පළාත් පාලන මැතිවරණය 2023:ඡන්දය පැවැත්වීමට මුල්‍ය ප්‍රතිපාදන හරස් වෙයිද?

Local Government Election 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින්, ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙබරවාරි 10 වැනිදා (ඊයේ) තීරණය කළේය.

එහි අදහස වන්නේ මැතිවරණය පවත්වන්නැයි අමුතුවෙන් නියෝග නිකුත් කළයුතු නැති බවය.

මොනවද මේ පෙත්සම්...!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ජනතාවගේ අයිතියක් වන සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව නිසි ආකාරව ඡන්දය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළේ ය.

මෙහිදී ඉදිරිපත්ව ඇති මෙම රිට් පෙත්සම් දෙකට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි අතර, අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ලක්මිණි වරුසෙවිතාන සමඟ නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටියහ.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ය.

මේ අතර ලබන මාර්තු මස 09වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණය විමසීම අත්හිටුවන ලෙස, මැතිවරණ කොමිෂන් සභාව වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබුණු අනෙක් පෙත්සම සලකා බැලීම ලබන පෙබරවාරි 23 වැනිදා දක්වා කල් දැමීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබීය.

එම පෙත්සම ගොනු කර ඇත්තේ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසිනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රටේ බරපතළ ආර්ථික අර්බුදයක් පවතින සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් රටට බරපතළ කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එමනිසා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තුළින් රටට හෝ මහජනතාවට කිසිදු යහපතක් අත්නොවන බව පෙන්වා දී ඇති ඔහු, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, මැතිවරණ කටයුතු කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙස ය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට 2023 මාර්තු 09වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය, සැබෑ ලෙසම පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 මාර්තු 19ට පෙර ය.

එහෙත් එවකට විෂය භාර ඇමැතිවරයා විසින් මැතිවරණය පැවැත්වීම වසරක කාලයකින් දීර්ඝ කරනු ලැබීය.

ඇමැතිවරයා විසින් එම කල්දැමීම කරනු ලැබුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව නොවේ.

ඇමතිවරයා ඒ වෙනුවෙන් භාවිත කරන ලද්දේ, නිරෝධායන නීති යටතේ පැවති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගයකි.

එම නියෝගයට හේතුවී තිබුණේ එවකට මෙරට තුළ ව්‍යාප්තව පැවැති කොවිඩ්-19 වසංගත තත්වයයි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

මැතිවරණය පැවැත්වීම අභියෝගයක්ද?

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණද, මැතිවරණය ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී පැවැත්වේද යන සැකය තවමත් අවසන් නැත.

ඊට හේතුව ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් මෙන්ම රාජ්‍ය ආයතන මට්ටමින්ද මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා ඉස්මතුකර පෙන්වමින් සිටින බැවිනි.

උදාහරණයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ ඉන්ධන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නියමිත පරිදි නොලැබෙන බැවින්, මැතිවරණ රාජකාරි නියමිත පරිදි ඉටුකිරීම ගැටලුසහගත බවය.

එහෙත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව පසුව ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය විය.

එහිදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ වියදම් ලෙස ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2.8ක් විය.

අනෙක් අතට මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත්තේ රාජ්‍ය මුදල් කළමනාකරණය ඉතා අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්ව ඇති බැවින් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවට වාර්තා පැතිර ගියේය.

ජනවාරි 25 වැනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේ, ලද්දේ මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීමටය.

විශේෂයෙන් මැතිවරණයට අවශ්‍ය වියදම් රජය විසින් ලබාදෙනු ඇත්දැයි යන සැකය වඩාත් වර්ධනය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට උපදෙස් ලබාදුන් බව පවසමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනවාරි 31වැනිදා ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමත් සමගිනි.

එම නිවේදනයෙන් අනතුරුව, ඊට අදාළව ජනාධිපති කාර්යාලය විසින්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර තිබිණි.

"රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව ද ජනාධිපතිවරයා එමඟින් පෙන්වා දී ඇත. එබැවින් මේ වන විටත් ක්‍රියාත්මක බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි."

ඉන් අනතුරුව එහි තවත් දිගුවක් ලෙස, මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් රජයේ වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය මුදල් නිදහස් කිරීම සීමා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්ද නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ, මෑතකදී කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍යම රාජ්‍ය සේවා, බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම පියවර ගන්නා බවය.

ඒ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අංක 01/2023 සහ අංක 09/2022 යන අය-වැය චක්‍රලේඛ මඟින් ප්‍රමුඛතා කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් එකී මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය කටයුතු කරන බව සඳහන් කර තිබේ.

මෙම කොන්දේසිවලට පටහැනිව යම් බැඳීමක් නිලධාරීන් විසින් ඇති කර නොගත යුතු අතර, එවැනි නියමයන් කඩ කරන නිලධාරීන් පෞද්ගලිකවම ඒ සඳහා වගකිව යුතු බවද අදාළ චක්‍රලේඛයේ දක්වා ඇත.

මීට අමතරව 'මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් විසින් කොමිසමේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වන චෝදනා සහ කොමිසමේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ලවීම් වැනි සිද්ධි, වක්‍රාකාරයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණයට බලපෑම් ඇතිකළ හැකියැයි උපකල්පනය කෙරෙන ප්‍රවෘත්ති රැසක්ම ගෙවීගිය සති කිහිපයක කාලය ඇතුළත වාර්තා විය.

අනෙක් පෙත්සම පිළිබඳ තීරණය තැපැල් ඡන්දයෙන් පසු...!

පළාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සළකා බැලීම පෙබරවාරි 23 දා දක්වා කල් දැමීමට ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්නේ මෙවැනි පසුබිමකය.

එහි ඇති වඩාත්ම විශේෂ කාරණය වන්නේ මීළඟ නඩු වාරයට පෙර,එනම් 2023 පෙබරවාරි 22වැනිදා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වීමයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ කිරීම ගැටලුසහගත වන්නේද? මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක බීබීසී සිංහල සේවය සමග මෙසේ අදහස් පළකළේය.

"අධිකරණය විසින් අපේ කටයුතු සඳහා කිසිම තහනම් නියෝගයක් ලබා දීලා නැහැ. ඒ අනුව පනතට අනුකුලව අපේ කටයුතු අපි කරගෙන යනවා. එහිදී 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකෙරෙනවා. දැනට බලපැවැත්වෙන නීතිය තුළ අපි මේ කටයුතු ඉටුකළ යුතුයි. මේක මැතිවරණ කොමිසමේ තනි රාජකාරියක් නෙමෙයි. අනෙකුත් වගකිවයුතු ආයතන සියල්ලත් මෙහිදී ඔවුන්ගේ රාජකාරි කොටස ඉටුකළ යුතුයි." ඔහු පැවසීය.

එහෙත් ගැටලුව වන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීමයි.

මුදල් ලබාදෙන එක මහා භාණ්ඩාගාරයේ වගකීමක්..!

මැතිවරණයට අවශ්‍ය සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 10ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර, සිය මුලික වියදම් ලෙස රුපියල් මිලියන 770ක මුදලක් කොමිසම මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

එහෙත් එම මුදල් මෙතෙක් නිසි ආකාරයෙන් නිකුත් කර නොමැත.

එම නිසා මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මැතිවරණයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් හා අනෙකුත් පහසුකම් සපයාදීමට අදාළ පාර්ශ්වයන්ට නියෝග කරන්නැයි දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දරන්නේ මෙවැනි අදහසකි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ සඳහන් වෙන්නේ 'ජනතා පරමාධිපත්‍යය'. ජනතා පරමාධිපත්‍යය භාවිත වෙන්නේ මැතිවරණවලදී. රටේ ජනතවගේ අත්‍යවශ්‍යම කාරණයක් තමයි ඡන්ද අයිතිය කියන්නේ. ඒ අයිතිය ක්‍රියාත්මක කරන්න වගකිවයුතු අංශ බැඳිලා ඉන්නවා. කාටවත් වගකීමෙන් බැහැරවීමේ හැකියාවක් නැහැ.” ඔහු අවධාරණය කළේය.

සමන් ශ්‍රී රත්නායක පෙන්වා දුන්නේ, “පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් බලතල තියෙන්නේ. පාර්ලිමේන්තුව අයවැය මගින් රුපියල් බිලියන දහයක මුදලක් වෙන්කරලා තිබුණා. මේ බිලියන දහය එකවර, එක දිනයක වියදම් කරන එකක් නෙමෙයි. මාස හතක් අටක් වගේ කාලයක් තුළ වරින්වර කෙරෙන දෙයක්. අපිට අවශ්‍ය වෙන විදිහට වරින්වර තමයි මුදල් ඉල්ලන්නේ. ඒ මුදල් ලබාදෙන එක මහා භාණ්ඩාගාරයේ වගකීමක්.”

ඔහු සඳහන් කළේ “පසුගිය අයවැයට අනුව රජයේ මාසික අදායම රුපියල් බිලයන එකසිය පනස් පහක්. ඒ කියන්නේ දිනකට බිලියන පහක ආදායමක්. මැතිවරණය වෙනුවෙන් ඉල්ලන්නේ ඉන් දවස් දෙකක ආදායම. මේ දවස් දෙකක ආදායම අපි වියදම් කරන්නේ මාස හතක අටක වගේ කාලයක් ඇතුළත. මේක අනෙක් සහනාධාර බෙදීම වගේ එකවර කෙරෙන ලබාදීමක් නෙමෙයි. අනෙක් කාරණය තමයි, මේක ආයෝජනයක්. මේක පළාත් පාලන ආයතන වෙනුවෙන් වසර හතරකට කෙරෙන ආයෝජනයක්. ඒ අනුව එක ඡන්දදායකයෙක් වෙනුවෙන් වැයකරන්න වෙන්නේ රුපියල් හයසීයක වගේ මුදලක්. ඒ නිසා වගකිවයුතු රජයකට කළයුතුව තියෙන්නේ මේ ජනතා අයිතිය තහවුරු කිරීම." ඔහු අවධාරණය කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත ද?

මැතිවරණ කොමිසමට සාමාන්‍ය පරිදි කටයුතු කළ හැකියි..!

මේ අතර පෙබරවාරි (10 වැනිදා ) විභාගයට ගැනුණු නඩුකරය හේතුවෙන් මැතිවරණයට බාධාවක් නොවනු ඇති බව මැතිවරණ නිරීක්ෂකයෝ අපේක්ෂා කරති.

විශේෂයේ පළමු පෙත්සම් දෙක සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීරණයට අනුව මැතිවරණ කොමිසමට සාමාන්‍ය පරිදි කටයුතු කළ හැකි බව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේය.

"දැන් ලබන 22 වැනිදා තැපැල් ඡන්දය පැවැත්වෙනවා කියන්නේ මැතිවරණයේ අවසන් අදියරට කළින් තියෙන අවසන් අවස්ථාව. නඩුවේ මීළඟ කැඳවීම් දිනය, ඒ කියන්නේ විසි තුන වෙනකොට, මම විශ්වාස කරන ආකාරයට ඡන්දදායකයන් ලක්ෂ දෙකකට අසන්න සංඛ්‍යාවක් ඡන්දය භාවිත කරලා අවසන්. ඒ නිසා අධිකරණය විසින් අවශ්‍ය කරුණු සළකා බලලා මැතිවරණය පැවැත්වීමට අදාළ අවස්ථාව ලබාදෙයි කියලා අපි හිතනවා. හැබැයි මැතිවරණ කොමිසම බොහොම අවංක චේතනාවෙන් මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටියත්, ඒ අධිෂ්ඨානය විතරක් මදි. මූල්‍ය බලයත් මැතිවරණ කොමිසමට තිබිය යුතුයි. හැබැයි රජයේ අනෙකුත් වගකිවයුතු නිලධාරින් ඊට සහාය නොදක්වන බවයි අපි දකින්නේ." ඔහු පෙන්වා දුන්නේය.

එසේ මුදල් ලබානොදෙන්නේ නම් මැතිවරණ කොමිසම කළ යුත්තේ මොකක්ද? යැයි අපි කළ විමසීමට පිළිතුරු දුන් මංජුල ගජනායක කියා සිටියේ එහිදී කොමිසමට, විසර්ජන පනතින් තමන්ට ලැබුණු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව ඇමතිය හැකි බවයි.

" මොකද පාර්ලිමේන්තුවත් බලාගෙන ඉන්නේ මෙවැනි යෝජනාවක් එනකම්. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනා සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් බහුතරය රැස්කරගෙන ඉන්නේ. එතැනදී, මේකට බෙදීමක් අවශ්‍යයි කියල පක්ෂ නායකයෝ තීරණය කළොත්, එතැනදී මුදල් නිකුත් නොකර ඉන්න යම් තීරණයක් ගන්න පුළුවන්."