ඩොලර් මිලියන 500ක ණය මහ බැංකුව ගෙවයි, දැන් මොකද වෙන්නේ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2021 දෙසැම්බර් අවසානය දක්වාම ආර්ථික විශේෂඥයින් මෙන්ම විපක්ෂ දේශපාලනඥයින් ද පවසා සිටියේ, ඩොලර් සංචිත පහළයෑම හමුවේ ශ්‍රී ලංකාව ජනවාරි මාසයේ දී ගෙවීමට නියමිත ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්වනු ඇති බව යි.
එහෙත් දෙසැම්බර් 29 වැනිදා වන විට චීන විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමග මෙරට සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගිය බවට මහ බැංකුව පැවසීය.
ඒ අනුව, ජනවරි 18 වැනිදා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා අදාල දිනයට ගෙවීම් කිරීමට සූදනම් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා දිගින් දීගටම ප්‍රකාශ කළේ ය.
අද (18) කල් පිරුණු අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ශ්‍රී ලංකාව මුදල් ගෙවීම් කළ බව මහබැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් පැවසිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
නමුත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ, රජය එම ණය ගෙවීම් වෙනුවට එම මුදල් අත්‍යවශ්‍ය ආනයන සඳහා යෙදවිය යුතුව තිබූ බව යි.
මෙසේ ණය ගෙවීමත් සමග මතුවන ගැටලුව වනුයේ ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතවල වත්මන් තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකට වැටීම බවත් මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ඉදිරියේදී අවශ්‍ය ඉන්ධන, ඖෂධ හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට ප්‍රමාණවත් ඩොලර් තිබේද යන්න ගැටලුකාරී බව විචාරකයින් පවසයි.
මේ වන විට ඉන්ධන හිඟ කම හේතුවෙන් විදුලි උත්පාදනයට භාදා එල්ලවී ඇති බවට විදුලි බල අමාත්‍යංශය පවසයි මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම ලංකා IOC සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඒ මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත ඔවුන් සතුව නොමැති බව පවසමිනි.
ලංකා IOC සමගම පවසන්නේ ඔවුනුත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මෙන්ම ඩොලර් හිඟයකට මුහුණ දී ඇති බවින් ඔවුන් මේ අවස්ථාවේදී තම සමාගමේ ඉන්ධන පිරවුම් හල් වලට ඉන්ධන සැපයීමට ප්‍රමුකස්ථානය ලබා දෙන බවයි.
ණය නොගෙව්වහම බංකොලොත් ද? බංකොලොත් කියන්නේ මොකද්ද?
පවතින ආර්ථික වාතාවරණය තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම් සිදුකිරීම කල්දැමිය යුතු බව ඇතැම් ආර්ථික විශේෂඥයින් පවසයි.
වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් ප්‍රකාශ කළේ මේ මොහොතේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුගතකරණයට යා යුතු බව යි. ක්‍රමයෙන් සංචිත අඩුවන පසුබිමක ශ්‍රී ලංකාව ඉතාම බරපතල තත්ත්වයක සිටින බව ද ඔහු රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ය.
"ඩොලර් මිලියන 500ක ණය ගෙවන්න යන අවස්ථාවේ අද ඩොලර් මිලියන 200ක හිඟයකට විදුලි බලය කප්පාදු කරනවා. ඒ කියන්නේ කොතරම් පාඩුවක් ද රටට ආර්ථිකයට? එහෙම රටට, ආර්ථිකයට පාඩුවක් කරලා ණය හිමියන්ට ඩොලර් මිලියන 500ක් ගෙවන අවශ්‍යතාව කුමක් ද කියන එක කවුරුවත් කියලා නැහැ."
"ජනපති චීන විදේශ අමාත්‍යවරයා හමුවේ කිව්වා චීනයේ ණය ප්‍රතිව්‍යුගත කරලා දෙන්න කියලා. ඒක ඉතාම බුද්ධිමත් තීරණයක්," ආචාර්ය ද මෙල් පවසා සිටියේ ය.
ඔහු පෙන්වා දුන්නේ ණය ගෙවීමට අමතරව ඒ සඳහා වෙනත් විසඳුම් ද ඇති බව යි.
"මහ බැංකු අධිපති රටට කියන්න ඕනේ, තමන් මේ ඩොලර් මිලියන 500ගෙවන්න හදිස්සි වෙන්නේ ඇයි කියලා. ඒක ප්‍රතිව්‍යුගත කරන්න, කල්දමා ගැනීම වැනි ක්‍රම තියෙනවා. රටවල් කීපයක් මේක මේ අවුරුදු දෙකේ කරලා තියෙනවා. මේකෙන් ඉතුරුකරගත් ඩොලර්වලින් රටට අවශ්‍ය බෙහෙත් හේත්, රටට අවශ්‍ය පොහොර, රටට අවශ්‍ය තෙල්, නිශ්පාදන භාණ්ඩවලට අවශ්‍ය අමුද්‍රව්‍ය අරන් ආර්ථිකය වැඩ කරවන්න පුළුවන්. මිනිස්සුන්ට රැකියා නැතිවීම වළක්වන්න පුළුවන්. ආදායම කඩාකප්පල්වීම වළක්වන්න පුළුවන්."
"සංචිත අඩුවෙන අඩුවෙන ගාණට අපි බංකොලොත්භාවයට ලක්වෙනවා. බංකොලොත් කියන්නේ ණය නොගෙවන ගෙවන එක නෙමේ, බංකොලොත් කියන්නේ අත්‍යවශ්‍ය දේ ගැනීමට අතේ සතේ නැතිවෙන එක. ණය ගෙවන තරමට අතේ සතේ නැතිවෙනවා," ආචාර්යවරයා පැහැදිලි කළේ ය."
"ලංකාව ශ්‍රේණිගතකිරීම්වලින් පහළ වැටිලා ඉන්නේ. ණය ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. තවත් පහළ වැටුණා කියලා ප්‍රතිඵලයක් නැහැ."
"2020 ඉදලා ණය ගෙවන ගෙවන ගාණට ශ්‍රේණිගතකිරීම්වලින් පහළට වැටෙනවා. සංචිත වැටෙන වැටෙන වෙලාවට ශ්‍රේණිගතකිරීමේ ආයතන කියනවා ණය ගෙවන්න අමාරු යි කියලා. මේ ඩොලර් මිලියන 500 ගෙව්වට පස්සේ ආයිත් ශ්‍රේණිගතකිරීම් වැටෙනවා."
"ණය ප්‍රතිව්‍යුහගත කිරීම තමා ලංකාවට වඩාත්ම සුදුසු වන්නේ," ඔහු පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ද ප්‍රවෘත්ති සාකච්ඡවකට එක්වෙමින් ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කළේ ය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
"රජය පෙන්වන්නේ මේක නොගෙව්වොත් ඉවරයි කියලා. එහෙම එකක් නැහැ. මේවා නොගවපු, කල්ගත්තු රටවල් තියෙනවා. උදාහරණ තමා පාකිස්ථානය," ඔහු පැවසුවේ ය.
"ද්වීතික වෙළෙඳපොලේ මේක හුවමාරු වෙද්දි මේකට ලංකාවේ කවුරු හෝ සම්බන්ධ යි. අපි ප්‍රශ්න කරනවා, අපි සැක කරනවා," ඔහු පැවසුවේ ස්වෛරීත්ව බැඳුම්කර පසුගියදා ද්විතීක වෙළෙඳපොලේ ඉතා අඩු මිලට අලෙවි වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ එය මිලදී ගෙන විශාල ලාභයක් ලබා ඇති බවයි.
දුමින්ද නාගමුව වැඩිදුරටත් කියා සිටියේ, "කිරිපිටි ගේන්න බැරිවෙලා තියෙද්දි, පොහොර ගේන්න බැරිව තියෙද්දි මේක ගෙවන්න හේතුවක් නැහැ. මේක ගෙව්වා කියලා ලංකාවේ ඩවුන්ග්‍රේඩ් එක නතර වෙන්නේ නැහැ," යනුවෙනි.
"කොච්චර කුහක කතා ද මේවා?" - මහබැංකු අධිපති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටියේ මේ සියල්ල "කුහක කතා" බව යි.
