ශ්‍රී ලංකාව ගැන ඉන්දීය ඇමතිවරයාගේ ප්‍රකාශය: වැරදි තේරුම් ගැනීමක් ද? ප්‍රතිචාරය කුමක්ද?

අමිත් ෂා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ඉන්දීය ස්වදේශ කටයුතු භාර ඇමති අමිත් ෂා අගමැති නරේන්ද්‍ර මෝදි ගේ කිට්ටු ආධාරකරුවෙකි
    • Author, උපාලි ගජනායක
    • Role, BBC සිංහල

එක් මහා දේශයක දේශපාලනඥයකු විසින් සිදුකරන ලදැයි එරටෙහිම තවත් දේශපාලනඥයකු විසින් උපුටා දක්වන ලද ප්‍රකාශයක් එම මහා දේශයට දෙපසින් පිහිටි අසල්වැසි කුඩා රාජ්‍යයන් දෙකක බලවත් අවධානයට යොමුවෙමින් පවතී.

එම මහා දේශය ඉන්දියාවයි. කුඩා රාජ්‍යයන් දෙක එහි උතුරු සහ දකුණු දෙසින් පිහිටි නේපාලය සහ ශ්‍රී ලංකාවයි.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා වන අමිත් ෂා ලැගුම්හලක දී තමන් සමඟ කතාකරමින් සිටියදී කරන ලදැයි කියන ප්‍රකාශය මහජනයා ඉදිරියේ අනාවරණය කරන ලද්දේ 'ත්‍රිපුර' ප්‍රාන්තයේ මහ ඇමති බිප්ලාබ් ඩෙබ් විසිනි.

ස්වදේශ කටයුතුභාර ඇමති අමිත් ෂා විසින් කරන ලදැයි පැවසෙන ප්‍රකාශය වචන කීපයකට සීමා වූ නමුත් එමගින් දෙන පණිවුඩය ඉහත කී කුඩා රාජ්‍යයන් දෙක විසින් ලඝුකොට නොසලකන බව ඒ සම්බන්ධයෙන් පළවෙමින් පවතින ප්‍රතිචාර මගින් පෙන්නුම් කෙරෙයි..

භාරතීය ජනතා පක්‍ෂයේ ජාතික මට්ටමේ සභාපතිවරයා මෙන්ම ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ ස්වදේශ කටයුතු භාර ඇමති අමිත් ෂාගේ BJP නායකත්වය උත්කර්ෂයට නංවමින් අදහස් දැක්වූ ත්‍රිපුර මහ ඇමති ඩෙබ් එම නායකත්වය යටතේ තම පක්ෂය ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය බවට පත්වූ බව සඳහන් කළේය.

''ඔහුගේ නායකත්වය අනුව BJP ය ලෝකයේ දැවැන්තම පක්ෂය බවට පත්වුණා. එමගින් ජගත් දේශපාලන පක්‍ෂයක අයිතිය කියමින් සිටි කොමියුනිස්ට්වාදීන් විසින් එතෙක් තබා තිබුණ වාර්තාවත් බිඳ හෙළනු ලැබුණා'' මහ ඇමතිවරයා කියා සිටියේය.

'ත්‍රිපුර' මහ ඇමති බිප්ලාබ් ඩෙබ් හින්දි භාෂාවෙන් පවත්වන ලද කතාවට ඉන්දියානු මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබුණ අතර මහ ඇමතිවරයාගේ ප්‍රකාශය 'ගුවාහති'(Guwahati) සිට පළකරනු ලබන ඊස්ට් මෝජෝ (East Mojo) වෙබ් අඩවිය මෙසේ වාර්තා කරනු ලැබ ඇත.

''අපි ප්‍රාන්ත ලැගුම්හලක කතාකරමින් ඉන්නකොට අජේ ජම්වාල් (ඊශාන දිග කලාපීය ලේකම්) කිව්වා- BJP එක ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක එම පක්ෂයේ ආණ්ඩු පිහිටුවන ලද'' බව. ඊට පිළිතුරු දෙමින් අමිත් ෂා කිව්වා - ශ්‍රී ලංකාව සහ නේපාලය ඉතිරිව ඇති බව. ඔහු සඳහන් කළා - පක්‍ෂය ශ්‍රී ලංකාවට සහ නේපාලයට ව්‍යාප්ත කරමින් ජයග්‍රහණය කොට ආණ්ඩුවක් පිහිටුවීමට තිබෙන බව''

අමිත් ෂා සැබැවින් ම අදහස් කරන ලද්දේ කුමක්ද? එය කුමක් වුවද, එම ප්‍රකාශය වාර්තා වූ වහාම නේපාලය ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ එය දෝෂ දර්ශනයට ලක්කරමිනි.

අමිත් ෂා
ඡායාරූප ශීර්ෂ වැකිය, අමිත් ෂා ශ්‍රී ලංකාව සහ නේපාලය ගැන සඳහන් කර තිබෙන්නේ මෙම සාකච්ඡාවේදීය

කත්මණ්ඩු කැළඹෙයි

නේපාලයේ විදේශ ඇමති ප්‍රදීප් කුමාර් ග්‍යාවාලි (Pradeep Kumar Gyawali) පෙබරවාරි බ 06 දා 'ට්විටර්' පණිවුඩයක් නිකුත්කරමින් තමා ඉන්දියානු ප්‍රකාශය දුටු අතර ''දැනටමත් ඒ සම්බන්ධයෙන් සියරටේ විරෝධය දැනුම් දී ඇති'' බව කියා සිටියේය.

මේ අතර නව දිල්ලියේ නේපාල තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මුල්පෙළේ මාධ්‍ය ප්‍රකාශනයක් වන 'කත්මන්ඩු පෝස්ට්' ඉංග්‍රීසි පුවත්පතට ප්‍රකාශයක් කරමින්, සිය තානාපති නිලම්බර් ආචාර්ය (Nilamber Acharya) ඉන්දියානු විදේශ අමාත්‍යංශයේ නේපාලය සහ භූතානය භාර ප්‍රධාන ඒකාබද්ධ ලේකම් අරින්දම් බග්ච් (Arindam Bagch) දුරකතනයෙන් අමතමින් මතභේදයට තුඩු දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකළ අතර එය නිවරැදි කිරීමට පියවර ගන්නා ලෙස දැනුම්දුන් බවත් සඳහන් කළේය.

'ඩෙකන් හෙරල්ඩ්' (Deccan Herald) ඉන්දියානු පුවත්පතවාර්තාවක් පළකරමින් ''මහ ඇමති ඩෙබ් විසින් සඳහන් කරන ලද කරුණු දේශසීමා ආරවුල් නිසා දැනටමත් පිරිහීමට ලක්වී පවතින ඉන්දු-නේපාල සබඳතාවන්හි ''අලුත් නොරිස්සුම් සහගත තත්ත්වයක්'' උද්ගතවීමට හේතුවනු ඇතැයි පෙන්වා දී තිබුණි.

ඩිප්ලබ් ඩෙබ්
ඡායාරූප ශීර්ෂ වැකිය, අමිත් ෂා විසින් කරන ලද ප්‍රකාශය හෙළිකළ ත්‍රිපුර මහ ඇමති ඩෙබ්

කොළඹ ඉවසීමෙන්

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඉන්දියානු ඇමතිවරයාගේ මතු සඳහන් කරන ලද අදහස් සම්බන්ධයෙන් නිල මට්ටමින් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද යන්න තවමත් පැහැදිළි නැත. එහෙත් 'Colombo Gazette' වාර්තාවක සඳහන් පරිදි '' භාරතීය ජනතා පක්ෂය (BJP) ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ යයි පැවසෙන ප්‍රකාශන ශ්‍රී ලංකාව විසින් අඩුවෙන් තක්සේරු කරනු ලැබ'' ඇත.

