පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම: සිදුවීම ගැන අප දන්නේ මොනවා ද?

කතානායක සහ චමින්ද කුලරත්න පෙනී සිටින ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

    • Author, බීබීසී සිංහල

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් චමින්ද කුලරත්න යනු කතානායක, මහලේකම් හැරුණු විට පාර්ලිමේන්තුවේ සිටින තුන්වන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ.

පසුගිය සිකුරාදා ඔහුගේ වැඩ තහනම් කිරීම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන සිදධියක් බවට පත්ව ඇති අතර විපක්ෂ නායකවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

මෙම වැඩ තහනම් කිරීමේ සිදුවීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

චෝදනාව කුමක් ද?

චමින්ද කුලරත්නට (ජී.කේ.ඒ.සී.කේ. කුලරත්න) එල්ල වී ඇති චෝදනා වන්නේ, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය පූර්ව සේවා කාලය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මගින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් නොමග යැවීමට උත්සහ කිරීම හා එක් අවුරුදු වැඩ බැලීමේ කාලයකට යටත්ව පත්වීමක් ලබා ගැනීමට කටයුතු කිරීම හා එම තනතුරට නියමිත වැටුප් මට්ටමට වඩා ඉහළ වැටුප් තලයකට අයත් වැටුප් ලබා ගැනීම මගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම යන චෝදනා ය.

එමෙන් ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටියක රීතිවලට පටහැනිව කටයුතු කිරීම වැනි බරපතළ වැරදි සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය මගින් චමින්ද කුලරත්නගේ රාජකාරී වැඩ තහනම් කරමින් ඔහුට දැනුම් දී තිබේ.

ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ, 2026 ජනවාරි 23 වන දා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේක කාරක සභාව විසින් ගන්නා ලද තීරණයකට අනුව ය.

එම උපදේශක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන්නේ කතානායකවරයා, සභානායක, විපක්ෂනායක හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා යි.

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාරත්න සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කර ඇත්තේ, චමින්ද කුලරත්නට ද කරුණු දැක්වීමට අවස්ථාවක් දෙන ලෙස ය.

ඒ අනුව, රාජකාරී වැඩ තහනම්ව සිටින කාලසීමාව තුළ චමින්ද කුලරත්නට කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොගෙවන අතර මෙම කාලසීමාව තුළ ඔහුට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට අවසර හිමි නොවනු ඇත.

මීට අමතරව චමින්ද කුලරත්න භාරයේ තිබූ රජයට හෝ පාර්ලිමේන්තුවට අයත් බඩු බාහිරාදිය සහ ලිපි ලේඛන වෙතොත් එම බඩු බාහිරාදිය හා ලිපි ලේඛන ද පාර්ලිමේන්තු සේවා හැඳුනුම්පත ද භාර දෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ඔහුට දැනුම් දී තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (ජනවාරි 27 වැනිදා) පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, 2025 අගොස්තු 19 වැනිදා මෙම කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමට ඒකපුද්ගල විමර්ශන කමිටුවක් පත් කළ බවයි.

ඒ අනුව ජනවාරි 23 වැනිදා එහි මූලික විමර්ශන වාර්තාව නිකුත් වූ බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, විනය ක්‍රියාමාර්ගයට හෝ මූලික විමර්ශන වාර්තාවට එරෙහිව ඕනෑම අයෙකුට අධිකරණය වෙත යාමට හැකියාව පවතින බවයි.

චමින්ද කුලරත්න, කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙනී සිටින ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය පූර්ව සේවා කාලය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චමින්ද කුලරත්නට චෝදනා එල්ල වී ඇත

නීතිඥ එස්.කේ. ලියනගේ දුන් වාර්තාවේ නිර්දේශ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන නිලධාරී ලෙස කටයුතු කළ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ විශ්‍රාමික අතිරේක ලේකම් නීතිඥ එස්.කේ. ලියනගේ විසින් ලබා දෙන ලද වාර්තාවේ නිර්දේශ පදනම් කර ගෙන ය.

එම විමර්ශන වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ, චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කර ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ය.

ඒ, සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීම් ලබා ගැනීම හා එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම හා තමාට හිමි නැති වැටුප් තලයක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයථා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභ සිදු කරන ලදැයි විමර්ශනයේදී අනාවරණය වූ බව කියන කරුණු අනුව ය.

චමින්ද කුලරත්නගේ පත්වීම හා ඔහුගේ සේවය ස්ථීර කිරීමේදී ඇතැම් නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය ගැන ද දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරමින්, විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමටත් මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

එමෙන් ම චමින්ද කුලරත්න සමග දුස්සන්ධානගතව ඔහුට අයථා වාසි අත්කර දීමට තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද කටයුතු කරමින් බරපතළ විෂමාචාරයන් කර ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.

ඒ අනුව එම නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිඥ එස්.කේ. ලියනගේ ඉදිරියේදී සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අදාළ වාර්තාව සකස් කිරීම සඳහා චමින්ද කුලරත්න ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

කෙසේවෙතත්, ඔහුගේ පාර්ශවයෙන් වරදක් වී ඇත්නම් නිසි විමර්ශනයක් කරන ලෙස සහ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන ලෙසත් චමින්ද කුලරත්නගේ පාර්ශවයෙන් ඉල්ලා තිබේ.

'අනෙක් පාර්ශවයට සවන් දෙන්න'

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව ඇත්තේ කාරණා කිහිපයක් හේතුවෙනි.

ඉන් එකක් වන්නේ, චෝදනාවලට පිළිතුරු දීමට චමින්ද කුලරත්නට අවස්ථාවක් නොදුන් බව පැවසෙන කාරණය යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මේ සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් මෙලෙස සඳහන් කර තිබිණි.

උපුටා ගැනීම

"'අනෙක් පාර්ශවයට සවන් දෙන්න.' ඕනෑ ම ප්‍රජාතන්ත්‍රවාදයක, නිලධාරීන්ට දඬුවම් කිරීමට පෙර ඔවුන්ට සවන් දෙනු ලැබේ.

"නියෝජ්‍ය මහලේකම්වරයාගෙන් එවැනි කරුණු විමසීමක් නොකර වැඩ තහනම් කිරීම මගින් කතානායකවරයා භයානක පූර්වාදර්ශයක් සපයයි. එය ඉතා පෞද්ගලික ස්වභාවයක් ගනී.

මෙය ඉතා කණස්සල්ලට කරුණක් වන අතර මෙම කාරණය සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේ මගේ දැඩි විරෝධය පළ කරමි."

පාර්ලිමේන්තුව පෙබරවාරි මස 3,5 සහ 6 දිනවල රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම සිද්ධිය අනිවාර්යෙන් ම පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වන සිද්ධියක් බවට පත්වීම අවිවාදිත කාරණයකි.

එමෙන් ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් වීමට පාදක වූ බව කියන තවත් සිදුවීමක් ඔහුගේ වැඩ තහනම් වීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්විය.

'කතානායකවරයා ආහාර ගන්නා කාමරයේදී දුටු බව කියන සිද්ධිය'

එනම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් චමින්ද කුලරත්න නිල කාර්යයක් සඳහා මීට මාස කිහිපයකට ඉහතදී කතානායකවරයා ආහාර ගන්නා කාමරයට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී ඔහු දුටුවේ යැයි කියවෙන පෞද්ගලික සිදුවීමක් නිසා කතානායකවරයා අපහසුතාවට පත්ව ඇතිවූ අමනාපයක් මත චමින්ද කුලරත්නට එරෙහිව කරුණු සෙවීමක් ආරම්භ වූ බව ඔහුගේ පාර්ශවයෙන් කියවෙන කාරණය යි.

එවන් සිදුවීමක් චමින්ද කුලරත්න විසින් මාධ්‍ය වෙත අනාවරණය කළා දැයි සෙවීමට වෙන ම පරීක්ෂණයක් සිදුකර තිබේ.

එම වාර්තාව මගින් එවැනි දෙයක් අනාවරණය නොවීම මත චමින්ද කුලරත්න සම්බන්ධයෙන් පෞද්ගලිකව මෙවැනි චෝදනාවක් එල්ල කෙරන බව ඔහුගේ පාර්ශවයෙන් මතු කරන කාරණයකි.

මේ සම්බන්ධයෙන් විමසීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය අවස්ථා ගණනාවක දීම සම්බන්ධ කර ගැනීමට බීබීසි සිංහල උත්සහ කළත් එය ව්‍යර්ථ විය.

පසුව කතානායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජනක මහේෂ් බීබීසීය විසින් සම්බන්ධ කර ගන්නා ලද අතර ඔහු කියා සිටියේ කතානායකවරයා ආහාර ගන්නා කාමරයේ සිදුවූ බව කියන සිද්ධිය අසත්‍යක් බවයි.

ඒ සම්බන්ධයෙන් මීට මාස දෙකකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් පසු විමර්ශනයක් ක්‍රියාත්මක කළ බවත්, සිවිල් අධිකරණය හමුවේ සාපරාධී අපහාසය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීමට කතානායකවරයාගේ පාර්ශවයෙන් කටයුතු කරගෙන යන බව ත් ජනක මහේෂ් සඳහන් කළේ ය.

වැඩ තහනම් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධූරයට පත්වීමට පෙර චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් ලෙස කටයුතු කළේ ය.

එය කැබිනට් මණ්ඩලය විසින් කරනු ලබන ගැසට් මගින් ප්‍රකාශිත පත්වීමකි. එය අමාත්‍ය මණ්ඩලය මගින් කොන්ත්‍රාත් පදනම මත ලබා දී තිබේ.

මේ අතර බීබීසී සිංහල කළ විමර්ශනයේදී අනාවරණය වූයේ, චමින්ද කුලරත්නට මෙතෙක් නිල චෝදනා පත්‍රයක් ලබා දී නොමැති බවයි.

ඒ අනුව, චමින්ද කුලරත්න මේ වන විට තමාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.

චෝදනා පත්‍රයක් නොමැතිව සහ විධිමත් විනය පරීක්ෂණයක් නොමැතිව වැඩ තහනම් කිරීමෙන් ස්වභාවික යුක්ති මූලධර්මය මත පදනම්ව චමින්ද කුලරත්නට සිදුවූ බව කියන අසාධාරණය පදනම් කර ගනිමින් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවිධානයට සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංවිධානයට පැමිණිලි කිරීමට චමින්ද කුලරත්නගේ පාර්ශවයෙන් මේ වන විට සූදානම් වෙමින් ඇත.

චමින්ද කුලරත්න උත්සව සභාවක් අමතන ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට සම්බන්ධ වීමට පෙර, නීතිඥ චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම් ධූරය දැරීය

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධුරයට අවශ්‍ය සුදුසුකම් මොනවා ද?

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධුරයට අයදුම්කරන පුද්ගලයෙකුට අධ්‍යාපන සුදුසුකම් ලෙස, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගනු ලබන විශ්වවිද්‍යාලයක් මගින් ලබා දෙන නීතිවේදී උපාධිධාරියෙකු විය යුතුය.

වෘත්තීය සුදුසුකම් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අවම වසර 10ක ජ්‍යෙෂ්ඨත්වයක් සහිත නීතිඥවරයෙකු විය යුතුවේ.

රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ පිළිගත් ආයතනයක මානව සම්පත් කළමනාකරණ/ රාජ්‍ය පරිපාලන/ ව්‍යාපාර කළමනාකරණ ක්ෂෙත්‍රයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක අවම වසර 10ක කළමනාකරණ පළපුරුද්ද තිබිය යුතුය.

මීට අමතරව අදාළ ක්ෂෙත්‍රවල පශ්චාත් උපාධි සුදුසුකමක් තිබීම මෙන්ම අධිකරණ සේවයේ/ නීතිපති දෙපාර්තමේන්තුවේ පළපුරුද්දක් ලබා තිබීම, ව්‍යවස්ථාපිත නීතිය, පාර්ලිමේන්තුවේ කටයුතු සහ ක්‍රියාදාමයන් පිළිබඳ මනා දැනුමක් තිබීම, රජයේ පරිපාලන සහ මුදල් රෙගුලාසි පිළිබඳ අවබෝධයක් තිබීම, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පළපුරුද්දක් ලබා තිබීම හා තොරතුරු තාක්ෂණ කුසලතාවයන් සපිරි අයදුම්කරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලබන බව මෙම තනතුර සඳහා බඳවා ගැනීමට නිකුත් කර ඇති ඇබෑර්තු නිවේදනයක දක්වා තිබේ.

වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න

පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට සම්බන්ධ වීමට පෙර, නීතිඥ චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායකවරයාගේ අතිරේක ලේකම් යන තනතුරු දරා තිබේ.

එමෙන් ම ඔහු එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් යන තනතුරු ඇති අතර වසර 20ක් පමණ රාජ්‍ය සේවයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් දරා ඇත.

ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රියාදාමයන්, රාජ්‍ය පරිපාලනය සහ මූල්‍ය රෙගුලාසි පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් ඇති නිලධාරියෙකි.

චමින්ද කුලරත්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. ඔහු 2005 සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයෙකු වන අතර 2016 සිට නීතිඥ කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ.