ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වීම උතුරු නැගෙනහිර දේශපාලන පිටියේ තීරණාත්මක හැරවුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නොමැතිව, එළැඹෙන මැතිවරණයට දෙමළ ජාතික සන්ධානය සමග නව සහයෝගීතාවකින් තරග කිරීමට දෙමළ පක්ෂ රැසක් යාපනයේ දී සහයෝගිතා ගිවිසුමකට එළඹ තිබේ.
එහිදී සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරන ටෙලෝ පක්ෂය, ධර්මලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරන ප්ලොට් සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ්. පක්ෂය, එස්. ශ්‍රිකාන්ත නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය හා ශිවනාදන් නවීන්ද්‍රා නායකත්වය දරන පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමි පක්ෂය යන පක්ෂ එක්ව නව සන්ධානයක් යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය.
ඒ ගෙවී ගිය සතියේ අන්තයේ උතුරේ දේශපාලන කරළිය තවත් සක්‍රීය කරමිනි.
දෙමළ ජනතාවගේ ආරක්ෂාව, දෙමළ ජනතාවගේ භූමිය හා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක්ව කටයුතු කළ යුතුබවට වන දෙමළ ජනතාවගේ ඉල්ලීම මත පසුගිය 12 වැනිදා හා 13 වැනිදා දෙමළ දේශපාලන පක්ෂ ඒකාබද්ධ ගිවිසුමකට එළැඹීම වෙනුවෙන් සාකච්ජා පැවැත්වූහ.ඉන් අනතුරුව සහයෝගිතා ගිවිසුමට අත්සන් කළේ ජනවාරි 14 වැනිදාය.
මේ සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ පක්ෂය, ප්ලොට් සංවිධානය, ඊ.පි.ආර්.එල්.එෆ්. පක්ෂය, දෙමළ ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමි පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය හා දෙමළ ජනතා සන්ධානය ආදී පක්ෂ රැසක් එක්ව සාකච්ජාවක් පැවැත්විණ.
අදාළ සාකච්ජාවේ දී ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය පක්ෂයට මූලිකත්වය ලැබෙන සේ කටයුතු සිදුකළ යුතුබවට ඉල්ලූ අතර, තමන් ඊට අකමැති බැවින් අදාළ සන්ධානයට එක් නොවූ බව දෙමළ ජාතික පෙරමුණ සන්ධානයේ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේශ්වරන් සඳහන් කළේ ය.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරමින් සාකච්ජාවට එක්වූ යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ද පැවසුවේ, අදාළ සහයෝගිතා ගිවිසුමේ සහයෝගය පළ කළ නොහැකි කාරණා කිහිපයක් පවතින බැවින් තම පක්ෂය ද ඊට එකඟ නොවූ බව ය.
කරුණු 14කින් යුතු නව සන්ධාන ගිවිසුමේ ඇතැම් කරුණු මෙසේ ය:
- පක්ෂවල නායකයින් සහ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පිහිටුවනු ලැබේ
- යෝජිත කෘත්‍යාධිකාරී මණ්ඩලය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සඳහා පූර්ණ දේශපාලන විසඳුමක් ඉලක්කකර, එය සාක්ෂාත්කර ගැනීම සඳහා සියලු මාර්ගෝපදේශ සම්පාදනය කරනු ඇත
- මැතිවරණ කටයුතුවල දී දෙමළ ජාතික සන්ධානය 'ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය' යන නාමයෙන් සහ එහි ලකුණ වන පහන ලකුණ සමග ක්‍රියා කළ යුතු ය
- විධායක කමිටුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන සභාවල කටයුතු ද මෙහෙයවනු ඇත
- දෙමළ ජාතික ජනවාර්ගික ප්‍රශ්නයට අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කිරීමට, උපදෙස් ලබා ගැනීමට සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය විද්වත් කමිටු සහ අනෙකුත් අනුකමිටු ජාතික විධායක කමිටුව විසින් පත් කළ යුතු ය
- සෑම පක්ෂයක්ම TNA නායකත්ව මණ්ඩලය ලෙස පිළිගත යුතු අතර, මාධ්‍ය හෝ පොදු වේදිකාවල හෝ සම්බන්ධයක් නැති පක්ෂ හෝ සමාජ මාධ්‍යවල සාමාජික පක්ෂ හෝ TNA ප්‍රතිපත්ති සහ වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු ය. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මහජන නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා විනය කමිටුවක් ද ස්ථාපිත කෙරේ

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආරම්භක දෙමළ ජාතික සන්ධානය ස්ථාපිත කිරීම 2001 ඔක්තෝම්බර් 20 වැනිදා සිදුකළ අතර, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (ACTC), ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF), දෙමළ ඊළාම් විමුක්ති සන්ධානය(TELO), දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) යන පක්ෂ ඊට ඇතුළත්ව සිටියහ.
