තෙල් මිල සහ වම: ''පැරණි වාමාංශික පක්ෂ කරන්නේ ආණ්ඩුවට රෝසපාට ගෑමක්ද?''

sri lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, ඛනිජතෙල් මිල වැඩිකිරීමත් සමඟ භාණ්ඩ මිලත් වැඩිවීම මහජන ජීවිතයට දැඩි බලපෑමක් ඇතිකරන බව වාර්තා වෙයි
    • Author, උපාලි ගජනායක
    • Role, බීබීසී සිංහල

තෙල්මිල වැඩිකිරීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව මගින් ජනජීවිතයට ඇතිකෙරෙන බලපෑමට අදාළ සාකච්ඡාව උදය ගම්මන්පිල-සාගර කාරියවසම් වාග් සංග්‍රාමයත් සමඟ වෙනත් දිසාවකට හැරී ඇත.

එවැනි දේශපාලන පරිසරයක් නිර්මාණය වී තිබෙන්නේ තෙල්මිල වැඩිකිරීමත් සමඟ පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් නිකුත්කරන ලද ප්‍රකාශනයක් මගින් ''ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල වගකිව යුතු අතර,අසීරු තත්ත්වයක් උද්ගත කරනු ලැබීමේ සම්පූර්ණ වගකීම භාර ගනිමින් ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු'' බව කියා සිටීමත් සමඟය.

පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ එකී ප්‍රකාශයත් සමඟ ඇමතිවරයාගේ රැකවරණයට වහා ඉදිරිපත්වුණේ පාලක සභාගය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ අටකි. ආණ්ඩුවත් සමඟ සන්ධානගතව සිටින වාමාංශික දේශපාලන පක්‍ෂ තුනක් ද ඒ අතර වෙති. එනම් ආණ්ඩුව තුළ වම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණයි.

මහාචාර්ය තිස්ස විතාරණ
ඡායාරූප ශීර්ෂ වැකිය, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ

''වර්තමානයේදී ලොව සෙසු රටවල් සේම අප රට ද මුහුණ පා ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පොදුවේ මහජනතාව තම ආදායම් මාර්ග අහිමි වූ හෝ අවම වූ ඉරණමකට ඇද වැටී සිටිති. එමෙන්ම රජයේ ආදායම් මාර්ග ද බොහෝ සේ බිඳ වැටී තිබේ. ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම එබඳු අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා සිටින මෙබඳු අවස්ථාවක දී ඇතැම් "ජනප්‍රිය නොවන" තීරණ ගැනීමට කවර ආණ්ඩුවකට වුව ද සිදුවිය හැක. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි කිරීමේ තීරණය ද එවැනි "ජනප්‍රිය නොවන" තීරණයක් බව අපගේ නිගමනයයි''යයි ඉහත කී වාමාංශික දේශපාලන පක්ෂ තුනත් ඇතුළු පක්ෂ නායකයන්ගේ අත්සනින් නිකුත්කරනු ලැබ ඇති නිවේදනයක සඳහන් විය.

''තෙල් මිල වැඩිකරනු ලැබීම මහජන ජීවිතයට තදින් බලපැවැත්වෙන පියවරක් හෙයින්, එය මේ මොහොතේ සිදුනොකළ යුතු දෙයක්'' ලෙස ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පවා කියා සිටින දේශපාලන පරිසරයක් තුළ වාමාංශික දේශපාලන නායකයන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය යුක්ති සහගත කිරීමට ඉදිරිපත්වීම වෙනත් දේශපාලන කණ්ඩායම්වල විවේචනයට ලක්වෙමින් ඇත.

''ඔවුන්ට තිබෙන්නේ අතීතයක් විතරයි.ඇත්තෙන්ම කිව්වොත් ඒ පක්‍ෂ තුන දැන් වාමාංශික දේශපාලන පක්ෂ නොවෙයි.ඔවුන් දැන් කරන්නේ ආණ්ඩුවට ඇතුල්වෙලා ආණ්ඩුවේ හැම ජනතා විරෝධී තීරණයක්ම අනුමත කරන එකයි. නැත්නම් ඒවා ඉදිරියේ නිහඬව සිටින එකයි'' පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය.