"පසුගිය මාස හය තුළ දී එක කණ්ඩායමක් කෑ ගගහා හිටියා අපේ රටේ තියෙන සංචිත මඳි, අපිට ණය ගෙවා ගන්න බැරිවෙයි කියලා. 2022 ජනවාරි මාසයේ ගෙවන්න තියෙන මිලියන 500 ගෙවන්න බැරිවෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දි අපි මොකද්ද කිව්වේ? අපි ඒක ගෙවනවා, බිලියන තුන දක්වා අපේ සංචිත වැඩි කර ගන්නවා කියලා අපි පැහැදිලිව කිව්වා 2021 ඔක්තෝබර් මාසයේ," ඔහු පැවසීය.
"ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ, රට බංකොලොත් වෙනවා, බංකොලොත් වුණාම ලොකු ප්‍රශ්න වෙනවා, දැවන්ත ප්‍රශ්න වෙනවායැ යි අපිට පුණ පුණා කිව්වා. අපි ඒවට උත්තරයක් හැටියට අපි අපේ සංචිත වර්ධනය කරමින් අපි ඉදිරියට ගියා. සංචිත වර්ධනයකර ගත්තා. අපි කිව්වා අපිට බිලියන තුනක් තියෙනවා. අපි කිව්වා ජනවාරි මාසයේ ගෙවන්න තියෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ගෙවනවා, ඔබතුමන්ලා පුණ පුණා කියපු ප්‍රශ්නය වෙන්නැති වෙන්න කටයුතු කරනවා කියලා අපි කිව්වාම ඒගොල්ලන්ගේ කථාව වෙනස්කර ගත්තා. මොකද්ද කියන්නේ දැන්? අනේ මේක ගෙවන්න එපා, ඉම්පෝට් කරන්න තියා ගන්න කියලා," මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ ය.
"පසුගිය වසරේ ඩොලර් මිලියන 21000ක අපි ඉම්පෝට් කරලා තියෙනවා. මේ ඩොලර් මිලියන 500 විතරක් නවත්තගත්තොත් මාස ½කට ඇතිවෙන්න ඉම්පෝට් කරන්න පුළුවන්. මේක ගෙවන්නැතිව හිටියොත් ඒගොල්ලො මොකද්ද කිව්වේ, රට විනාශයකට යනවා කිව්වා. දැන් ඒක අමතක කරලා දැන් කියනවා, සල්ලි තිබුණාට ගෙවන්න එපා කියනවා. කොච්චර කුහක කතා ද මේවා?" ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රශ්න කළේ ය.
"මේ රට බංකොලොත් වෙනවා කියන කථාව 2020 දිත් කිව්වා. 1970දිත් කිව්වා ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා කියලා. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මේ රටේ සෑම අංශයක්ම අමාරු තත්ත්වයට වැටෙනවා කියලා මන්තරය වගේ කියමින් සිටින," ඔහු පවසා සිටියේ ය.
"මේ ණය ප්‍රමාණය අපිට ගෙවා ගන්න පුළුවන්. ඒක අමාරු යි තමයි. ඒ අමාරුකම් මධ්‍යයෙත් අපිට මේක කරගන්න පුළුවන්," කබ්රාල් අවධාරණය කළේ ය.
2021 වසර ආරම්භයේ මෙරට සතුව පැවති සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5කි. එම වසර තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 6ක ගෙවීම්කර ඇති බවත්, වසර අවසානයේ බිලියන 3ක් ඉතිරිකර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.
සංචාරක ක්ෂෙත්‍රයේ ආදායම් නොමැතිව වුව ද එම ගෙවීම් කළමනාකරණය කිරීමට හැකි වූ බව පෙන්වා දුන් ඔහු පැවසුවේ විවිධ අරමුදල් සොයා ගැනීමට පියවර ගෙන ඇති බව යි.
"සමහරක් ඉන්ටර්නෙට් එක බලන ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඒගොල්ල ගණන් හදනවා. මහ බැංකුවේ, මුදල් අමාත්‍යංශ දක්ෂ නිලධාරීන් ඉන්නවා. බිලියන 6.9ක් මේ වසරේ ගෙවන්න තියෙනවා කිව්වාම අපි නිදාගෙන ඉන්නේ නැහැ. ඒ පිළියම් හරිගස්සගෙන යනවා. ඔය ඉන්ටර්නෙට් කට්ටිය මොකද කිව්වේ, ගෙවන්න බැහැ කියලා. 2022 ජනවාරි මාසයේ 18 වැනිදා ගෙවන්න තියෙන ඩොලර් මිලියන 500 ගෙවන්න බැහැ කියලා. දැන් අපි ගෙවනවානේ," මහබැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ ය.
