ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය ද?

Protestors demanding the resignation of Sri Lanka's President Gotabaya Rajapaksa swim in a pool inside the compound of Sri Lanka's Presidential Palace in Colombo on July 9, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව තුළ ඇති වූ අරගලයේ දී පාර්ලිමේන්තුවට දැඩි විරෝධයක් එල්ල වූයේ '225 ම එපා', 'පාර්ලිමේන්තුවෙන් එළියට බලයක්' වැනි සටන් පාඨ නිර්මාණය වෙමින් ය.

එහි දී ජනතාවගෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ජනතා මුදලින් විශාල වශයෙන් වරප්‍රසාද හිමිකරගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවගේ අභිලාශයන් ඉටු නොකරන බවට ය.

ශ්‍රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ධූරයට ද යම් විරෝධයක් පවතින්නේ එම විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන් සමයේ සිටම ය.

එවැනි තත්ත්වයක් තුළ බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය ද, ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තුවක කාර්යයභාරය කුමක් ද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදු කරන ලදි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල විතානවසම් ඒ පිළිබඳව බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය.

පාර්ලිමේන්තු ක්‍රමයේ ඉතිහාසය

පාර්ලිමේන්තු ක්‍රමයේ ආරම්භය සිදු වූයේ කෙසේ දැයි බීබීසී සිංහල කළ විමසීමේ දී මහාචාර්ය අතුල විතානවසම් පෙන්වා දුන්නේ එම ක්‍රමය ආරම්භ වූයේ මහා බ්‍රිතාන්‍ය තුළ බවයි.

"ලෝකයේ දැනට සියවස් කීපයකට පෙර මුලින් ම පාර්ලිමේන්තු ක්‍රමයක් ඇතිවුණේ බ්‍රිතාන්‍යයේ. අතීතයේ දී ලෝකය ඒකාධිපති රජවරුන් විසින් පාලනය කළේ. නමුත් 17 වන, 18 වන සියවස්වල දී විශේෂයෙන් ම පාර්ලිමේන්තුව කියන එක අවශ්‍යම කාරණයක් බවට පත් වෙන්න ගත්තා. එක පැත්තකින් රජුගේ බලය අඩු කිරිමට සහ අනෙක් පැත්තෙන් ජනතා නියෝජනයක් වීමට පාර්ලිමේන්තුවට හැකි වුණා," මහාචාර්යවරයා පැවසුවේ ය.

මීට සමගාමීව ඇමෙරිකාව තුළ ද මෙම ක්‍රමයේ ආරම්භය සිදු වූ බව ඔහු පවසයි. "විශේෂයෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදයේ 1789 ව්‍යවස්ථාව පිහිටුවා ගන්න පෙර සිටම පැමිණි උද්ඝෝෂණයක් තමයි ජනතාවගෙන් බදු අය කරගන්නවා නම් ජනතාවට ඡන්ද බලය දිය යුතුයි, ඒ වගේ ම ජනතා නියෝජිතනයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියන එක."

"පාර්ලිමේන්තුව කියන එක අවධාරණය වුණේ යුරෝපය සහ ඇමෙරිකාව තුළ. විශේෂයෙන් ම ඒ සඳහා ජෝන් ලොක් වගේ චින්තකයො බලපෑවා. ඔහු 17 වන සියවසේ ඔහුගේ සමාජ සම්මුති න්‍යාය තුළ ව්‍යවස්ථාදායකයක තියෙන වැදගත්කම න්‍යායාත්මකව පැහැදිලි කළා. ඒ වන විටත් ඒ රටවල් තුළ රජුගේ බලය මහජන සභාවකට ගෙන ආ යුතුයි කියන එක මතුවෙලා තිබුණා. නමුත් අද පවතින තත්ත්වයට යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු පත් වුණේ සියවස් ගණනක ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක ප්‍රථිඵලයක් විදිහට."

ශ්‍රී ලංකාවට මෙම ක්‍රමය උරුම වූයේ බ්‍රිතාන්‍යයෙන් බවද ඔහු පැවසුවේ ය. "අපට මේ ක්‍රමය උරුම වුණේ බ්‍රිතාන්‍යයෙන්. 1947 දී නිදහස ලබා දෙන්න පෙර ඇති කරපු ව්‍යවස්ථාවෙන් අපට කැබිනට් ක්‍රමයක් ලබා දුන්නා. එතැනින් කෙලින් ම පාර්ලිමේන්තු ක්‍රමය අපට හඳුන්වා දුන්නා."

