මහ මැතිවරණය 2024: විපක්ෂයේ අරමුණ සහ කාර්යභාරය විය යුත්තේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa|Facebook
මෙවර මහ මැතිවරණයේ දී ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවට විපක්ෂයේ බලය ලබා ගැනීම වෙනුවෙන් දැඩි සටනක් නිර්මාණය වී තිබෙන බව දැකගත හැකිය.
ජනාධිපතිවරයා නියෝජනය කරන ආණ්ඩු පක්ෂය තම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන ලෙස ඉල්ලා සිටිද්දී අලුත් පක්ෂ හා සන්ධාන පිහිටුවා ගනිමින් බොහෝ පිරිස් විපක්ෂයේ බලය තමන් වෙත ඉල්ලා සිටී.
ජනතා අරගලය හමුවේ මීට පෙර සිටි ජනාධිපතිවරයා මෙරටින් පලා ගිය මොහොතේ ඔහුගේ ප්‍රතිවාදියා වූ විපක්ෂ නායකවරයා හෝ ඔහු ප්‍රමුඛ විපක්ෂයට මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමට අසමත් විය.
ඒ අනුව එළඹෙන පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාරය කුමක් වනු ඇත්ද යන්න පිළිබඳ අපි විමසා බැලුවෙමු.

ඡායාරූප මූලාශ්‍රය, Ravi Kumudesh|Facebook
විපක්ෂයේ අරමුණ විය යුත්තේ කුමක්ද?
“විපක්ෂය කියන්නේ ඊළඟ මොහොතේ බලය ලබා ගැනීමට ඒ වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමට. එවැනි කණ්ඩායමක් කියන්නේ ආණ්ඩු පක්ෂය තරම් ම දියුණු වැඩපිළිවෙළක්, ශක්තිමත් සංවිධාන ව්‍යුහයක්, ඒ වගේම ඉතාමත්ම පුළුල් ජන පදනමක් තිබෙන කණ්ඩායමකට.” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පැහැදිලි කරයි.
විපක්ෂයේ මූලික අරමුණ විය යුත්තේ රට ඉදිරියට ගෙන යාම සම්බන්ධව තිබෙන වැඩපිළිවෙලට වඩා බලවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් කටයුතු කිරිම බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
“ලංකාවේ මේ මොහොතේ තමන්ගේ ජන පදනම පිළිබඳව තිබෙන සැකය නිසා, එහෙම නැතිනම් ඔවුන්ට ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකියි කියන විශ්වාසය නිසා ඔවුන් ඉල්ලනවා අපිට විපක්ෂයක් වෙන්න ඡන්දය දෙන්න නැතිනම් ශක්තිමත් විපක්ෂයක් වෙන්න ඡන්දය දෙන්න කියලා. හැබැයි ඒකෙන් පෙන්නුම් කරනවා එක්තරා ආකාරයකට ලංකාවේ දේශපාලන සංස්කෘතියේ බිඳ වැටීමක් සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සමාජය තුළ තිබෙන භාවිතය නැතිනම් ආයතනික පටිපාටි, මේවා පිළිබඳව ගැඹුරු හරයාත්මක අවබෝධයක් මේ විපක්ෂය වෙන්න බලය ඉල්ලන අයට නැහැයි කියන එක.”
එබැවින් ශක්තිමත් විපක්ෂයක් වීමට බලය ඉල්ලා සිටිම සතුටට කරුණක් නොවන බව කී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පටිපාටි සම්බන්ධයෙන් මෙන්ම ඊට අදාළ ප්‍රතිමාණවලින් ගත් කළ මෙය නරක තත්ත්වයක් බවට විශ්වාසය පළ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Dilith Jayaweera|Facebook
'හොඳ වැඩපිළිවෙලකට සහාය දීම ඕනෑම හොඳ විපක්ෂයක වගකීමක්'
ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කරමින් ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය වීමට විපක්ෂ බලය ලබා දෙන්නැයි මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් කණ්ඩයම් ඡන්දය ඉල්ලා සිටිමේ දී ප්‍රධාන කරුණක් ලෙස ඉදිරිපත් කර තිබේ.
“අපි කාලාන්තරයක් තිස්සේ දන්න දෙයක් තමයි ඒ විදියට ඉතාමත්ම සන්ධාන ගතව සාමූහිකව ආණ්ඩුවක් විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට සහාය දෙන විපක්ෂ සංස්කෘතියක් අපි ලංකාවේ දැකලා නැහැ. ඔය කියන අරමුණ බොරු අරමුණක්, එහෙම නැතිනම් ව්‍යාජයක්.”
“ආණ්ඩුව විසින් ගෙන යන හොඳ වැඩපිළිවෙලකට සහාය දීම ඕනෑම හොඳ විපක්ෂයක වගකීමක්. නමුත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය දන්න අපි දන්නවා මේ ප්‍රකාශය තනිකරම ව්‍යාජයක් සහ ඡන්දය ලබා ගැනීමේ යම් කිසි උපක්‍රමයක්. තමන්ට ආණ්ඩු බලය ලබා ගැනීමට මේ මොහොතේ බැහැයි කියන එක හොඳටම දන්න නිසා කරදරයක් නැති තැනකට තමන්ගේ දේශපාලනය තල්ලු කර ගැනීමක් විදියට තමයි මම මේක දකින්නේ.”
ජාතික ජන බලවේගය හිතුවක්කාර වෙයි ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තව නොබෝ දිනකින් පවත්වන මැතිවරණයේ දී ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අභිබවා පාර්ලිමේන්තු බහුතරය ලැබුණහොත් දේශපාලනික වශයෙන් ඇතිව්ය හැකි වෙනස්කම් මොනවා ද යන්න පිළිබඳව කළ විමසීමට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මෙසේ පිළිතුරු දුන්නේ ය.