මහ බැංකු අධිපතිවරයාට අනුව 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදම බිලියන 21කි. ඊට වාහන ආනයන වියදම් ඇතුළත් නැත.
2020 වර්ෂයේ ශ්‍රී ලංකාව බිලියන 16ක ආනයන සිදුකර ඇති අතර, 2019 වර්ෂයේ දී බිලියන 20ක ආනයනයන් සිදුකර තිබේ.
මුල්‍ය ශේෂ්ත්‍රයේ විශේෂඥයින් පවසන්නේ ණය ගෙවීම පැහැර හරිම ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා මුල්‍ය ශේෂ්ත්‍රයට දැරිය නොහැකි බලපෑමක් විය හැකි බවයි.
ඔවුන් පවසන්නේ ණය ගෙවීම පැහැර හැරීමක් සිදු උව හොත්:
- ණය ගෙවීම පැහැරහැරීමේ හරස් වගන්තිය සක්‍රිය කර අනෙකුත් සියලුම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ගෙවීම් වහාම ගෙවිය යුතු බවට පත් කරනු ඇත
- ආයෝජකයින්ට උසාවි ගොස් විදේශීය වත්කම් ස්ඵටිකීකරණය කළ හැකිය
- අනාගත මූල්ය පිරිවැය දිගු කාලයක් සඳහා ඉතා බරපතළ ලෙස ඉහල යා හැක.
- මුල්‍ය අංශයේ සියලුම ආනයන වියදම් සිතාගත නොහැකි අගයන්ට වඩා වැඩි විය හැක.
- ඇදහිය නොහැකි නීතිමය පිරිවැයක් ගෙවීමට රටට සිදු විය හැකිය
- ආයෝජකයින් රටට නොපැමිණීම හේතුවෙන් සම්පත් පරතරය වැඩි විය හැකිය
මුල්‍ය විශේෂඥයින් පවසන්නේ රටකට සම්පත් හිඟයක් ඇති අවස්ථාවන් හීදී සාමාන්‍යයෙන් සියලුම රටවල් එම හිඩැස පිරවීම සඳහා සෘජු විදේශ ආයෝජන ආරාධනාකරන අතර රටක් මූල්‍ය විනය සහ තම කැපවීම් පැහැර හැරීම පිළිබිඹු කරන විට ආයෝජකයින් විශාල වට්ටමක් නොමැතිව තම මුදල් අවදානමට ලක් කිරීමට තරමක් මැලි වෙන බවයි.ඔවුන් තවදුරත් පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ බංකොලොත්භාවය අතර ඇත්තේ හිසේ කෙස් ගසක තරම් ඉතා සියුම් වෙනසක් බවයි.
ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කෙරෙන දේශීය ණය සුරැකුම්පත් මොනවා ද?
- භාණ්ඩාගාර බිල්පත්
- භාණ්ඩාගාර බැඳුම්කර
- ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර
රාජ්‍ය ණය සුරැකුම්පත් යනු මොනවා ද?
'රාජ්‍ය ණය සුරැකුම්පත්' යනු කල් පිරීමෙන් පසු ආපසු ගෙවීමේ පොරොන්දුව මත රජය විසින් නිකුත්කරන ලද ණය උපකරණයකි.
භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වැනි රාජ්‍ය සුරැකුම්පත් සඳහා කාලානුරූපීව කූපන් හෝ පොලී ගෙවීමට හා කල් පිරීමේ දී මුළු මුදල ගෙවීමට ද පොරොන්දු වේ. භාණ්ඩාගාර බිල්පත් වට්ටම් සහිතව නිකුත් කරන අතර, කල් පිරීමේ දී වට්ටම් සහ මූලික ගෙවීම් ගෙවනු ලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරන අතර, ඒවා කල් පිරීමේ දී ආපසු ගෙවනු ලැබේ. රජයේ සහතිකභාවය නිසා මෙම සුරැකුම්පත් පෙරනිමි අවදානම් රහිත උපකරණ ලෙස සැලකේ.
රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා මෙම ණය උපකරණ හඳුන්වා දී ඇත.
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
ස්වෛරීත්ව බැඳුම්කර රාජ්‍යය විසින් නිකුත් කෙරෙන බැවින්, එය අවදානම් රහිත නිදහස් ආයෝජනයක් වේ. එබැවින් ඒවා රත්රන් මඟින් සුරක්ෂිතකර ඇති බව අරුත් ගැන්වෙන පරිදි 'රන් සුරැකුම්ණය උපකරණ' ලෙස හැඳින්වේ.
- ඵලදා අනුපාතිකයන් වෙළෙඳපොළ මඟින් තීරණය කරනු ලබන බැවින් ඉහළ පොළී අනුපාතයක් ලබාගත හැකි ය
- මෙම බිල්පත් ද්විතීයික වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කළ හැකි බැවින්, ඒවා වෙළෙඳපොළ තුළ විකිණීමෙන් ක්ෂණික ද්‍රවශීලතාව ලබාගත හැකි ය
- සියලු කල්පිරීම්වලින් ලැබෙන ආදායම් සහ ප්‍රාග්ධන ලාභය සම්පූර්ණයෙන්ම ආපසු ගෙන්වාගත හැකි ය
- වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයකු සමග ඒකාබද්ධ ආයෝජනයක් කිරීමට ද හැකි ය
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යනු කුමක් ද?
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) යනු 1975 අංක 29 දරන විදේශ ණය පනතට අනුව ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද ඩොලර් මඟින් නාමනය කරන ලද ණය උපකරණ වේ. ආපසු ගෙවීම ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ලැබේ.
මේවා,
- අර්ධ වාර්ෂික පොලී ගෙවීම්
- අවම ආයෝජනය ඇ.ඩො. 10000 සහ ඇ.ඩො. 10000 ගුණාකාර වේ
- ආයෝජන මුදල් වර්ගය ඇමරිකානු ඩොලර්
- ස්ථාවර හා නම්‍යශීලී (මාස හයක ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකය(LIBOR) හෝ එහි අන්‍රපාප්තික පොලී අනුපාත/ කූපන් අනුපාතයන්ගෙන් ලබාගත හැකි ය
- තරගකාරී ලංසු තැබීම මඟින් නිකුත් කරනු ලැබේ
- නිර්ලේඛිත ආකෘතියෙන් නිකුත් කෙරේ
ඩොලරයේ අගය වෙළෙඳපොල තුළ තීරණයවීමට ඉඩහැරිය යුතු යි?

ඡායාරූප මූලාශ්‍රය, Roshan Anne Perera/Facebook
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ රෝෂන් පෙරේරා කියා සිටියේ ඩොලරයේ වටිනාකම වෙළෙඳපොල තුළ තීරණය වීමට ඉඩ හැරිය යුතු බව යි.
රුපියලේ අගය පහත වැටීමට රටේ විදෙස් සංචිත අඩුවීම හේතුවී ඇති බව ඇය පවසා සිටියා ය.
ඇය පවසන්නේ විනිමය යනු මිලක් බව යි. "ඩොලරයට තියෙනව මිලක්. රටේ තියෙන සීමිත ඩොලර්වලට ඇති ඉල්ලුම වැඩි නම් ඒකෙ මිල වැඩි වෙන්න ඕනේ," ඇය පෙන්වා දුන්නා ය.
"මිල පහළ දාලා පාලනය කරලා තියෙනකොට අපි දැක්කනේ, අනෙක් මිල ගණන්වලට මොකද වුණේ? හාල්වලට, සීනිවලට, කිරිපිටිවලට අපි කරන්න හැදුවා. අන්තිමට මොකද වුණේ? හිඟයන් ඇතිවුණා, පෝලිම් තිබුණා, කළුකඩ ඇතිවුණා. ඒකමයි වෙන්නේ ඩොලරයට. ඒ විදිහට අපිට ආර්ථිකයක් ගෙනියන්න බැහැ," ඇය අවධාරණය කළා ය.
ඇය පවසන්නේ මෙසේ ඩොලරයේ අගය කෘතිමව පහළ අගයක තබාගැනීමෙන් ජනතාව කළුකඩ වෙත ඇදී යෑම වැළැක්විය නොහැකි බවයි.
උන්ඩියල් එව්වොත් සල්ලි ලබාගන්නා පාර්ශවයට ගැටලු
විදේශ ප්‍රේෂණ යම් පුද්ගලයකු එවන්නේ නම්, ස්වකීය කැමැත්ත මත රුපියල් හෝ වෙනත් මුදලකින් තබාගැනීමට හැකි බවත්, රුපියල්බවට පරිවර්ථනය කළහොත් අමතර රුපියල් 10ක් සෑම ඩොලරයකටම ලැබෙන බවත් ඔහු පැවසීය.
එහෙත් යම් පුද්ගලයකු මෙරට සම්පත් උපයෝගීකොට ගෙන භාණ්ඩයක් හෝ සේවාවක් විදෙස් රටවලට අපනයනය කරන්නේ නම් ඒ සඳහා කළ යුතු ගෙවීම් සිදු කළ පසුව ඉතිරි මුදල පරිවර්ථනය කළ යුතු බවත්, අනෙකුත් බොහෝ රටවල පවතින්නේ මේ ආකාරයටම බවත් කබ්රාල් පැවසීය.
පසුගිය කාලයේ මෙම නීති පිළිනොපැදි නිසා එය ද ඩොලර් හිඟයට හේතුවක් බව පවසන මහ බැංකු අධිපතිවරයා, මෙම නීති උපයෝගී කරගෙන විදේශ මුදල් සංචිත වැඩි කරමින් යන බවත්, එසේ කිරීමෙන් රුපියලට හා මෙරට ආර්ථිකයට ස්ථායීභාවයක් ලැබෙන බවත් වැඩිදුරටත් පැවසීය.
මේ වන විටත් නේවාසික විදෙස් මුදල් ගිණුම් වල විදේශ විනිමය ඇති පිරිස සිය මුදල් රුපියල් බවට පත් කිරීමට අනවශ්‍ය අතර, එම ගිණුම් පවතින ආකාරයටම පවත්වාගෙන යා හැකි නමුත් අලුතෙන් විදේශ අපනයන හා ලැබීම් ඇති පිරිස් නව නීතියට යටත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් ව්‍යාජ තොරතුරුවලට රැවටී, විදේශ ප්‍රේෂණ මෙරටට එවන විට උන්ඩියල් ක්‍රමය යටතේ නොඑවන ලෙස ද ඉල්ලා සිටින මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය: "'උන්ඩියල් ක්‍රමය' කියන්නේ නීතිමය තත්ත්වයක් නොවෙයි. එය විවිධ ජාවාරම්වලට සම්බන්ධ පිරිස් ගෙනයන ක්‍රමවේදයක්. එය කලු සල්ලි සුදු කරන්න යොදාගන්නා ක්‍රමයක්. මේ හා සම්බන්ධව සිදු කෙරෙන විවිධ ජාවාරම්වලින් රටට විශාල හානියක් සිදුවෙනවා. ඒ නිසා මෙවැනි ක්‍රම භාවිතා නොකර රටට විදේශ මුදල් ගලා එන්න ඉඩ දෙන්න. එහෙම වුණොත් තමාට වගේම රටටත් ඉතා වටින දෙයක්."
මෙම නීති විරෝධී ක්‍රම භාවිතාකර අවදානම් තත්ත්වයනට ලක් නොවන ලෙස ඉල්ලා සිටින මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ගැටලු මතුවිය හැක්කේ මුදල් ලබාගන්නා තැනැත්තන්ට බව යි.
මහ බැංකු අධිපතිවරයා තවදුරත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මේ අවස්ථාවේදී යාම බරපතල තීරණයක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු මෙරට තිබෙන තත්ත්වය හමුවේ පවතින එක් විකල්පයක් පමණක් බවත්, මීට අමතරව තවත් විකල්ප තිබෙන බවයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම වෙනුවට පවතින වෙනත් විකල්ප සලකා බැලීම වඩා හොඳ තීරණයක් බව ද මහ බැංකු අධිපතිවරයා පැවසීය.











