පළාත් පාලන මැතිවරණය 2023: තරග බිමේ අපේක්ෂකයන්ගේ අලුත්ම ට්‍රේන්ඩ් එක මොකක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2023 පළාත් පාලන මැතිරණයට තරග කරන අපේක්ෂකයින් සිය අධ්‍යාපන සුදුසුකම් ඇතුලුව ජීව දත්ත සටහන් ෆෙස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමේ නැඹුරුවක් මේ දිනවල දක්නට ලැබෙයි.
මැතිවරණ අපේක්ෂකයින් එලෙස සිය සුදුසුකම් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම පිළිබඳ යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචනද මේ වන විට එල්ල වෙමින් තිබේ.
ඒ අනුව පසුගිය දිනවල මේ සම්බන්ධව මැතිවරණ තරග බිමේ හුවමාරු වූ උණුසුම් සංවාද සම්බන්ධයෙන් අපි සොයා බැලුවෙමු.
ඡන්ද සටන උණුසුම්
'නොපවත්වයි’, ‘කල්යයි’ කියූ පළාත් පාලන මැතිවරණයට මේ වනවිට දින නියමවී තිබේ. ඡන්ද සටන පාර්ලිමේන්තු මහා මැතිවරණයක් තරම්ම උණුසුම්ව ඇත.
මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්කර කර මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය සමග සමග සන්ධානගතව මෙවර පළාත් පාලන මැතිවරණට තරග කරන අතර සමගි ජනබල වේගය, ජාතික ජනබලවේගය සහ නිදහස් ජනතා සංධානය ද ඡන්ද සටන තීව්‍ර කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන ආයතන සඳහා තරග කරන 43 සේනාංක නියෝජිතයන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා බාරදුන්නේ 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙනි.
එසේම රට පුරා පළාත් පාලන ආයතන ගණනාවක් වෙනුවෙන් ස්වාධීනව හා අවබෝධතා ගිවිසුම් මත නව ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව තරග වදිති.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පාලක පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින්නේ අභියෝග රැසක් මධ්‍යයේය.
ඒ රට මුහුණ දී සිටින වත්මන් අර්බුදයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වගකිව යුතු බවට ජනතාව තුළ පවතින හැඟීම හේතුවෙනි.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ රසායනික පොහොර තහනම වැනි අදූරදර්ශිව හදිසියේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන්, මෙරට කෘෂි කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වු අතර පොහොර අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට මරු පහරක් එල්ල විය.
විදෙස් සංචිත පහත වැටීම,රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ඉහළ යන ආහාර උද්ධමනය හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.
ඉන්ධන පොලිම් නොමැති වුවත් ඉන්ධන බෙදා හැරීම තවමත් සිදුවන්නේ QR ක්‍රමය අනුව සීමා සහිතවය.
දෛනික විදුලි කප්පාදුව ජනතාවට දැන් හුරුපුරුදු, දෛනික දින චර්යාවේම කොටසක් බවට පත්ව හමාරය.
රජයේ නව ආදායම් බදු සංශෝධනය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනයද ක්‍රියාත්මක වුවහොත් ජනතාවට කබලෙන් ලිපට වැටීම වැනි තත්ත්වකට මුහුණ දීමට සිදුවනු ඇත.
මෙවැනි වාතාවරණයක් මැද මහජන ඡන්දය අපේක්ෂාවෙන් නිවෙස් වෙත යෑම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝගාත්මක වනු ඇතැයි යන්න විපක්ෂ ක්‍රියාකාරීන් පෙන්වා දෙන කාරණයකි.
සමගි ජනබලවේගය ද මහා මැතිවරණයේදී ලද තම ඡන්ද පදනම සුරක්ෂිත කර ගනිමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීමට දැඩි උත්සාහයක නිරතව සිටියි.
ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් වෙන්වූ වෙනම ම බලවේගයක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන ජාතික ජනබලවේගය වැඩි බලාපොරොත්තු සහිතව මැතිවරණ ව්‍යාපාරයට එළඹ ඇති අයුරු දක්නට ලැබෙන අතර මැතිවරණ අපෙක්ෂකයින් ලෙස උගතුන් මෙන්ම වෘත්තිකයින් රැසක් ඔවුන් විසින් තරග බිමට ඉදිරිපත් කර තිබේ.
සුදුසුකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජනබලවේගය ඇතුලු පක්ෂවල අපේක්ෂකයින් විසින් සිය අධ්‍යාපන සුදුසුකම් සහිත ජීව දත්ත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අයුරු දක්නට ලැබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ මැතිවරණ අපේක්ෂකයින් එලෙස සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීම යහපත් ප්‍රවණතාවක් බවය.
“හැමෝම සීවී එක දාන්න ඕනේ. ඇයි මේ උගත් බුද්ධිමත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.” ඔහු සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ “සීවී එකක් කියන්නේ මොකද්ද? කිසියම් කාර්යක් සඳහා අපි ඉල්ලුම්කරනවා. ඒ ඉල්ලුම් කරන කොට ඒ කාර්යය අපිට පවරන කෙනාට අපි කියනවා මෙන් මේ මේ දේවල් නිසා මම මේ කාර්යය ඉෂ්ට කිරීමට සුදුසුයි කියලා. සීවී එක විතරක් නෙමෙයි. එයාව ඉන්ටර්වීව් කරනවා. ඒක එක් අවශ්‍යාතාවක්. හැමදාම මහජන නියෝජිතයෝ කියනවා මෙන් මේ දේ නිසා මම මේකට සුදුසුයි කියලා. ඒක කියන්න ඕනේ. ඒක ලිඛිතවත් දෙන එක ඡන්ද දායකයාට ප්‍රයෝජනවත්"
ඔහු පෙන්වා දෙන්නේ “අපි අපේක්ෂා කරන්නේ බුද්ධිමත් ඡන්ද දායකයෙක් නේ. ඡන්ද දායකයෙක් තමන්ගේ අපේක්ෂකයාගේ සුදුසුකම් සොයාලා බලලා ඒ අපේක්ෂකයට අපිව නියෝජනය කරන්න. ඒ ආයතනවල වැඩ කරන්න අවශ්‍ය ධාරිතාව, ශක්‍යතාව ඒගොල්ලන්ට තියෙනවද? එක හොයලා බලලා ඡන්දය දීම තමයි අපි අපේක්ෂා කළ යුතු වෙන්නේ. ඒවගේ ඡන්ද දායක ප්‍රජාවක්. ඒවගේ අපේක්ෂකයෝ නිර්මාණය කිරීම තමයි කළ යුතු වන්නේ.”
“වියත්මග කතන්දරය වෙන එකක්. ඒකෙ ඉන්නවා යම් යම් කේෂ්ත්‍රවල වෘත්තිකයෝ. වෘත්තිකයෝ කියනවා අපි තමයි කට්ටිය කියලා.”
අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ “කවුරුහරි කියනවා නම් මහජන නියෝජිතයෙක් වෙන්න සුදුසුකම් අවශ්‍ය නැහැ කියලා. ඒක වෙනම කාරණයක්. මම කියන්නේ සුදුසුකම් අවශ්‍යයි.”
“සීවී එකක් තියෙන්න උපාධියක් ඕනේ නැහැනේ. පාසල් නොගිය කෙනෙකුට වුණත් පුලුවන් අවශ්‍ය සුදුසුකම් වෙන මාර්ග වලින් සම්පූර්ණ කරන්න. ඒවා පෙන්වන්න එපැයි”
“ඉස්සර ගම්සභා මැතිවරණ තියෙන කාලේ ගමේ මනුස්සයෙක් ඡන්දය ඉල්ලුවා. එතකොට හැමෝම එයා ගැන දන්නවා. පුද්ගලිකව දන්නවා. දැන් එහෙම නැහැනේ. දැන් නගර සභාවකට ඉල්ලන කෙනෙක් ගැන බැලුවොත් ලොකු ප්‍රදේශයක් නේ. ලොකු ජනගහණයක්. මුහුණට මුහුණ සම්බන්ධතා නැහැ අපේක්ෂකයොත් එක්ක. ඒ නිසා මේවගේ ක්‍රමයක් හරි වැදගත්.” අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot| Dulan Dasanayaka Facebook
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ ෆෙස්බුක් සටහනක් තබමින් ප්‍රවණතාවය විවේචනට ලක්කර තිබුණි.
හෙතෙම මෙය පෙන්වා දී තිබුණේ වියත්මඟ සංවිධානය උදාහරණයට ගනිමින්ය.
“මේ අලුතින්ම ජවිපෙට රිංගල තියෙන "වියත්මග" මානසිකත්වය. උගතුන් රට හදාවි කියල හිතන මනස. ගෝඨාභය හදපු වියත්මග සංවිධානයෙ එක රැස්වීමකටවත් මම ගියේ නැහැ. මුල ඉඳලම මම දැනගත්ත ඒක පුස්සක් කියල. ඒකෙන් කියන්නෙ ඒකෙ හිටිය අය පුහු මිනිස්සු කියල නෙමෙයි. ඒකෙ ඉතාම හොඳ බුද්ධිමතුන් ඉන්න ඇති. ඒත් රටක නායකත්වය දෙන්න පුළුවන් දේශපාලන බුද්ධිය තියෙන අයට. ඒක උගතුන්ගේ වැඩක් නෙමෙයි.”
“උගත්තු කරන්න ඕන පර්යේෂණ හා සංවර්ධන වැඩ (research and development). වියත්තු පාලනයට ගිය ගමන් අසාර්ථක වෙනවා. දේශපාලනය කියන්නෙ වෙනම එකක්. ජවිපෙටත් මුල ඉඳල මේ ලෙඩේ තිබුණ. ඔවුන් තමන්ගේ නායකයින් උපාධිධාරින් කියල තමා මාර්කට් කළේ. ඒත් රාජ්‍ය සේවයට හෝල්සේල් ගත්ත අතිබහුතරයක් කළමනාකරණ සහකාරලත් උපාධිධාරීන් තමා. ඉතිං වෙනස මොකක්ද?"
"මේ උගත් උන්මාදයට රැවවෙන්න එපා. මහාචාර්ය කියපු ගමන් හිතන්න එපා මිනිහ සේරම දන්නව කියල. ඔය සමහරු තමන්ගේ ආචාර්ය උපාධිය කරල තියෙන්නෙ අර ලංකාවේ ඇලවල ඉන්න පෙතියා කියන මාළුවගේ සුදු ඉරක් තියෙන්නෙ ඇයි කියල. ඒත් මිනිහ මහාචාර්ය කියාගෙන සමාජයට බහින්නෙ. ඔය වගේ තමා සේරම. ඒවගේම තමා සෙලිබ්‍රිටිස්ලත්. ඒ අය මොනවද දන්නෙ එයාලා විකුණන බඩු ගැන"
"අනිත් පැත්තෙන්, මාර්ක්ස්වාදී පක්ෂයක් අද කොතරම් පිරිහිලා ද කියනව නම්, උගත් නූගත් භේදය නිර්මාණය කරල සමාජ මතය කොල්ල කන්න හදන විදිය හරිම කැතයි. මේකද සමාජවාදය කියන්නෙ? ඔහු තම සටහන මඟින් විමසා තිබුණි.
මීළඟ ආණ්ඩුව ගැන සංඥාවක් දෙන මැතිවරණයක් වෙයිද?
2023 ආරම්භයේදී පැවැත්වෙන්නේ පළාත් පාලන මැතිවරණයකි. එය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන නමුත් සෑම ප්‍රධාන පක්ෂයක්ම පාහේ තමන්ට වැඩි වාසි ඇති බව අවධාරණය කරමින් මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටිති.
සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙය මීළඟ ආණ්ඩුව පිළිබඳ සංඥාවක් දෙන මැතිවරණයක් වනු ඇති බවය. "මෙවර පළාත් පාලන ආයතන වලින් බහුතරයක් අපි දිනනවා. අපිට අභියෝගයක් හැටියට ජාතික ජනබලවේගය ගැන කතා කළත් බිමේ ඉන්න මහජනතාවගේ වැඩි බැඳීම තියෙන්නේ සමගි ජනබලවේගය පිළිබඳව.”
ඔහු පෙන්වා දෙන්නේ, “පොහොට්ටුව පිළිබඳ බිඳ වැටීමක් තියෙනවා. පොහොට්ටුව පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා. ඉතින් ඒ නිසා මේක ආණ්ඩු පෙරලියක් කරන, ආණ්ඩු වෙනස් කරන ඡන්දයක් නොවුණත් මේක ඊළඟ අණ්ඩුව පිළිබඳ සිංග්නල් එකක්, සංඥාවක් දෙන මැතිවරණයක් බවට පත්වෙයි.” යනුවෙනි.
ඔහු සඳහන් කළේ විශාල ජනරැලි පැවැත්වීමට වඩා නිවසින් නිවසට ගොස් ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවය.
මැතිවරණ අපේක්ෂකයින්ගේ සුදුසුකම් ප්‍රසිද්ධ කිරීම සුදුසු ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ජනහමුවක් අමතමින් කියා සිටියේ පළාත් පාලන ආයතන 254කට පොහොට්ටුව ලෙස තනිව තරග කරන බවය.
ඉතිරි පළාත් පාලන ආයතනවලට හවුල්කාර පක්ෂ සමග එක්ව තරග කරන බවද ඔහු සඳහන් කළේය.
“දන්න ලකුණුවලට තමයි මිනිස්සු ඡන්දය දෙන්නේ. ඒ නිසා ඔය නොදන්න ලකුණු පස්සේ මිනිස්සු යන්නේ නැහැ. මෙරටේ මිනිස්සු තීන්දුවක් අරන් තියෙන්නේ පොහොට්ටුවට ඡන්දය දෙන්න. ඒක නියතයක්.” රංජිත් බණ්ඩාර පැවසීය.
මේ අතර ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක බියගම ආසන සමුළුව අමතමින් ජනවාරි 23 වැනිදා කියා සිටියේ “එගොල්ලෝ මේ ඡන්දය කල්දාන්න වැඩිපුරම උත්සහ කරන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි, අද ලංකාවේ සියලු සමීක්ෂණ වාර්තා හෙලි කරලා තියෙනවා, උඩින් ඉන්නේ මාලිමාව කියලා. සියලු බුද්ධි අංශ වාර්තා අනුව උඩින් ඉන්නේ මාලිමාව. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තාව ආවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තාව අනුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලින් වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නේ මාලිමාව ” ඔහු එහිදී කියා සිටියේය.












