවසා සිටියේ තමා ද ජල සම්පාදන අමාත්‍ය ධුරයේ වගකීම් මින් ඉදිරියට නොදරණ බවයි. ඔහු තවදුරත් පැවසුවේ තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා ඇස නොවන නමුත් එම අමාත්‍යංශයේ කටයුතුවලට සහභාගී නොවන බවත් ඉදිරි කැබිනට් රැස්වීම වලට සහභාගී නොවන බවයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයින් සමග අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් තමාව සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාව අමාත්‍ය ධුර වලින් ඉවත් කර ඇති බවයි.

"පසුගියදා පැවති සමුළුවේදී කළේ රටේ පවතින ආර්ථික අර්බුදය ගැන රටට කරුණු කිව්වා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගත යුතු පියවර ගැන කිව්වා. ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන මුදල් ඇමතිවරයා තීරණය කරලා තියෙනවා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ අමාත්‍යවරුන් දෙන්නා ඉවත් කරන්න," යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

"ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ පියවරක් හැටියට දැන් අපි දෙන්න ඉවත් කළාම ඩොලර් පැටව් ගහනවා. තෙල් උණනවා. ඊළඟට විදුලි බල කප්පාදුව නතර වෙනවා. පුදුම ආශ්චර්යමත් දෙයක් වෙන්න නියමිතව තිබෙනවා."

"ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්න කියලා හිතන්න ඇති. ආර්ථික අර්බුදයට ගතයුතු පියවර හැටියට වෙන්න ඕනේ අපි දෙන්නවා ඉවත් කරන්න ඇත්තේ, එහෙම හරි කමක් නැහැ මේ ආර්ථික අර්බුදයෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා." විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "අපිට වගකීමක් තියෙනවා. ඉඹා ගාතේ යන්න දෙන්නේ නැතිව මේ තත්ත්වය ගැන අපේ අදහස ගැන කියලා. යම් යෝජනාවක් රජයට සහ ජනතාවට පිළිගන්වන්න. මගේ කතාවේ මම කළේ, මේ තියන තත්ත්වය සහ මේ තත්ත්වය නොසලකා හැරියහොත් වෙන අර්බුදකාරී තත්ත්වයයි, ආපදා තත්ත්වයයි. ඒ ආපදා තත්ත්වය ඇතිවුනොත් මේ රටට මොකද්ද වෙන්නේ කියන ඒක කියපු එක."

ඒ අතරේ මුදල් ඇමති කියන චරිතය මේක ගැන වගේ වගක් නැතිව ඉන්නවා කියන එකත් මෙතනදී සඳහන් වුණා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියේය.

"කොහොම නමුත් අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා, අපි දෙන්නා අමාත්‍ය තනතුරුවල ඉන්නවා නම් ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තියෙනවා, තමන්ගේ සහෝදරයා කැබිනට් මණ්ඩලයට නොඑන එක වළක්වන්න අපි දෙදෙනාව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරන්න."

විමල් වීරවංශ පවසා සිටියේ තමන්ට ඒක ගැන කිසිම කනගාටුක් හෝ ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් නොමැති බවයි.

"අපි දන්නවා ගෝඨභාය රාපක්ෂ ජනාධිපති තුමා බරපතල ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතය විසින් ඔහුට අවශ්‍ය කරන පරිදි පාලනයට නතු වෙච්ච චරිතයක්. බැසිල්රාජපක්ෂ කියන කෙනා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ තනි භුක්තිය තමන් අතේ තියාගෙන."

"අපි දන්නවා පොදු ජන පෙරමුනේ සාභපති කව්ද, ලේකම් කියන්නේ කව්ද, භාණ්ඩාගාරික කව්ද කියලා ඇහුවම ඒකේ ඉන්නේ නම්වත් දන්නේ නැති කට්ටියක්. ඒක හරි අමතු පක්ෂයක්. ඒක තනි පෞද්ගලික දේපලක්. ඒ පෞද්ගලක දේපලේ තියන බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාව තමන් අභිමත තීරණ ගැනීම සඳහා තල්ලු කරනවා. කනගාටුවට කාරණය ජනාධිපතිවරයාටත් ඒ බලපෑමෙන් අත්මිදෙන්න බැරිවෙලා තියෙනවා."

අමෙරිකානු උපාය මාර්ගයට මේ රට රට ගොදුරු කිරීම බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව වී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ තවදුරටත් චෝදනා කර සිටියේය.

