කළු ජූලියට වසර 39 යි:ඒ ජුලිය තවමත් කළුයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'කළු ජූලිය' යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරුතම කාල පරිච්ඡේදයකි. 2022 ජුලි 23 වැනිදාට එනම් අදට කළු ජූලියට වසර 39ක් සපිරෙයි.
කළු ජූලියට වසර 40කට ආසන්න කාලයක් සපිරෙන මේ අවස්ථාවේ හෝ එහි පසුබ්ම් ගත ප්‍රශ්නයට මෙතෙක් විසඳුම් ලැබී ඇතිදැයි සැක සහිතය.
කළු ජූලියෙන් පසු ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය කුමක්ද?
ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය මතකය අවධිකරමින් කියා සිටියේ කළු ජූලිය ශ්‍රී ලංකාව විනාශකාරී තැනකට තල්ලු කළ බවයි. " ඇත්තටම කළු ජූලිය තමා මේ ලංකාවේ ගමන් මඟ, මහා විනාශකාරී තැනකට තල්ල කරපු, ප්‍රථම අවස්ථාව කියලා මං හිතනවා. එක පැත්තකින් දෙමළ ජනයා සන්නද්ධ මාවතට තල්ලුකළා . ජේ.වී.පී එක සන්නද්ධ මාවතකට තල්ලු කළා. ඒ ආශ්‍රියෙන් ඇති වෙච්චි යුද්ධ කළකෝලහාල ගත්තාම. දැන් ලංකාව බිලියන 51ක් ණය යි කියනවා. ලංකාවේ මේ කැරලි කෝළහල නිසා වෙච්ච ආර්ථික පාඩුව ගණන් හදලා තියෙන්නේ බිලියන 200කට. එතකොට බලන්න මොනතරම් විනාශයක් ද වෙලා තියෙන්නේ කියලා. මේ අපිම ඇති කර ගත්ත ඒවා ." ඔහු සඳහන් කළේය.
"එදා ඉදලා අද දක්වාම බලයට ආපු කිසිම රජයක්, කවර මට්ටමකින්වත් මේ රටේ මේ ඇතිවෙලා තියෙන බිඳ වැටීම අස්ථිරභාවය, අසමත් භාවය, බංකොළොත් භාවය මේ ඔක්කොම කෙරෙහි, එක් ආකාරයට හෝ තවත් ආකාරයකට මේ ජාතික අර්බුදයට බලපෑව, වර්ගය, කුලය, ආගම මුල්කර ගත්ත. ඒ ප්‍රශ්නවලට තාම විසඳුමක් දීලා නැහැ නේ ඇත්තටම. තාමත් ගැඹුරින් අපි හිතන්නේවත් නැහැනේ. හරිම ඛේදජනකයි." වික්ටර් අයිවන් පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ "අපේ සංහිඳියා වැඩපිළිවෙල හරිම අසාර්ථකයි. මම හිතන්නේ නැහැ මේ අර්බුදය නැඟීටීම් වලින් ජය ගන්න පුලුවන් කියලා.ඒ වගේම ආණ්ඩුව කල්පනා කරන විදිහට ජයගන්නත් පුළුවන් කියලා.මේක ලොකු ව්‍යවසනයක්. ඒ ව්‍යසනයෙන් ගොඩ එන්න මේ වෙලාවේ පාරට බැහැල ලොකු ආරවුල් කරලා මේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් කියලා. මම හිතන්නේ නැහැ. මේ සියලු දෙනා එකතු වෙලා මේ රට ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට යොමු කරන්න ඕනේ. එතකොට තමා ලෝකය අපි දිහා බලන්නේ. ඉක්මන් මැතිවරණයකුත් ඒ ප්‍රතිසංසකරණය වැඩසටහනට ඇතුලත් කළ යුතුයි."
"ලොකු ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලකට රට පත් කළ යුතුය. නීතියේ ආධිපත්‍යයක් ඇති කල යුතුයි. එහෙම නොවේ නම් අපි විශාල පරිහානියකට යන්නේ. දැනටමත් ගිහින් ඉවරයි. අපිට නැඟිටින්න බැහැ.අපි ආපහු වනචාරී යුගයකට යන්නේ ."
"විශාල අඳුරකට අපි ගමන් ගනිමින් ඉන්නේ, ආණ්ඩු කරන අය, විපක්ෂය, මහජනයා තරුණ අරගලකරුවන් මේ සියලු දෙනා දැන හෝ නොදැන මේ රට අරගෙන යන්නේ විශාල විනාශයකට.ඒ වෙනුවෙන් ලංකාවට මං හිතනවා විශාල වන්දියක් ගෙවන්න වෙයි. සමහර වෙලාවට යම් ප්‍රමාණයකට හෝ ශීලාචාර තත්ත්වයකට නැවත එන්න අපිට තව අවුරුදු 10- 15ක් ගත වෙයි කියන එක තමයි මම හිතන්නේ." වික්ටර් අයිවන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අර්බුදයට තවම විසඳුමක් නැහැ..!
