ගෑස් අනතුරු ; පළුදු වූ ගෑස් සිලින්ඩර නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව රසායන විද්‍යා මහාචාර්ය එස්.ඩී.එම් චින්තක කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ''පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට එක් කර ඇතැයි අනුමාන කළ හැකියි.''

ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට පැවසුවේය.

ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් නොවන බව ඔහු පවසයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ අනතුරු ගැන අදහස් පළ කරමින් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පෙන්වා දෙන්නේ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වන්නේදැයි විමසිලිමත් වීම, ප්‍රමිතියෙන් යුතු නලයක් සහ රේගුයුලේටරයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවයි.

මේ අතර ලිට්රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රේගියුලේටර්, නළ සහ උදුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිදුවීම් වලට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා රජය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.