බැසිල් රාජපක්ෂ කටයුතු කරන්නේ එම අරමුණින් බවත් ඔහු අවසානයේ තම විශ්‍රාම දිවිය මුණුබුරන් සමඟ ගත කළ යුත්තේ ඇමරිකාවේ දී බවද විමල් වීරවංශ පවසා සිටියේය.

"එතන නිදහසේ ඉන්න නම් මෙතන පවා දීම කරන්න ඕනේ"මෙතන පාවාදීම නොකර එතන විශ්‍රාම දිවිය නිදහසේ සුවසේ ගත කරන්න බැහැ . එහෙම කරන්න ගියොත් මුදල් විශුද්ධිකරණයට (Money Laundering) වලට අහුවෙන එක වළක්වන්න බැහැ," ඔහු සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ආණ්ඩුවක් යටතේ යළි අමාත්‍යධූර නොදන්න බවද විමල් විරවංශ මෙහිදී පවසා සිටියේය.

තමන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව විස්තර කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේ "මම දන්න විදිහට මේ ගත්තු තීරණය ගැන අගමැතිතුමාගේ කැමැත්තක් නැහැ."

ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් පසු වූ බවයි.

මේ නැගෙන චෝදනාවන් පිළිබඳවව ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීම්කදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවයි.

මේ අතර අද උදෑසන අගමැති මහින්ද රාජපක්ෂ හවුල්කාර පක්ෂ11හේ පක්ෂ නායකයින් විශේෂ සාකච්චාවක් සඳහා අරලිය ගහ මැදුරට කැඳවූ බවට ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.

හදිසි කැබිනට් සංශෝධනය

  • උදය ගම්මන්පිල දැරූ බලශක්ති අමාත්‍ය ධුරයේ ගාමිණී ලොකුගේ දිවුරුම් දුන්නේය.
  • ගාමිණී ලොකුගේ දැරූ විදුලිබල අමාත්‍ය ධුරයේ පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දුන් අතර
  • විමල් වීරවංශ දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිව්රුම් දෙනු ලැබුවේ එස්.බී දිසානායකයි.

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11 පසුගිය 02 වැනිදා "මුලු රටම හරි මඟට" නමින් රට අර්බුදයෙන් ගොඩ ගැනීමේ කෙටි කාලීන යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

එහිදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, රජයේ ක්‍රියා කලාප දැඩි ලෙස විවේඡනය කරමින් අදහස් පළ කළහ.

විමල් වීරවංශ විසින් මුදල් අමාත්‍යවරයා වෙත දෝෂාරෝපණ රැසක් එල්ල කරනු ලැබීය.

අමාත්‍ය විමල් වීරවංශ මේ අතර චෝදනා කර සිටියේ, "මේ වගේ අර්බුදයක් තියන වෙලාවක මුදල් ඇමති සහ මහ බැංකු අධිපති අතරේ සාකච්ඡාවක්, සංවාදයක් නැතැනම් ඒකෙන් පෙන්නේ අර්බුදය පාලනයට නතුකර ගැනීමේ උවමනාවක් නැහැ කියලා."

විමල් විරවංශ වැඩිදුරටත් පවසා සිටියේ "මගේ මොලෙයි ඉතුරු තව 06 යි ඔක්කම තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට මොනවටද විශේෂඥ සහය. මම හිතන විදිහට ඒ ඔක්කොම වෙනවා නම් ඒ මදෑ. ඒ උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය තීරණය කරන්න බැහැ." යනුවෙනි.

ආණ්ඩුව සමග කටයුතු කරන්නේ කෙසේද ?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා පක්ෂ 11ක නායකයින්ගේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසා සිටියේ මින් ඉදිරියට ආණ්ඩුව සමග කටයුතු කරන්නේ කෙසේ දැයි මෙහිදී තීරණය කෙරෙනු ඇති බවයි.

පක්ෂ නායක රැස්වීමට පෙර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍යම කාරක සාභවද රැස්වීමට නියමිතව ඇත.

ජාතික නිදහස් පෙරමුණ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී තීරණය කෙරෙන බව ජයන්ත සමරවීර පවසා සිටියේය.

නව වැනි පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය

ඡායාරූප මූලාශ්‍රය, SL Parliamnet

නව වැනි පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය අනුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 145කි.

සමගි ජනබලවේගයට ආසන 54ක් හිමිව ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව 10කි.

නව වැනි පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය

ඡායාරූප මූලාශ්‍රය, SL Parliament