බිල්කිස් බානෝ: "මාව දුෂණය කරපු අය නිදහස්ව යනකොට ඒ වේදනාව මම අත්විඳිනවා"

Bilkis Bano with her husband Yakub Rasool and one of their children
ඡායාරූප ශීර්ෂ වැකිය, බිල්කිස් බානෝ පවසන්නේ ඇයට වදහිංසා කළ ඔවුන්ට තම අපරාධයේ බරපතලකම තේරුම් ගැනීමට සැලැස්වීම අවශ්‍ය බවයි

2002 වසරේදී බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇති වූ මුස්ලිම් විරෝධී කෝලාහල අතරතුර හින්දු මැර පිරිසක් විසින් සමූහ දූෂණය කිරීමට ලක් කළ බිල්කිස් බානෝ පිළිබඳව යළිත් කතාබහක් ඇති වී තිබේ.

මේ හින්දු මැර පිරිස විසින් ඇගේ පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු ද ඇය ඉදිරිපිටදී ම ඝාතනය කර තිබුණි.

ඇය පිළිබඳව යළිත් කතාබහක් ඇතිවී තිබෙන්නේ මෙම සිදුවීමේදී ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි වැරදිකරුවන් 11 දෙනෙකු පසුගියදා බන්ධනාගාරයෙන් නිදහස ලබා 'වීරයන් සේ පිළිගැනීමක් ලබමින්' පිටව යාමත් සමඟ ය.

මෙම පිරිස පිළිගැනීමට විශාල පිරිසක් ගෝද්‍රා බන්ධනාගාරයෙන් පිටත පෙළ ගැසී සිටි අතර, ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ට රසකැවිලි ලබා දී ඔවුන්ගේ පාද ස්පර්ශ කරමින් ගෞරවය දක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා විශාල පිරිසක් අතර හුවමාරු වෙමින් තිබේ.

පසුගිය බදාදා බිල්කිස් බානෝ, මෙම පිරිස නිදහස් කිරීමේ තීරණය 'අයුක්ති සහගත' ලෙස ප්‍රකාශ කළ අතර, එය යුක්තිය පිළිබඳ ඇගේ විශ්වාසය 'බිඳ දැමූ' බව ද කියා සිටියා ය.

"මගේ පවුල සහ ජීවිතයට මෙම විනාශය ගෙන ආ වැරදිකරුවන් නිදහස් වූ බවට ලැබුණු ආරංචිය නිසා ඇති වූයේ දැඩි කම්පනයක්. මම තවමත් ඒ ගැන කම්පනයෙන් නිහඬවී සිටිනවා"යි ඇය පැවසුවා ය.

"ගැහැනියකට ලැබෙන යුක්තියේ අවසානය වන්නේ මෙය ද? මම අපේ රටේ ඉහළම උසාවි විශ්වාස කළෙමි. මම යුක්තිය පසිඳලන ක්‍රමය විශ්වාස කළෙමි. මම මට සිදුවූ දෙයෙහි කම්පනය සමඟ ජීවත් වීමට ඉතා සෙමින් නමුත් ඉගෙන ගත්තෙමි. මෙම වැරදිකරුවන් නිදහස් කිරීම මඟින් මගේ ජීවිතයේ සැනසීම මෙන්ම යුක්තිය කෙරෙහි වූ මගේ විශ්වාසය ද උදුරාගන තිබේ." යි පවසන ඇය, "බියෙන් සහ සැකයෙන් තොරව නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යළිත් මට ලබාදෙන්න" යි ද ගුජරාට් රජයෙන් ඉල්ලා සිටියා ය.

Presentational grey line

ඇතැම් පාඨකයන් සංවේදී විය හැකි අන්දමේ තොරතුරු මෙම ලිපියෙහි අඩංගු ය.

Presentational grey line

පසුගිය සඳුදා ගුජරාට් රජය විසින් මෙම වරදකරුවන් නිදහස් කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉන්දියාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සැමරීමට සමගාමීව ය.

