පළාත් පාලන මැතිවරණයට මොකද වෙන්නේ ?

පළාත් පාලන මැතිවරණයට මොකද වෙන්නේ..?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජීවන වියදම, උද්ධමනය, ආර්ථික අර්බුදය හා දේශපාලන බෙදීම් මධ්‍යයේ දේශපාලන පක්ෂ දැන් සූදානම් වන්නේ මැතිවරණයක් පැවැත්වීමටයි. විපක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ පවසන්නේ මේ වන විට රටේ ඇතිවී ඇති මේ අර්බුදයට විසදුම මැතිවරණයක් පැවැත්වීම බවයි. ඒ අනුව මේ වන විට දේශපාලන පොරපිටියේ කතාවන්නේ මහ මැතිවරණය මුලින් පවත්වන ලෙසයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට රනිල් වික්‍රමසිංහ පත්වී ඇති බැවින් ඔහුට 2024 නොවැම්බර් මස වන තෙක් ජනපතිවරණයක් පැවැත්වීය නොහැක. එහෙත් ජනපතිවරයාට 2023 පෙබරවාරි මාසයට පසුව මහ මැතිවරණයක් කැඳවීමේ බලය හිමිවෙයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ න්‍යායපත්‍රයට අනුව මේ වන විට කල් ඉකුත්වී ඇති පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතුය.

ඒ අනුව මෙවර ගමේ ඡන්දය පැවැත්වෙන්නේ, ග්‍රාමීය වශයෙන් ජනතාව උග්‍ර ජීවන අරගලයට මුහුණ පා සිටියදීය. අරගලය තුළින් පොදු මහජනතාව බලාපොරොත්තු වූ සමාජ දේශපාලනික වෙනස ඇති කිරීමට පළාත් පාලන මැතිවරණයකට හැකිවේද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

පළාත් පාලන මැතිවරණය තවත් කල්දැමිය හැකිද?

මහා මැතිවරණයක් හා ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට තවත් වසර දෙකහමාරක පමණ කාලයක් ඇත.

සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය මේවන විට අවසන්වී ඇති අතර දැනට ඒවා පවත්වාගෙන යන්නේ නිල කාලය දීර්ඝ කිරීමෙන්ය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය. පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන වල කාලය තවත් දීර්ඝ කළ නොහැක. මැතිරණ විචාරකයින් පවසන්නේ පළාත් පලාන මැතිවරණය කල්දැමීමේ හෝ මැතිවරණ වැළැක්වීමේ හැකියාවක් නොමැති බවයි.

2023 වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මස මුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීතිය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මේවන විට පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවටය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ, පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවයි.

"දෙසැම්බර් විභාග තියෙනවා. පාසල් ගැනීමට බැහැ. ඒවත් බලලා තමා දිනය තීරණය කරන්න වෙන්නේ. මාස 02ක කාලයක් අවශ්‍යයයි මැතිවරණ කටයුතුවලට. ඊට පෙර දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි." සභාපතිවරයා සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට නියමිත අතර පළාත් පාලන මැතිවරණය 2018 වසරේ මෙන් මිශ්‍ර සාමනුපාතික ක්‍රමයට පැවැත්වීමට නියමිත බව නිමල් පුංචිහේවා සඳහන් කළේය.

දැනට ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අනාවරණය කළේ, ලබන වසරේදී තවත් ඡන්ද දායකයින් ලක්ෂ 02ක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබන පිරිසට අලුතින් ඇතුළත් වනු ඇති බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම

පළාත් පාලන ආයතනයක සභිකයන්ගේ ධුර කාලය වසර 4කි. එම කාලය අවසන් වීමට මාස 06කට පෙර, කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් නිලධරයා (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) විසින් ඡන්ද විමසීමක් පැවැත්වීමට අදහස් කරන බව දන්වමින් දැන්වීමක් ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් නැතහොත් පළාත් පාලන ආයතන විෂයභාර මධ්‍යම රජයේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනයක් විසුරුවා හැරීමෙන් පසු ඡන්ද විමසීම් නිලධරයා විසින් ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසු ඡන්දයක් පැවැත්විය යුතුය.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය) අනුවය.

පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමය අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා, 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත, 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත, 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත යන පනත් වැදගත් වනු ඇත.

මිශ්‍ර සමානුපාතික පළාත් පාලන මැතිවරණය යනු කුමක්ද?

