2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: සම්බන්ධන් - විසි ලක්ෂයක ඡන්ද තීන්දු කරන දමිළ දේශපාලන නායකයා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, උපාලි ගජනායක
- Role, BBC සිංහල
බොහෝ දේශපාලන නායකයන්ගේ ජීවිත වෘත්තාන්ත කියැවීම තුළ දේශපාලන ඉතිහාසයේ දීර්ඝ පරිච්ඡේද කිහිපයක් ද කියවා ගැනීමට අවස්ථාව උදාවෙයි. මන්ද? ඔවුන්ගේ දේශපාලන කාර්යභාරය රටක මෙන්ම ඇතැම්විට එය නිරායාසයෙන් ම ජාත්‍යන්තර දේශපාලනය සම්මුඛ කෙරෙන වෘත්තාන්තයක් ද විය හැකි හෙයිනි.
දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරයේ පැරණි පරපුර නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදියම් සම්බන්ධන්ගේ අඩසියවසකට අධික දේශපාලන ජීවිතයත් ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයේ තවත් එවැනි පරිච්ඡේදයක් මෙන්ම ලංකාවේ ජාතික ගැටලුවට අදාළ කරුණු ජාත්‍යන්තරය තෙක් ධ්‍රැවීකරණයවීමත් සමඟ බැඳුනකි.
නිදහසින් පසුව සේනානායක සහ කොතලාවල පාලන සමයන්හි ඉන්දියාව පමණක් මැදිහත් වූ රටවල් දෙකකට සීමා වූ ලංකාවේ ජාතික ගැටලුව ඉන් ඔබ්බට ගොස් සමස්ත ජාත්‍යන්තරයේ අවධානයට ලක්වෙන මාතෘකාවක් බවට පත්වූයේ අමිර්තලිංගම් සහ සම්බන්ධන් යුගයෙහිදීය.
ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකවාදී දේශපාලන අරගලයේ දුෂ්කරම අවධියෙහි එම ජනතාවට නායකත්වය දුන් දේශපාලනඥයන් දෙදෙනා ලෙස අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් සහ රාජවරෝදියම් සම්බන්ධන් ඉතිහාසයට එක්වෙති.
හිටපු විපක්ෂ නායක සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයට (TNA) නායකත්වය දෙමින් අගෝස්තු 05 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟයට අවතීර්ණව සිටී.
රාජවරෝදියම් සම්බන්ධන් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ප්‍රකටව සිටින්නේ "ආර් සම්බන්ධන්" ලෙසිනි.

සිය ජීවිතයේ නවවෙනි දශකයේ එළිපත්තේ (87) සිටින වත්මන් ශ්‍රී ලාංකික දෙමළ ජාතියේ නායකයා පනස් වසරකට ආසන්න සිය දේශපාලනයේ තවත් වැදගත් අභියෝගයකට මුහුණ දී සිටින්නේ සිය වෘද්ධභාවය දේශපාලනයට බාධාවක් කර නොගනිමිනි.
මොරටුව සහ කුරුණෑගල වැනි බහුතර ප්‍රජාව සිංහල වර්ගයා වන ප්‍රදේශයන්හි ද පාසල් අධ්‍යාපනය ලබා අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ද පුහුණුව ලද සම්බන්ධන් සිංහල භාෂාව කතාකරන දෙමළ නායකයන් කිහිපදෙනා අතරට ඇතුළත් වේ.
වෘත්තියෙන් නීතිවේදියකු වූ පසුව වෘත්තීය දේශපාලනඥයකු බවට පත් ආර් සම්බන්ධන්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ ගිනිසිළුව දැල්වූ දේශපාලන නායකයා වූ එස් ජේ වී චෙල්වනායගම් විසින් ආරම්භ කරන ලද ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK) සාමාජිකයකු බවට පත්වීමත් සමඟය.
චෙල්වනායගම් සහ ෆෙඩරල් පක්ෂය
චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ආරම්භ කරන ලද්දේ ජී ජී පොන්නම්බලම් ගේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ඉවත්වෙමිනි. පොන්නම්බලම් 1947 දී ඩී එස් සේනානායක ආණ්ඩුවට එක්වෙමින් ඇමති පදවියක් භාරගැනීමට එරෙහිවූ චෙල්වනායගම්, සී වන්නියසිංහම් සහ ඊ එම් නාගනාදන් වැනි එවක ප්‍රබල දේශපාලන නායකයන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ෆෙඩරල් පක්ෂය ආරම්හ කරන ලද්දේ විකල්ප දමිළ දේශපාලන පක්ෂයක් වශයෙනි.
ආර් සම්බන්ධන් ITAK පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළේ චෙල්වනායගම්ගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය ලංකාවට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් යෝජනා කරන ලද සමාජ - දේශපාලන පරිසරයක් තුළය. එම අවධියේ උතුරු-නැගෙනහිර ලාංකික දමිළ ප්‍රජාව නියෝජනය කරන ලද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූයේ චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂය සහ ජී ජී පොන්නම්බලම් ගේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයයි.
1947 දී සෝල්බරි ප්‍රතිසංස්කරණය මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද පාර්ලිමේන්තුව සඳහා පැවැත්වුණු පළමු මහමැතිවරණයෙන් අනතුරුව පොන්නම්බලම් එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව ආණ්ඩුවේ ඇමති පදවියක් භාරගනු ලැබීමත් සමඟ ජාතිකවාදී දේශපාලනයේ සුළඟ චෙල්වනායගම්ගේ වාසියට හැරුණු අතර අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් සහ ආර් සම්බන්ධන් වැනි තරුණයන් ආකර්ෂණය වූයේ ෆෙඩරල් පක්ෂයේ දේශපාලනය කෙරෙහිය.
සම්බන්ධන් 1956 දී චෙල්වනායගම්ගේ නායකත්වය පිළිගනිමින් ITAK සාමාජිකත්වය ලබා ගත්තේය. අමිර්තලිංගම් ෆෙඩරල් පක්ෂයේ තරුණ සංවිධානයේ නායකයා වූ අතර සම්බන්ධන් එහි ප්‍රබල ක්‍රියාකාරිකයකු බවට පත්විය.
1956 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අගමැති බණ්ඩාරනායක විසින් ඉරාදමනු ලැබීමෙන් අනතුරුව ෆෙඩරල් පක්ෂය විසින් ක්‍රියාවට නංවන ලද සත්‍යග්‍රහ ඇතුළු එම අවධියේ සියලු දමිළ ජාතිකවාදී විරෝධතා ව්‍යාපාරවලට සක්‍රීය මට්ටමින් මැදිහත්වීම මගින් ආර්.සම්බන්ධන් ක්‍රියාකාරී දේශපාලකයකු බවට පත්කරනු ලැබිණි.

මෙයින් හරියටම වසර පනහකට පෙර 1970 මහමැතිවරණයේ දී සම්බන්ධන් ITAK පක්ෂයෙන් ත්‍රිකුණාමලය ආසනයට තරඟ කළත් ඔහුට ජයග්‍රහණය අහිමි විය.
ඉලංකයි තමිල් අරසු කච්චි, සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය සහ ලංකා කම්කරු කොංග්‍රසය සන්ධානගත වීමෙන් 1972 දී දෙමළ එක්සත් පෙරමුණ (TUF) පිහිටුවනු ලැබිණි. එය ශ්‍රී ලංකාවේ වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාවත් ඇතුළත් කර ගනිමින් සමස්ත දේශීය දමිළ ජනයා නියෝජනය කරන ප්‍රබල පක්ෂ දේශපාලනමය වශයෙන් සන්ධානගත වූ පළමු පුළුල් අවස්ථාව විණි. ආර් සම්බන්ධන් ද එම ව්‍යාපාරය තුළ ප්‍රධාන කොටස්කරුවකු විය.
1976 වඩුක්කොඩෙයි ඓතිහාසික සමුළුව මගින් දෙමළ එක්සත් පෙරමුණ (TUF) යළි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) යනුවෙන් නම් කරනු ලැබිණි.
ඉන් අනතුරුව පැවැත්වුණු 1977 මහ මැතිවරණයේ දී කල්කුඩා ආසනය හැර උතුරු - නැගෙනහිර බහුතර පාර්ලිමේන්තු නියෝජන බලයක් දිනාගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුවේ දෙවැනි බලවත් තනි දේශපාලන පක්ෂය බවට පත්විය.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) පළමු නායකයා වූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු දමිළ විපක්ෂ නායකයා ලෙස ඉතිහාසයට එක්විය.
1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනා අතර සම්බන්ධන් ද විය.