දෙමළ ජාතික සන්ධානය තුළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මූලිකවීමට ගත් උත්සාහයන් හමුවේ, 2017 වසරේ දී වි.ආනන්ද සංගරී නායකත්වය දරන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්විණ.
පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) ද දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ අතර, අදාළ පිරිස 'දෙමළ ජනතා සන්ධානය' නමින් නව සන්ධානයකින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූහ.
උතුරු පළාතේ පිහිටවූ පළමු පළාත් සභාවට තේරී පත්වූ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත සි.වි. විග්නේශ්වරන් ද දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව 'දෙමළ ජනතා සන්ධානය' නමින් නව සන්ධානයක් පිහිටුවා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ ය.
සන්ධානය තුළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මූලිකත්වය ලැබිය යුතු බවට වන තීරණ හමුවේ දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත කණ්ඩායම් ඉන් ඉවත්වූ බව දේශපාලන විචාරකයින්ගේ මතය යි.
දේශපාලන විචාරකයින් පැවසුවේ, මාවෙයි සේනාධිරාජා නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වීම උතුරු නැගෙනහිර දේශපාලනයේ සුවිශේෂි කරුණක් වන බව යි.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉවත්වීම හා දෙමළ ජාතික සන්ධානය ලෙසට පක්ෂ කිහිපයක් නව ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.පි.ගනේෂලිංගම් මහතාගෙන් අප කළ විමසිමදී ඔහු පැවසුවේ; “දෙමළ ජාතික සන්ධානයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉවත්වී තනිව මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත්වීමට උත්සහ කිරීම උතුරු නැගෙනහිර දේශපාලනයේ සංධිස්ථානයක්.නමුත් වර්තමාන දේශපාලන රාමුව තුළ තනි පක්ෂවලට ජයග්‍රහණය ලබා ගැනීම අපහසුයි.සන්ධානගත වීමකින් පමණයි මැතිවරණ ජයග්‍රාහණය කළ හැක්කේ.ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ලාංජනය වන “නිවස” ලකුණ තමයි දෙමළ ජනතාවගේ මනසේ තැන්පත් වෙලා තිබෙන්නේ.ඒ හරහා යම් වෙනසක් සිදුවෙන්නටත් හැකියාවක් තිබෙනවා.” යනුවෙනි.
නව ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්ගෙන් විමසීමේ දී ඔහු පැවසුවේ, නව සහයෝගීතාවකින් යුතුව දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට බලාපොරොත්තු වන අතර, ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුලු අනෙකුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් සන්ධානය වෙනුවෙන් එක්වන ලෙසට ඉල්ලීම් කළ ද ඔවුනගේ දේශපාලන මතය අනුව ඔවුන් දෙමළ ජාතික සන්ධානය සමග නව සහයෝගීතා ගිවිසුමට අත්සන් නොකළ බව යි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය වටා රැඳී සිටින අතර තනි පක්ෂ වටා රැඳී නොසිටින බැවින්, එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුලු අනෙකුත් මැතිවරණවල දී දෙමළ ජාතික සන්ධානය වෙත උතුරු නැගෙනහිර බලය හිමිවනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාගෙන් විමසීමේ දී හෙතෙම සඳහන් කරනු ලැබුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණ අනුව පක්ෂය කටයුතු කරන බව යි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙත වැඩි බලයක් හිමවනු ඇති බවට විශ්වාස කරන බව ද සේනාධිරාජා පැවසුවේ ය.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් නායකත්වය දරන සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ආනන්ද සංගරී නායකත්වය දරන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා වර්තමාන ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නායකත්වය දරන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන දෙමළ දේශපාලන පක්ෂ එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී උතුරු පළාතේ තනිව තරග කිරීමට නියමිත ය.
දෙමළ ජාතික සන්ධානයේ නව සන්ධානගතවීම හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ නව සහයෝගිතා ගිවිසුමට අත්සන් නොකිරීම පිළිබඳ මේ වන විට උතුරේ ජනතාව විවිධ අදහස් පළ කරමින් තිබේ.
බීබිසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් වවුනියා ප්‍රදේශයේ පදිංචි එස්. මරියදාස් කියා සිටියේ;"උතුරු නැගෙනහිර දෙමළ ජනතාගේ ඉල්ලීම් වන දෙමළ ජනතාවගේ ආරක්ෂාව, දෙමළ ජනතාවගේ භූමිය සුරකීම හා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් සමග උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එක්ව කටයුතු කරන අතර, එක් එක් පුද්ගලයාගේ ජනප්‍රියත්වය මත ඔවුනට ඡන්දය ලබාදීමට උතුරු නැගෙනහිර ජනතාව කටයුතු නොකරන" බව යි.












