දිවුරුම් දී පැය 24න් අලි සබ්රි ඉල්ලා අස්වූනේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Presidnets media Sri Lanka
මුදල් අමාත්‍යධුරයේ ඊයේ (අප්‍රේල් 04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලී සබ්රි අද (අප්‍රේල් 5) සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, ධුරයේ දිව්රුම් දී පැය 24ක් ඉක්මවා යාමටත් පෙර යි.
තත්ත්වය හැසිරවීමට සුදුසු අයෙකු වත්මන් පාර්ලිමේන්තුවෙන් පිටතින් පත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, එවැනි පත් කිරීමට හැකිවන පරිදි තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද අලි සබ්රි සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
"2022 අප්‍රේල් 03 වැනි දා මා අධිකරණ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් විට, ඉන්පසු කිසිදු තනතුරක් දැරීම මාගේ අභිප්‍රාය නොවීය. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමත්, පවතින ක්‍රමයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරත්වය පවත්වා ගැනීමත් සඳහා, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන්, සහ මාගේ ඇතැම් කැබිනට් සගයන් විසින් ඉදිරිපත් වූ ඉල්ලීම් රැසක් සැලකිල්ලට ගනිමින්, සුදුසු, පූර්ණකාලීන සහ තිරසර විසඳුමක් සොයාගන්නා තෙක් අන්තර්කාල පියවරක් ලෙස පමණක් මුදල් අමාත්‍යධුරය භාරගැනීමට මම තීරණය කළෙමි,"යනුවෙන් තම ඉල්ලා අස්වීමේ ලිපිය මහින් පැවසීය.
"කෙසේ වෙතත්, බොහෝ ආවර්ජනාවන් හා සාකච්ඡාවන්ගෙන් අනතුරුව, සහ මා දැන් දැනුවත්ව සිටින වර්තමාන තත්ත්වය ද සැලකිල්ලට ගනිමින්, මෙම පෙර නොවූ විරූ අර්බුදය මඟහරවා ගැනීම සඳහා සුදුසු අන්තර්කාල විධිවිධානයක් සූදානම් කිරීමේ දී ඔබතුමාට නව මුදල් ඇමතිවරයෙකු පත්කිරීම ද ඇතුළුව නැවුම්, ක්‍රියාශීලී සහ සාම්ප්‍රදායික නොවන පියවර ගැනීමට සිදුවේ."
"එවැනි පත්කිරීමක් පහසු කිරීම උදෙසා, වහාම ක්‍රියාත්මක වන පරිදි මම මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම මෙසේ ඉදිරිපත් කරමි. තත්ත්වය හැසිරවීමට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ දී වර්තමාන පාර්ලිමේන්තුව තුළ නොසිටින තැනැත්තෙකු පත්කිරීමට ඔබතුමා කැමැත්තේ නම්, එවැනි පත්වීමක් සිදුකිරීමට අතිගරු ජනාධිපතිතුමාට හැකිවන පරිදි මම මාගේ පාර්ලිමේන්තු අසුන භාරදීමට ද කැමැත්තෙමි."
"සිදුවූ අපහසුතාව ගැන කණගාටු වන අතරම, මා සෑමවිටම ක්‍රියාකර ඇත්තේ රටේ යහපත වෙනුවෙන්බව මා විශ්වාස කරන අතර, මෙම තීරණාත්මක අවස්ථාවේ දී වත්මන් මූල්‍ය අර්බුදය සහ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා රටට ස්ථාවරත්වය අවශ්‍ය වේ."
"අපගේ දේශයට ආදරය කරන්නන් මහපොළොවේ යථාර්ථයන් ද, දැවැන්ත අභියෝගයන් ද අවබෝධකර ගෙන, වත්මන් අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමෙන් තොරව වගකීමෙන් හා කඩිසරව ක්‍රියාකරනු ඇතැ යි යන්න මාගේ බලවත් අපේක්ෂාව වේ," ඔහු පැවසීය.