විචාරකයින් පවසන්නේ, ප්‍රශ්නයට සැබෑ ලෙස අවංක විසඳුමක් දීමට පත්වූ සෑම රජයක්ම අපොහොසත් වූ බවයි. කළු ජූලියේදී සාහසික ප්‍රචණ්ඩ ක්‍රියා කළ කිසිවෙකුට දඬුවම් ලබා දීමට පත්වූ කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නැත. ඒ අනුව පෙනී යන්නේ, ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට, සංහිඳියාව ඇති කිරීමට හෝ වගකිව යුතු පුද්ගලයින්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුවලට සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න පිළිබඳවයි.
ආයිත් කළු ජුලියක් එයිද?
යුද්ධය අවසන්ව වසර 13ක් ගතවුවත්, තාමත් සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා පැවසුවාය.
"තාම ඔවුන්ට ප්‍රශ්න තියෙනවාද? ඒ ප්‍රශ්න වලට විසඳුමක් ගෙනත් තියෙනවද? තිරසාර විසඳුමක් නැහැ. මේ තියෙන ව්‍යවස්ථාව අනුව එහෙම විසඳුමක් ගේන්න අමාරුයි." ඇය සඳහන් කළාය.
"ඉඩම් ප්‍රශ්න තියෙනවා. අයිතිවාසිකම් ප්‍රශ්න තියෙනවා. හමුදාකරණය නිසා ඒගොල්ලෝ බයෙන් ජීවත් වෙන්නේ,කළු ජූලිය ආවේ සුළු ජනතාවගේ ප්‍රශ්න නිසානේ. ඇත්තට බැලුවොත් ඒ ප්‍රශ්නවලට විසඳුම් හම්බවෙලා නැහැනේ."
"මේ ආර්ථික අර්බුදය නිසා ආයිත් මේවගේ කළු ජූලියක් නැවත එයිද කියලා ජනවර්ග බියෙන් ඉන්නේ. දෙමළ ජනතාවට වඩා විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව." ෆොන්සේකා පෙන්වා දුන්නාය.
"2013, 2014, 2018, 2019 වසර වලදී අලුත්ගම, දිගන සිද්ධි වගේම සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ප්‍රශ්න එක්ක බැලුවොත්, යුද්ධයෙන් පස්සේ විශාල ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මුස්ලිම් ජනතාවට තමා වැඩිපුර. දෙමළ ජනතාවටත් වඩා. 2013 ඉදලාම. හාලාල් කෑම, සිංහලේ වගේ කැම්පේන් තිබ්බා. වන් කන්ට්‍රි වන් ලෝ ටාස්ක් ෆෝස් වගේ ප්‍රතිපත්ති ආණ්ඩු ගේන කොට සුළු ජතතාව හිතන්නේ ඒගොල්ලන්ට වෙනස් විදිහකට සලකන්නේ කියලා"

ඡායාරූප මූලාශ්‍රය, CHANDRAGUPTHA AMARASINGHA
කළු ජූලියට පසුබිම
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී, බොහෝ ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ සිටි, මිෂනාරිවරුන් විසින් පිහිටුවන ලද අධ්‍යාපන පහසුකම් වලින් බොහෝ සෙයින් ප්‍රයෝජන ලැබූහ. එහි ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත පරිපාලනය ඉංග්‍රීසි කතා කරන දෙමළ ජාතිකයන් රැසක් කුසලතා පදනම මත රාජ්‍ය සේවයට සහ වෙනත් වෘත්තීන් සඳහා බඳවා ගන්නා ලදී. 1956 වන විට, රටේ ජනගහනයෙන් සුළුතරයක් වුවද, ලිපිකරු රැකියාවලින් 50%ක් දෙමළ ජාතිකයන් විසින් දරන ලදී. මෙම අසමතුලිතතාවය නිවැරදි කළ යුතු ගැටලුවක් ලෙස සිංහල නායකයෝ දුටුවෝය.
1956 දි ඉදිරිපත් කරන ලද 'සිංහල පමණයි' පනත මඟින් ඉංග්‍රිසි සහ දෙමළ භාෂාව පාවිච්චි කිරිමේ සාධාරණ අයිතියට සීමාවන් පන වන ලදි. මෙම ක්‍රියාවලියට එරෙහිව දෙමළ ජනතාව දැක්වූ විරෝධතාවලට ප්‍රචණ්ඩකාරී පිරිස් වලින් පහර ඵල්ල විය. මෙවැනි සිද්ධි ක්‍රම ක්‍රමයෙන් වැඩි වී 1958 දී ඇති වූ කැරැල්ලක් දක්වා එම තත්ත්වය වර්ධනය විය.
