මහ බැංකුව ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

නව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ
ඡායාරූප ශීර්ෂ වැකිය, නව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත අද (අප්‍රේල් 8) 7%කින් ඉහළ දමනු ලැබීය.

මහ බැංකුවේ නව අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 08) රැස් වූ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව 6.5% ක පැවති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.5% ක් දක්වාත් 7.5%ක පැවති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.5% ක් ලෙස ඉහළ දමා ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

ප්‍රතිපත්ති පොලි අනුපත ඉහළ දැමීමට සාපෙක්ෂව බැංකු පොලී අනුපාතද ඉහළ යනු ඇත.

උද්ධමනය පාලනය හා විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට අවශ්‍ය පෙළඹවීම ලබා දීම මෙන්ම වෙළඳපොල පොලී අනුපාත ව්‍යුහයේ නිරීක්ෂණය වූ විෂමතා නිවැරදි කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මාධ්‍යවෙත පැවසුවේ පසුගිය අවුරුදු දෙක තුළ පවතී අඩු පොලී අනුපාත, අඩු බදු ක්‍රමයෙන් වැසි ලබාගත්තේ ව්‍යාපාරික පන්තිය බවත් එහිදී ඉතිරිකිරීම් වලින් ජිවත් වූ ජනතාවට විශාල අවාසියක් සිදුවූ බවත් එහෙත් මෙමෙ පොලී ඉහළ දැමීම හරහා එසේ පීඩාවට පත්වූ ජනතාවට දැන් සහනයක් ලැබෙනු ඇති බවට පැවසිය.

ඔහි තවදුරත් පැවසුවේ ඉහළ උද්දමනයක් පවතින මෙවන් අවස්තාවක බැංකු පොලිය ඉහළ දැමීම එම ජනතාවට සහනයක් ගෙන දිය හැකි බවයි.

ආචාර්ය නන්දලාල් වීරසිංහතවදුරත් පැවසුවේ මෙමගින් රුපියලට ඇති පීඩනය මෙමගින් ලිහිල්වනු ඇති බවයි.

"ඕනෑම මහ බැංකුවක් මුදල් අච්චු ගහනවා. අලුතින් මුදල් නිකුත් කරන්න ඕනේ. ප්‍රශ්නය තියෙන්නේ නිකුත් කරන ප්‍රමාණය වැඩිවුණොත් උද්ධමනයට බලපානවා." නව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ අද සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

රජය විසින් බදු අඩු කර, රජයේ ආදයම් අඩු කර ගැනීම මෙම තත්ත්වයට හේතු වූ බවද ඔහු සඳහන් කළේය.

"අවුරුදු දෙකක් වෙච්ච දෙයක් දවස් දෙකකින් වෙනස් කරන්න බැහැ." අචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේය.

"මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතුයි. ඉතිහාසයේ වැඩිම පොලී අනුපාත ඉහළ දැමීම කළේ ඒ නිසා. මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉන්නෙත් මේ මතයේ. උද්ධමනය අඩු මට්ටමකට ගේනවා."

"ඊළඟ මාස තුනේ උද්දමනය 25%- 26 % දක්වා යන එක අඩු කරන්න බැහැ. ඊට කල් මදි. චෙච්ච දේ වෙලා ඉවරයි."

"මුදල් ප්‍රතිපත්තිය තද කළා කියලා හෙට බලාපොරොත්තු වෙන්න බැහැ උද්දමනය අඩු වෙයි කියලා." මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ පොලී අනුපාත ඉහළ දැමීමේ අරමුණ ඉල්ලුම අඩු කිරීම බවයි.

ඔහු තවදුරරටත් පැවසුවේ අප්‍රේල් 11 වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ජාලගත මාර්ගයෙන් පැවැත්වීමට තමා යෝජනා කල බවයි.

ගෙවිමට් ඇති සියලුම ණය ප්‍රතිවුහගත කරන බවද ඔහි වැඩිදුරටත් පැවසීය.