''ආණ්ඩුව ඇතුලේ ඉන්න ඔය දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වාමාංශික දේශපාලනය අත්හැරලා දැන් බොහෝ කාලයක් ගතවෙලා ඉවරයි. 1977 න් පස්සේ ඒ පක්ෂ තනිවම ඡන්දයක් තරඟ කරලා නැහැ. කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟත් දැන් පොදුජන පෙරමුණත් එක්ක එකතුවෙලා හැම ජනතා විරෝධී තීන්දුවකටම පක්ෂව ඡන්දෙ දෙනවා. තෙල්මිල වැඩි කිරීමේදී වුනත් දැන් කරමින් ඉන්නේ ඒකයි'' ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික,හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

''අපි ඇමතිවරයා වෙනුවෙන් පෙනීසිටින්නේ තෙල්මිල වැඩි කිරීමේ තීරණය ඇමතිවරයාගේ තනි තීන්දුවක් නොවන නිසා. එය ජීවන වියදම් කමිටුවේත් අනුදැනුම ඇතිව සමස්ත කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවක්. පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ප්‍රකාශය මගින් කෙරුණේ එය තනි පුද්ගලයකු මත පැටවීමක්. ඒ වගේම රට තියෙන්නේ විශාල අර්බුදයක. පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ප්‍රකාශය මගින් කෙරෙන්නේ එම අර්බුදය තවත් උත්සන්න කිරීමට මග පෑදීමක්. අපි ඔය කියන ප්‍රකාශනය නිකුත්කළේ එවැනි කාරණා සැලකිල්ලට අරගෙනයි'' ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ

ඡායාරූප මූලාශ්‍රය, DR G.WEERASINGHA

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා, තෙල්මිල වැඩිකිරීම මහජන ජීවිතයට දැඩි බලපෑමක් ඇතිකරන බව තම පක්‍ෂය පිළිගන්නා අතරම ඒ සඳහා මහජනයාට 'සහන මල්ලක්' ලබාදීම වැනි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

තෙල්මිල වැඩිකිරීම නිසා මහජනතාව මුහුණදෙන ගැටලු නොව, පොදුජන පෙරමුණේ ලේකම්වරයා සහ උදය ගම්මන්පිල ඇමතිවරයා අතර ගැටුමට මුල්තැන දෙමින් එය නිරාකරණයට ඉදිරිපත්වීම මගින් තෙල්මිලෙහි බලපෑම ලඝුකිරීමක් වූ බවට එල්ලවෙමින් පවතින විවේචන සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ලංකා සම සමාජ පක්ෂයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේය. ''තෙල්මිල වැඩිකරනු ලැබීම අනුමත නොකරන නමුත්, එක පුද්ගලයකුට එහි වගකීම පැවරීම සාධාරණ නොවන නිසා'' තම පක්ෂය 'පක්‍ෂ අටේ' ප්‍රකාශයට අත්සන් තබන ලද බව ඔහු කීය.

''තෙල්මිල වැඩිකරන්න ආණ්ඩුව තීන්දුව අරගෙන තියෙනක්. අපි ඊට එකඟ නැහැ. නමුත් තීන්දුවේ වගකීම එක පුද්ගලයකු මත පැටවීම සාධාරණ නැහැ.වගකීම එක ඇමතිවරයකු මත පැටවීමේ ක්‍රමවේදය හරි නැහැ. ඒ නිසා තමයි 'පක්‍ෂ අටේ' ප්‍රකාශනය නිකුත් කළේ'' ලංකා සම සමාජ පක්ෂයේ නායකයා පවසයි.

