ගෝලීය ආර්ථිකය අඳුරු තත්ත්වයකට මුහුණ දී සිටින බව ලෝක බැංකුව අනතුරු අඟවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසංගතයේ පශ්චාත් බලපෑම් විශේෂයෙන්ම දුප්පත් රටවල ආර්ථික වර්ධනයට අඛණ්ඩව බලපාන බැවින්, ගෝලීය ආර්ථිකය "අඳුරු තත්ත්වයකට" මුහුණ දී ඇති බවට ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු අඟවා තිබේ.
ඔහුගේ සංවිධානයේ නවතම පුරෝකථනයන් මඟින් පෙන්වා දෙන්නේ, 2021 දී 5.5%ක් වූ ගෝලීය ආර්ථික වර්ධනය මේ වසරේ 4.1% දක්වා අඩුවනු ඇති බවයි.
වෛරස් තර්ජන, රජයේ ආධාර අඩු කිරීම, සහ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම අඩුවීම එයට හේතු ලෙස පෙන්වා දෙයි.
නමුත් සභාපති මැල්පාස් පැවසුවේ, ඔහු වඩාත්ම බියෙන් පසුවන්නේ ගෝලීය අසමානතාවය පුළුල්වීම පිළිබඳව බව යි.
"විශාලම බාධකය වෙන්නේ මේ පද්ධතිය තුළ තිබෙන අසමානතාවය යි," ඔහු බීබීසීයට පැවසීය. විශේෂයෙන්ම, උද්ධමනයට එරෙහිව පොර බැඳීම නිසා දුප්පත් රටවල් ආර්ථික පරිහානියට ගොදුරුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
"දුප්පත් රටවල් සඳහා වූ ඉදිරි දැක්ම තවමත් පසුගාමීව යි තිබෙන්නේ. එය [රටේ ආර්ථික] අනාරක්ෂිත භාවයට හේතු වෙනවා."
2023 වන විට එක්සත් ජනපදය, යුරෝපීය කලාපය, සහ ජපානය වැනි සියලුම දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම්, වසංගතය තුළ ඇති වූ බලපෑමෙන් යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව ලෝක බැංකුව පවසයි.
නමුත් සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන රටවල නිෂ්පාදනය, කොවිඩ්වලට පෙර පැවති ප්‍රමාණයටත් වඩා 4%කින් අඩුවනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගෝලීය උද්ධමනය වැඩිවීමට හේතුවන, ධනවත් රටවල උත්තේජක වැඩසටහන් වැනි ක්‍රියාකාරකම්වලට මැල්පාස් දොස් පැවරීය. එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල නිලධාරීන් දැන් මිල වැඩිකිරීම් පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර, ලෝක බැංකු සභාපතිවරයා අනතුරු ඇඟවූයේ ඉහළ ණය ගැනීමේ පිරිවැය ආර්ථික ක්‍රියාකාරකම්වලට - විශේෂයෙන්ම දුර්වල ආර්ථිකයන් සහිත රටවල්වලට හානි කළ හැකි බව යි.
"පොළී අනුපාත ඉහළ දැමීමෙන් පාවෙන අනුපාතවලට ණය ගන්නා මිනිසුන් [එනම්,] නව ව්‍යාපාර, කාන්තාවන් සතු ව්‍යාපාර, සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාපාර අපහසුතාවයට පත් වෙනවා," මැල්පාස් පැවසීය.
ඊට අමතරව, ලෝක ආර්ථික සංසදය (WEF) අනතුරු ඇඟවූයේ ප්‍රකෘතිවූ එකිනෙකට වෙනස් ආර්ථික වර්ධනය නිසා දේශගුණික විපර්යාස වැනි ගෝලීය අභියෝගවල දී සහයෝගයෙන් කටයුතු කිරීමට අපහසු වන බව යි.
"රටවල් තුළ සහ රටවල් අතර විෂමතා පුළුල්වීමෙන් කොවිඩ්-19 සහ එහි ප්‍රභේද පාලනය කිරීම වඩාත් අපහසු වෙනවා පමණක් නෙවෙයි, මේ නොසලකාහැරිය නොහැකි පොදු තර්ජනවලට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට ලෝකයට නොහැකි නම්, [මුළු ලොවම] ඇණහිටීමේ අවදානමක් ද පවතිනවා," WEF ජනවාරි 11 දා නිකුත් කළ සිය වාර්ෂික ගෝලීය අවදානම් වාර්තාවේ සටහන් කරයි.
ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ වාර්තාව දක්වන්නේ, වසංගතය හේතුවෙන් 2021 වසරේ ලෝක ආර්ථිකය වසර 80ක් තුළ ඇතිවූ ප්‍රබලම පශ්චාත් අවපාත ප්‍රසාරණයට ලක්ව ඇති බව යි.
නමුත් වෛරස ප්‍රභේද, ආහාර, සහ බලශක්තිය යනාදියේ සීඝ්‍රයෙන් ඉහළ යන මිල ගණන් ජනතාවට දැරීමට සිදුවන බැවින්, මෙම වසරේ ප්‍රතිලාභයන් මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. ගෝලීය වශයෙන් ගත්කල උද්ධමනය 2008න් පසු පෙන්නුම් කළ ඉහළම අනුපාතයට ළඟා වී ඇති බව එම වාර්තාව දක්වයි.
ලොව පුරා රටවලට ණය දෙන ලෝක බැංකුව තව දුරටත් අනතුරු ඇඟවූයේ, සැපයුම් දාමවල ඇති බාධක සහ උත්තේජක වැඩසටහන් ලිහිල් කිරීම ආර්ථික අවදානම් මතු කරන බව යි.
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදවල ව්‍යාප්තිය හේතුවෙන්, ලෝක බැංකුව ජුනි මස පුරෝකථනයේ දී බලාපොරොත්තු වූවාටත් වඩා 2021 දෙවන භාගයේ ආර්ථික මන්දගාමීත්වය ඉහළ අගයක් ගත්තේ ය. එය මේ වසරේ "ප්‍රකාශිත මන්දගාමිත්වයක්" අපේක්ෂා කරන අතර, ගෝලීය වර්ධනය 2023 දී 3.2% දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැ යි පුරෝකථනය කර තිබේ.
"කොවිඩ් සහ රටවල් හුදෙකලා කිරීම විශේෂයෙන් දුප්පත් රටවල්වලට ලොකු බලපෑමක් ඇතිකරවනවා," මැල්පාස් පැවසීය. "ඒක දරුණු තත්ත්වයක්".

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගෝලීය ආර්ථික මන්දගාමිත්වය සමග චීනයේ වර්ධන වේගය පසුගිය වසරේ වූ 8% සිට 5.1% දක්වා පහත වැටෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2021 දී එක්සත් ජනපදයේ අගය වූ 5.6%ට සාපේක්ෂව මේ වසරේ 3.7%කින් අඩුවනු ඇතැ යි පුරෝකථනය කරන අතර, යුරෝපීය කලාපයේ එය 5.2% සිට 4.2% දක්වා මන්දගාමීත්වයක් ලබනු ඇතැ යි ලෝක බැංකුව අනාවැකි පළ කරයි.
ඉන්දියාවේ මෙම වසරේ වර්ධන වේගය 8.3% සිට 8.7% දක්වා ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කරන අතර එය සුවිශේෂී අවස්ථාවක් බවට පත්වනු ඇත.
නමුත් බොහෝ නැගී එන වෙළඳපොළවල් අඩු එන්නත්කරණ අනුපාත වැනි අමතර අභියෝග සමග තවදුරටත් පීඩා විඳිනු ඇත.
උදාහරණයක් ලෙස ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ පසුගිය වසරේ 6.7% සිට 2022 දී 2.6% දක්වා වර්ධනය මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.