මෙම සිරකරුවන්ට සමාව දීම පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, 2008 වර්ෂයේදී නඩු විභාගයක් මඟින් ප්‍රථම වරට වරදකරුවන් වූ මෙම පුද්ගලයින්, වසර 14කට වැඩි කාලයක් සිරගතව සිටි බැවින් සහ ඔවුන්ගේ වයස සහ සිරගෙදර හැසිරීම වැනි වෙනත් සාධක ද සලකා බැලීමෙන් පසුව, රජයේ මණ්ඩලයක් විසින් ඔවුන් සමාව ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත්‍ර අනුමත කළ බවයි.

ජාතික වශයෙන් ද බලයේ සිටින පක්ෂය වන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) ගුජරාටයේ පාලනය හිමි අතර එහි පාලක පක්ෂයේ සාමාජිකයින් දෙදෙනකු එම මණ්ඩලයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් මෙම පියවර බොහෝ ඉන්දියානුවන්ගේ කෝපයට හේතු වී තිබේ.

බ්‍රහස්පතින්දා ඔවුන්ගෙන් එක් සාමාජිකයකු පැවසුවේ "වැරදිකරුවන් බ්‍රාහ්මණයන් වූ අතර ඔවුන්ට හොඳ සංස්කාර [ප්‍රතිපත්ති හෝ සදාචාරය] ඇති අය" බවයි.

වරදකරුවන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාව තුළ විශාල කෝපයක් ඇති කර තිබේ. එමෙන්ම එය විරුද්ධ පක්ෂ, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් රැසකගේ ද විවේචනයට ලක් වී ඇති අතර, ඔවුන් පවසන්නේ මෙම තීරණය සදාචාර විරෝධී මෙන් ම ඉන්දියාවේ සුළුතර මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීමක් පෙන්වන අවස්ථාවක් ලෙසටයි. 2014 දී, භාරතීය ජනතා පක්ෂය මධ්‍යම රජයේ බලය පිහිටවූ දා සිට මෙම ප්‍රජාවට එල්ල වන ප්‍රහාර දැඩි සේ ඉහළ ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 6,000 කට අධික ක්‍රියාකාරීන්, ඉතිහාසඥයින් සහ පුරවැසියන් ප්‍රකාශයක් නිකුත් කරමින්, වැරදිකරුවන් නියමිත කාලයට කලින් නිදහස් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලකරමින්, එය "යුක්තියේ බරපතල හිඩැසක්" ලෙස විස්තර කළහ.

මෙම වරදකරුවන්ට නිදහස ලබා දීම මධ්‍යම රජය මෙන් ම ගුජරාට් ප්‍රාන්ත රජයත් පෙර නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට ඉඳුරා ම පටහැනි බව ද බොහෝ දෙනෙකු විසින් පෙන්වා දී තිබේ.

මධ්‍යම රජය සහ ගුජරාට් ප්‍රාන්ත රජය පෙර නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව, ස්ත්‍රී දූෂණය සහ මනුෂ්‍ය ඝාතනය යන චෝදනාවලට වැරදිකරුවන් වූ පිරිස් වෙත මෙලෙස සමාව දීමේ ඉඩක් ඇත්තේ නැත. මෙම අපරාධවල ජීවිතාන්තය දක්වා ලබාදෙන සිර දඬුවම සාමාන්‍යයෙන් අවසන් වන්නේ වරදකරුවන්ගේ මරණයෙනි.

මෙම සිදුවීමෙන් සෘජුවම සහ දැඩි ලෙසටම අගතියට පත්ව ඇත්තේ බිල්කිස් බානෝ සහ ඇගේ පවුලයි.

අපරාධයේ සාහසිකත්වය සහ එයට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් ඔවුනට දීර්ඝ කාලයක් මුළුල්ලේ ගෙනයාමට සිදු වූ සටන දෙස බැලීමේදී, මෙම පවුලේ සාමාජිකයන්ගේ කෝපය සහ කලකිරීම කෙතරම් සාධාරණ ද යන්න වටහා ගත හැක.

The riots began after a fire on a passenger train in Godhra town killed 60 Hindu pilgrims

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝද්‍රා නගරයේ මගී දුම්රියක ඇති වූ ගින්නකින් හින්දු බැතිමතුන් 60 දෙනෙකු මිය යාමෙන් පසු කෝලාහල ආරම්භ විය.

බිල්කිස් බානෝට සහ ඇගේ පවුලේ අයට එල්ල වූ ප්‍රහාරය, ගෝද්‍රා නගරයේ මගී දුම්රියක ඇති වූ ගින්නකින් හින්දු බැතිමතුන් 60 දෙනෙකු මිය යාමෙන් පසු ආරම්භ වූ මුස්ලිම් විරෝධී කෝලාහල අතරතුර සිදුවූ අතිශයෙන් ම බිහිසුණු අපරාධවලින් එකකි.

මෙම ගින්න මුස්ලිම්වරු පිරිසක් විසින් ඇති කළ බවට චෝදනා කළ හින්දු කලහකාරී කල්ලි, ආසන්නයේ වූ මුස්ලිම් ගම්මානවලට පහර දීම ආරම්භ කළහ. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තෙදිනක් තුළ දහසකට අධික පිරිසක් මරණයට පත් වූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම්වරු ය.

මෙම සංහාරය වැළක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් එවකට ගුජරාට්හී මහ ඇමතිව සිටි නරේන්ද්‍ර මෝඩිව දැඩි ලෙස විවේචනයට ලක් වූයේ ය. එහෙත් තමන් අතින් කිසිදු වරදක් වී ඇති බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඔහු, මේ දක්වා ම මෙම කෝලාහල සම්බන්ධයෙන් සමාව ඉල්ලා ද නැත.

ඔහුට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2013 වසරේදී කියා සිටි නමුත්, මෙම කෝලාහල ඔහුගේ අනු දැනුම මත සිදුවූ බවට, ප්‍රති මතධාරීන් දිගින් දිගටම ඔහුට දොස් පවරමින් සිටිති.

ගත වූ වසර කිහිපය පුරා ම මෙම කෝලාහලවලට සම්බන්ධ වූ පුද්ගලයන් රැසක් අධිකරණය විසින් වරදකරුවන් කර ඇති නමුත් ඇතැම් සමහර ඉහළ පෙළේ චූදිතයන් ඇප ලබා හෝ ඉහළ උසාවි මගින් නිදොස් කර තිබේ.

මේ චෝදනා හිටපු අමාත්‍යවරියක් මෙන් ම මෝදිගේ සහායිකාවක ද වන මායා කොඩ්නානිට ද එල්ල වූ අතර, ඇයව නඩු විභාගයේදී හැඳින්වූයේ 'කෝලාහලයේ නායිකාව' ලෙසිනි.

එමෙන් ම මේ වනවිට බිල්කිස් බානෝට අපරාධ සිදු කළ පිරිස ද නිදහස ලබා තිබේ.

බීබීසී පුවත් සේවයේ දිල්ලි හී වාර්තාකාරිනියක වන ගීතා පාන්ඩේට බිල්කිස් බානෝ මුණගැසෙන්නේ 2017 වසරේ මැයි මාසයේදී දිල්ලියේ ආරක්ෂිත නිවසකදී ය. ඒ වන විට බොම්බේ මහාධිකරණය විසින් ඇයගේ නඩුවේ වරදකරුවන් වූ 11 දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර දින කිහිපයක් ගත වී තිබිණි.

එහිදී ඉතා අසීරුවෙන් කඳුළු මැඩ ගනිමින් ඇය ප්‍රහාරයේ බිහිසුණු බව විස්තර කළා ය.

For three days in 2002, Hindu mobs had a free run in Gujarat

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2002 දී දින තුනක් හින්දු මැර කල්ලි ගුජරාට් ප්‍රාන්තයේ දරුණු ලෙස හැසිරුණි

දුම්රිය ගින්න ඇති වූ පසු දින උදෑසන එවකට 19 හැවිරිදි දෙමස් ගැබිනියක වූ බිල්කිස් බානෝ සහ ඇගේ තුන් හැවිරිදි දියණිය සමඟ ගෝද්‍රා අසල පිහිටි රන්දික්පූර් නම් ගම්මානයේ වාසය කරන තම දෙමාපියන් බැලීමට පැමිණියා ය.

"මගේ නැන්දා සහ ඇගේ දරුවන් කලබලයෙන් දුවගෙන එන විට මම මුළුතැන්ගෙයට වී දවල් ආහාර පිළියෙළ කරමින් සිටියා. ඔවුන්ගේ නිවෙස් ගිනි තබා ඇති බව ප්‍රකාශ කළ ඒ පිරිස, කලහකාරීන් නිවෙස් ගිනි තබමින් පැමිණෙන බැවින් අප ඉක්මනින්ම පැන යා යුතු බව කියා සිටියා.. අපි ඇඳිවත පිටින් ම නිවෙසින් පිට වුණා. අපිට සෙරෙප්පු දමාගන්න තරම්වත් වෙලාවක් තිබුණේ නැහැ." යි ඇය කියා සිටියා ය.

බිල්කිස් බානෝ සිටියේ තවත් මුස්ලිම් ජාතිකයින් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක ය. එය ඇගේ දියණිය, ඇගේ මව, ගැබිනි ඥාති සහෝදරියක්, ඇගේ බාල සහෝදර සහෝදරියන්, ලේලියන්, බෑණනුවන් සහ වැඩිහිටි පිරිමින් දෙදෙනෙකුගෙන් එම කණ්ඩායම සමන්විත විය.

ඊළඟ දින කිහිපය පුරා ම ඔවුන් හට මුස්ලිම් පල්ලිවල රැකවරණය පතමින් මෙන් ම හින්දු අසල්වැසියන්ගේ උපකාරයෙන් දිවි රැකගනිමින් ගමින් ගමට ගමන් කිරීමට සිදු විය.

මාර්තු 3 වෙනිදා උදෑසන, ආරක්ෂිත යැයි ඔවුන් විසින් විශ්වාස කළ ගමකට යන අතරවාරයේදී පිරිමින් පිරිසක් විසින් ඔවුන්ගේ ගමන නවතාලනු ලැබිණි.

"ඔවුන් අපට කඩුවලින් සහ මුගුරුවලින් පහර දුන්නා. එක් අයෙක් මගේ දුවව මගේ ඔඩොක්කුවෙන් උදුරා බිමට විසි කළා. ඇගේ හිස ගලක වැදුණා."

ඇයට මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස ඇගේ අසල්වාසීන් වූ අතර, ඇය කුඩා දැරියක ලෙස හැදෙන වැඩෙන සමයේ නිතර දුටු පිරිමි පුද්ගලයන් වූහ. ඇගේ ඇඳුම් ඉරා දැමුණු අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ඇයව දූෂණය කළේ එසේ නොකරන ලෙසට ඇය කළ ආයාචනා නොසලකා හරිමිනි.

ඇය සමඟ පලා යමින් සිටි ඇගේ එක් ඥාති සොයුරියක් ඊට දෙදිනකට පෙර දරුවෙකු ප්‍රසූත කර තිබූ අතර, ඇයව දූෂණය කර ඝාතනය කෙරිණි. ඇගේ අලුත උපන් බිළිඳාද මරා දැමීමට මෙම අපරාධකරුවන් පිරිස කටයුතු කළහ.

බිල්කිස් බානෝගේ දිවි ගැලවෙන්නේ, මෙම ප්‍රහාරය අතරතුරදී සිහි මුර්ජා වූ පසුව ඇය මියගියා යයි සිතූ ප්‍රහාරකයන් ඇයව අතහැර දැමූ හෙයිනි. බිල්කිස් බානෝ හැරුණු කොට මෙම බිහිසුණු සංහාරයෙන් දිවි ගලවා ගත්තේ වයස අවුරුදු හතක සහ හතරක පසු වූ පිරිමි ළමුන් දෙදෙනෙකු පමණි.

