මාර්තු පස්වැනිදා සිට විදුලි කප්පාදුවේ වෙනසක් වෙයිද?

sri lanka fuel crisis

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මේ වන විට උග්‍ර විදුලිබල හා බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටියි මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (මාර්තු 3දා) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය ධුරයන්ගෙන් ඉවත් කරණු ලැබීය.

"අතිගරු ජනාධිපතිතුමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව 2022 මාර්තු 03 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ධුරයන්ගෙන් ඉවත් කර තිබේ," යනුවෙන් ජනාධිපති මධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පැවසිය.

මෙම අමාත්‍යවරුන් දෙදෙනා එම අමාත්‍ය ධුරයන්ගෙන් නෙරපා හැර ඇත්තේ ඔවුන් පසුගිය දා දිගින් දිගටම රජයේ ක්‍රියාකලාපය විවේචනය කිරීමත් සමග ය.

මේ වන විට රටේ පවතින දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් සෑම ක්ෂේත්‍රයකම පාහේ දෛනික කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර, ඩීසල් හිඟය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

මෙම තත්ත්වය හමුවේ, අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබුණි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන කළේ, පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් මාර්තු (02) වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුන් බව යි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වාගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණයකර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මාර්තු 05 වන දා සිට විදුලිය කප්පාදුවක් නොකරන බව නිලධාරීන් සඳහන් කළ බව යි.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම අද (මාර්තු 03) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

එබැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, රේඛීය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ආයතන සභාපතිවරු සහ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හෙටත් පැය හතහාමාරක විදුලි කප්පාදුවක්

මාර්තු 04 වන දිනයේත් තුන්වන දිනයටත් පැය 7යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී ඇත.

ඊයේ (මාර්තු 02) දිනයේ ද පැය හතහමාරක දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර, මෑත ඉතිහාසයේ එතරම් දීර්ඝ කාලයක් විදුලි කප්පාදු කෙරුණු පළමු අවස්ථාව මෙය බව විචාරකයෝ පෙන්වා දෙති. අද (මාර්තු 03) දා දෙවන දිනටත් පැය හතහමාරක දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකෙරුණි.

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට නොහැකි වීම මෙම විදුලි කප්පාදුවට හේතුවී තිබේ.

අර්බුදයට විසඳුමක් නැද්ද?

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ පවත්නා අර්බුදයට තවමත් විසඳුම් ඇති බව යි.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවත්නා අර්බුදයට හොඳම උදාහරණය පාකිස්ථානය බව ඔහු පෙන්වා දෙයි. 2018 වසරේ දී පාකිස්ථානය ද උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පෑ බවට මහාචාර්ය පෙරේරා පෙන්වා දුන්නේය.

මහාචාර්ය පෙරේරා පවසන්නේ අද වන විට ශ්‍රී ලංකාව පාකිස්ථානයෙන් ඩොලර් මිලියන 200ක ණය ගන්නා තත්ත්වයට පත්ව ඇති බව යි.

"පසුගිය වසර තුනේ පාකිස්ථානය රිකවර් වෙච්ච විදිහ විතරක් අධ්‍යයනය කළත් මේ ආණ්ඩුවට හැදෙන්න පුළුවන්. ඔවුන් උඩ ඉදලාම ආදර්ශමත් වුණා. අපේ තාම ඒක දකින්නේ නැහැ. අදත් අපේ ඇමතිවරු වාහන පිරිවරාගෙන යනවා. අපිට කියනවා වාහන පාවිච්චිය අඩු කරන්න කියලා."

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම ගැසට් නිවේදනය පිළිබඳ අනාවරණය කරනු ලැබුවේ 'මුළු රටම හරි මඟට' ජාතික ප්‍රකාශනය එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයේ දී ය.

Udaya Prabhath Gammanpila

ඡායාරූප මූලාශ්‍රය, Udaya Prabhath Gammanpila/Facebook

"අපේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම විදේශ විනිමය සීමිතයි නම්, මුලින් වෙන්කරන්න ඕනේ, එක ඖෂධ සඳහා. දෙක ඉන්ධන සඳහා. තුන කර්මාන්ත අමුද්‍රව්‍ය සඳහා. එහෙම නැතිව හිතෙන හිතෙන ඕන දෙයක් ගේන්න ඉඩදීලා ආනයන අධෛර්යමත් නොකිරීමේ ප්‍රතිවිපාක තමා අද අපි භූක්ති විඳින්නේ," හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ ය.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 600ක් ආනයනය තහනම් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, "අපි දැන් බොහොම ප්‍රමාද යි. පරක්කු වී හෝ ඒ තීරණය ගැනීම ගැන අපි සතුටු වෙන්න ඕනේ," යනුවෙනි.

ඇපල්, මිදි , දොඩම් කාලා කළුවරේ ඉන්නවාද ?

ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් උදය ගම්මන්පිල තම අමාත්‍ය තනතුරින් පහකිරීමට පෙර පැවති උත්සවයකට සහභාගීවෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද එසේ නොවේ නම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනිමය පාවිච්චි කරනවාද යන්න බවයි.

ඔහු එහිදී පැවසුවේ, ඇපල්, මිදි ඇති, තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති, එහෙත් ඖෂධ නැති රටක් වන්නේ දැයි තීරණය ආණ්ඩුව ගතයුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි අර්බුදයක් නොමැති බවත් විදේශ විනිමය අර්බුදයක් පමණක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.

වෙළෙඳපොළ බිඳවැටීම

මහාචාර්ය පෙරේරා පවසන්නේ වෙළඳපොළ කඩා වැටී ඇති බවකි.

"මේ කඩා වැටිලා තියෙන්නේ වෙළෙඳපොළ. මාර්කට් ෆේලියර් එකක් මේ වෙන්නේ. තෙල් ටික එනවා, නිසි ලෙස බෙදෙන්නේ නැහැ. ගෑස් තියෙනවා, නිසි ලෙස බෙදෙන්නේ නැහැ. රජය මාර්කට් එකෙන් ඉවත් වුණා. මිල පාලනය අයින් කළා. අද මාර්කට් එකේ හිතුමනාපෙට බඩු විකුණනවා. කිරිපිටි පැකට් එකක් ගන්න යෝගට් පහක් ගන්න ඕනේ. කිරිපිටි තියෙනවා මාර්කට් එකේ, නමුත් කොන්දේසි දානවා," ඔහු පැවසීය.

මහාචාර්යවරයා පවසා සිටියේ මේ වන විට ආර්ථිකය පසුපසට ගමන් කරමින් තිබෙන බව යි. මෙය කොවිඩ් වසංගතය නිසා සිදුවූවක් නොවනබව ඔහු අවධාරණය කළේ ය.

මෙය පරිපාලන දෝෂයක් බව ඔහු පෙන්වා දෙයි.

"IOC තෙල් තියෙනවා, ඛණිජ තෙල් සංස්ථාවේ තෙල් නැහැ. බැංකුවල ඩොලර් නැහැ, මාර්කට් ඒකේ ඩොලර් තියෙනවා. ගෑස් හරි මාර්ගයේ නැහැ, නමුත් වැඩි මිලට ගෑස් විකුණනවා."

"අද කොස් ගෙඩිය, දෙල් ගෙඩිය රුපියල් 350 - 400යි. ඒවා වැඩිවුණේ පොහොර ප්‍රශ්නය නිසා නොවේ. ආණ්ඩුව මුළුමනින්ම වෙළෙඳපොළෙන් ඉවත්වුණාම, වෙළෙඳපොළ අසාමාන්‍ය තත්ත්තවයක් ඇතිවුණා," යනුවෙන් මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

"වෙළෙඳපොළ කඩාවැටීමක දී රජය මැදිහත් විය යුතු යි. වෙළෙඳපොළක් සාමාන්‍යයෙන් හොඳින් යනවා නම් රජය ඊට මැදිහත් නොවිය යුතු යි. අපි කළේ හොඳට යනකොට පොහොර නැවැත්තුවා, මිල පාලනය කළා. ඊට පස්සේ වෙළෙඳපොළ කඩා වැටෙනකොට රජය අයින් වුණා. සහල් මිල අද කීය ද? වතුර බෝතලයේ පාලන මිලත් අයින් කළා."