එය ශ්‍රී ලංකාවේ දමිළ දේශපාලනයේ නව කඩඉමක ආරම්භය විය.
කළු ජූලිය සහ හයවෙනි සංශෝධනය
1977 වසරේ බලයට පත් පාර්ලිමේන්තුව වසර හයක් ඇවෑමෙන් විසුරුවා හරිමින් නව මහමැතිවරණයක් කැඳවිය යුතු වූ නමුත් ඊනියා ජනමත විචාරණයක් කැඳවමින් එහි නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කරගැනීමට ජේ ආර් ජයවර්ධන පාලනය ගත් ක්‍රියාමාර්ගයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ විරෝධය පළකළත් ආණ්ඩුව එම ස්ථාවරයේ ම පිහිටා කටයුතු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1982 වසරේ පැවැත්වූ එම ජනමත විචාරණයෙන් පසු 1983 වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සහ ඔවුන්ගේ දේපොළ ඉලක්ක කර ගනිමින් දින කිහිපයක් පුරා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය ඉදිරියේ පාලකයන් නිහඬ ව්‍රතයක් අනුගමනය කළ අතර උතුරු නැගෙනහිර පමණක් නොව මුළු රටපුරාම සිවිල් දේශපාලනය යුදමය තත්ත්වයකට ඇද දැමීමට එය හේතුවිය.
යාපනයේ දී යුදහමුදා භටයන් පිරිසක් මරාදමනු ලැබීම මුල්කර ගනිමින් කුපිත වූ අන්තවාදීන් විසින් දමිළ ජනජීවිත සහ ඔවුන්ගේ දේපොළ ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයේ දී 3000කට අධික මහජන ජීවිත විනාශ විනැයි ඇස්තමේන්තු කෙරෙන අතර ලක්ෂ සංඛ්‍යාත දමිළ ජනයා පිළිසරණ පතා ඉන්දියාව සහ ලෝකයේ වෙනත් රටවලට සංක්‍රමණය වීමත් සමඟ ආරම්භ වූයේ යුද්ධයේ අඳුරු අවධියකි.
ඉන් අනතුරුව 1983 අගෝස්තු මාසයේ සම්මත කරන ලද හයවෙනි සංශෝධනය නිසැකවම ශ්‍රී ලංකාවේ දමිළ දේශපාලනයේ නව අදියරක ආරම්භය සළකුණු කළේය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලද හයවෙනි සංශෝධනය මගින් නිර්දේශ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇතුළුව රජයේ සියලු නිලධාරීන් රටේ ඒකීය රාජ්‍යයේ පැවැත්ම පිළිගනිමින් දිව්රුම් දියයුතු බවය. ඒ වනවිට දමිළ තරුණයන්ගේ සංවිධාන කිහිපයක් වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් ආරම්භ කරනු ලැබීම ආණ්ඩුව එවැනි සංශෝධනයක් ගෙනඒමට හේතු වූ අතර එම අවධියේ පාර්ලිමේන්තුව තුළ දෙමළ ජනයා නියෝජනය කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එම දිව්රුම්දීම ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව වර්ජනය කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාර්ලිමේන්තුවට අඛණ්ඩව නොපැමිණීම හේතුවෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන අහිමි කිරීමත් සමඟ නිදහසින් පසු ශ්‍රී ලංකාව උතුරු නැගෙනහිර දෙමළ මහජන නියෝජනයක් නොමැති ව්‍යවස්ථාදායකය බවට පත්විය.
1987 ඉන්දු-ලංකා ගිවිසුම
කළු ජූලිය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ තීරණාත්මක කඩඉමක් වූ අතර දෙමළ විමුක්ති කොටි සංවිධානය මධ්‍යස්ථ සහ සටන්කාමී සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන මත නිල නොවන තහංචියක් ප්‍රකාශයට පත්කරමින් ඔවුන් මත මර්දනය මුදාහරින ලද පරිසරයක් තුළ අමිර්තලිංගම්, සිවසිත්තම්පරම් සහ සම්බන්ධන් වැනි මධ්‍යස්ථ දමිළ නායකයන්ට ද ජීවිතාරක්ෂාව පතා ඉන්දියාවට සංක්‍රමණය වීමට සිදුවිය.
