ආණ්ඩු වෙනසත් සමඟ දෙමළ ඩයස්පෝරාව ඊළාම් සිහිනය අතහැරලා ද?

ආරක්ෂක අමාත්‍යංශය අගෝස්තු 14 වැනිදා පැවසුවේ තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයින් 316ක තහනම පසුගිය අගෝස්තු 1 වන දා ඉවත් කළ බවයි, නමුත් එම ගැසට් නිවේදනය මඟින්ම තවත් පුද්ගලයින් 55ක් සහ ඉස්ලාමීය සංවිධාන 03ක් තහනම් සංවිධාන ලැයිස්තුවට අලුතින් ඇතුලත් කිරීමටද ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය පියවර ගත්තේය.
ඒ, 2016 නොවැම්බර් 09 වැනිදා දිනයෙන් යුතු 1992/25 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරන බවට පවසමිනි.
නමුත් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කළ ආකාරය ප්‍රශ්න සහගත බවට නීති විශාරදයින් විසින් පවසයි.
ඒ මෙම නව ගැසට් නිවේදනය මඟින් තහනම ඉවත්කරනු ලබන එම සංවිධාන හය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ 2021 පෙබරවාරි 25වැනිදා නිකුත් කළ අංක 2216/37 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් වීම නිසාය.
එහෙත් අගෝස්තු මස පළමුවැනිදා නිකුත්කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ 2021 පෙබරවාරි 25වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධව කිසිඳු සඳහනක් කොට නැත.
අගෝස්තු මස පළමුවැනිදා නිකුත්කළ අංක 2291/02 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත් අලුතින් තහනම් කරන ලද සංවිධාන වන්නේ-
- දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්.
- ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය (SLISM) හෙවත් ජමියා
- සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය
මෙම සංවිධාන තුනම තහනම් සංවිධාන ලැයිස්තුවට එක් කර ඇත්තේ ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙනි.
මීට අමතරව පුද්ගලයින් 55 දෙනෙකු අලුතින් අසාදු ලේඛනයට ඇතුලත් කර තිබේ.
තහනම ඉවත් කළ දෙමළ ඩයස්පෝරා සංවිධාන හය
නව සංශෝධනය යටතේ දෙමළ ඩයස්පෝරා සංවිධාන 06ක් සහ පුද්ගලයින් 316ක් තහනම් සංවිධාන හා පුද්ගලයින් පිළිබඳ ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ 1373 ආරක්ෂක මණ්ඩල සම්මුතිය යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති බවයි. එම සංවිධාන වන්නේ,
- ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය - ATC
- ගෝලීය දෙමළ සංසදය - GTF
- ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව - WTCC
- ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය - TEPA
- කැනේඩියානු දමිළ කොංග්‍රසය - CTC
- බ්‍රිතාන්‍ය දමිළ සංසදය - BTF
පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වලදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව අගොස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙමළ ඩයස්පෝරාව ඊළාම් සිහිනය අතහැරලා ද?
මෙරට ජාතික ආරක්ෂාවට හානිකර අන්දමින් කටයුතු කළ ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට මෙතෙක් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ කවර හේතු නිසාද යන්න රට හමුවේ පැහැදිලි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් මුසම්මිල් අවධාරණය කළේය.
අගෝස්තු (14වැනිදා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු විමසා සිටියේ, "මේ රටේ ආරක්ෂාවට හානි කර නිසා තමයි මේ සංවිධාන 06 තහනම් කළේ, එහෙනම් දැන් ඒ හානිකර තත්ත්වය නැතිවෙලාද? ආණ්ඩු වෙනසත් එක්ක දෙමළ ඩයස්පෝරාව තමන්ගේ ඊළාම් සිහිනය අතහැරලා දාල ඉවරද? දෙමළ ඩයස්පොරාවට දැන් ඊළමක් අවශ්‍ය නැද්ද?"
"මේ සංවිධාන තහනම් කිරීමට බලපාපු හේතු දැන් නැතිවෙලාද කියන එක සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරයි කියලා අපි බලාපොරෝත්තු වෙනවා." ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන මෙම සංවිධාන සියල්ල ඊළම සඳහා අරමුදල් රැස්කිරීම, ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග මඟින් ඊළම ලබා ගැනීමට තැත් කිරීම, යුද අපරාධ චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකා රාජ්‍යයට බලපෑම් කිරීම ආදි ක්‍රියා සියල්ල නතර වී ඇත්දැයි තමන් ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසා සිටින බවත් ඔහු ප්‍රශ්න කළේය.
අසාදු ලේඛනයේ ලැයිස්තුගත කර ඇති සංවිධාන
දැනට එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතින්ගේ 1373 ආරක්ෂක මණ්ඩල සම්මුතිය අසාදු ලේඛනයෙන් සංවිධාන හා පුද්ගලයින් ඉවත් කිරීමෙන් හා නැවත එකතු කිරීමෙන් පසු පුද්ගලයින් 316 දෙනෙකු හා සංවිධාන 15ක් තවදුරටත් අසාදු ලේඛනයට ලේඛනගතව ඇත.
- ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය - LTTE
- දෙමළ පුනරුත්ථාපන සංවිධානය - TRO
- දෙමළ සම්බන්ධීකරණ කමිටුව - TCC
- ලෝක දෙමළ ව්‍යාපාරය - WTM
- දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊළාම් රාජ්‍යය -TGTE
- ලෝක දෙමළ සහන සාධක අරමුදල - WTRF
- මූලස්ථාන කාර්යාලය හෙවත් - H.Q Group
- ජාතික තව්හිද් ජමාත් සංවිධානය - NTJ
- ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් - JMI
- විලයාත් අස් සෙයිලානි
- කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සලය - NCCT
- ද්‍රවිඩ තරුණ සංවිධානය - TYO
- දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්.
- ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය (SLISM) හෙවත් ජමියා
- සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය











