සිමෙන්ති අර්බුදය නිම වෙන්නේ කවදාද ?

Cement bags 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මාස කිහිපයක සිට දිවයින පුරා සිමෙන්ති හිඟයක් ඇති වග පාරිභෝගිකයින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් මෙන්ම රජයේ මැති ඇමතිවරුන් ද පිළිගන්නා කාරණයකි. එහෙත් ඊට විසඳුම් ලැබෙන දිනයක් පෙනෙන්නට නැත.

සිමෙන්ති නොමැතිව ළතැවෙන කර්මාන්තකරුවන් පවසන්නේ රජය කියනා පරිදි අර්බුදයට විසඳුම් ලැබෙන දිනයට 'බාලගිරි දෝෂය ලබා ඇතිබව' යි.

රට තුළ පවතින විනිමය හිඟය ඇතුළු කරුණු හේතුවෙන් වෙළෙඳපොලේ සිමෙන්ති හිඟයක් ඇතිවුණේ, මහා පරිමාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවාගේ සිට සිය නිවෙස් ගොඩනගාගැනීම සඳහා සිමෙන්ති කොට්ටයක් මිලට ගැනීමටත් ජනතාවට පෝලිම්වල කල්ගෙවීමට යොමු කරමිනි.

සිමෙන්ති හිඟය හමුවේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී සිමෙන්ති සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමට රජය පියවරගත් අතර, අනතුරුව අවස්ථා දෙකක දී සිමෙන්ති මිල ගණන් ඉහළ දැමිණ.

එහෙත් මේ වන විට සිමෙන්ති කොට්ටයේ සඳහන් මිලට සිමෙන්ති මිල දී ගැනීමට බොහෝ විට පාරිභෝගිකයින්ට නොහැකි අතර, රුපියල් 1600- 1800 වැනි මිල ගණන්වලට සිමෙන්ති කොට්ටයක් අලෙවි වේ.

ඇතැම්විට සිමෙන්ති මිල දී ගැනීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල්වලින් වෙනත් ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දී ගැනීමේ කොන්දේසිවලට යටත්වීමට ද පාරිභෝගිකයින්ට සිදුව ඇත.

"නන්නත්තාර වෙලා ඉන්නේ"

සිමෙන්ති හිඟය හේතුවෙන් වැඩිම දුෂ්කරතාවට පත්ව ඇත්තේ කොන්ක්‍රීට් නිශ්පාදන ක්ෂේත්‍රයේ හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල නිරත සමාගම් ය.

"සිමෙන්ති හිඟය බලපාල තියෙන විදිහ, සරල සිංහලෙන් කිව්වොත් නන්නත්තාර වෙලා ඉන්නේ. සිමෙන්ති කොලිටියත් සවුත්තුවෙලා තියෙන්නේ," සිය නම හෙළිදරව් කරනවාට අකමැති රෙඩි මික්ස් කර්මාන්තකරුවෙකු BBC සිංහල සේවය සමග පවසා සිටියේ ය.

"හිඟය හේතුවෙන් දවසක් හැර දවසක් වැඩ කරන්නේ. අපිට මාසයකට ටොන් 1100ක් ඕනේ. ටොන් 400ක්වත් දැන් දෙන්නේ නැහැ."

මාගා, සන්කෙන්, ඊ.එල්.එස්, අයි.සී.සී ඇතුළු ප්‍රධාන සමාගම් රැසක් සාමාජිකත්වය දරන ලංකා රෙඩි මික්ස් සංගමය පැවසුවේ, පවතින සිමෙන්ති හිඟය පිළිබඳ තමන් අදාල බලධාරීන්ට හා සිමෙන්ති සැපයුම්කරුවන්ට අවස්ථා ගණනාවක දී දන්වා ඇති බව යි.

සිමෙන්ති හිඟයට අමතරව කර්මාන්තයට සපයනු ලබන සිමෙන්තිවල ගුණාත්මකභාවය දුර්වලවීම ද ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇතැ යි, ලංකා රෙඩි මික්ස් කොන්ක්‍රිට් සංගමයේ සභාපති අනුර විතානගේ ප්‍රකාශ කළේ ය.

ඔහු පවසා සිටියේ සිමෙන්තිවල අඩු ගුණාත්මකභාවය පිළිබඳ තම සාමාජිකයින්ගෙන් මෙන්ම සාමජික නොවන පාර්ශවවලින් ද වාර්තා වී ඇති බව යි.

පාරිභෝගිකයින්ට ගුණාත්මක කොන්ක්‍රිට් නිශ්පාදන සැපයීම ප්‍රධාන අරමුණකර ගත් තම සංගමයට මෙම ගැටලුව ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇතැ යි ද ඔහු සඳහන් කළේ ය.

මෙය තම මෙහෙයුම් කටයුතුවලට සෘජුව බලපාන බැවින්, මේ පිළිබඳව සිමෙන්ති සැපයුම්කරුවන්ගේ අවධානයට යොමුකළ බව ද ලංකා රෙඩිමික්ස් කොන්ක්‍රීට් සංගමය පැවසීය.

letter from lanka readymix association

නම හෙළිදරව් කිරීමට අකමැති රෙඩි මික්ස් කර්මාන්තකරුවෙකු මෙසේ ප්‍රකාශ කළේ ය: "සිමෙන්ති හිඟය දරුණුවට බලපාල තියෙන්නේ, ඉල්ලන ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. රට පුරා පාරවල් හැදුවට සිමෙන්ති නැතිව වැඩ කරන්නේ කොහොමද මන්දා."

"ප්‍රමිතියේ බලපෑමක් තියෙනවා. සිමෙන්තිය ප්‍රමිතියකට නැති නිසා රෙඩි මික්ස් කර්මාන්ත කරුවන් අපහසුතාවට පත්වෙලා. කොන්ක්‍රීට් නියම අනර්ඝ තත්ත්වයට නොපැමිණිම නිසා කොන්ක්‍රීට් නිශ්පාදනකරුවන් අපහසුතාවට පත්වෙලා තියෙනවා. පයිලින් කරන්න ගිහාම පයිල් හිරවෙනවා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

සිමෙන්තිවල ප්‍රමිතිය සුරක්ෂිත යි - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

කෙසේ නමුත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කරන්නේ, ආනයන සහ අපනයන පාලක සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ආනයනික සහ දේශීය වශයෙන් නිෂ්පාදිත සිමෙන්ති සඳහා ප්‍රමිති සහතිකය (SLS ලාංඡනය) ලබාගැනීම අනිවාර්ය කර ඇති බව යි.

ඒ අනුව, විෂයෙහි ප්‍රවීණ නිලධාරී කණ්ඩායම් දේශීය හෝ විදේශීය වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ සඳහා ප්‍රමිති ලාංඡනය ලබාදීමේ මාර්ගෝපදේශ අනුගමනය කරමින්, අදාල දේශීය හෝ විදේශීය කර්මාන්ත ශාලා වෙත ගොස් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ තත්ත්ව කළමනාකරණය පිළිබඳ නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් පූර්ණ අධ්‍යයනයකට ලක් කරනු ලබයි.

එම කර්මාන්තශාලා විසින් ලබාගන්නා සිමෙන්ති සාම්පල, විදේශීය හෝ දේශීය වශයෙන් පිළිගත් පරීක්ෂණාගාරයක් මඟින් පූර්ණ තත්ත්ව පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් පසු භාණ්ඩ සහතික කරන ලාංඡනය ලබා දෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සඳහන් කළේ ය.

විදේශීය කර්මාන්ත ශාලාවලින් නිපදවනු ලබන භාණ්ඩ සඳහා SLS ලාංඡනය ලබා ගැනීමට එම කර්මාන්තශාලා ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධතිය සහතිකය ලබාගෙන තිබීම මූලික අවශ්‍යතාවකි.

එසේ SLS සහතිකය ලබා ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ක්‍රියාත්මක කෙරෙන අනිවාර්ය ආනයන පරීක්ෂණ ක්‍රියාවලියේ ක්‍රමවේදයන්ට අනුව අනුකූලතා ඇගයීමට ලක්කරන අතර, ආනයනික තොගවලින් ලබාගන්නා සාම්පල නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බව ප්‍රමිති ආයතනය පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ, තමන්ට පවරන ලද බලතල මත ශක්තිමත් ක්‍රමවේදයක් හරහා මෙරටට ආනයනය කරනු ලබන සිමෙන්ති සෑම විටම ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බව තහවුරු කර, ප්‍රමාදයකින් තොරව වෙළෙදපොලට මුදා හැරීමට හැකියාව ලැබී ඇති බව යි.