ඊයේ දිනයේ අමාත්‍යවරු සිව්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.
ඒ අනුව මහාචාර්ය ජී. එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් ජනපති ඉදිරියේ ධුරයේ දිවුරුම් දෙන ලදී.
ආණ්ඩුවේ අමාත්‍යවරුගේ ඉල්ලා අස්වීම් නිත්‍යානුකූල ද?
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව මේ වන විට ගැටලුකාරී වාතාවරණයක් මතුව තිබේ. ඒ, මොවුන් සැබවින්ම ඉල්ලා අස්වුණා ද යන අවිනිශ්චිතතාව මතුවීම හේතුවෙනි.
මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නීත්‍යානුකූල නොවන බව යි.
තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව පෞද්ගලිකව ප්‍රකාශ කිරීමෙන් එය නීත්‍යානුකූල වන්නේ නැතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.
එහෙත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම් ජනාධිපතිවරයා පිළිගත් බව යි.
ආණ්ඩුවේ බහුතරය අහිමිවෙයි ද ?
අද දින පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දී තෙපාර්ශවයක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කෙරුණි.
ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනෙක්, ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල 15 දෙනෙක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ මෙයට පෙර ස්වාදීනව කටයුතුකරන බවට ප්‍රකාශ කළ විජේදාස රාජපක්ෂ ඇතුළත් වෙති.
මින් පෙර රිෂාර්ඩ් බදුර්දීන්ගේ නායකත්වය දරන අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් හතරදෙනෙකුත් සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ ගේ සහය ලබාගෙන 156 දෙනෙකු ගේ සහය ආණ්ඩු පක්ෂය ලබාගත්තද නියෝජනය කළද පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුයේ මන්ත්‍රී ආසන154කි
මේ වන විට මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනෙකු ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහළ බස ඇත.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවධාරණය කළේ තමන්ට තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව යි.
"විපක්ෂයට බහුතරය ඇත්නම් ජනාධිපතිවරයාට දන්වා නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි" බව ද ඔහු කියා සිටියේ ය.
නැතහොත්, යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා හැකි බව ද ඔහු පැවසීය.
එහෙත් ආණ්ඩුවට බහුතරය ඇති බැවින් එවැනි අවශ්‍යතාවක් නැතැ යි ඔහු සඳහන් කළේ ය.
"සාමකාමීව සිටීමට විරෝධාකරුවන් දිරිගන්වනවා"
ඇමෙරිකානු තානාපති ජුලි චුන්ග් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ තීරණාත්මක ස්ථානයක සිටින බැවින් සෑම හඬක්ම වැදගත් වන බවයි.
හඬ සහ සහයෝගීතාවය භාවිතා කරමින් වෙනසක් වෙනුවෙන් පෙනී සිටින, විරෝධතාකරුවන්ට සාමකාමීව සිටීන ලෙසත් තමා දිරිගන්වන බවද ඇය පැවසුවාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නීරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි.
දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රි ලංකාවේ මහජන නොසන්සුන්තාව වර්ධනය වන බැවින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් "ඉතා සමීපව" නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කළේය.
"මේ මස අගදී අලුතින් පත් කරන ලද මුදල් අමාත්‍යවරයා වොෂින්ටනයටනයේ සංචාරය කරන අතරතුර සාකච්ඡා කිරීමට IMF කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වේ," IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂාහිරෝ හිසාකි ඊමේල් ප්‍රකාශයක් නිකුත් කරමින් රොයිටර් පුවත් සේවය වෙත පැවසීය.
එහෙත් මේ වන විට පත්වූ අලුත් මුදල් අමාත්‍යවරයාද අස්වී ඇති පසුබිමක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කෙසේ කටයුතු කරනු ඇතිදැයි පහදිනි නොමැත.
මේ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගලද තම ධුරයෙන් ඉල්ලා අස්වූ බවට ඔහු මාධ්‍යවෙත පැවසීය.








