ණය කන්ද හමුවේ අඳුරට යන ශ්‍රී ලංකාවේ විදුලි හා බලශක්ති ක්ෂේත්‍රය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විනිමය හා ණය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්යකට පත්වෙමින් පවතියි.
බලාගාර සඳහා දැවිතෙල් සැපයීම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අත්හිටුවීම හා නොරොච්චෝලේ සහ කැළණිතිස්ස බලාගාරවල ජනක යන්ත්‍ර දෝෂවලට ලක්වීම අර්බුදය තිව්‍රර කිරීමට හේතුවී ඇත.
මෙම තත්ත්වය හමුවේ අද (ජනවාරි 10) සිට දෛනික විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගිය දා පැවසිය.
ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් සඳහා විදුලිය කප්පාදුවකට අනුමැතිය දී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතු වේ. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම සලකා බලා දිනපතා විදුලි කප්පාදුවකට අවසර ලබා දුන් බව ද ජනක රත්නායක පැවසීය.
දිනකට කොපමණ වේලාවක් විදුලිය කපන්නේ ද, කුමන කාලයේ ද යන්න ආදී තීරණ විදුලිබල මණ්ඩලය විසින් තීරණය කෙරෙනු ඇති.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැවිතෙල් සැපයීම නැවත ආරම්භ කිරීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යෑමට අවශ්‍ය නොවනු ඇතැ යි ලංකා විදුලි බල මණ්ඩලය විශ්වාසය පළ කළ ද, ඉල්ලුම සපුරාලීමට නොහැකි වුවහොත් පමණක් විදුලි සැපයුම කප්පාදු කිරීමට සිදුවනු ඇතැ යි විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි බල මණ්ඩලය කරවටක් ණය කන්දේ
විදුලි මණ්ඩලය ප්‍රමුඛ ආයතන කිහිපයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ ය.
ලංකා විදුලි බල මණ්ඩලය පමණක් තමන්ට රුපියල් මිලියන 91,000ක් ණය ගෙවීමට ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
"ප්‍රධාන ණයකරු විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලයේ අලාභය හා අකාර්යක්ෂමතාව ඛනිජ තෙල් සංස්ථාවට පාස් කරනවා," ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී සිංහල සේවය සමග පැවසීය.
ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 300ක් පමණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු බව ය. කෙසේ වෙතත් එම ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයකට පැමිණ ඇති බව එම සංස්ථාව පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය ද සඳහන් කළේ මණ්ඩලය වෙත ද පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 43,000ක හිඟ මුදල් ලැබීමට ඇති බව යි. කොවිඩ් වසංගතය හමුවේ බිල්පත් නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම විසන්ධි නොකිරීමට මණ්ඩලය කටයුතු කර ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ පාරිභෝගිකයින්ගෙන් බිලියන 43ක පමණ විශාල මුදලක් තමන්ට අයවිය යුතුව ඇති පසුබිමක තමන් මෙම අර්බුදයට මුහුණ පා ඇති බව යි.
ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු අතිවිශාල ණය මුදලෙන් මිලියන 18,000ක් ඔවුන් ඉල්ලා ඇතැ යි ද විදුලි බල මණ්ඩලය පවසයි.
මණ්ඩලය සඳහන් කළේ අර්බුදය පැවතිය ද පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවාවක් සැපයිය යුතුව ඇති බව යි.
"පාරිභෝගිකයින්ටත් වගකීමක් තිබෙනවා හිඟ මුදල් ගෙවීමට. දීර්ඝකාලීනව ණයට ඉල්ලන්න බැහැ," විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී සිංහල සේවය සමග පැවසීය.
"අපි පාරිභෝගිකයින්ට සහන දුන්නට අපිට සහන දෙන්න කවුරුත් නැහැ ආයතනයක් විදිහට. හිඟ මුදල් නොලැබුණොත් අපිට බරපතල අර්බුදයකට යන්න වෙයි," අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර සිටියේ ය.
මොකද්ද අර්බුදය?
ජනවාරි මාසය අවසානය තෙක් දැවිතෙල් අපේක්ෂා නොකරන බව විදුලිබල මණ්ඩලය මීට පෙර දැනුම් දී තිබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. එහෙත් නොරොච්චෝලේ සහ කැලණිතිස්ස බලාගාරවල ජනන යන්ත්‍ර බිඳ වැටීම හමුවේ විදුලි බල මණ්ඩලය දැවිතෙල් සපයන ලෙස ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් ඉල්ලීම් කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ දැවි තෙල් අවශ්‍ය නම් එම ඉන්ධන ආනයනය කර ලබාදීම සඳහා ඩොලර් ලබා දෙන ලෙස විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා ඇතැ යි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
දැවිතෙල් සඳහා ඩොලර් ලබා දීමේ එකඟතාව මත ටෙන්ඩරයක් කැඳවා ඇතැ යි ද ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය. ඒ අනුව පෙබරවාරි මාසයට අවශ්‍ය දැවි තෙල් සැපයීමට සැලසුම්කර ඇති බව ද සංස්ථාව සඳහන් කළේ ය.
විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරී ආර්. එම්. රණතුංග පවසා සිටියේ විදුලි පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවේ දැඩි සහයෝගය අවශ්‍ය වන බව යි.
නොරොච්චෝලේ බලාගාරයේ වත්මන් තත්ත්වය?නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් 300කින් සමන්විත ජනන යන්ත්‍ර 03කින් සමන්විත වේ. එහි 03 වන ජනන යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට අක්‍රීයව පවතී. එහි නඩත්තු කටයුතු මේවන විට සිදු කෙරෙමින් ඇති අතර, ඒ සඳහා චීන නියෝජිත පිරිසක් ද ජනවාරි 15 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම ජනන යන්ත්‍රය අලුත්වැඩියා කළද නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු තොග රැස්කර තබා ගැනීමද අභියෝගයක් වී ඇති බවට එම නිලධාරීන් පවසයි.
ඒ අදාළ මිලදී ගැනීම් සඳහා ඩොලර් සොයා ගැනීමේ අර්බුදය හේතුවෙනි. නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු දකුණු අප්‍රිකාවෙන් සහ රුසියාවෙන් ආනයනය කෙරන බවට ඔවුන් පවසන අතර ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මාසය සඳහා අවශ්‍ය ගල්අඟුරු රැස්කර තබා ගැනීම සඳහා දැනට කටයුතු කරමින් සිටින බවයි.
ඒ සඳහා ඩොලර් මිලියන 180ක ගෙවීම්ක් කිරීමට මේවන විට පියවර ගෙන ඇති අතර ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා මාර්තු - අප්‍රේල් වන විට තවත් ඩොලර් මිලියන 180ක ගෙවීමක් කළ යුතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලිබල අමත්‍යවරයාගේ ප්‍රතිචාරය
විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ අද (ජනවාරි 10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසාසිටියේ, "අද පුවත්පත් ගණනාවක තිබෙනවා විදුලි කප්පාදුවක් තිබෙනවා කියලා. මම බොහෝම පැහැදිලිව කියන්න කැමති ලංකා විදුලිබල මණ්ඩලය අද විදුලි කප්පාදුවක් නැතිව යන්න පුළුවන් තත්වයක තිබෙනවා."
" අපේ ගල් අගුරු බලගාරය මෙගා වොට් 300 ගාණේ යුනිට් 900 ක් තිබෙනවා. එක බලගාරයක පොඩි හදිසි ආපදාවක් තිබෙනවා. එය මේ මාසයේ අවසාන වන විට අවසන් කරන්න පුළුවන්. ඊට අමතරව ජල විදුලි බලාගාරවලින් අපි ඉතුරු විදුලිබලය අරගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. ජනවාරි මාසයේ වන විට ඉල්ලුම් වැඩිවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට අතිරේක විදුලිය ඕන කරනවා. ඒ සඳහා අපි තෙල් සංස්ථාව සමඟ ගනුදෙනු කරන්නේ තෙල් ලබා ගන්න."
"මේක සමහර උදවියට ඕන කරලා තිබෙනවා ජනතාව තුළ විදුලිය කපනවා කියලා මහජනතාව අතර භයක් ඇති කරන්න. නමුත් පහුගිය දවස් දෙකේම විදුලි කප්පාදුවක් තිබුණේ නෑ. මේ විවිධ රාජ්‍ය නොවන ආයතනවලින් මුදල් අරගෙන මේ ආණ්ඩුව අසිරුතාවයකට පත් කරන්න යම් කට්ටියක් ක්‍රියා කරනවා. අපේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ මේ රටේ හැම එකක්ම කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. එහෙම නැතිනම් විදුලිබල මණ්ඩලයේ මෙතෙක්කල් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. අපි මේ රටේ විදුලි කප්පාදුවක් කරනවා නම් අපි ජනතාවට හොඳින් දැනුවත් කරලයි සිදු කරන්නේ. මොනම හේතුවක් නිසාවත් අපි විදුලිය කැපිමක් නැතිව තමයි පවත්වා ගෙන යන්නේ." යනුවෙන් ඔහු සඳහන් කළේය.
ජනපතිගේ උපදෙස
ජන ජීවිතයට බාධාවක් නො වන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අවධාරණය කළේය.විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැඟී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැන නැඟී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.ශ්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් වේ. ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද නිලධාරීහු පවසති.පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරු සඳහන් කළහ.අමාත්‍ය ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.











