වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුත් ආණ්ඩුවෙන් ලැබෙන වරප්‍රසාද මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Harini Amarasuriya/Facebook
ජනාධිපතිවරණයේදී මෙන් ම මහ මැතිවරණයේදී ද වත්මන් රජය මැතිවරණ වේදිකාවල දුන් එක් ප්‍රධානතම පොරොන්දුවක් වූයේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් ම අහෝසි කිරීම ය.
මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීම, නිල නිවාස භාවිත නොකිරීම ජාතික ජන බලවේගය දුන් පොරොන්දු අතර ප්‍රධාන ය.
වරප්‍රසාද ගැන නැවත සලකා බැලීමට කමිටුවක්
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පැවති පළමු කැබිනට් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේ ය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරයෙකු වන ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරියක වන ජයන්තා සී.ටී. බුළුමුල්ල කටයුතු කරති.
ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්ය මණ්ඩල, කාර්යාල උපකරණ සහ ආරක්ෂක නිලධාරීන් ආදී විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ සුදුසු විකල්ප ක්‍රමවේද හඳුන්වා දීම පිණිස යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුවට පැවරී ඇත.
වරප්‍රසාද සහ දීමනාවල වෙනසක් වෙනවා ද?
වත්මන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ජාතික ජන බලවේග රජය යටතේ ලබා දෙන වරප්‍රසාද හා දීමනා සම්බන්ධව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගලගෙන් බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.
“අපි කලින් කියපු ටික තමයි, විශ්‍රාම වැටුප් අහිමි කරනවා, වාහන පර්මිට් එක නැති කරනවා, ඔය ටික තමයි ඉතින්. අපි V8, මොන්ටෙරෝ වගේ හයි රෑන්ක් ලක්ෂරි වාහන මන්ත්‍රීවරුන්ට දෙන්න බලාපොරොත්තුවක් නැහැ.”
දැනට අමාත්‍යංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේ ය.
දැනට මහජන නියෝජිතයන්ට ලබා දෙන වැටුප් හා දීමනාවල වෙනසක් සිදුවන්නේ දැයි විමසූ විට ඔහු සඳහන් කළේ, වැටුප් හා දීමනා සම්බන්ධ සමාලෝචනයක් කර තීන්දුවක් ගන්නා බව ය.
දැනට පවත්නා ක්‍රමවේදයට අනුව, මැති ඇමැතිවරුන්ට වැටුපට අමතරව පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාවක්, කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාමට මෙන් ම දුරකතන දීමනාව ඇතුළු දීමනා හිමි වෙයි.
“නිල නිවාස සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා,” මහජන නියෝජිතයන්ට ලබා දෙන නිල නිවාස සම්බන්ධව විමසීමේදී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසීය.
මන්ත්‍රීවරුන්ට ලබා දෙන ගිනි අවි සහ ගිනි අවි පුහුණුව සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු කියා සිටියේ ය.
මැති ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට ලබා දෙන ආරක්ෂාව ගැන මහජන නියෝජිතයන්ට ඉදිරි දිනවල පාර්ලිමේන්තුමේ ලබා දෙන පුහුණුවේදී දැනුවත් කරන බවත්, ඒ පිළිබඳව අවසන් තීරණයක් දැනට සඳහන් කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල බීබීසි සිංහල සේවය වෙත පැවසීය.
වරප්‍රසාද කප්පාදු කරන්නැයි විපක්ෂ මන්ත්‍රී යෝජනාවක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සහ දීමනා අහෝසි කිරිමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ මාධ්‍ය වෙත පවසා තිබිණි.
මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේ මෙන් ම විපක්ෂයේ ද සහාය ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන උදෑසන හා දිවා ආහාර සම්පූර්ණයෙන් අහෝසි කිරීමට යෝජනා කරන මන්ත්‍රීවරයා ඒ වෙනුවට මුදල් ගෙවා ආහාර ලබා ගත හැකි ආපන ශාලාවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටී.
“අපිට ආරක්ෂාව අවශ්‍ය වෙන වෙලාව තමයි මැතිවරණ කාල සීමාව, ඒ කාල සීමාව තුළ මන්ත්‍රීවරුන්ට තර්ජනයක් තියෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ එයාගේ ක්‍රියාකාරකම් එක්ක ඇති වෙන යම් කිසි අභියෝග එක්ක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා ම ආරක්ෂාව ඕනේ නෑ. ජනාධිපතිතුමා ආරක්ෂා වෙන්න ඕනේ ඔබතුමා ආරක්ෂාව තියාගන්න. සියලු පාර්ලිමේන්තු, කැබිනට් ඇමැතිවරුන්ගේ ආරක්ෂාව නතර කරන්න පුළුවන් නම්, ඔබතුමන්ලා කියපු විදියට නතර කරන්න කියන ඉල්ලීම විපක්ෂය විදියට කියනවා. අපිට ආරක්ෂාව අවශ්‍ය නෑ.”
ඇමති නිල නිවාස කුලියට ලබා දෙන ලෙස යෝජනා කරන හේෂා විතානගේ මන්ත්‍රීවරයා එම මුදල් මහපොළ අරමුදලට බැර කරන ලෙස ඉල්ලා සිටියේ ය.
මන්ත්‍රීවරුන් 43 දෙනෙක් නිල නිවාස ඉල්ලති
මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු නොවැම්බර් 25 වන දා වන විට නිල නිවාස ඉල්ලුම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවා අංශය බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
එම අංශයේ ප්‍රධාන නිලධාරී පුෂ්පකුමාර පතිරණ සඳහන් කළේ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීරණයේ අලුත්වැඩියා කටයුතු අවසන් වූ පසුව මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දෙන බව ය.
නිල නිවාස ඉල්ලුම් කරන ලද මහජන නියෝජිතයන්ගේ අයැදුම්පත් සලකා බැලීමෙන් අනතුරුව නිවාස ලබා දීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.