යම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස මට්ටමින් සහ පොදු ලේඛනයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම මිශ්‍ර සාමානුපාතික ක්‍රමය ලෙස හැඳින්වෙයි.

ඒ අනුව 2017.10.12 දිනැති 2017 අංක 22 දරන ප්‍රාදේශීය සභා සංශෝධන පනත මගින් සභිකයින් තෝරාපත් කරගත යුතු ආකාරය තීරණය කර ඇත. ඒ අනුව කොට්ඨාස මට්ටමින් - 60%, සමානුපාතික පදනමින් - 40% ක් ලෙස සභිකයින් තෝරාපත් කර ගනු ලැබේ.

සෑම දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක් විසින්ම ඉහත සඳහන් කළ නාමයෝජනා ආකෘති දෙක යටතේම නියමිත කාන්තා නියෝජනයට අදාලව තම නාම යෝජනා ඉදිරිපත් කළ යුතුය.

කොට්ඨාස සඳහා වන නාම යෝජනා පත්‍රයට ඇතුලත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව පළාත් පාලන ආයතනයට තෝරා පත් කර ගන්නා මුළු සභික සංඛ්‍යාවෙන් 10% කි.

සමානුපාතික පදනම යටතේ වන නාම යෝජනා පත්‍රයෙහි අපේක්ෂක සංඛ්‍යාවෙන් 50% ක් කාන්තා අපේක්ෂිකාවන්ගෙන් සමන්විත විය යුතු වේ.

2012 අංක 22 දරන පනතින් 25% ක් ලෙස දක්වා තිබූ තරුණ නියෝජනය 2017 අංක 16 දරන පනතින් 30% දක්වා වැඩි කර තිබුණද එය අනිවාර්ය කර නොමැත.

පළාත් පාලන මැතිවරණයකට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක එක් අපේක්ෂකයකු සඳහා රු.1500/= බැගින් ද ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකු සඳහා රු.5000/= බැගින් ද ඇප තැන්පත් කළ යුතු වෙයි.

දිස්ත්‍රික් අනුව ඒ ඒ පක්ෂයට හෝ ස්වාධීන අපේක්ෂකයන්ට ලැබෙන ඡන්ද සංඛ්‍යාව අනුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව අනුපාතිකව තෝරා ගැනීම සමානුපාතික ක්‍රමය වේ.

පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස සහ කොට්ඨාස සඳහා වන මන්ත්‍රීධුර සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ කෙසේද?

පසුගිය සීමා නීර්ණය කොමිෂන් සභාව මඟින් ජනගහණය, භූමි ප්‍රමාණය, ජනවාර්ගික පදනම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මේ වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සඳහා අදාළ කොට්ඨාස මොනවාද යන්න පිළිබඳව තීරණය කර එම තීරණ 2015.08.21 දිනැති 1928/26 අංක දරන සහ 2017.02.17 දිනැති අංක 2006/44 දරන ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන බෙදා ඇති කොට්ඨාස වර්ග දෙකකි.

  • කේවල කොට්ඨාස
  • බහු කොට්ඨාස

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක සමානුපාතික පදනම මත තෝරා පත් කර ගනු ලබන සභික සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ කෙසේද?

සෑම පළාත් පාලන ආයතනයකම කොට්ඨාස මගින් තේරී පත්වනු ලබන ප්‍රමාණය 60%ක් ලෙස සළකා ඉතිරි 40%ක ප්‍රමාණය සමානුපාතික පදනම මත තෝරා ගැනීමට කටයුතු කරනු ලැබේ. එම දෙකෙහිම එකතුව එම පළාත් පාලන ආයතනයෙහි මුළු සභික සංඛ්‍යාව වේ.

පළාත් පාලන මැතිවරණයකට තරග කළ නොහැක්කේ කාටද?

  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවීම.
  • වයස අවු.18 ට අඩු වීම.
  • අධිකරණ නිලධාරියකු වීම.
  • සන්නද්ධ හමුදාවල සාමාජිකයෙකු වීම.
  • පොලිස් නිලධාරියෙකු වීම.
  • 2007 ජුනි 01 වන දිනට වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප වර්ෂයකට රු.227,280/- (මාසික රු. 18,940/-) නොඅඩු වැටුප් පරිමාණය සහිත රාජ්‍ය දෙපාර්තමේන්තුවක නිලධාරියෙක් හෝ එම දිනයෙන් පසුව ඇති කරන ලද තනතුරක ආරම්භක වැටුප් පරිමාණයක් දරන රාජ්‍ය නිලධාරියෙකු වීම.
  • 2009 ජනවාරි 01 දිනට වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප වර්ෂයකට රු.246,300/- (මාසිකව රු 20,525/-) නොඅඩු එම දිනයට පසුව ඊට අනුරූප වන ආරම්භක වැටුප් පරිමාණයක් දරන රාජ්‍ය සංස්ථාවක නිලධාරියකු වීම.
  • අදාළ පළාත් පාලන ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු හෝ සේවකයෙකු, සභිකයින් තෝරා පත්කර ගැනීමේ දිනයට අවුරුද්දක කාලය තුළ සේවය අවසන් කර නොතිබීම.
  • එම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ඉල්ලා සිටින ඡන්ද විමසීමට අඩුම වශයෙන් එක් වර්ෂයකට පෙර එම පළාත් පාලන ආයතනයේ සේවය කිරීම අවසන් නොවූ එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම්වල නියැලි රජයේ නිලධාරියකු වීම.
  • එම පළාත් පාලන ආයතනය සඳහා හෝ ඒ වෙනුවෙන් ඇති කර ගත් ගිවිසුමක්, එකඟවීමක් පැවතීම හෝ එම පළාත් පාලන ආයතනයෙන් යම් කොමිස් මුදලක් ලබා ගන්නා තැනැත්තෙකු (විශ්‍රාම වැටුප් හෝ පාරිතෝෂික දීමනා ලැබීම් මීට අදාළ නොවේ) වීම.
  • නීතියෙන් සිහි විකල බව පිළිගත් තැනැත්තෙකු වීම.
  • නීතිය අනුව වස්තු භංගත්වයට පත් වූ තැනැත්තෙකු වීම.
  • මාස 12 ට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් ලැබිය යුතු වරදකට බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටීම.
  • මෙම ආඥා පනත් යටතේ ඡන්ද වරදකට වරදකරු කරනු ලැබ වසර පහක් ඉක්මවා නොතිබීම.
  • මහජන ආයතන (දූෂණ වැළැක්වීම) ආඥා පනතේ 05 වගන්තියේ වරදකට පරීක්ෂණ කොමිෂන් සභාවක් විසින් නුසුදුස්සකු කරනු ලැබ තිබීම.
  • අපරාධ වැළැක්වීමේ ආඥා පනත යටතේ වරදකරු කරනු ලැබ මාස 03 ට වැඩි සිර දඬුවමක් විඳිමින් සිටීම හෝ විඳ වසර 05 ක කාලයක් ගත වී නොතිබීම.
  • නාමයෝජනා පත්‍ර එකකට වැඩි ගණනක අපේක්ෂකයෙකු ලෙස නම සඳහන් වීම.
  • 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජසභා ආඥාවේ යම් වරදකට වරදකරු කරනු ලැබ එම ආඥා පනත යටතේ පනවා ඇති විධානයක් යටතේ නුසුදුස්සකු වීම.
  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(උ) ඡේදය අනුව නුසුදුස්සෙකු බවට පත් වීම.
  • මහ නගර සභා ආඥා පනත 277 වගන්තිය, නගර සභා ආඥා පනත 184 වගන්තිය, ප්‍රදේශීය සභා පනතේ 179 වගන්තිය යටතේ පළ කරනු ලැබූ නියමයන් මගින් නියමිත දිනයට පසු ඉවත් කරනු ලැබූ තැනැත්තකු වීම. එම ඉවත් කළ දින සිට වසර 05ක කාලයක් ගත වන තෙක් නුසුදුස්සෙකු වේ.

සභාපති / උප සභාපති හා නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති තෝරා ගනු ලබන ආකාරය

යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අදාල පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගෙන ඇත්නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ අදාල ස්වාධීන කණ්ඩායමේ නායකයාට මෙම ධුරයන් සඳහා පත්කිරීම් කළ හැකිය.

කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50%කට වඩා වැඩි සභික සංඛ්‍යාවක් ලබාගෙන නොමැති අවස්ථාවක එම පළාත් පාලන ආයතනයේ මංගල සභා වාරයේදී සභිකයන්ගේ ඡන්දයෙන් ධුරයන් සඳහා පත් කිරීම් කළ හැකිය.