Narendra Modi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝලාහල ඇති වන විට මෝදි ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා විය

මෙම අපරාධවලට යුක්තිය ඉටුකරගැනීම සඳහා බිල්කිස් බානෝ ගමන් කළ මාවත, ඉතා දිගු සහ දුෂ්කර එකක් විය. ඇතැම් පොලිස් නිලධාරින් මෙන් ම රාජ්‍ය නිලධාරීන් ද ඇයව බිය ගැන්වීමට උත්සාහ කළ අතර, අපරාධයේ සාක්ෂි විනාශ කෙරිණි. පශ්චාත් මරණ පරීක්‍ෂණයකින්වත් තොරව, මියගිය අය මිහිදන් කළ බවත් ලේඛනගත වී තිබේ. ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරු, ඇය දූෂණයට ලක්ව නැති බව පැවසූ අතර ඇයට මරණ ද තර්ජන එල්ල වන්නට විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමු වරට අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ 2004 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවේ විමර්ශන ෆෙඩරල් විමර්ශකයන්ට භාර දීමෙන් අනතුරුව ය. ගුජරාටයේ උසාවිවලින් ඇයට යුක්තිය ඉටු කළ නොහැකිය යන්නට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වූ අතර, ඇගේ නඩුව මුම්බායි හී අධිකරණයක් වෙත මාරු කෙරිණි.

අපරාධයට යුක්තිය ඉටු කරගැනීම සඳහා වූ ඇගේ සටන, ඇගේ පවුලේ පැවැත්මට ද බාධාවක් විය. ඔවුන්ට පදිංචිව සිටි නිවෙස් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් හැර යාමට සිදු විය.

"අපේ නිවසට යාමට නො හැකි තරමට අපි තාමත් බියෙන් පසුවනවා. පොලිසිය සහ ප්‍රාන්ත පරිපාලනය සෑම විටෙකම පාහේ අපිට මෙම අපරාධය කළ පිරිසට උදව් කළා. ගුජරාටයේ සිටින සෑම මොහොතකම, අපි මුහුණු වසාගෙනයි සිටින්නේ. කිසිම දිනෙක අපි අපේ ලිපිනය කිසිවෙකුටවත් ලබා දෙන්නේ නැහැ" යි ඇගේ සැමියා පවසා සිටියේ ය.

නඩු විභාගය අතරතුරදී බිල්කිස් බානෝ විසින්, ඇයට සහ ඇගේ පිරිසට මෙම අපරාධය සිදුකළ අයට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය.

එහෙත් මුම්බායි හි මහාධිකරණය ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමෙන් පසුව ඇය මා සමඟ පැවසුවේ, ඇය තුළ පළිගැනීමට උනන්දුවක් නොමැති බවයි. එමෙන් ම 'ඔවුන් කළ අපරාධයේ තරම' ඔවුන් විසින් වටහාගනු දැකීම අවශ්‍ය බවත් ඇය පවසා සිටියා ය.

"කුඩා දරුවන් ඝාතනය කළ ආකාරය සහ කාන්තාවන් දූෂණය කළ ආකාරය ද ඇතුලුව, සිදුකළ අපරාධයේ බරපතළකම ඔවුන් විසින් කවදා හෝ වටහාගනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි" යි ප්‍රකාශ කළ බිල්කිස් බානෝ, අපරාධකරුවන් ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලයම සිරගෙදර ගත කිරීම තමන්ට අවශ්‍ය බව ද වැඩිදුරටත් කියා සිටියා ය.

බිල්කිස් බානෝගේ සැමියා වන රසූල්, ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කොට තිබුණේ , වරදකරුවන් නිදහස් වී යාමත් සමඟ තම බිරිඳ 'දැඩි පීඩාවට සහ ශෝකයට' පත් ව සිටින බවයි.

"අපි වසර ගණනාවක් තිස්සේ සිදු කළ සටන එක මොහොතකින් අවසන් කිරීමට ඔවුන් කටයුතු කළා.මෙම පුවත නිසා ඇති වූ කම්පන දරා ගැනීමටවත් කාලයක් අපිට නො ලැබුණු අතර, වැරදිකරුවන් දැනටමත් ඔවුන්ගේ නිවෙස්වලට පැමිණ ඇති බව අපිට දැනගන්නට ලැබී තිබේ." ඔහු පැවසුවේ ය.