“මේ මොහොතේ ආණ්ඩු බලය ලබා ගැනීමට අවශ්‍ය ගමනෙන් බාගයක් ඇවිත් තියෙන්නේ ජාතික ජන බලවේගය. ඔවුන්ට ජනාධිපතිවරයෙක් වගේම අමාත්‍ය මණ්ඩලයක් තියෙනවා. ඒ නිසා අපිට හිතන්න පුලුවන්නේ ඊළඟ සැරේ ආණ්ඩු බලය පිහිටුවිමේ සම්භාවිතාව තියෙන්නේ ජාතික ජන බලවේගයට කියලා. එතකොට ජතික ජන බලවේගයට තුනෙන් දෙකක බලයක් එහෙම නැතිනම් කරදරයකින් තොරව ආණ්ඩුව ගෙනයාම සඳහා අවශ්‍ය වෙනවා පරම බහුතරයක්.”
“බලයට පත්වන ආණ්ඩුවක් සන්ධානීය ක්‍රියාවලිය ඇතුලේ, පාර්ලිමේන්තු දේශපාලනය ඇතුළේ, ජාතික අභිලාශ මුල් කරගෙන තමන්ගේ දේශපාලන මතභේද තියාගන්න ගමන්ම ජාතික අභිලාශ වෙනුවෙන් සන්ධාන ගත වෙන සංස්කෘතියක් අපි දැකලා නැහැ. නිතරම තියෙන්නේ බල අරගල. එහෙම සන්දර්භයක් ඇතුළේ බලයට පත්වෙන ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් තිබීම වැදගත් විශේෂයෙන්ම අපි මේ අත්හදා බලන දේශපාලන ව්‍යාපාරය මොනවාද කරන්නේ කියලා බලන්න. ලංකාවේ තුනෙන් දෙකක බලය ගත්ත ඉතාමත්ම රටට විනාශකාරී අත්දැකිම් එකතු කරපු දේශපාලන කණ්ඩායම් පක්ෂත් හිටියානේ. ඒ නිසා මම හිතනවා අලුතින් බලයට පත්වීමට නියමිත ජාතික ජන බලවේගයට තුනෙන් දෙකක බලයක් තිබීම වැදගත් මොකද අනිත් අය ගේන තර්කය තමයි මේ කට්ටිය හිතුවක්කාර වෙයි කියලා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ හිතුවක්කාර වෙන්න බැහැ පාර්ලිමේන්තුවක් තියෙද්දි. නීති තියෙනවා. සීමා තියෙනවා. ඒවා ඇතුළෙයි වැඩ කරන්න වෙන්නේ.”
දුර්වල විපක්ෂයක් හෝ ආණ්ඩුවක් පිහිටුවීම වැරදි බව පවසන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා රටට අවශ්‍ය වන්නේ ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ශක්තිමත් ආණ්ඩුවක් හා විපක්ෂයක් බව අවධාරණය කළේය.
'විපක්ෂයට සිද්ධ වෙනවා හරයාත්මක සටන් පාඨ ඉදිරිපත් කරන්න'
නැවුම් දේශපාලන ව්‍යාපාරයක් රටේ බලයේ තෝන් ලණුව සියතට ගෙන ඇති මොහොතක විපක්ෂයට පැවරෙන්නේ කුමනාකාරයේ කාර්ය භාරයක් ද?
ද්‍රව්‍යමය පොරොන්දු මත අනුග්‍රහක සේවාදායක සම්බන්ධයක් මත පැවති ඡන්ද ලබා ගැනිමේ ක්‍රමය පසුගිය ජනාධිපතිවරණයේ දී වෙනස් වී ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දුෂණයට විරුද්ධව අදහස්වලට ඡන්දය ලබා දෙන වතාවරණයක් උදා වු බව හෙතෙම සඳහන් කළේය.
“අපි ආවොත් පොත් දෙනවා, අපි අවොත් කන්න දෙනවා, අපි ආවොත් බොක්කුව හදනවා. මේවා කියලා වැඩක් නැහැ දැන්. විපක්ෂයට සිද්ධ වෙනවා හරයාත්මක සටන් පාඨ ඉදිරිපත් කරන්න. මේ රට ගොඩනැගීම සම්බන්ධව ඒ කට්ටියට තිබෙන දැක්ම මොකක්ද, දශක හතක් තිස්සේ විනාශයට පත්වුණ රටක ඉරණම සම්බන්ධයෙන් තමන්ලා විසින් කරන ලද දායකත්වය මොකක්ද ඒක නැවත නොකරන බවට දෙන සහතිකය මොකක්ද,”
“දැන් සමාජයට අවශ්‍යයි මූලධාර්මික සහ දාර්ශනික ආමන්ත්‍රණයක්. පාවෙන ඡන්ද කියලා කියන්නේ වැදගත් ඡන්ද ප්‍රමාණයක්. මේ හිතන මතන මිනිස්සුන්ගේ ඡන්ද ගන්න නම් හිතන්න මතන්න අදහස් මුදා හැරිය යුතුයි. ඒ නිසා විපක්ෂය දැන්වත් හිතන්න ඕනේ අපි ඡන්ද ගත්ත විදිය වැරදී. අපි අලුත් දේශපාලන දර්ශනයක්, මූලධර්මක් ඇතුලේ වැඩ කළ යුතුයි කියන එක හිතන්න ඕනේ,” යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පවසයි.