''කොහොම කිව්වත් ඔය කියන ක්‍රියාමාර්ගය නිසා සිද්ධවුණේ බලවත් සහ ගැඹුරු ප්‍රශ්නය යටපත්කර දැමීම. ඔය වමේයයි කියන දේශපාලන පක්‍ෂ විතරක් නොවෙයි, මාධ්‍ය පවා සිද්ධකළේ ප්‍රශ්නය වෙනත් දිසාවකට හැරවීමක්. ඇත්ත ප්‍රමුඛ ප්‍රශ්නය වුණේ තෙල්මිල වැඩිකරනු ලැබීම සහ මහජනතාව මුහුණදෙන දුෂ්කරතා. එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවෙන රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රශ්න කරනු ලැබීම පිටුපසට ගත්තා. ඒ විවාදය යටකරල උදය ගම්මන්පිල ඇමති පදවියෙන් අස්විය යුතුද? නැත්නම් සාගර කාරියවසම්ට දඬුවම් කළ යුතුද? රාජපක්‍ෂ පවුලේ ගැටුම මොකක්ද? ඔයවගේ වෙනත් සාකච්ඡාවකට මුලපිරුව. ආණ්ඩුව ඇතුළේ ඉන්න වමේයයි කියාගන්න පක්ෂත් ඒකට දායක වුණා'' පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයකොඩි පවසයි.

පුබුදු ජයකොඩි

ඡායාරූප මූලාශ්‍රය, FRONTLINE SOCIALIST PARTY/FB

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයකොඩි

''තෙල්මිල වැඩිකරනවට අපේ පක්‍ෂය විරුද්ධයි. තෙල්මිල වැඩිකිරීම නිසා බඩුමිල උසුලන්නට බැරි තරමට වැඩි වෙනවා. අපේ අදහස වෙන්නේ මහාමාර්ග ඉදිකිරීම වගේ යටිතල පහසුකම් දියුණුකිරීමට කරන වියදම් ප්‍රමාද කරලා ආහාර ඇතුළු දැවෙන ප්‍රශ්න විසඳීමට පියවර ගතයුතුය කියන එකයි'' මහාචාර්ය තිස්ස විතාරණ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ ''අඩු ආදායම්ලාභීන්ට සහන මිලට ඉන්ධන ලබාදීම සඳහා'' වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

තෙල්මිල වැඩිකිරීම නිසා මහජනතාවට මුහුණදීමට සිදුව ඇති පීඩනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික පක්‍ෂ යෝජනා කරන විසඳුම කුමක්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ජල සම්පාදන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර එම යෝජනා විස්තර කරන ලද්දේ මෙපරිද්දෙනි.

''අපි යෝජනා මාලාවක් හදාගෙන යනවා. එකක් මෝටර් සයිකල්වලට තිබුණ මිලටම ඉන්ධන සැපයීම. ලොකු කාර්වලට සීමා සහිතව ඉන්ධන දීම. එතකොට ඉන්ධන ගෙන්වීම සීමාකරගන්න පුළුවන්. ඒ අතරම ආහාර ආදිය ප්‍රවාහනය කරන ලොරිවලට ඩීසල් සහනයක් ලබාදීම. ඔය වගේ යෝජනා අපි ඉදිරිපත් කරනවා''

''මේ තත්ත්වය තුළ තෙල්මිලත් එක්ක ආහාර සහ ප්‍රවාහනයේ වියදම් වැඩිවීමක් සිද්ධ වෙනවාමයි. යම් වැඩිවීමක්. විශාල වැඩිවීමක් නොවෙයි. නමුත් ඒකත් මේ වෙලාවේ මිනිස්සුන්ට ලොකු වැඩිවීමක්. නමුත් ලොකු වැඩිවීමක් නොවෙයි. බස්ගාස්තුව රුපියල් පහකින් වැඩිවේවි. රුපියල් පහක් කියන්නේ ලොකු වැඩිවීමක් මිනිස්සුන්ට'' වාසුදේව නානායක්කාර ඇමතිවරයා පවසයි.