1960 දශකය පුරා පැවති විරෝධතා ව්‍යාපාර සහ ඒවා වැළැක්විමට රජය ගත් ක්‍රියා මාර්ග දෙපාර්ශවය අතර ද්වේශය වර්ධනය වීමට හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, AP
1971 දි දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය සහ වෙනත් සීමාකිරීම් හඳුන්වා දෙන ලදි. එයින් වඩාත් තහවුරු කරන ලද්දේ සිංහල සහ මුස්ලිම් සිසුන්ට පමණක් ඉඩදෙන ක්‍රියා පිළිවෙලකි. මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ සිසුන් වැඩි පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු විමයි. මෙම නැගී ගෙන එන අංකුර තත්ත්වයන් සම්බන්ධයෙන් පොලීසිය ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාව සහ රජය අතර විරසකය තව තවත් වැඩි වීමයි.
ඉන්පසුව 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිමෙන් පසු "1977 කැරලි" යන නමින් හැඳින්වෙන කැරළි කීපයක් ඇති වුණි. 1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් ඉතා ප්‍රසිද්ධියක් ඉසිළු යාපනය පුස්තකාලය ගිනි තබන ලදි. 1983 දක්වා රජයත්, හතු පිපෙන්නාක් මෙන් බිහිවු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරත් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් ඇතිවුණි. සැළකිය යුතු සංඛ්‍යාවක් වූ මිනිමැරුම්, පැහැරගෙන යාම්, හිරිහැර කිරිම්, අතුරුදන් කිරිම් පිළිබඳව දෙපාර්ශවයට ම චෝදනා ඵල්ල විය.
කළු ජුලියේ සිදුවීම් පෙළ…
කළු ජුලිය ආරම්භ වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙනය. මෙය දෙමළ කැරලිකරුවන් විසින් කරන ලද පහරදීම් පෙළක එක් පහරදීමක් පමණක් විය.
1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා ජීප් රියක් සහ ට්‍රක් රථයකට එල්ටීටීය විසින් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මුළින්ම රථ පෙළේ ඉදිරියෙන් ගමන් කරන ලද ජීප් රිය ඉලක්ක කරගෙන බිම් බෝම්බයක් පුපුරවන ලද අතර එයින් අඩුම වශයෙන් සෙබළුන් දෙදෙනෙක් තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. ජීප් රියට පසු පසින් පැමිණි ට්‍රක් රථයේ සිටි සෙබළුන් ජීප් රිය තුළ සිටි පිරිසට ආධාර පිණිස එළියට පැමිණි විගස ඔවුන්ට ස්වයංක්‍රීය ගිනි අවි හා අත්බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මෙහිදී එක් නිලධාරියෙක් හා සෙසු නිල 12 ක් මරණයට පත් වූ අතර , තවත් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලදහ. මුළු මරණ ගණන 13 ක් වූ අතර , එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායකයෙක් වූ කිට්ටු විසින් මෙම පහරදීම සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම සිද්ධිය මුල් කරගෙන පසුව ඇති විය හැකි විනාශකාරී ක්‍රියා නැවැත්වීමේ අරමුණෙන් මියගිය ඒ පහලොස් දෙනාගේ මළ සිරුරු පිළිබද අවසන් කටයුතු ඉතා නිහඬව බොරැල්ල කනත්තේදී කිරීමට රජය කටයුතු කළේය.
මෙය සාමාන්‍ය ක්‍රියා පිළිවෙලට විරුද්ධ වීමකි.
සාමාන්‍ය පිළිවෙල විය යුත්තේ මියගිය සෙබලුන්ගේ සිරුරු ඔවුන්ගේ ගම්වල අවසන් කටයුතු කිරීමයි.
මියගිය හමුදා සාමාජිකයින්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබු 24 වැනිදා බොරැල්ල සුසාන භූමියට එකතු වු සිංහල සිවිල් වැසියන් පිරිසක් මෙම සිද්ධියට පසුබිම් වු පහරදීම ගැන කෝපයට පත්ව ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තවත් පිටු බලයක් විය.
ඔවුහු සිදුවී ඇති දෙයට පළිගැනීමක් වශයෙන් දෙමළ ජනතාව සොයා යමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ. ඒ අතරවාරයේ මිනීමැරීම්, කොල්ල කෑම් සහ ගිණි තැබීම්ද සිදුවිය. සිදුවීම් මෙසේ පෙළ ගැසෙද්දී නගරය අත්හැර පලා යන ඇතැම් දෙමළ ජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට මිතුරු සිංහල නිවෙස් සහ අසල්වැසියන් උපකාර කර අවස්ථාද තිබේ.
