ජනාධිපතිතුමා කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නැහැ - ආණ්ඩුව අවධාරණය කරයි.

ජනාතිපති ඉල්ලා අස්වෙන්නේ නෑ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනතා විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (අප්‍රේල් 6) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අමාත්‍යවරයා පවසා සිටියේ ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය ලබා දී ඇති බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් ඉතිරි ධුර කාලසීමාවට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට හැකියාව ඇති බවයි.

එහිදී මැදිහත් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසා සිටියේ ඒ සඳහා ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ පවතින බවයි. "ඒක ව්‍යවස්ථාවේ තියෙනවා, ඒක තමුන්නාසේලා තීරණය කරන්න. විවාදය අවසානයේ තීරණයක් ගන්න." කතානායකවරයා මෙහිදී කියා සිටියේය.

මෙහිදී නැඟී සිටි ආණ්ඩුපක්ෂයේ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කළේ "ලක්ෂ්මන් කිරිඇල්ල සංවිධායක තුමාට මතක් කරනවා, ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දය දීලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නැහැ. අපි මේකට මුහුණ දෙනවා. අපි මේකට මුහුණ දෙනවා."

මන්තීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවද ජොන්සටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අවධාරණය කළේය.

"හදිසි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සලා මරලා නැහැ. ගහල නැහැ. වෙඩි තියලා නැහැ. කිසිම වෙඩිල්ලක් නැහැ. මේ තරුණයෝ නොමග යවන්න එපා. මේ විනාශය කරන්න එපා. මේ 50,000ක් 75,000 ක් බැහැලා දෙකෝටි විසි ලක්ෂයක ජනතාව විනාශ කරන්න හදන අයට විරුද්ධය නැඟිටින්න. අපි ඒ සඳහා සටන් කරනවා". අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී නැඟී සිටි සමගි ජනබලවේගය මන්ත්‍රී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ කුලී හේවායෝ සැරිසරණ බවට තොරතුරු ඇති බවයි. ඔහු විමසා සිටියේ "මිරිහානේ සිද්ධිය ගැන පරීක්ෂණ සිද්ධ වුණාද" යනුවෙනි.

"රටේ පවුලක් ආරක්ෂා කරන්න. හසිදි නීතිය දානවා. ඇඳිරි නීතිය දානවා. අද කීදෙනක් රට පැනලා තියෙනවාද, කාටවත් පැනලා යන්න බැහැ හොරකම් කරලා."

මන්ත්‍රීවරයා අදහස් දැක්වීමත් සමග කාතානායක මහින්ද යපා අබේවර්ධන කියා සිටියේ මෙම කරුණු අද පැවැත්වෙන විවාදයේදී පළ කරන ලෙසයි. එහෙත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා දිගින් දිගටම අදහස් පළ කරන්නට විය.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, "කතානායන තුමනි, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහලෝකුවට කෑගහල, ගෝඨාභය යන්නේ නැහැ කියලා කිව්වාට ගෝඨාභයට යන්න වෙලා තියෙනවා. ඒක තමා මහපොළවේ ඇත්ත. මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ ගෝඨාභය ඉන්නකන්. ගෝඨාභය මේ රටේ ජනාධිපතිවරයා විදහට ඉන්න දවසක් ගානේ, මේ රටේ ආර්ථිකය පස්සට යනවා.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ එම අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබීමට කතානායකවරයා නියෝග කළේය.

සභාව දෙවැනි වරටත් කල් තැබේ

මිනිත්තු 10 කට පමණ පසු පාර්ලිමේන්තුව යළි රැස්වූ අතර අනතුරුව සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් සභාව තුළ විරෝධාවක් ආරම්භ කළේය.

විරෝධතා පාඨ මධ්‍යයේ අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පවත්නා ප්‍රශ්නවලට විසඳුම් ලැබේද යන්න පිළිබඳවයි.

කෙසේවෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් ගෝඨා ගෝ හෝම් යනුවනේ දිගින් දිගටම සටන් පාඨ කියමින් විරෝධය දක්වන්නට විය.

එහි විරෝධය හමුවේ අද දින දෙවන වරටත් සභාව කල්තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන පියවර ගත්තේය.