''ආණ්ඩුවේ ඉන්න වමේය කියන පක්ෂ ඉල්ලන ඔය කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද? ඔවුන්ට ආණ්ඩුව ඇතුලේ කිසිම බලයක් නැහැ. ආණ්ඩුව ඔවුන් ගණන් ගන්නේ නැහැ'' ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පවසයි.

කොරෝනා වසංගතය උවදුරක්ව තිබියදී වෛරස් සම්බන්ධයෙන් විද්වතකු වන මහාචාර්ය තිස්ස විතාරණගෙන් උපදේශයක් ලබා නොගන්නා ආණ්ඩුව ආර්ථික හෝ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන්ගෙන් උපදෙස් ගනු ඇද්දැයි බිමල් රත්නායක ප්‍රශ්න කරයි.

හාල් සේරුවේ මිල ශත විසිපහකින් වැඩිකිරීමට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කරන කම්කරුවන්

ඡායාරූප මූලාශ්‍රය, JDS

ඡායාරූප ශීර්ෂ වැකිය, හාල් සේරුවේ මිල ශත විසිපහකින් වැඩිකිරීමට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කරන කම්කරුවන්

ශත විසිපහක මිල වැඩිකිරීම සහ 53 හර්තාලය

පැරණි වාමාංශික දේශපාලන පක්ෂ 1953 බලයේ සිටි ආණ්ඩුව සහල් මිල ශත විසිපහකින් වැඩි කළ අවස්ථාවේ ඊට එරෙහිව මහජනයා නැගී සිටි 'හර්තාලයට' නායකත්වය දෙන ලද නමුත් අද එම පක්ෂ ආණ්ඩුවේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ පුබුදු ජාගොඩ පවසයි.

''පනස්තුනේ හර්තාලය වමේ ව්‍යාපාරයේ ඓතිහාසික කඩඉමක්. අපි අදත් සාමාන්‍ය ජනයාට බලපාන පාරිභෝගික භාණ්ඩ මිල වැඩිකරනු ලැබීමට එකඟ නැහැ. නමුත් මේ අවස්ථාවේ රට තියෙන්නේ විශාල අර්බුදයක. විදේශ විනිමය හිඟයක්. ආදායම් නැහැ. ඉතින් රට තවත් දුෂ්කර අඩියකට වැටීමට ඇති අවකාශය වැඩියි. අරගලවල ස්වාභාවය තීන්දුවෙන්නේ පවතින සමාජ දේශපාලන වාතාවරණය අනුව'' ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී.වීරසිංහ පවසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක කියාසිටින්නේ වාමාංශික දේශපාලනයෙන් සමුගෙන සිටින ආණ්ඩුවට හවුල් වාමාංශික පක්ෂවලින් තෙල්මිල වැඩිකිරීම පමණක් නොව මෑත කියාවට නංවන ලද ජනතා විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කිසිදු විරෝධයක් පළ නොවූ බවය.

අද පැරණි වාමාංශික පක්ෂ සිදුකරන්නේ ''රාජපක්ෂ පාලනයේ දුෂ්ඨ ව්‍යාපෘතීන්ට රෝසපාට ගෑමක්'' යයි බිමල් රත්නායක චෝදනා කරයි.

JVP
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික බිමල් රත්නායක

''දැන් බලන්න! මේ පක්ෂ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නා. ආයෙත් 18 සංශෝධනයට පටහැනි 19 සංශෝධනයටත් ඡන්දය දුන්නා. ඊළඟට රාජපක්‍ෂවරුන් බලයට ඇවිත් 19 අහෝසිකරන විසිවෙනි සංශෝධනය ගෙනාවාම ඒකටත් ඡන්දේ දුන්නා''

''ඔවුන් අද එවැනි කිසිම අරගලයක නැහැ. කොරෝනා වසංගතය නිසා මුහුණදෙමින් සිටින අතරවාරයේ තෙල්මිල වැඩිකිරීම නිසා ඉතාම අසීරු තත්ත්වයක් උද්ගත වුනත් වාසුදේවලා මහජනතාව ඉන්න පැත්තවත් බලන්නේ නැහැ''පුබුදු ජාගොඩ සඳහන් කළේය.