රජය 24 දින සැන්දෑවේ කොළඹට හදිසියේම ඇඳිරි නීතිය පැනෙව්වේය. කලහකාරී තත්වයේ අති දරුණු ස්වභාවය හේතුවෙන් පොලීසිය ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත් වුහ. එක්කෝ අකමැති වුහ. මෙම පසුබිම තුළ පොලීසියේ සහායට හමුදාව කැදවීමට සිදුවිය.
ප්‍රචණ්ඩ ක්‍රියා දෙවැනි දිනයේදීත් නොකඩවා සිදුවිය. එය දෙමළ මිනිසුන් වැඩිපුර ජීවත් වූ මහනුවර, මාතලේ ,නාවලපිටිය, බදුල්ල සහ නුවරඑළිය වැනි ප්‍රදේශ මුල් කරගෙන මුළු දිවයින පුරා පැතුරුණි . මහමග ගමන්ගත් වාහන ගිනි බත් කරන ලදී. ඒවායේ ගමන් ගත් දෙමළ ජාතිකයෝ එළියට ඇද ඔවුනට පහර දුන්හ. නැතහොත් පිහි පොරෝ වලින් කපා කොටා මරා දැමුහ. ගිනි නිවන රථ පවා කැරළිකරුවන් විසින් පලවා හරින ලදී.
මෙම සිද්ධීන් වලින් සිදුවු අපකීර්තිමත් සිදුවීම්වලින් එකක් නම් වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ජුලි 25 වන දින සිදුවු මනුෂ්‍ය ඝාතනයයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි දෙමළ රැදවියන් 37 දෙනෙකු ඒ තුළම සිටි සිංහල සිරකරුවන් විසින් කැති පොලු ආදියෙන් පහරදී මරා දමන ලදහ. මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් අය කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් මෙයට සහයෝගය දැක්වු බවයි.
28 වෙනි දින සිරගෙදර තුළම දෙවැනි මනුෂ්‍ය ඝාතනයද සිදුවිය. එහිදී තවත් සිරකරුවන් 15 දෙනෙකු මිය ගියහ.
ජුලි 26 දින ඇඳිරි නීතිය මුලු දිවයිනටම බලපාන පරිද්දෙන් පනවන ලද්දේ දෙමළ ජනතාව ජීවත්වන දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින් මතුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියා තවදුරටත් පැතිර යාම වැලැක්වීමේ අරමුණෙනි.
විශාල හමුදා සහ පොලිස් පිරිසක් මුර සංචාරක කටයුතුවල යෙදීමත්, කැරළිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමත් හේතුවෙන් 26 වන දින සවස වන විට කැරළි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය තරමක් දුරට අඩුවිය.
යාපනය සිද්ධියෙන් මිය ගිය පිරිසගේ අවසාන කටයුතු ඇදිරි නීතිය පනවා තිබු රාත්‍රී කාලයක සිදු කරන ලදී. කොළඹට පනවා තිබු දිවා ඇදිරි නීතිය ඊට පසුදින ඉවත් කරන ලදී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන ඉන් පසුවද දින කිහිපයක් යන තෙක් සුලු සිදුවීම් වාර්ථා වුයේ 'දෙමළ කොටින් නගරයට පහර දීමට එනවා' යැයි ලැබුණු කට කථා ආරංචිවලට ප්‍රතික්‍රියාදැක්වීමක් වශයෙනි.
නැවතත් 29 දින ප්‍රචණ්ඩ ක්‍රියා පැවතුණි. එය ඉතා කෙටි එකක් විය.පොලීසිය ඉන් පසු කළ වෙඩි තැබීමෙන් කැරළි කරුවන් 15 දෙනෙකු මිය ගියහ. අගනුවරට පැය 24 පුරාම ඇදිරි නීතිය පැනවිණ. නගරයේ පාලනය යථා තත්වයට ගෙන ඒමට ආරක්ෂක හමුදාවට හැකි විය.
1983 ජූලි දෙමළ ජන සංහාරය නිසා ලක්ෂයකට අධික දෙමළ ජනතාවක් සරණාගතයන් වශයෙන් ඉන්දියාවට පලා ගියහ. රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මරණයට පත් වූ සංඛ්‍යාව 471කි. නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය සංඛ්‍යාව 1500ක් පමණ වූ බව සඳහන්ය. තුවාල ලැබූ සංඛ්‍යාව 3769ක් වන අතර මංකොල්ල කෑම් සංඛ්‍යාව 3835 කි. නිවාස 8000ක් ද සාප්පු 5000ක් ද පමණ විනාශ වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images