එම ක්‍රමවේදය හේතුවෙන් මෙරටට කිසිසේත්ම ප්‍රමිතියට අනුකූල නොවන සිමෙන්ති ගෙන්වීමට අවකාශයක් නොමැති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෑම විටම ප්‍රමිතියට අනුකූල වන සිමෙන්ති මහජනතාවට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කිරීමට බැඳී සිටින බව ද ප්‍රමිති ආයතනය අවධාරණය කළේ ය.

සිමෙන්ති මාෆියාවක්

මේ අතර, රට තුළ සිමෙන්ති මාෆියාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය චෝදනා කර සිටියි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පවසා සිටියේ, "ඉම්පෝට් කරන සියලුම සිමෙන්ති 1575 ගහලා තිබුණාට ඒ මිලට ගන්න සිමෙන්ති අද ලංකාවේ නැහැ. රුපියල් 2000ට, 1900ට, 2500ට සිමෙන්ති කොට්ටය අරගෙන මේ වැඩ කරන්න බැහැ ඉදිකිරීම්කරුවන්ට. මේක මාෆියාවක්," යනුවෙනි.

සුසන්ත ලියනආරච්චි චෝදනාකර සිටියේ සිමෙන්ති මාෆියාවක් ඇතිකර තිබෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව බව යි.

සිමෙන්ති හිඟයට මෙන්ම බාල සිමෙන්ති වෙළෙඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් ද බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බවට ඔහු වැඩිදුරටත් චෝදනාකර සිටියේ ය.

cement seekers association facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සිමෙන්ති හිඟකම හේතුවෙන් විවිධාකාරයේ "සංගම්" ද සමාජ මාධ්‍යයන් තුළ ගොඩනැගෙනු දක්නට හැකි ය

සිමෙන්ති ආශ්‍රිත සෙසු නිශ්පාදන මිලත් ඉහළට

පවතින සිමෙන්ති හිඟය හමුවේ සිමෙන්ති භාවිතයෙන් නිශ්පාදනය කරන සෙසු නිශ්පාදනවල මිල ගණන් ද ඉහළගොස් ඇති බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

සිමෙන්ති ගල් නිශ්පාදකයින් ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ තමන් ද මිල ගණන් ඉහළ දමා ඇති බව යි.

"අඩු ගණන්වලට දෙන්න බැහැ. හැම එකක්ම ගණන් වැඩිවෙලා තියෙන්නේ. අපි බ්ලොක් ගලක් වෙනදා දෙන ගාණට දැන් දෙන්න බැහැ. දැන් 58ට දෙන්නේ. වෙනදා 46යි, 48යි," එක් ව්‍යාපාරිකයෙකු පවසා සිටියේ ය.

විවිධ මිල ගණන් යටතේ සිමෙන්ති අලෙවිවීම නිසා සිමෙන්ති ආශ්‍රිත නිශ්පාදන අලෙවිකර ගැනීම ද දුෂ්කර වී ඇතැ යි සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ පවසති.

නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක්

පවතින සිමෙන්ති හිඟය ඉදිරි සති දෙක තුළ පහව යනු ඇතැ යි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියේ නිශ්පාදනය පහත වැටීමෙන් සිමෙන්ති හිඟය ඇති වූ බව යි.

කෙසේ වෙතත්, මාර්තු මාසයේ දී නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට නියමිත අතර, එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු සිමෙන්ති හිඟයට විසඳුම් ලැබෙනු ඇතැ යි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 3ක් මසකට වෙළෙඳපොලට නිකුත් කරන බව ද රාජ්‍ය අමාත්‍යංශය පැවසීය.

"මේ වන විට සිමෙන්ති හිඟයක් රට තුළ තිබෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුවෙනවා," රාජ්‍ය අමාත්‍ය අලගියවන්න ප්‍රකාශ කළේ ය.

සිමෙන්ති වෙළෙඳපොළෙන් 60%ක් හිමිකර ගෙන තිබෙන සමාගම් දෙකෙහි යන්ත්‍රසූත්‍ර ගැටලුවක් නිසා වෙළෙඳපොල සැපයීම ප්‍රමාද වුවත්, එම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යංශය සඳහන් කළේ ය.