මහාචාර්යවරයා අවධාරණය කළේ, බලශක්තිය සහ ප්‍රවාහනය රටක මර්මස්ථාන බව යි.

"ඕනෑම රටක බලශක්තිය හා ප්‍රවාහනය වැටුනොත් ඒක උඩ ඉදලා පල්ලෙහාට සියලුම ඒවටම බලපානවා. බලශක්තිය වැටුණා කියන්නේ සමස්ත කර්මාන්ත කඩා වැටෙනවා. ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඉඳලා සියල්ල වැටෙනවා. ඔෆිස් දුවන්න පුළුවන් ද? ට්‍රාන්ස්පෝට් නැතිවුණාම ඉස්කෝල පටන් ගන්නේ කොහොම ද?" මහාචාර්යවරයා ප්‍රශ්න කළේ ය.

"විදුලි කප්පාදුවෙන් සංචාරක කර්මාන්තයට අද මොකද වෙන්නේ, පැය 7ක් කරුවලේ ඉන්න සංචාරකයෝ ලෑස්ති නැහැනේ. සංචාරක කර්මාන්තයට බලපානව මේක. රෝහල්වලට දැඩි බලපෑමක් වෙනවා. ලොකු රෝහල්වලට ජෙනරේටර් ඇති, පොඩි රෝහල්වල එම පහසුකම් නැහැ. රෝගීන්ගේ සැත්කම් පස්සට යනවා. ඖෂධවලට, රෝගීන්ට දැඩි බලපෑමක් වෙනවා.

"සිල්ලර වෙළඳසැල්වල පැය හතහමාරක් අධිශීතකරණ විදුලිය නොමැතිව තියා ගන්න බැහැ. අයිස් ක්‍රීම් ටික, මස් ටික, එළවළු ටික නරක් වෙනවා."

මහාචාර්යවරයා පවසා සිටියේ විදුලි කප්පාදුව හේතුවෙන් බැංකු කටයුතු මෙන්ම ඔන්ලයින් අධ්‍යාපනයත් අඩපණ වන බව යි.

"බලශක්තිය දුන්නොත් බිස්නස් රන් වෙනවා. බිස්නස් රන් වුණොත් තමා ආර්ථිකය දුවන්නේ. ඉකොනොමි එක දිව්වොත් තමා රටට ආදායමක් එන්නේ. රජයට බදු ආදායම ලැබෙන්නෙත්. කොත්තුවක් හදලා විකුණපු මිනිස්සු, ලොතරැයි විකුණන මිනිස්සු ඔක්කොම ඉවරයි. කොරෝනාවලින් මිනිස්සුන්ට මෙච්චර බලපෑමක් තිබුනේ නැහැ," මහාචාර්යවරයා තවදුරත් පවසා සිටියේ ය.

ප්‍රශ්නයේ මුල ඩොලර් හිඟය

මහාචාර්ය පෙරේරා BBCය සමග පවසා සිටියේ පවතින අර්බුදයේ මූලාරම්භය ඩොලර් හිඟය බව යි.

"අර්බුදය පස්සට, පස්සට ගිහිල්ලා බැලුවම ලයිට් නැහැ. ලයිට් නැත්තේ ඇයි? ඩීසල් නැහැ. ඩීසල් නැත්තේ ඇයි? අන්තිමේ ඩොලර් නැහැ. ඔතනින් නේ නවතින්නේ. ප්‍රශ්නයේ මුල, නැත්නම් රූට් කෝස් එක ඩොලර් ප්‍රශ්නය යි."

