'ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාඩුයි' - 'කෝප්'

ඡායාරූප මූලාශ්‍රය, AFP
කෝප් වාර්තාවලින් හෙළිදරව් කෙරෙන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ගනු ලබන කි‍්‍රයා මාර්ග පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ‘ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය පවසයි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් පසුගිය බදාදා ඉදිරිපත් කර තිබෙන නව අතුරු වාර්තාවෙන් රජයේ ආයතනවල ගැටලු සහගත ගනුදෙනු රැසක් හෙළි කර තිබේ.
රුපියල් 102ක් වැය වන පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට අළෙවි කළද තවමත් පාඩු විඳින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විනිවිදභාවයක් නොමැති ගනුදෙනු කිහිපයක් පිළිබඳව මෙවර වාර්තාවේ සඳහන් වේ.
කෝප් වාර්තාවට අනුව ප්‍රමිතියෙන් තොර ඛනිජ තෙල් නිෂ්පාදනය වෙනුවෙන් ලැබූ ඇස්තමේන්තු ගත අලාභය රුපියල් බිලියන 8.3කි.
විද්‍යාගාර පරීක්ෂණ ප්‍රමාද වීම, සන්නිවේදන දුර්වලතා, ඉහළ සහ පහළ ඔක්ටේන් අගයක් ඇති පෙට්‍රල් මිශ්‍ර වීම නිසා වූ නාස්තිය මෙම අලාභයට හේතුව බවයි කෝප් වාර්තාවේ සඳහන් වන්නේ.
එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා එළඹ ඇති ගිවිසුමේ වාරිකය දෙවරක් ඇතුළත් වී තිබීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදාළ විදේශීය සමාගමට රුපියල් කෝටි විසිහතකට ආසන්න අතිරික්ත ගෙවීමක් සිදු කර ඇත.
කෝප් විමර්ශන දිනය වන විට ආන්දෝලනාත්මක "හෙජින්" ගනුදෙනුව මගින් ඇති වූ මුළු අලාභය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑ පහකි.
ඛනිජ තෙල් සංස්ථාවට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව විනිවිද භාවයකින් තොරව සිදු කළ ගනුදෙනු පිළිබඳ කරුණු මෙවර අතුරු වාර්තාවේ සඳහන් වෙයි.
ජාතික තරුණ සේවා සභාව රුපියල් ලක්ෂ දොළහක් වැය කර නාවලපිටියේ තනන ලද වොලිබෝල් පිටියක් මාස හතකින් පසු ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීමේ තීරණයක් මත ඉවත් කිරීම, 2005 වසරේ දී පැවැත්වූ සාක් ක්‍රීඩා උළෙලේ දී භාවිත කිරීමට රුපියල් කෝටි 4.4 කට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසින් මිලට ගත් විද්‍යුත් කාල ගණක යන්ත්‍රය 2010 වසරේ සිට අක්‍රියව තිබීම වැනි පිරිමැසුම් නොවන ක්‍රියා මාර්ග පිළිබඳවත් වාර්තාව කරුණු දක්වයි.

ඡායාරූප මූලාශ්‍රය, tisrilanka.org
‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’
වාර්තාවට අනුව රතුපස්වල අත් වැසුම් නිෂ්පාදන කම්හල සඳහා පාරිසරික සහතිකය නිකුත් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය නිසි විමර්ශනයක් සිදු කොට නොමැති අතර එම කම්හලේ අයිතිකරු විසින් සපයන ලද ජල සාම්පල පමණක් පරීක්ෂා කිරීමෙන් එම සහතිකය නිකුත් කොට තිබේ.
වංචා සහ දූෂණ වැළැක්වීමට කටයුතු කරන ආයතනයක් වන ‘ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනයේ ශාන් විජේතුංග මෙම වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳ සංදේශයට තම අදහස් ඉදිරිපත් කළේය,
" අපට තියෙන ප්රශ්නය තමයි මේ වාර්තා ලබා දුන්නට මේ වාර්තා මගින් ඉදිරිපත් කරන කරුණු ගැන නැවත විමර්ශනය කරන්න යන්ත්‍රණයක් නොමැති වීම, ඒ නිසා හැමදාම වාර්තා, වාර්තාවලටම සීමා වෙනවා, ගිය අවුරුද්දේ වාර්තාවෙන් මිහින් ලංකා සමාගම සහ තෙල් සංස්ථාව මේ ආකාරයෙන්ම පාඩු ලබන බව සඳහන් වුනා, නමුත් ඒ කිසිවක් නිවැරදි කරන්න පියවර ගෙන නැහැ"
කෝප් වාර්තාවෙන් හෙළි කරන කරුණු පිළිබඳව විමර්ශනය කර ඊට වග කිව යුත්තන්ට දඬුවම් දීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවයි ‘ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනයේ ශාන් විජේතුංග පවසන්නේ.