එම විවේචනය සම්බන්ධයෙන් විමසීමක් කළවිට ජල සම්පාදන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර ඇමතිවරයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.

''ඔවුන් එම චෝදනාව කරපුවාවේ. ඒ ගොල්ලන් චෝදනාවක් කළාය කියල වරදක් වෙන්නේ නැහැ. වරදක් වෙන්නේ අපි ඒ චෝදනාව අනුව කටයුතු කරමින් හිටියොත්''

මෙම තෙල්මිල වැඩිකිරීම පිටුපස තවත් දරුණු අනතුරක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක පෙන්වා දෙයි.

''ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න. ඒකෙ අරමුණ තමයි තෙල් ආනයනයේ පටන් විකිණීම තෙක් හැම අංශයක්ම පෞද්ගලීකරණය''

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ කියාසිටියේ ''තෙල් පිරිපහදුව චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින'' බවය.

''ඔය කියන වමේ නායකයන් කැබිනට් මණ්ඩලය ඇතුළෙත් ඉන්නවා. ඔවුන් පක්‍ෂ නායක රැස්වීම්වලටත් සහභාගී වෙනවා. අතීත ප්‍රතිපත්ති අනුවවත් ඔවුන් ඛනිජතෙල් පනත වෙනස්කිරීමට යාම ගැන, පිරිපහදුව පෞද්ගලික අංශයට දීමට යාම ගැන නිකම්වත් ඒ ගැන ප්‍රශ්න කළ බවක් අපි දැක්කේ නැහැ''

''නැහැ! නැහැ! ඒක ඇත්තක් නොවෙයි. මේ ආණ්ඩුව කිසිම දෙයක් පෞද්ගලීකරණය කරලා නැහැ. ඒක තමයි මේ ආණ්ඩුවේ කැරැට්ටුව. පෞද්ගලීකරණය නොකිරීම'' ජල සම්පාදන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්‍රතිචාරය දැක්වීය.

වාසුදේව නානායක්කාර

ඡායාරූප මූලාශ්‍රය, VASUDEWA NANAYAKKARA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජල සම්පාදන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර

ඛනිජතෙල් පිරිපහදුව සඳහා ආයෝජනයක් මිස පෞද්ගලීකරණය කිරීමේ සැලැස්මක් දැනට නොමැති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී.වීරසිංහ පවසයි.

කවර තත්ත්වයක් යටතේ හෝ තමන් ආණ්ඩුව තුළ රැඳීසිටීම මේ මොහොතේ අවශ්‍යතාවක් බව වාසුදේව නානායක්කාර ඇමතිවරයා සඳහන් කළේය.

''වාමාංශිකයන්ට වෙන යන්න තැනක් නැහැ. වාමාංශිකයන් වෙන කොහේ යන්නද? මේ ආණ්ඩුව හැදුවේ UNP විරෝධී බලයක් හැටියටනේ. අපි වම සහ ආණ්ඩුවේ මැද එකතුවෙලා මහජනයාට සහන ක්‍රමයක් සකස්කරන්නේ කොහොමද කියල සාකච්ඡා කරනවා'' ඔහු කියා සිටියේය.

එහෙත් ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී කියල දොකොටසක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය වෙයි.

''තෙල් මිලේ දි විතරක් නොවෙයි- මේ නායකයන් බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ අතර අර්බුදයේදීත් ඔය විධියටම එකතු වුණා. ඔවුන්ගේ සටන ආණ්ඩුව රැකදීම විතරයි'' පුබුදු ජාගොඩ පවසයි.

තවත් තොරතුරු ;