ඉන්දියාවේ ගතකරන ලද කාලය තුළ අමිර්තලිංගම් සහ සම්බන්ධන් වැනි නායකයන්ගේ ප්‍රයත්නය වූයේ උත්සන්න වෙමින් පැවති යුදමය වාතාවරණය නිමකොට ශ්‍රී ලංකාවේ දමිළ ජාතික ගැටලුවට ඉන්දියාවේ සහයෝගය ඇතිව සාමකාමී විසඳුමක් ලබා ගැනීමය.
මේ අතර අගමැති රජිව් ගාන්ධි සහ ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමත් සමඟ ආරම්භ වූ සටන් විරාමය සහ කොටි සංවිධානය විසින් සංකේතාත්මකව ඔවුන් සතු අවිආයුධ භාරදෙනු ලැබීමත් සමඟ රටින් පිටව සිටි දමිළ නායකයන් ආපසු සියරට ළඟාවීම ආරම්භ විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දීය සාම සාධක හමුදා කැඳවනු ලැබීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙනු ලැබීම දිවයිනේ සෙසු පළාත්වල ද යුදමය වාතාවරණයක් පැන නැගීමට හේතුවිය.
එහෙත් සටන් විරාමය බිඳ වැටී යළිත් යුද්ධය ආරම්භ වීමත් සමඟ තත්ත්වය දරුණු අතට හැරුණු අතර කොටි සංවිධානය විසින් අමිර්තලිංගම් කොළඹ දී ඝාතනය කරන ලදි. කොටි සංවිධානයේ තුවක්කුකරුවන් දෙදෙනෙකු සාකච්ඡාකරුවන් ලෙස පෙනී සිටිමින් 1989 ජූලි 13 දින කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසේ දී අමිර්තලිංගම් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ තවත් නායකයකු වූ වී යෝගේෂ්වරන් වෙඩිතබා මරා දමන ලද අතර එම් සිවසිත්තම්පරම් තුවාල ලැබ ජීවිතය ගලවා ගැනීමට සමත් විය.
සම්බන්ධන් යළිත් පාර්ලිමේන්තු සටනට
1977 න් වසර දොළහකට පසු කැඳවූ 1989 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන ලද නමුත් පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට ආර් සම්බන්ධන් අසමත් විය. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ඔහුට ජයගත නොහැකිවූ නමුත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඒ තංගතුරෙයි ඝාතනය කරනු ලැබීමෙන් ඇතිවූ පුරප්පාඩුව සම්පූර්ණ කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහුට අවස්ථාව ලැබිණි.
එහෙත් 2000 ඔක්තෝබර් මහමැතිවරණයෙන් ඔහුට යළිත් පාර්ලිමේන්තුව අහිමිවිය. සම්බන්ධන් ගේ ඊළඟ පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ වන්නේ 2004 මැතිවරණ ජයග්‍රහණයත් සමඟය. ඉන් පසු පැවැත්වුණු 2005, 2010 සහ 2015 මහමැතිවරණවල දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට සම්බන්ධන් සමත්විය.
දෙමළ ජාතික සන්ධානයේ උපත
ආර් සම්බන්ධන් නායකත්වය දෙන දෙමළ ජාතික සන්ධානය (TNA) බිහිවීම ශ්‍රී ලංකාවේ දමිළ ජාතික දේශපාලනයේ තවත් කඩඉමකි.

ඡායාරූප මූලාශ්‍රය, දෙමළ ජාතික සන්ධානය
TNA ගොඩනගන ලද්දේ මධ්‍යස්ථ මතධාරී දේශපාලන නායකයන්ගේ පක්ෂය වූ ITAK සාමාජිකයන් ඇතුළත් TULF සහ සන්නද්ධ සටන් මාවතින් බැහැරව දේශපාලනයේ නිරතවෙමින් සිටින EPRLF, PLOTE සහ TELO යන සංවිධාන ඒකාබද්ධ වීමෙනි.
2001 පාර්ලිමේන්තු මැතිවරණයට TNA සන්ධානයේ අපේක්ෂකයන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නමින් සහ එහි ලාංඡනය වන 'උදාහිරු' ළකුණින් තරග කරමින් කළේය.
එහෙත් TNA විසින් කෙමෙන් LTTE සන්නද්ධ අරගලය දෙස සහයෝගාත්මක ආකල්පයක් දැක්වීමත් සමඟ TULF සභාපති වී ආනන්දසංගරී ඇතුළු කණ්ඩායමක් සන්ධානයෙන් ඉවත්ව ගිය අතර 2004 මහමැතිවරණය සඳහා TULF නමින් තරඟ කිරීමේ අවස්ථාව දෙමළ ජාතික සන්ධානයට අහිමි විය.
ඒ අනුව සම්බන්ධන් ඇතුළු TNA අපේක්ෂකයන්ට නැවත ITAK පක්ෂ ලාංඡනය වූ 'ගෙය' ළකුණින් තරඟ කිරීමට සිදුවූ අතර පාර්ලිමේන්තු ආසන 22ක් දිනා ගැනීමට ඔවුහු සමත් වූහ.
ඉන් අනතුරුව ආර් සම්බන්ධන්ගේ නායකත්වය යටතේ 2004 මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 22 ක් ද,2010 සහ 2015 මැතිවරණවල දී පිළිවෙලින් ආසන14 ක් සහ 16 බැගින් ද දිනාගැනීමටTNA සමත්විය.
දෙවෙනි දමිළ විපක්ෂ නායකයා
1977 දී අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත්වීමෙන් වසර තිස් අටකට පසු ශ්‍රී ලංකාවේ දෙවෙනි දමිළ විපක්ෂ නායකයා ලෙස ආර් සම්බන්ධන් පාර්ලිමේන්තු ඉතිහාසයට එක්විය.
2015 මහමැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ (UNF) ළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පොදුජන එක්සත් පෙරමුණ (UNFA) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව හිමි දේශපාලන පක්ෂය වුවද, එහි කොටසක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිනව පාලනය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්වීමත් සමග ඊළඟට වැඩිම පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන ලද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ට විපක්ෂ නායක පදවිය හිමිවිය.
2015 පාර්ලිමේන්තුව තුළ 'ඒකාබද්ධ විපක්ෂය' ලෙස පෙනීසිටි පොදුජන එක්සත් පෙරමුණට (UNFA) අයත් මන්ත්‍රී කණ්ඩායම ආර් සම්බන්ධන්ගේ විපක්ෂ නායකත්වයට අභියෝග කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පවා උත්සාහ දරන ලද නමුත් කතානායකවරයා විසින් සම්බන්ධන් විපක්ෂ නායකයා ලෙස පිළිගනිමින් එම පදවිය තහවුරු කරනු ලැබිණි.
අභියෝග සහ විවේචන
TNA නායකත්වයට පත්වීමෙන් පසු සම්බන්ධන් මුහුණ දුන් පළමු දේශපාලන අභියෝගය LTTE ය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය විණි.
ආර් සම්බන්ධන් ශ්‍රී ලංකාවේ දමිළ ජාතික දේශපාලනයේ වගකීම භාරගන්නා ලද්දේ ජාතික ගැටලුවට සන්නද්ධ නොවන සාමකාමී දේශපාලන විසඳුමක් දිනාගැනීම කෙරෙහි විශ්වාසය තබා සිටි මධ්‍යස්ථ මතධාරී දමිළ ප්‍රජාව ඉතා දුෂ්කර මොහොතක සිටියදීය.
අමිර්තලිංගම්, යෝගේෂ්වරන්, ධර්මලිංගම් සහ සිවසිත්තම්බරම් වැනි පළපුරුදු ලිබරල් මතධාරී පාර්ලිමේන්තුවාදීන් අහිමිවීමත්, පසුව වී ආනන්දසංගරී ප්‍රමුඛ TULF කොටසක් TNA සංවිධානය අත්හැර යාමත් සමඟ දමිළ ජාතික දේශපාලනයේ සියලු වගකීම් සම්බන්ධන් මත පැවරුණි.
2001 වසරේ දී එක් අතකින් ශ්‍රී ලංකා ආණ්ඩුව කොටි සංවිධානයත් සමඟ සාකච්ඡා ආරම්භ කරද්දී දෙමළ ජාතික සන්ධානයද කොටි සංවිධානය සමඟ සබඳතා ආරම්භ කිරීමට යොමුවූ අතර 2002 අප්‍රේල් මාසයේ සම්බන්ධන් සහ ආනන්දසංගරී ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඇන්ටන් බාලසිංහම් කිලිනොච්චියේ දී මුණගැසී සාකච්ඡා කළහ.
පැය හතරක කාලයක් පැවැත්වුණු එම සාකච්ඡාවේ දී ප්‍රභාකරන් කියා සිටියේ TNA කොටි සංවිධානයේ උපදෙස් අනුව කටයුතු කළ යුතුව ඇති බවය.
කෙසේවූවද, කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රමුඛ සංවිධානය ලෙස පිළිගැනීම TNA සංවිධානය තුළ බෙදීමකට හේතුවූ අතර ආනන්දසංගරී සන්ධානයෙන් ඉවත්ව යද්දී බොහෝ සිංහල දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් ද එල්ල වූ දැඩි විරෝධයකට මුහුණපෑමට සම්බන්ධන්ට සිදුවිය.
ශ්‍රී ලංකා ආණ්ඩුව කොටි සංවිධානයත් සමඟ සටන් විරාමයක් ඇතිකර ගනිමින් සාම සාකච්ඡාවල යෙදෙන අතරවාරයේ දෙමළ ජාතික සන්ධානය එවැනි සාකච්ඡාවක නිරතවීමේ වරද කුමක්දැයි TNA නායකයෝ ප්‍රශ්න කළහ.
TNA සංවිධානය පමණක් නොව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් ප්‍රමුඛ නායකයන් ද ඊට ආසන්න දිනයක ප්‍රභාකරන් මුණගැසුණි.
ඉඩම් සහ දේශපාලන සිරකරුවන්
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් බන්ධනාගාරවල රඳවනු ලැබ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් මුදාගැනීමේ දේශපාලන වගකීම ආර්. සම්බන්ධන් ප්‍රමුඛදෙමළ ජාතික සන්ධානය මත පැවරුන තවත් වගකීමක් බවට පත්ව ඇත.
එම සිරකරුවන් මුදා හැරීමට හෝ චෝදනා ඇත්නම් නඩු පවරමින් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස TNA සංවිධානය ඉල්ලා සිටී.
එවැනි දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේය.
යුද සමයෙහි හමුදාවේ භාවිතය සඳහා පවරා ගන්නා ලද උතුරු නැගෙනහිර දෙපළාතේ පෞද්ගලික අයිතිය සහිත ඉඩම් නැවත ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබාදෙන ලෙස සම්බන්ධන් ප්‍රමුඛ TNA හිටපු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම ඉල්ලා සිටි අතර එවැනි ඉඩම්වලින් 80%ක් පමණ මුදාගැනීමට හැකිවූ බව සුමන්තිරන් ඉහත කී මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.
එක රටක් තුළ ස්වයංපාලන ප්‍රදේශයක්
චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ආරම්භ කරන ලද්දේ ලංකාවට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන ආකාරයේ ෆෙඩරල් පාලන ක්‍රමයක් යෝජනා කරමිනි.
ෆෙඩරල් වෙනුවට බලය "රටසභා" නමින් හැඳින්වෙන බලය විමධ්‍යගත කරන ලද පාලන ඒකක පිහිටුවීමට ඇතිකර ගන්නා ලද චෙල්වනායගම් - බණ්ඩාරනායක ගිවිසුම සහ පසුව එළැඹි ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමද ඉවත දැමීමකට ලක්වූ අතර, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කෙරෙන අතරවාරයේ දෙමළ භාෂාව ජාතික භාෂාවක් බවට පත් කිරීමේ ඉල්ලීම පවා 1980 දශකය තෙක් ඉවත දමනු ලැබ තිබිණි.
චෙල්වනායගම් යුගයේ දී සාමකාමී රැස්වීම්, උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ ආදියට සීමාවූ එම දමිළ ජාතිකවාදී ව්‍යාපාරය පසුව තිස් අවුරුදු යුද්ධයකින් නිමවූ අතර උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා ස්වයංපාලන බලතල ඉල්ලා ගෙනයන සාමකාමී අරගලයට ආර් සම්බන්ධන් මෙම යුගයේ නායකත්වය සපයයි.
එකරටක් තුළ බලය බෙදා හරින ලෙස ඉල්ලා සිටින මෙම දමිළ දේශපාලන නායකයා ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීමට හවුල්වෙන, ජාතික ගීයට හිස නමන සහජීවන දේශපාලන අරගලයක නිරතවෙමින් සිටී.
ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සොයාගත හැක්කේ සන්නද්ධ ක්‍රියා මගින් නොව සාමකාමී සාකච්ඡා මගින්ය යන්න ඔහුගේ පිළිගැනීම වේ.
කියවන්න:








