රජය ගොවීන්ගෙන් වී මිලදී ගැනීම හිතා මතාම මඟ හරිනවාද? 'අපි කොහොමද ජිවත් වෙන්නේ'

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA
වී අලෙවි මණ්ඩලය මඟින් යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කළද යල කන්නයේ නෙළා ගත් අස්වැන්න කුණුකොල්ලයට අලෙවි කිරීමට ගොවියාට සිදුව ඇත. ඒ යල කන්නයේ වගාව සඳහා වැය කළ වියදමවත් පියවා ගත නොහැකි තරමට ඔවුන් අසරණ කරමිනි.
රජය වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගන්න බව නිවේදනය කළත් ඒ සඳහා ප්‍රතිපාදන නොමැති වීම හමුවේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල අඩපන වී ඇති බවට ගෝවීහූ චෝදනා කරති.
මෙවර කන්නයේදී ගොවීන් වී වගාවට යොමුවුයේ රසායනික පොහොර හා කෘෂි රසායනික තහනම් කිරීමට ගෝඨාභය රජපක්ෂ පාලන සමයේ ගත් අදූරදර්ශී තීරණය, වෙනස් කිරීමෙන් අනතුරුවය.
ගොවීන්ට මෙවර යල කන්නයේ වගාවේ නිරත වීමට සිදුවුයේ පෙර වසරවලට වඩා අධික වියදමක් දරමිනි. ඔවුන් මෙවර වගාවේ නිරත වුයේ වැඩි මුදලට ගත් පොහොර සහ රසායනික භාවිත කරමිනි.
ඉන්ධන හිඟය හමුවේ වගා කර ගත් අස්වැන්න නෙලා ගැනීමට නොහැකිව ගොවියෝ දිගින් දිගටම අපහසුතාවයට පත්ව සිටියහ.
රජයේ සහතික මිල
යල කන්නයේ අස්වැනු නෙලීම ආරම්භ වීමත් සමඟ වී මිලදී ගන්නා සහතික මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක සහතික මිල රුපියල් 120කි. සම්බා වී කිලෝ ග්‍රෑම් එකක සහතික මිල රුපියල් 125කි.
කිරී සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 130කට මිලදී ගන්න බව රජය නිවේදනය කළේය.
වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සඳහා රාජ්‍ය බැංකු වලින් රුපියල් බිලියන 2ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතියද හිමිවිය.
එහෙත් වී අලෙවි මණ්ඩලයට මේ දක්වා මිලදී ගැනීමට හැකිව තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් 7072ක් පමණි.
වී අලෙවි මණ්ඩලය පැවසුවේ ඒ සඳහා රුපියල් මිලියන 871ක් වැය කර ඇති බවයි. එම මුදලින් රුපියල් මිලියන 150කට අධික මුදලක් මෙතෙක් ගොවීන්ට ගෙවා නැත.
රජය වී මිලදී නොගන්නා මෙම පසුබිම තුළ යල කන්නයේ තම අස්වනු අඩුමිලට පෞද්ගලික ව්‍යාපාරිකයින් වෙත අලෙවි කිරීමට ගොවීන්ට සිදුව තිබේ.
ගොවීන්ගේ මැසිවිල්ල
පොලොන්නරුව ප්‍රදේශයේ ගොවි කාන්තාවක වන ගුණසිංහ මැණිකේ පැවසුවේ "අපි කොහොමද ජිවත් වෙන්නේ, රජය 120ට වී ගන්නවා කියනවා බෝර්ඩ් විතරයි පාර දෙපැත්තේ ගහලා තියෙන්නේ. කළුකඩ කාරයාට හිතෙන හිතෙන විදිහට ගෙවල් වලට පැනලා බලෙන් වාගේ අහිංසක මිස්සුන්ගේ වී ගන්නවා කුණුකොල්ලයට."යනුවෙනි.
"රජයේ වී ගබඩා අරිනවා කිව්වට රජයේ ගබඩා ඇරලා නෑ. අපිට වී ටිකක් දී ගන්න තැනකුත් නෑ හරියට පිටින් එන වෙළෙන්දෝ ගන්නේ තුට්ටු දෙකට වී ටික. රුපියල් 100ටත් අඩුවෙන් මෙහෙ වී ගන්නේ. අපි කියන්නේ එක්කෝ රජයේ ගබඩා ටික ඇරලා දෙන්න නැත්නම් මේ පාලන මිල ඉවත්කරලා දෙන්න අපිට කීයක් හරි හොයා ගන්න." තවත් ගොවියකු පැවසීය.
"අක්කර දෙකහමාරක වී කිලෝමීටර් බාගයක්, කාලකවත් නෑ අපි අසරණ වෙලා ඉන්නේ. පුළුවන්නම් ඔය රජෙ පුටුවල ඉන්න මිනිස්සුන්ට කියන්න අපිට සාධාරණයක් ඉටු කරන්න කියලා," ඒ තවත් ගොවියෙකි.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S.KODIKARA
පොලොන්නරුව ප්‍රදේශයේ ගොවියෙකු වන සනත් වීරසිංහ සඳහන් කළේ, "වී මිල 80 යි, 90යි. රජය 120ට ගන්නවා කිව්වා තාම නැහැ, කෙහේවත් ඒවා ගන්න පිළිවෙලක් හදලා නෑ."
"මේ සැරේ ගොවිතැන අන්තිමයි අපිට, ගිය සැරේ ගාණෙන් භාගයයි. තෙල් ගහන්න 13,800ක් ගියා. වී වලට අඩුම තරමේ අපට රුපියල් 200ක්වත් දෙන්න එපැයි." මාතර ප්‍රදේශයේ වී ගොවියෙකු වන අනුර පෙරේරා සඳහන් කළේය.
තවත් ගොවි මහතෙකු සඳහන් කළේ, "වී මිල වේලන්නේ නැතිව රුපියල් 100ට ගන්නේ. වේලලා කුලී ගෙවලා ගත්තාම රුපියල් 110යි කියනවා. 20,000ක් ඕනේ අක්කරේ කපන්න. ඒවා ගෙවන කොට, කූලි දෙනකොට අපිට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ, මේ කන්නේ පොහොර රුපියල් 40,000 ගානේ අරන් තියෙන්නේ, එතකොට වල් තෙල් 20,000 යි 15,000යි. ගොවියන්ට මේ පාර වී මිල අඩුවීමෙන් හරිම අමාරුයි."
අම්පාර ප්‍රදේශයේ වී ගොවියෙකු වන ඒ. කරුණාදාස පවසා සිටියේ "මගේ කුඹුරේ අක්කර 3යි. වී මිටි 34ක් තියෙනවා. තියෙන ප්‍රමාණය මෙපමණයි.110ට වගේ තමයි ඉල්ලුම් කරන්නේ, ඉතින් කොහොමද ජීවත් වෙන්නේ."
තවත් ගොවියෙකු අවධාරණය කළේ, "අක්කර දෙකට 36,000ක් හාන්න වියදං කරලා තියෙනවා. මේ ,ගොයම් කැප්පෙව්වේ මේ සැරේ මැෂින් වලින් රුපියල් 18,000යි. දැන් ගත්ත අස්වැන්න අපිට විකුණගන්න විදිහක් නෑ. මොකද රජය ගබඩාවක් ඇරියා සතියක් විතර වී කිරුවා. කිරලා ඒ ටික ඇතුලට දාගත්තා, දැන් මාසයක් විතර වී දීපු ගොවියෝ ඉන්නවා, සත පහක්වත් ලැබිල නැහැ. රජය දැන් නිහඬයි, ගබඩාවත් දැන් වහලා දාලා. වී ටික විකුණගන්න විදිහක් නෑ. පෞද්ගලික අංශය ඇවිල්ලා තුට්ටු දෙකට තමයි වී ටික ඉල්ලන්නේ"
"සහල් මාෆියාවට ආණ්ඩුව ඉඩ දීලා"
සුළු හා මාධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය චෝදනා නගන්නේ රජය මහා පරිමාණ මෝල් හිමියන්ට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට ඉඩ සැලසීම සඳහා රජය වී මිලදී නොගන්නා බවයි.
"වී අලෙවි මණ්ඩලය වී මිලදීගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න අපොහොසත් උනා. ඒ ක්‍රමවේදයේ ප්‍රතිපලය ලෙස ඒ මහා පරිමාණ මෝල් හිමියන්ට මේකෙන් වාසිදායක පැත්ත නිර්මාණය උනේ," සුළු හා මාධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යු.කේ සේමසිංහ මාධ්‍ය හමුවේ පැවසීය.
"අද අපේ වී නිෂ්පාදනයෙන් 60 % කට වැඩි ප්‍රමාණයක් ඔවුන් නතු කරගෙන හමාරයි. ගොවින් සතුව තව 30-40 % ක වී ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. අපි රජයට ආයාචනය කරනවා හැකියාවක් තියෙනවා නම් මේ වී ප්‍රමාණය හරි ගොවීන්ගෙන් මිලදී ගෙන ඔවුන්ට සාධාරණයක් විදිහට ඔවුන්ට නිශ්චිත මිලක්, රුපියල් 120 සේ මිල හරි ලබාදීලා වී මිලදී ගැනීම් වී අලෙවි මණ්ඩලය හරහා කරන්න කියලා."
යු.කේ සේමසිංහ තවදුරටත් පැවසුවේ "රජය විසින් වී මිලදීගැනීම සිදු නොකරන තත්ත්වයක් තුළ එහි වාසිය අනිවාර්‍යයෙන්ම අත්වන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ට. ඔවුන් ඔවුන්ට රිසි සේ ඔවුන්ට අභිමත මිල ගණන් යටතේ වී මිලදී ගැනීම් සිද්ධකරමින් සිටිනවා." යනුවෙනි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ ආණ්ඩුව සහල් මාෆියාවට ඉඩ ලබා දී ඇති බවයි.
"මොකක්ද කරපු තක්කඩි වැඩේ, වී මිලදී ගන්න එක නතර කෙරුවා. ගොවියන්ගේ වී ටික අන්න දෙක, පහට ඉල්ලනවා. රුපියල් 90 ගණන් වලට ගොවියාගේ වී ටික ඉල්ලනවා, අන්න නිකවැරටියේ, රුපියල් 80 ගණන්වලට ගොවියගේ වී ටික ඉල්ලනවා. වී කිලෝ ග්‍රෑම් එකක නිෂ්පාදන වියදම් විතරක් රුපියල් 150 ට වැඩියෙන් යනවා."
ඔහු පෙන්වා දුන්නේ, "රුපියල් සීයයට අඩුවෙන් ගොවියට වී විකුණන්න කිව්වම කවූද පාඩු ලබන්නේ? දැන් සල්ලි නෑ කියනවා. බැංකුවෙන් ඉල්ලුවා කියනවා, දුන්නේ නැහැ කියනවා. අර හාල් මාෆියාවට, වී මාෆියාවට ආණ්ඩුව දැන් බෝලය උස්සලා දීලා තියෙනවා ඩෑෂ් එකක් ගහන්න."ලෙසය.
කෙසේ වෙතත් සහල් නිෂ්පාදකයින් පවසන්නේ තමන් ගොවීන්ගෙන් වී මිලදී ගන්නේ රජය නියම කළ මිල ගණන්වලට බවයි.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ" රුපියල් 140ක් වත් ලැබුණොත් තමයි ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන්. 140 මිල දෙන්න පුද්ගලික අංශය එකඟයි. ඒ මිල දෙන්න විදිහක් නැත්තේ ආණ්ඩුව 220 කියන හාල් පාලන මිල ගැසට්වුව ගහලා තියෙන හින්දා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා රුපියල් 100ට කවුරුහරි ගොවියෙක් මේ පොළොන්නරුවේ හෝ ලංකාවේ මේ මාස දෙක ඇතුළත වී වික්කා කියල ඔප්පු කළොත් 14% තෙතමනය අඩු වෙච්ච වී වික්කා කියලා ඔප්පු කළොත්, අපි මේ එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය විසුරුවා හරිනවා."යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA
කෘෂිකර්ම ඇමති මොකද කියන්නේ ?
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, හම්බන්තොට ප්‍රදේශයේ ගොවීන්ට වී සඳහා නිසි මිලක් ලැබෙන බවයි.
"හම්බන්තොට දිස්ත්‍රික්කයේ මම වී ගන්න කෙනෙක්ගෙන් ඇහුවා. කිව්වා මම 125ට ගිහිල්ලා හරි ගේන්නම් කියලා. 130ටත් යනවා. අනිත් පැත්තට ගියාම රුපියල් 95ට,90වට තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ.'
අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේ, " බැංකු දෙකෙන් ආරංචියි 22 වැනිදා වෙනකොට ඒගොල්ලන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමක් තියෙනවා කියලා. ඒකෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණොත් අනික් ප්‍රදේශවල ගොවි ජනතාවට හොඳ තත්ත්වයක් නිර්මාණය වෙයි".
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කර සිටියේ "දැන් මුලින්ම බෙර ගහලා කිව්වේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් වී මිලදී ගන්නවා කියලා. එතකොට මිලක් නියම කෙරුවා, අන්තිමට දැන් මොකද උනේ? ගොවියන්ගේ පුංචි වී ප්‍රමාණයක් ගත්තා. ඒ ගත්තු වී වලට සල්ලි ගෙව්වෙත් නෑ. සල්ලි ගෙවන්නෙත් නෑ. දැන් වී මිලදී ගන්න එපැයි කියනවා. මොකද සල්ලි නැහැයි කියනවා. අනිත් පැත්තෙන් නිලධාරින්ට උපදෙස් දීලා තියෙනවා වී ගන්න එක නතර කරන්න කියලා."
"දැන් වී ආණ්ඩුව ගන්නෙ නැති එකත් එක්ක වී මාෆියාකාරයොන්ට, හාල් මාෆියායෝකාරයින්ට, ඒගොල්ලන්ගේ හොද්ද බොර වෙලා තියෙනවා. ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගන්න ඒගොල්ලෝ පටන් අරන් තියෙනවා. හාල් මාෆියාවට උත්තරයක් සපයන්න නම් ආණ්ඩුව සතුව හොඳ වී සංචිතයක් තියෙන ඕනේ. ඒ සංචිතය හාල් කරලා වෙළඳපොලට එවන්න ඕන. ආණ්ඩුව මේකට තරගයක් දෙන්න ඕන. දැන් එහෙමනම් ආණ්ඩුව මේ හාල් මාෆියාවට මුහුණ දෙන්නේ කොහොමද? නාමල් කරුණාරත්න ප්‍රශ්න කළේය.