අපට ඩොලර් අහිමිවූයේ කෙසේදැ යි විමසා බැලිය යුතු බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

"ඩොලර්ස් නැතිවුණේ ඇයි කියලා බලන්න ඕනේ. ඩොලර්ස් එන්නේ කොහොමද අපිට, එන්නේ සංචාරක කර්මාන්තයෙන්, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවලින්, අපනයනවලින්, අනික සෘජු විදේශ ආයෝජනවලින්. ප්‍රේෂණ නැතිවෙලා තියෙන්නේ කොවිඩ් නිසා හෝ වෙනත් කරුණක් නිසා නොවේ. ප්‍රේෂණ එනවා, එන්නේ වැරදි මාර්ගයක. බ්ලැක් මාර්කට් එකේ ඩොලර් රේට් එක ඉතාම වැඩියි. ආණ්ඩුව ඒකට විසඳුමක් දෙන්න ඕනේ. වැඩි රේට් එකක් දීලා හරි ඩොලර් ටික ආණ්ඩුවට ගන්න ඕනේ," මහාචර්යවරයා පවසා සිටියේ ය.

"සංචාරක ක්ෂේත්‍රය දැන් පුළුල් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය පරිසරය හදන්න ඕනේ, මේ විදුලිය කපන්නේ නැතිව."

"අපිට ගිය අවුරුද්දේ සෘජු විදේශ ආයෝජන ඇවිල්ල තියෙන්නේ ඩොලර් බිලියන දශම 5යි. අපි වගේ වැටිච්ච ඉක්වදොර්වලටත් බිලියන 1.1ක් ලැබිලා තියෙනවා. කලාපයේ අනික් රටවලටත් බිලියන 2 ඉක්මවා ලැබිලා තියෙනවා. අපිට විතරක් ඩොලර් බිලියන දශම 5යි ඇවිල්ල තියෙන්නේ. ආයෝජන එන්නේ නැත්තේ කොවිඩ් නිසා නෙමේ. ලංකාවේ මේ විදිහට ලයිට් කපලා කටයුතු කරනකොට කවුද එන්නේ ආයෝජන අරගෙන? අධිභාර බදු ගහනකොට එයි ද ආයෝජකයෝ?"

අර්බුදයට හේතුව ජනපති පහදයි

වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නිසා ආදයම් අහිමි වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැහැදිලි කළේය.

ඒ, මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට පසුගියදා එක්වෙමිනි.

"සංචාරක කේෂත්‍රයෙන් අපට අවුරුද්දකට ඩොලර් බිලියන 5ක් ලැබුණා. කොවිඩ් වසංගතය නිසා අපට එය සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ඒ වගේම පිටරට වැඩ කරන තරුණ තරුණියන්ගෙන් අපට ලැබුණු මුදල් අහිමි වුණා. මීට පෙර පැවැති රජයන් විවිධ හේතුන් නිසා ගත් ණය සෑම මාසයකම අපට ගෙවන්න තියෙනවා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර 2015 වන විට අරගෙන තිබුණේ බිලියන 5යි. පසුගිය රජය කාලයේ බිලියන 15ක සුරකුම්පත් අර ගත්තා. මේ මුදල් සියල්ලටම සෑම මාසයකම අප පොලිය ගෙවිය යුතුයි. නමුත් ඒ අය මුදල් සංචිතයකට එකතු කළේ නෑ. ඒවායින් කිසිම සංවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කර නෑ. ඒ මුදල් සියල්ල අනවශ්‍ය ආකාරයට වියදම් කළා. මේ හේතුන් නිසා තමයි අපට අද මේ විදේශ විනිමය ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ. මේ කරුණු සියල්ලම සිදුවී තියෙන්නේ මගේ හෝ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ වරදක් නිසා නොවෙයි."