පළාත් පාලන මැතිවරණය 2023:ඡන්ද කල් දැමීමෙන් රටට අත්විය හැකි ප්‍රතිවිපාක මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවිනිශ්චිත තත්ත්වය මැද, ජනතාවගේ ඡන්ද බලය හෑල්ලුවට ලක් නොකරන ලෙස මානව හිමිකම් හා සිවිල් ක්‍රියාකාරිකයෝ රජයෙන් ඉල්ලා සිටියහ.
'ජනතාවගේ ඡන්ද බලය හෑල්ලුවට ලක් කරන්න එපා'
ඒ, ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබීම යන හේතු මත මේවන විට පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
ඒ අනුව මාර්තු 9 වැනිදා සැලැසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීම දිනෙන් දින අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට සෙසු රාජ්‍ය ආයතන වලින් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන පසුබිම තුළය.
මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කළ පෙත්සමට මොකද වෙන්නේ?
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (පෙබරවාරි 20 වැනිදා) නියෝග කළේය.

පෙත්සම ගොනුකර අත්තේ විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසිනි.
මේවන විට මැතිවරණයට අදාළව මතුව ඇති බාධා සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමට අපෙක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරීස් විසින් අධිකරණයට පෙන්වා දෙනු ලැබීය.
ලබන 23 වැනිදා කැඳවීමට තිබූ මෙම පෙත්සම අද දින කැඳවන ලෙස මොසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න..!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේ මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට හෝ බාධා කිරීමට කිසිදු උත්සාහයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරමින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට වග බලා ගන්නා ලෙස රජයෙන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
ජනතාවගේ ඡන්ද බලයට මැදිහත් වීමට රාජ්‍ය බලධාරීන් විසින් දරන උත්සාහයන් පිළිබඳව ප්‍රකාශයක් නිතුක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේබව අවධාරණය කළේය.
2023 මාර්තු 19 ට පෙර පැවැත්වීමට නීතියෙන් නියම කර ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන්ගේ මෑතකාලීන උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, BASL
සියලුම මැතිවරණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර ඊට බාධා නොවිය යුතු බව නීතිඥ සංගමය අවධාරණය කළේය.
එම සංගමය පෙන්වා දෙන්නේ ඡන්ද බලයට බාධා කිරීමට වසර ගණනාවක් පුරා විවිධ පරිපාලන විසින් පෙර ගත් උත්සාහයන්ගේ ප්‍රතිඵලය රටටත් , ජනතාවටත් විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දී ඇති බවය.
භාණ්ඩාගාර ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපතිනිය මෙන්ම රජයේ නිලධාරීන් සහ ආයතන කටයුතු කරන ආකාරය තුළින් ජනතාවගේ ඡන්ද බලය හෑල්ලුවට ලක් කරමින් සහ ස්වෛරීභාවය අනතුරේ හෙළමින් මැතිවරණය නතර කිරීම උදෙසා කටයුතු කරන අයුරු පැහැදිලිව පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා නිතිඥ සංගමය සඳහන් කළේය.
එම සංගමය අවධාරණය කළේ රටේ අත්‍යවශ්‍ය කාර්යයක් වන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීම සහතික කිරීම රජයේ පරිශුද්ධ යුතුකමක් බවය.
මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කිරීම පමණක් නොව එවැනි මැදිහත්වීම් සඳහා කටයුතු කරන වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතියට අනුකූලව කටයුතු කළ යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේය.
මැතිවරණ කල් දැමීමෙන් රටට මොකද වුනේ..?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමට අඛණ්ඩව එල්ල කර ඇති පීඩනය පිළිබඳ දැඩි කනස්සල්ලට පත්ව සිටින බව මානව හිමිකම් හා සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.
මෙම පීඩනය ආරම්භ වන්නේ ආණ්ඩුවේ කොටස් වලින්, විශේෂයෙන්ම එහි විධායක අංශයෙන් බව පැහැදිලි වී ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වෙයි.
අදාළ සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, පක්ෂග්‍රාහී ජයග්‍රහණ උදෙසා ජනතාවගේ ඡන්ද බලය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සමඟ සෙල්ලම් කිරීම තුළින් අතීතයේ දී විශාල දේශපාලන හා සමාජීය පිරිවැයක් ඇති කර තිබෙන බව බව රටේ දේශපාලන නායකත්වයට මතක් කිරීමට කැමති බවය.
සමගි පෙරමුණු ආණ්ඩුව 1975 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණය හසුරුවමින් තවත් වසර දෙකට බලයේ සිටීමට දරූ උත්සාහය තුළින් 1977 දී පෙර නොවූ විරූ මැතිවරණ ව්‍යසනයකට ගොදුරු වීමට සිදුවු බව අදාළ ක්‍රියාකාරීහූ පෙන්වා දුන්හ.
වසර කිහිපයකට පසු, එක්සත් ජාතික පක්ෂ රජය 1982 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හසුරුවමින් ව්‍යවස්ථානුකූලව නියමිත කාලයේ මහා මැතිවරණයක් පැවැත්වීම වෙනුවට ජනමත විචාරණයක් හරහා තවත් පූර්ණ වාරයක් සඳහා පාර්ලිමේන්තු කාලසීමාව දීර්ඝ කර ගනු ලැබීය.
ව්‍යවස්ථා විරෝධී සහ නීත්‍යානුකූල නොවන දේශපාලන අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට යෑම තුළින් ඉක්මනින්ම මුළු රටම ප්‍රචණ්ඩ අර්බුදයකට යොමුකර, පෙර නොවූ විරූ දේශපාලන අස්ථාවරත්වයක් තුළින් ජනතාව තවත් පීඩාවට පත් කරනු අතැයි සිවිල් ක්‍රියාකාරීකයෝ අවධාරණය කළහ.
ඔවුන් පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වෛරී ඡන්ද අයිතිය පිළිබඳව පුරවැසියන් විමසිලිමත් විය යුතු බවය.
මූලික අයිතීන් හා නීතියේ ආධිපත්‍යය යටපත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පුරවැසියන් විසින් සාමකාමීව අභියෝග කළ යුතු බවද සිවිල් ක්‍රියාකාරිකයෝ අවධාරණය කළහ.
නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසීම තුළින් තම ව්‍යවස්ථාමය වගකීම ඉටු කරන ලෙස රාජ්‍ය සේවයේ සියලුම සාමාජිකයින්ට මතක් කර සිටින බවද මානව හිමිකම් සහ සිවිල් ක්‍රියාකාරීන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
රජයේ ප්‍රමුඛතාව වැටී ඇති ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමටයි - ජනපති
රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ (පෙබරවාරි 18) කොළඹ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ඡායාරූප මූලාශ්‍රය, PMD
රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟන බවට ද සහතික විය.
එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.
තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එනමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.
රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට තමා කිසිවිටක ඉඩ නොතබන බවත්, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවත් අවධාරණය කළේය.
ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.












