ඉන්ධන මිල යළිත් ඉහළයෑම නිසා වැඩිවන අනෙකුත් සේවාවන් මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පවතින විදේශ විනිමය සංචිත අර්බුදය මැද, දෙසැම්බර් 21 සිට ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය කටයුතු කළේ ය.
ඒ අනුව අද (දෙසැ. 21) සිට ක්‍රියාත්මක වන පරිදි,
- පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් සියයට 12.7කින් වැඩිවී රු. 157 සිට රු. 177 දක්වා, රු. 20කින්
- පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් සියයට 12.5කින් වැඩිවී රු.184 සිට රු. 207 දක්වා, රු. 23කින්
- ඔටෝ ඩීසල් ලීටරයක් සියයට 9කින් වැඩිවී රු. 111 සිට රු. 121 දක්වා, රු.10කින්
- සුපර් ඩීසල් ලීටරයක් සියයට 10.4කින් වැඩිවී රු. 144 සිට රු. 159 දක්වා, රු.15කින්
- භූමිතෙල් ලීටරයක් සියයට 13කින් වැඩිවී රු. 77 සිට රු. 87 දක්වා, රු.10කින්
ඉහළ දමා ඇත.
Sinhala_Change in fuel prices (CPC)
Sinhala_Change in fuel prices (IOC)
විනිමය අර්බුදයට එක් පිළියමක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ය.
එහෙත් ආර්ථික විසේෂඥයින් පවසන්නේ ඉන්ධන මිල ඉහල දැමීමෙන් රටේ පවතින විනිමය අර්ර්බුධයට පිළියමක් නොවන බවයි. මේ නිසා දැනටමත් ඉහල යන උද්දමනය තවත් විශාල වශයෙන් ඉහල යාමෙන් දැනටමත් අපහසුතාවයට පත්ව ඇති මහ ජනතාව තව තවත් අපහසුතාවයට පත්වන බවයි.
මෙයට පෙර ජුනි මාසයේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කර රු. 157 දක්වාත්, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින් වැඩි කර රු.184 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් වැඩි කර රු. 111 දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12කින් වැඩි කර රු. 144 දක්වාත්, භූමිතෙල් රුපියල් 7කින් වැඩි කර රු. 77 දක්වාත් ඉන්ධන මිල ඉහල දැමිණි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
මෙවර ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටී ඇති පසුබිමක යි.
යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ ආසාදනයන් ඉහළ යාම හේතුවෙන්, එහි ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා පනවන නව සීමාකිරීම්වලින් ඉන්ධන ඉල්ලුම පහත හෙළීමට හැකි බවට ආයෝජකයින් උපකල්පනය කිරීම ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවීමට හේතුවී ඇත.
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 2කින් (2.7%කින්) පහත වැටී, බැරලයක් ඩොලර් 71.52ක් වූ අතර එක්සත් ජනපදයේ බටහිර ටෙක්සස් අතරමැදි (WTI) බොරතෙල් මිල ඩොලර් 2.63කින් (3.7%කින්) පහත වැටී බැරලයක් ඩොලර් 68.23ක් විය.
බ්‍රෙන්ට්, බැරලයකට ඩොලර් 69.28ක අඩුම අගයක් දක්වා පහත වැටුණු අතර, WTI බැරලයකට ඩොලර් 66.04ක් දක්වා පහත වැටුණි.
ත්‍රීරෝද රථ සහ බස් ගාස්තුවත් ඉහළට
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුවත් අද සිට ඉහළ දමා ඇත. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 50 සිට රුපියල් 80ක් දක්වා ඉහළ දමා ඇත.
දෙවැනි කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට අයකරන ගාස්තුව රුපියල් 45 ක් ලෙස පවත්වාගෙන යන බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කළේ ය.
මේ අතර බස් ගාස්තුව ද 15%ත් 25%ත් අතර අගයකින් ඉහළ නැංවිය යුතු බව පෞද්ගලික බස් සංගම් පවසයි.
අද දිනයේ ඒ පිළිබඳ සමාලෝනයකර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.
මිට පෙර ද ඩීසල් මිල රුපියල් 7කින් ඉහළ දමනු ලැබුණි. අලුතින් ඉන්ධන මිල රුපියල් 10කින් වැඩි කිරීමත් සමග තමන්ට රුපියල් 17ක පාඩුවක් සිදුවන බව බස් හිමියෝ පවසති.
ඔවුන් පවසා සිටින්නේ බස් අමතර කොටස් මිල ද 300%කින් ඉහළ ගොස් ඇති බව යි.
රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රුපියල් 20ක් හෝ 25 දක්වා ඉහළ නැංවිය යුතු බව ද පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සඳහන් කළේ ය.
"අපි රජයට යෝජනා කරනවා පොදු ප්‍රවාහන සේවයට පමණක්වත් ඩීසල් සහනාධාරයක් ලබාදෙන්න කියල එහෙම නැත්තන් රුපියල් 14ක් ව තියෙන අවම බස්ගස්තුව රුපියල් 25ක් විය යුතුයි. එයට අමතරව අනෙකුත් සියලුම ගාස්තු ප්‍රතිශතයන් සියයට 25කින් වැඩිකරන්න ඕන," යනුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසීය.
මේ අතර බේකරි නිෂ්පාදන වල මිලද ඉහල දමා ඇති බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.
ඔහු පැවසුවේ අද මධ්‍යම රාත්‍රී සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වන පාලන මිලෙන් ඉවත් කරන බවයි.
"අද වෙනවිට ගෑස් නෑ. පාන්පිටි හිඟයක් පවතිනවා. අමුද්‍රව්‍ය 100%කින් ඉහළ ගොස් තියෙනවා. ඉදිරියට මේ කර්මාන්තය පවත්වාගෙන යෑමේ අභියෝගයකට මුහුණදීමට සිදුවෙලා තියෙනවා. මිල වැඩිකරනවා වැඩිකරනවා කියලා මේකේ සීමාවක් නෑ. අද අපි බේකරිහිමියන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වුවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි තීරණය කළා බේකරි මිල ගණන් තීරණය කිරීම නවත්වන්න. බේකරි හිමියන්ගෙන් පාලන මිලක් නෑ කෑමවලට. ඒ නිසා අපි බේකරිහිමියන්ගෙන් ඉල්ලනවා අද මිල මේක කියලා දැනුම්දීලා ඉදිරියට කරගෙන යන්න," යනුවෙන් ඔහු පැවසිය.