''අසල්වැසි රටවල ව්‍යාප්තියක් පිළිබඳව භාරතීය ජනතා පක්ෂය නිල මට්ටමින් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල සඳහන් කළ බවත්'' 'Colombo Gazette' වැඩිදුරටත් වාර්තා කරයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා විසින් අදාළ කාරණය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් පළකරනු ලැබ ඇත. සභාපතිවරයා පවසා තිබෙන්නේ ''විදේශීය දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි'' බවය.

"ඕනෑම දේශපාලන පක්‍ෂයකට හෝ දේශපාලන කණ්ඩායමකට විදේශ රටක දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ සම්බන්ධතා ගොඩනනගා ගැනීමට නීතියෙන් අවසර තියෙනව. නමුත් විදේශීය දේශපාලන පක්‍ෂවලට රටතුළ ක්‍රියාත්මකවීමට මැතිවරණ නීතියෙන් අවසර ලැබෙන්නේ නැහැ'' මැතිවරණ කොමසාරිස්වරයා උපුටා දක්වන 'Colombo Page' වෙබ් අඩවිය වාර්තා කරයි.

කොංග්‍රස් ප්‍රතිචාරය; සමාව ඉල්ලනු!

මෙම කාරණය සම්බන්ධයෙන් කොළඹ පාලනයේ නිහඬභාවයක් දක්නට ලැබුණද ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයෙන් පළවුණේ දැඩි විවේචනාත්මක ප්‍රතිචාරයකි.

කොංග්‍රස් පක්‍ෂ ප්‍රකාශිකාවකගේ අදහස් රැගත් වීඩියෝ පටයක් මාධ්‍ය මගින් පළකරනු ලැබ ඇත. එම ප්‍රකාශිකාව මෙසේ පවසයි.

''මේක විහිළුවට කාරණයක් නොවෙයි. මෙය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට බලපාන්න පුළුවන්. මූලික වශයෙන් ඔවුන් කියන්නේ නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ට කුමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය බව.'අබ් කි බාර් ට්‍රම්ප් සර්කාර්'('Ab ki baar, Trump sarkar') ප්‍රකාශය මගින් මෝදි කරගත් අලාභයේ වන්දිය අපි තවමත් ගෙවමිනුයි ඉන්නේ. නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලින් සමාව ගන්නා ලෙස ආණ්ඩුව ඇමතිවරයා යොමුකළ යුතුයි''

''අබ් කි බාර් ට්‍රම්ප් සර්කාර්'' යන ප්‍රකාශයේ තේරුම '' මෙය ට්‍රම්ප් පරිපාලන වාරයකට කාලයයි '' යන්නය.

මේ අතර ත්‍රිපුර ප්‍රාන්ත කොංග්‍රස් පක්ෂයේ උප සභාපති තපස් ඩි (Tapas De) පෙබරවාරි 15 දින 'හින්දුස්තාන් ටයිම්ස්' පුවත්පතට ප්‍රකාශයක් කරමින් BJP ආකල්පය ප්‍රජාතන්ත්‍රීය නොවන බව පෙන්වා දී තිබුණි.

''අපි අපේ අසල්වැසි රටවලට ගරු කරනවා. එම අසල්වැසි රටවලට අතපෙවීම යුක්ති සහගත කරන්න බැහැ''

භාරතීය ජනතා පක්ෂයේ හැසිරීම වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ජාතිකවාදීන්ගේ දැඩි අවධානයට ලක්වූ අතර ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර එය විග්‍රහ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මිලට ගැනීමක් හැටියටය.

භාරතීය ජනතා පක්ෂ ලාංඡනය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ලාංඡනය අතර සමීපභාවයක් පවතින අතර එයත් මාධ්‍ය නිර්මාණ සඳහා මාතෘකාවක් විය.

බීජේපී

ඡායාරූප මූලාශ්‍රය, Ada news paper

ආණ්ඩු ඇල්ලීමක් ගැනද, ආණ්ඩු හැදීමක් ගැනද කියන්නේ?

