"අපේ දරුවන්ට යුක්තිය ඉටු කරන්න":16 වසරක් ගතව ඇති සෙන්චෝලෙයි ප්‍රහාරය

මුලතිව්,සෙන්චෝලෙයි ළමා නිවාසයට එල්ලවූ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු දැරියන් සිහි කිරීමේ සැමරුම් වැඩසටහන් රැසක් උතුරු පළාතේදී ඊයේ (අගෝස්තු14) පැවැත්විණ.
මේ වන විට එම ප්‍රහාරයෙන් වසර 16 ක් ඉකුත්ව ගොස් තිබේ. ඒ අනුව එය ස්මරණය කරමින් මුලතිව් ප්‍රදේශයේදී හා යාපනය විශ්වවිද්‍යාලය ඇතුලු උතුරු පළාතේ ස්ථාන කිහිපයකදීම අදාළ සැමරුම් වැඩසටහන පැවැත්වූහ.

2006 අගෝස්තු 14 වෙනිදා උදෑසන 7.05 ට 'සෙන්චෝලෙයි' ළමා නිවාසය වෙත එල්ල කෙරුණ ගුවන් ප්‍රහාරයකින් ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 16 - 18 ත් අතර දැරියන් හැට එක් (61) දෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත් වූ බව ප්‍රදේශවාසීහු පවසති.
කෙසේ නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කළ එවකට බලයේ සිටි ආණ්ඩුව සහ ආරක්ෂක අංශ පැවසූවේ "එල්ටීටීඊ පුහුණු පාසලක් ඉලක්ක කර අදාළ ප්‍රහාරය එල්ල කළ" බවය.
'සෙන්චෝලෙයි' ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් ද එවකට සිය අවධානය යොමු කරනු ලැබුණි.
මියගිය දැරියන් සිහිකරමින් මෙම සැමරුම වෙනුවෙන් ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු දැරිවියන්ගේ පවුල්වල ඥාතීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඇතුලු පිරිසක්ද මුලතිව් සැමරුම වෙනුවෙන් පැමිණ තිබුණි.
මුලතිව් 'සෙන්චෝලෙයි' ළමා නිවාසයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කරන ලෙස එම ප්‍රහාරයෙන් මරණයට පත් දැරියන්ගේ දෙමව්පියෝ වසර 16 ක් පුරා ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති යුද්ධය 2009 වසරේ මැයි මස 18 වෙනිදා යුදමය වශයෙන් අවසන් විය.
දශක තුනක් පුරා පැවති ගැටුම්වලින් දිවයිනේ උතුරේ සහ දකුණේ ලක්‍ෂයක පමණ මහජන ජීවිත විනාශයක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.
තවත් දහස් ගණනක් තවමත් අතුරුදන් වූ බවට සැලකෙයි.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව 2015 වසරේදී නිකුත් කෙරිණි.
එම වාර්තාවේ ප්‍රධාන නිගමනය වූයේ, රජයේ හමුදා සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යන දෙපාර්ශවය ම යුද අපරාධ ලෙස සැලකිය යුතු අපරාධවලට වගකිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවය.









