ඉන්දියාවේ මුස්ලිම් විරෝධී සංගීත රැල්ලේ නැග්ම

Sandeep Chaturvedi
ඡායාරූප ශීර්ෂ වැකිය, චතුර්වේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ භක්ති ගීත ගායකයෙකු ලෙස ය

විසිහය හැවිරිදි සන්දීප් චතුර්වේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යා නගරයේ කුඩා චිත්‍රාගාරයක සිය නව ගීතය පටිගත කිරීමට සූදානම් වෙමින් සිටියි.

මෙම ගීතයෙන් කියැවෙන්නේ හින්දු භක්තිකයන් විසින් වන්දනාමාන කිරීමට අයිතිය ඉල්ලා සිටීම නිසා ආන්දෝලනයට ලක්වූ මුස්ලිම් පල්ලියක් ගැන ය. එය මුස්ලිම්වරුන්ට එරෙහි උපහාසයන්ගෙන් පිරී තිබේ. නමුත් චතුර්වේදී පවසන්නේ මෙම ගීතය නිසා ඔහුට නැවතත් සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිශ්ටවිය හැකි බව යි.

දක්ෂිණාංශික හින්දූන් මුස්ලිම් වර්ගිකයින්ට එරෙහිව වෛරය වපුරන අන්දමේ ගීත ප්‍රචාරයවීමේ රැල්ලක් YouTube සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල ඇරඹී තිබේ. චතුර්වේදී මේ කරන්නේ ද ඒ රැල්ලට එක්වීම යි.

මේවායේ පද රචනයන් අපවාදාත්මක හෝ තර්ජනාත්මක ය. හින්දු භක්තිකයන් මුස්ලිම්වරුන් අතින් සියවස් ගණනාවක් පුරාවට දුක් විඳ ඇති බවත්, මේ උදාව ඇත්තේ ඒවාට "ආපිට සැලකීමේ" කාලය බවත් ඒවායේ කියැවේ.

ලේඛකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන නිලන්ජන් මුඛෝපාධ්‍යායායි පවසන්නේ මෙවැනි ගීත ආදායම් මාර්ගයක්වීම හැරුණුකොට ගායක ගායිකාවන්ට ප්‍රසිද්ධියක් ලැබීමට ද මාර්ගයක් වන බව යි. නමුත් ඔහුට අනුව නම් මෙය සංගීතය නොවේ. "මේක යුද ගර්ජනාවක්. ඒක හරියට යුද්ධයක් දිනන්න සංගීතය පාවිච්චි කරනවා වගේ. මේක සංගීතය අවභාවිතයක්. මේක අවුරුදු ගාණක ඉඳන් සිද්ධ වෙනවා."

Hate music
ඡායාරූප ශීර්ෂ වැකිය, චතුර්වේදී ඔහුගේ ගීත පටිගත කරන්නේ තාවකාලික ස්ටුඩියෝවක ය

චතුර්වේදී මීට දශකයකට පමණ පෙර භක්ති ගීත ගායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නමුත්, වසර කිහිපයකට පසු "හින්දු ආගම සහ ජාතිකවාදය" පිළිබඳ ගීත රචනා කිරීමට තීරණය කිරීමත් සමඟ ඔහුගේ ගමන වෙනස්විය. සිය අදහස වන්නේ සිය ප්‍රතිරූපය වෙනස්කර ගැනීම බව ඔහු පවසයි.

2016 දී ඔහු විසින් නිෂ්පාදනය කරන ලද සංගීත වීඩියෝවක් එක රැයකින් දක්ෂිණාංශික හින්දු ජාතිකවාදීන් අතර ප්‍රසිද්ධවීම ඔහුට අහඹු වාසනාවක් ගෙන ආවේ ය.

එම ගීතයේ පද රචනාව මෙහි ලියා දැක්වීමට නොහැකි තරම් ප්‍රචණ්ඩකාරී ය. එහෙත් ගීතයේ තානය සෘජු ය: හින්දු ජාතිකවාදය නැගී එන දිනෙක මුස්ලිම් ප්‍රජාවට විය හැකි දේ ගැන අනතුරු ඇඟවීමකි ඒ.

චතුර්වේදීගේ ගීතය මිලියන ගණනක් නරඹා තිබූ බවත්, එනමුත් පැමිණිලි දහස් ගණනක් නිසා ඔහුගේ YouTube නාලිකාව අත්හිටුවනු ලැබූ බවත් ඔහු පවසයි. සිය ගීතය "අනුචිත අන්තර්ගතයක්" යනුවෙන් වාර්තාකොට ඉවත් කරවීම ගැන ඔහු මුස්ලිම්වරුන්ට දොස් පවරයි.

ඔහු "මිලියන ගණනක සබ්ස්ක්‍රයිබර්ලා" අහිමිවීම ගැන අවලාද නැගූ නමුත් YouTube වෙතින් ඉපැයූ මුදල් ප්‍රමාණය හෙළි කිරීම ප්‍රතික්ෂේප කරයි. ඔහු පැවසුවේ සංගීත වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා ඔහුට ඉන්දියානු රුපියල් 20 000ක් පමණ වැයවන බව යි.

"මම යූටියුබ්වලින් ලොකු ගාණක් හෙව්වේ නැහැ. වඩා වැදගත් දේ තමයි ජාතිකවාදී-විප්ලවීය ගායකයෙකු ලෙස මට ලැබුණු පිළිගැනීම," ඔහු අවධාරණය කරයි.

මේ සිදුවීමෙන් පසු චතුර්වේදී නව YouTube නාලිකාවක් නිර්මාණය කර ඇත. නමුත් ඔහු upload කළ සමහර වීඩියෝවල පිළිබඳ නැරඹුම් සංඛ්‍යාව ඉහළ අගයක නොපවතියි. ඔහුගේ බලාපොරොත්තුව නව ගීතයෙන් එය නැවත පෙර මට්ටමට ගෙනඒම යි.

ඔහුගේ සංගීතය මුස්ලිම්වරුන් ඉලක්ක කරන බවට චෝදනා ලද නමුත් චතුර්වේදී ඊට නිදහසට කරුණු නොපවසයි. "මට අයිති දේ දෙන්න කියලා මම අත්දෙක එකතු කරලා වැඳලා ආයාචනා කළොත් ඕගොල්ලෝ ඒකට එකඟ වෙනව ද? ඕගොල්ලෝ එහෙම කරන්නේ නෑ. ඒ නිසා අපිට පොඩ්ඩක් අවුස්සලා ගන්න වෙනවා, එහෙම නේද?"

උපේන්ද්‍ර රානා දිල්ලියට නුදුරු දාද්‍රි ප්‍රදේශයේ සිට මෙවැනිම සංගීතය නිර්මාණය කරන තවත් නිර්මාණකරුවෙකි.

ඔහුගේ මෙහෙවර වන්නේ ඉතිහාසය "නිවැරදි කිරීම" වන අතර හින්දු රණශූරයන් සඳහා වන උදාන ගී වැනිවූ ඔහුගේ ගීත මඟින් මුස්ලිම් පාලකයන් දුෂ්ටයන් ලෙස නිරූපණය කරයි.

"ගොඩක් ඇත්ත හංගන ගමන් අපිට උගන්නලා තියෙන්නේ බොරු," ඔහු පාසල්වල ඉගැන්වූ ඉතිහාසය විෂය සිහිපත් කරමින් කියා සිටියි.

Hate music
ඡායාරූප ශීර්ෂ වැකිය, උපේන්ද්‍ර රානා හට YouTube සබ්ස්ක්‍රයිබර්ලා සියදහස් ගණනක් සිටියි

තමා YouTube වෙත උඩුගත කරන වීඩියෝවලින් ස්ථාවර ආදායමක් ලැබෙන බව රානා කියයි.

"අපි ඉන්දියාවට විදේශ විනිමය ගේනවා. YouTube එක ගෙවන්නේ ඩොලර්වලින්," ඔහු සිනහවකින් යුතුව, හින්දු රණශූරයන්ගේ පින්තූර සහ ඡායාරූප සමඟ බිත්තියේ එල්ලා ඇති YouTube රිදී සම්මානය වෙත ඇඟිල්ල දිගුකර පෙන්වයි.

රානා භක්ති ගීත සහ ප්‍රේම ගීතවල සිට "ඓතිහාසික" උපරිතානයන් සහිත ගීතවලට මාරුවූ දා පටන් දාද්‍රිහි එක්තරා මට්ටමේ තරුවක් බවට පත්ව සිටියි. ඔහුට YouTube සබ්ස්ක්‍රයිබර්ලා 400 000කට ආසන්න පිරිසක් සිටින අතර ඔහුගේ බොහෝ ගීත මිලියන ගණනක් නරඹා ඇත.

සංගීත වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා තමාට වැයවන්නේ ඉන්දියානු රුපියල් 8 000ක් පමණක් බව රානා පවසයි. ඔහුට වීඩියෝ පටිගත කිරීම සහ සංස්කරණය කිරීම සඳහා ඔහුගේම ස්ටුඩියෝවක් ද, කැමරා ශිල්පියෙකු සහ සංස්කාරකවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද සිටියි.

මුඛෝපාධ්‍යායි පවසන්නේ සුළු ජාතීන්ට එරෙහිව සංගීතය ආයුධයක් කරගැනීමේ රැල්ල අතීත සිදුවීම් සිහිපත් කරවන බව යි. 1989 දී දක්ෂිණාංශික විශ්ව හින්දු පරිෂදය (VHP) විසින් අයෝධ්‍යාහි දී සංවිධානය කෙරුණු මතභේදාත්මක මුල්ගල් තැබීමේ වැඩසටහනින් පසු ඇරඹුණු රැල්ල 1992 දී බාබ්රි මස්ජිදය කඩා දැමීමෙන් අවසන් වූ ආකාරය ඔහු සිහිපත් කරයි.

"ඊට ටික කාලෙකට කලින් තමයි ඕඩියෝ ටේප් කර්මාන්තය පටන්ගත්තේ. ඒවායේ ආගමික ගීත සහ රාම් ජන්මභූමි ප්‍රශ්නයට [අයෝධ්‍යාව රාම දෙවිඳුන්ගේ උපන් ස්ථානය බව හින්දු භක්තිකයෝ විශ්වාස කරති] අදාළ ප්‍රකෝපකාරී සටන් පාඨ අඩංගු වුණ. මිනිසුන් බලමුළු ගන්වන්න මේ කැසට් පටි පෙරහැරවල එහෙම වාදනය කළා."

ඉන් දශක තුනකට පසුව, එය නැවතත් ඇරඹී තිබේ.

"ඔබට ඉන්දියාවේ ජීවත්වීමට අවශ්‍ය නම්, වන්දේ මාතරම් ("මෑණියනි, මම ඔබට වන්දනා කරමි") කීමට ඉගෙනගන්න... සහ ඔබේ සීමාවන් තුළ ජීවත්වීමට ඉගෙනගන්න" හෝ, "හින්දුවරුන් දුර්වලයන් ලෙස හිතන එක තමයි සතුරා කරන වැරැද්ද" යනුවෙන් රචනාකර ඇති එම ගීතවලින් ඉලක්ක කරන්නේ කුමන ආගම ද යන්න ඉතා පැහැදිලි ය.

දක්ෂිණාංශික සංවිධානයන්ට සිය සාමාජිකයන් "බලමුළු ගැන්වීමට" සඳහා ද මෙම ගීත උපකාර වී ඇත.

Hate music
ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ ළාබාල තරුණයින් මෙම "ජාතිකවාදී" ගීත නරඹයි

දක්ෂිණාංශික 'හින්දු රක්ෂා දාල්' කණ්ඩායමේ ප්‍රධානියා වන පිංකි චෞද්‍රි පවසන්නේ "මේ ගීත තරුණයන්ගේ උද්‍යෝගය සහ චිත්ත ධෛර්යය ඉහළ නංවන නිසා එයාලා ඒවාට කැමතියි" යනුවෙනි. එවැනි ගීත යෞවනයන් අතර දැනුවත්භාවය ඇති කිරීමට උපකාරී වන බවට ඔහු තර්ක කරයි.

" මේ ගීත අහද්දි මට ගැම්මක් දැනෙනවා. අතීතයේ දී අපට කරපු දේවල් ගැනත්, වර්තමානයෙ දී අපි ඇවිල්ලා ඉන්න තැන ගැනත් ඒවා මට මතක් කරලා දෙනවා," විජේ යාදව් පවසයි.

ඉන්දියාවේ ජාතික ලලිත කලා ඇකඩමියේ දැනට අධ්‍යාපනය හදාරන චිත්‍ර ශිල්පියෙකු වන 23-හැවිරිදි යාදව් පවසන්නේ තමන් මෙවැනි සංගීතයට සවන්දීමට ප්‍රිය කරන බව යි.

අප්‍රේල් මාසයේ දී ප්‍රාන්ත කිහිපයක පැවති හින්දු උත්සවවල දී ප්‍රචණ්ඩ ගැටුම් වාර්තාවීම, යාදව් පවසන "ගැම්ම" සඳහා උදාහරණ බවට සැලකිය හැකි ය.

Hate music
ඡායාරූප ශීර්ෂ වැකිය, වීඩියෝ පටිගත කිරීමට සහ සංස්කරණය කිරීමට රානාට ඔහුගේම ස්ටුඩියෝවක් ඇත

මෙම සිද්ධීන් අතරතුරේ හින්දු භක්තිකයන් මුස්ලිම් ආධිපත්‍යය ඇති ප්‍රදේශවලට ආසන්නයෙන් ආගමික පෙරහැර දියත් කළ අතර, ශබ්ද විකාශන යන්ත්‍ර හරහා අපහාසාත්මක ගීත වාදනය විය.

මෙම ඇතැම් ගැටුම්වලට 2016 වසරේ චතුර්වේදීගේ ගීතය ඇතුළු තවත් ප්‍රචණ්ඩකාරී ගීත හේතුවූයේයැ යි චෝදනා එල්ලවී තිබේ.

චතුර්වේදී ‍එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

"මම මගේ ගීත හරහා දැනුවත් කිරීමක් කරන්න උත්සාහ කරනවා. ආදරයෙන් කිසිවක් ලැබෙන්නේ නැහැ. අපි සටන්කර අපේ දේ උදුරාගත යුතු යි."