භාරතීය ජනතා පක්ෂ සභාපතිවරයා විසින් කරන ලදැයි දෙවන පුද්ගලයකු හරහා එන ප්‍රකාශය හුදෙක් එම දෙවන පුද්ගලයා විසින් සඳහන් කරනු ලබන වචන ඔස්සේම අර්ථකථනය කරගත යුතුද? මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න විසින් කරනු ලබන්නේ මෙවැනි විශ්ලේෂණයකි.

''මම දකින හැටියට අමිත් ෂාගේ ප්‍රකාශයේ හරය ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ආණ්ඩු පිහිටුවීමට මැදිහත් වී ඇති බවයි. තමන්ගේ පක්ෂය මේ රටවල පිහිටුවීම ගැන කතා කරන්නේ එම මැදිහත්වීම පිළිබඳ කතාව මග හරින්න'' විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසයි.

'''ප්‍රායෝගිකව ගත්විට භාරතීය ජනතා පක්ෂයට ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකිවන්නේ හින්දු ආගමිකයන් අතරේ පමණක්'' බව පෙන්වාදෙන මහාචාර්ය නවරත්න බණ්ඩාර ''ඒ සඳහා උතුරේ හෝ කඳුකර දෙමළ ජනතාව අතර පදනමක් නැති අතර පක්ෂය එසේ පිහිටවනු ලැබුණත් එමගින් මෙරට ආණ්ඩු බලය ගන්න බැරි බව'' යථාර්ථය බව පෙන්වා දෙයි

''එයට වඩා ලෙහෙසිවන්නේ කෙළින්ම ආණ්ඩුබලය දිනාගැනීම නොවෙයි. තමන්ට අවනත ආණ්ඩුවක් හදා ගැනීමයි. මෙහි ප්‍රධාන පක්ෂයකට බලයට එන්න මුදල් හා වෙනත් ආකාරයන්ගෙන් සහාය ලබා දී ඒ මගින් ආණ්ඩුව නමා ගැනීම. පොහොට්ටු පක්ෂය සහ එහි සංවිධානය න්‍යායික මතවාදය මගින් අනුගමනය කර තිබෙන්නෙ - භාරතීය ජනතා පක්ෂය බව අමතක කරන්න එපා. සිංහලත්වය සහ පිරිසුදු බෞද්ධ රාජ්‍යයක් ගැන ඔවුන්ගේ ප්‍රකාශන සහ නෙළුම් පොහොට්ටුව මගින් එම අනුගමනය කිරීම පෙනෙනවා''

sri lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර

මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

''ඉන්දියාව ලංකාවේ ආණ්ඩු පිහිටුවන්න මැදිහත්වීම ලංකාවේ දේශපාලනය තුළ කාලයක් තිස්සෙ කතාවෙන කාරණයක්. 2015 දී පැරදුන අවස්ථාවේ තමන්ව පැරදවීමට ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවාව මැදිහත්වූ බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලා."

මේ අතර එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ලද පරාජයට රෝ සංවිධානයේ සම්බන්ධයක් ඇති බවට පළවූ මතය ඉන්දියාව බැහැර කරන ලද බවට එම කාලයේදී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය නවරත්න බණ්ඩාර, "ශ්‍රී ලංකාව වරාය නගරය සහ හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් ඉන්දියාව ඔවුන් සතුරෙක් ලෙස සලකන බලයකට ඉන්දියන් සාගරයේ තමන්ගේ ආරක්ෂක වළල්ලට ඇතුල්වීමට ඉඩ ලබා දීම නිසා ඉන්දියාව කලබල වී සිටිනවා. ඉන්දියන් සාගරය තූළ චීනය සහ ඉන්දියාව නැගී එන බලවතුන් දෙදෙනෙක් ලෙස බලශක්ති මාර්ග සදහා දැනටමත් තරගයකයි ඉන්නෙ. මේ තත්ත්වය ගැන ඇමරිකාව පවා ඉන්නෙ කැමැත්තකින් නොවෙයි. මේ නිසා ඉන්දියාව ලංකාවට බලපෑම් දමමින් ඉන්නවා. ඉන්දු පැසිෆික් ආරක්ෂක සැලැස්මට ඇතුල්වන ලෙස එම රටවල් දෙකම ඉල්ලනවා. ඉන්දියාව 1987 වගේ රට අස්ථාවර කරන ගැටුමක් සදහා මග පාදනු ඇතැයි ශ්‍රී ලංකාවේ නායකයන් සිතනවා. එම පසුබිම යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් නැගුනු අලුත්ම ''පණිවුඩය'' ගැන කතා නොකර මග හැරියා'' යැයි කියා සිටියේය.

මෝදිගේ චෙන්නායි දෙසුම

අමිත් ෂා ඇමතිවරයා විසින් කරන ලදැයි වාර්තාවෙන ප්‍රකාශය විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට ගැනීමට හේතුවක් වී තිබෙන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවේ 'චෙන්නායි' නගරයේ දී කරන ලද ප්‍රකාශයක් ද හේතුවෙනි.

පසුගිය සතියේ ඉරිදා (පෙබරවාරි 14) චෙන්නායි අගනුවරට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි එහි ජනතාව අමතමින් පවත්වන ලද දීර්ඝ දේශනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරනු ලැබීමත් ඉන්දියානු මාධ්‍යන්හි පවා විශේෂ තැනක් ගෙන තිබුණි.

ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් කීපයක සමාරම්භක උත්සවයකට සහභාගී වූ අගමැති මෝදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගනුලබන තමිල්නාඩු ධීවරයන් ගැනත් සඳහන් කළේය.

''මේ වනවිට එක ඉන්දියානු ධීවරයෙක්වත් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ නැහැ. අපි බෝට්ටු 330ක් නිදහස්කර ගත්තා. ඉතිරි බෝට්ටුත් නිදහස්කර ගැනීමට කටයුතු කරනවා''

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වාසයකරන ප්‍රදේශවල නිවාස දහස් ගණනක් සහ රෝහලක් ද ඇතුළු යටිතල පහසුකම් නංවාලීමට තම රජය ගත් පියවර විස්තර කළ අගමැති මෝදි යාපනයේ සංචාරය කළ පළමු ඉන්දීය අගමැතිවරයා තමා බව අවධාරණයෙන් කියා සිටියේය.

''අපි දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් සමඟ අඛණ්ඩව කටයුතු කරනවා. දෙමළ ජන ජීවිත සඳහා සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ඔවුන්ගේ ගරුත්වය වෙනුවෙන් කටයුතු කරනවා'' අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළේය.

''අපේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දෙමළ සහෝදර සහෝදරියන්ගේ අභිලාෂයන් සහ ශුභසාධනය සැලකිල්ලට ගන්නවා.මෙතෙක් යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අගමැතිවරයා වීම මට ගෞරවයක්. සංවර්ධන ක්‍රියාමාර්ග ඔස්සේ දෙමළ ජනයාගේ ශුභසාධනය සඳහා අපි සහතික වෙනවා ''

අගමැති මෝදි

ඡායාරූප මූලාශ්‍රය, ANI

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් අදහස් දක්වන ලද්දේ මෙම කතාවේදීය

''අසල්වැසියාට පළමු තැන'' යන සිය පාලන පිළිවෙත අනුව අගමැති මෝදි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව 2019 ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු එම සංචාරයේ දී පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගොස් ශ්‍රී ලංකාවේ ජනතාවට සිය සහයෝගය පළකළේය.

ඉන්පෙර 2017 වසරේ ශ්‍රීලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා චෙන්නායි කතාවේ දී ඔහු සඳහන් කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්ට සහභාගීවෙමින් ජනතාව අමතා කතාවක් ද කළ අතර එය එවක ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දෝෂදර්ශනයට ලක්විය.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වන උදය ගම්මන්පිල ඉන්දීය අගමැතිවරයාගේ සහභාගිත්වය දෝෂදර්ශනයට ලක්කරන ලද්දේ මෙපරිද්දෙනි.

''වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවාට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමතුවේ ඉන්දියාවට එක්වූ 30වෙනි ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි.......මෝදි අගමැතිවරයා දික්ඔයදී ජනතාව ඇමතුවේ ඉන්දියාවේ 30 ප්‍රාන්තයේ ජනතාව අමතන ආකාරයෙන්. දකුණුපසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ද,වම්පසින් එහි මහ ඇමතිවරයා ද සිටින බව සිතමින් තමයි,ඔහු ජනතාව ඇමතුවේ''

ජනාධිපති ඉන්දීය සංචාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල විදේශ සංචාරය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට යාමය

වරාය ජැටියේ අර්බුදය

ඇමති අමිත් ෂාගේ සහ අගමැති මෝදිගේ ප්‍රකාශන කරළියට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා- ඉන්දියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයන් ඇසගසා සිටින මොහොතක වීමත් සැලකිය යුතු කරුණකි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මුල්කරගත් ගනුදෙනුව අර්බුදයකින් තොරව විසඳුන ආකාරයක් ශ්‍රී ලංකා රජය ප්‍රදර්ශනය කරන නමුත් ඉන්දීය පාර්ශ්වයේ ඊළඟ ප්‍රතිචාරය තවමත් පැහැදිළි නැත. ත්‍රිකුණාමල තෙල් ටැංකි ශ්‍රී ලංකාවට පැවරීමේ එකඟතාවක් ඇති නොවූ බව ඉන්දියාව නිල මට්ටමින් ප්‍රකාශයට පත්කරනු ලැබුණි. මේ අතර උතුරේ දූපත් තුනක විදුලිය ක්‍ෂේත්‍රයේ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

උතුරේ කණට සතුටු පණිවුඩයක් ද?

ඉන්දීය ඇමති අමිත් ෂාගේ සහ අගමැති මෝදිගේ අදහස් ප්‍රකාශයට පත්කෙරුණේ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් ඔවුන් විසින් දිගුකලක පටන් ගෙනයන ඉල්ලීම් යළිත් පෙරට තබමින් නැගෙනහිර පළාතේ පොතුවිල් සිට පොලිගන්ඩි දක්වා පෙළපාලියකින් ගමන්ගැනීමෙන් දින කීපයකට පසුවය.

පසුගිය පෙබරවාරි 3 වෙනිදාආරම්භ වූ ''පොතුවිල් සිට පොලිගන්ඩි'' (P2P) යනුවෙන් නම්කරන ලද එම පාගමනට දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සාමාන්‍ය ජනතාව එකතුව සිටියහ.

එම විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාත් එක්ව සිටීම තවත් අලුත් ප්‍රවනතාවක් විය.

P2P විරෝධතා පෙළපාලියේ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, P2P විරෝධතා පෙළපාලියේ අවස්ථාවක්

''P2P'' පෙබරවාරි 06 වෙනිදා උතුරු පලාතේ 'පොලිගන්ඩි' හිදී නිමාවට පත් වූ අතර, දින පහක අඛණ්ඩ සාමකාමි විරෝධතාවලියක් ද සංවිධායකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබුණි.

ඉන් අනතුරුව දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාගැනීම උදෙසා දෙමළ දේශපාලන නායකයින් පිරිසක් සාකච්ඡාවක් ද පැවැත්වූ අතර දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානය නියෝජනය කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ එම්.කේ සිවාජිලිංගම්, ඊල තමිල් පක්ෂය නියෝජනය කරමින් ආනන්දි ශෂිධරන් ඇතුලු පක්ෂ නියෝජිතයින් රැසක් එම සාකච්ඡාවට සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කළේය.

තමන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා රජයට බලකිරීමට කටයුතු කරන බව එම සාකච්ඡාවට සහභාගී වූ දෙමළ දේශපාලන නායකයන් ප්‍රකාශ කළ බවත් මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

උතුරේ වැඩෙමින් පවතින එවැනි පසුබිමක් යටතේ භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා සහ අගමැති මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සහතික කිරීම සම්බන්ධයෙන් පළකර ඇති අදහස්වල බලපෑම කෙබඳු වේද?යන්න අනාගතයෙහි තීන්දුවනු ඇත.

කියවන්න;