රටකට පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම සඳහා මහජනතාව විසින් ම නියෝජිතයන් පත් කරගැනීම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සරළව ම හැඳින්විය හැකි ය. මහාචාර්ය අතුල විතානවසම් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව යනු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණත බවයි.

"සාම්ප්‍රදායිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට පාර්ලිමේන්තුව වැදගත් වෙනවා. එවැනි තත්ත්වයක පාර්ලිමේන්තුවට සලකන්නේ විශේෂ ගරුත්වයකින්. එයට හේතුව එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණත වීම."

"ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන ප්‍රධාන ම ආයතනය තමයි පාර්ලිමේන්තුව."

ඔහු පවසන්නේ වැඩි පිරිසක් එක්ව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදු කිරීම නිසා එම ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

"දේශපාලන විධායකයත් ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වෙනවා තමයි. ඒ වුණත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක පාර්ලිමේන්තුව විශේෂිත ස්ථානයක් ගනු ලබන්නේ ජනතාවගේ සෑම පැතිකඩක් ම ජනතාවගේ සෑම අභිලාශයක් ම එමඟින් නියෝජනය වන නිසා. එහි සංයුතිය තුළත් ප්‍රජාතන්ත්‍රවාදී බවක් තියෙනවා. ජනාධිපති ක්‍රමයක තනි ඔළුවක ක්‍රමයක් හැදෙනකොට පාර්ලිමේන්තුවක් කියන්නේ එහෙම එකක් නෙවෙයි. පාර්ලිමේන්තුව පුද්ගලයන් ගණනාවකින් සැදුම්ලත් එකක්."

ඔහු පවසන්නේ සමාජයේ සැම පැතිකඩක්ම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට හැකියාව පවතින නිසා එය සමාජයට වඩාත් සමීප ආයතනයක් වන බවයි.

"සමාජයේ තියෙන විවිධ අභිලාශ, දේශපාලනික වශයෙන් පක්ෂවල අභිලාශ, ජනවාර්ගික අභිලාශ, ආගමික, ප්‍රාදේශීය කුල හා වෙනත් බෙදීම් පාර්ලිමේන්තුව තුළ බොහෝවිට නියෝජනය වෙනවා. මනා නියෝජනයක් යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාගත්තම පාර්ලිමේන්තුව ජනතාවට වඩාත් සමීප ආයතනයක් බවට පත් වෙනවා," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

පාර්ලිමේන්තුවේ කාර්ය භාරය කුමක් ද?

පාර්ලිමේන්තුවක මූලික කාර්ය භාරය වන්නේ නීති සම්පාදනය කිරීම ය. පාලන කටයුතු සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීම සහ ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය එහි ප්‍රමුඛ කාර්ය භාරයකි. එහි කාර්ය භාරය ඉතා පුළුල් එකක් බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

"රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළේ නැතත් රාජ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් කරනවා. රටේ විවිධ ආණ්ඩු ගෙන එන යෝජනා, ප්‍රතිපත්ති විවේචනය කිරීමේ හැකියාව තියෙනවා. එය මහජන සංසදයක්. ඒ තුළ විවාද කරනවා. ප්‍රශ්න කරනවා. විධායකය සංවරණය කිරීම සිදු කරනවා. විධායක බලය සංවරණය කිරීමට, එහෙමත් නැතිනම් පාලනය කිරීමට පාර්ලිමේන්තුව යොදාගන්න පුළුවන්," ඔහු පෙන්වා දුන්නේ ය.

බලය තනි පුද්ගලයෙකු වටා හෝ එක් ආයතනයක් වටා ඒකරාශී වීම සංවරණය කර බලය තුලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වැදගත් බව මහාචාර්ය අතුල විතානවසම් පවසයි.

ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය ද?

1833 දී ශ්‍රී ලංකාවට පළමු වරට ව්‍යවස්ථාදායක සභාවක් හඳුවා දුන් අතර, එයින් සියවසක් පමණ ගත වූ තැන 1931 දී ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් හට සර්වජන ඡන්ද බලය හිමි විය.

එහි දී මහජන ඡන්දයෙන් තෝරා පත්කරගත් මහජන මන්ත්‍රී මණ්ඩලයක් සහ විධායක කාරක සභා ක්‍රමයක් හඳුන්වා දෙන ලදි.

1948 වර්ෂයේදී ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමට ප්‍රථමයෙන් හඳුවා දුන් සෝල්බරි ආණ්ඩුක්‍රමයෙන් ශ්‍රී ලංකාවට පළමු වරට පාර්ලිමේන්තු ක්‍රමය හඳුවා දෙන ලදි.

1972 දී පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව හඳුන්වා දුන් අතර, නැවත වතාවක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව හඳුන්වා දෙන ලදි.

එලෙස 1978 ව්‍යවස්ථාවෙන් මුල් අවස්ථාවේදී හඳුන්වා දුන් පාර්ලිමේන්තුව විධායකයට යටත් කර තිබීම, වර්තමානයේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ගොඩනැගී ඇති අප්‍රසාදයට මූලාරම්භය වූ බව මහාචාර්ය අතුල විතානවසම් පෙන්වා දෙයි.

"1978 දී හඳුන්වා දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ බලය සීමා කරලා විධායකයට යටත් කරලා තිබුණේ. 19 වැනි සංශෝධනයට පෙර ජනාධිපතිට හැකියාව තිබුණා පාර්ලිමේන්තුව පත්වෙලා වසරක් යන්න කලින් විසිරුවා හරින්න."

එමෙන් ම සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමෙන් පසු දේශපාලන පක්ෂ බලවත් වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

"මීට කලින් පැවති ක්‍රමයේ දී මන්ත්‍රීවරයාට ඔහුව පත් කරපු ජනතාවට සේවය නොකර ආයෙ ඔහුගේ කොට්ඨාසයට යන්න බෑ ජනතාවගේ ඡන්දය ඉල්ලන්න. නමුත් 1978න් පසුව ගොඩක් දේවල්වලට මුදල් හරස් වුණා," මහාචාර්යවරයා පවසයි.

"මේත් එක්කම දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති වුණා. මීට පෙර දැන් තියෙනවා වගේ වරප්‍රසාද තිබුණේ නෑ. නමුත් 1978න් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රභූවරුන් බවට පත්වුණා. සාමාන්‍ය අය විදිහට පාර්ලිමේන්තුවට එන අය පිට වුණේ ව්‍යාපාරිකයෝ විදිහට."

Sri Lanka parliament
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ධූරයේ බලය සංවරණයට පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව මහාචාර්ය අතුල විතානවසම් පෙන්වා දෙයි.

"දේශපාලනඥයන්ට ව්‍යාපාරිකයන් මුදල් ලබා දෙන්න ගත්තා. ඔවුන් ඍජුවම අපරාධකරුවන් සමග සම්බන්ධතා පැවැත්වුවා. අන්තිමේ දී ඒ ව්‍යාපාරිකයන්, බාර් හිමියන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ වූ අය ම පාර්ලිමේන්තුව තුළට පැමිණෙන්න ගත්තා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුව ජනතා අභිලාශ ඉටු කරන තැනක් නොවී මහජන අප්‍රසාදයට ලක් වුණේ," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ විධායක බලතල සීමා කර පාර්ලිමේන්තු බලතල ඉහළ දමා මහජන පරමාධිපත්‍ය නියෝජනය කරන එම ආයතනය බලවත් කළ යුතු බවයි.

"19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා කරලා පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරලා තියෙනවා. තවදුරටත් ජනාධිපතිවරයාට වසරකින් පසුව පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ. ඒ සඳහා වසර හතරහමාරක් සිටිය යුතුයි. නමුත් තවමත් පාර්ලිමේන්තුවෙන් බාහිරව ගිහින් ජනමත විචාරණ කැඳවලා නීති සම්පාදනය කර ගැනීමේ බලය ජනාධිපතිවරයාට පවතිනවා," මහාචාර්ය අතුල විතානවසම් පැවසුවේ ය.

'විධායකය සංවරණයට, ජනතා අභිලාෂ ඉටු කිරීමට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි'

ශ්‍රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ධූරයේ බලය සංවරණයට පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව මහාචාර්ය අතුල විතානවසම් පෙන්වා දෙයි.

"විධායකයේ බලතල සීමා කරන්න පුළුවන් විදිහෙ බලයක් පාර්ලිමේන්තුවට ලබා දීලා පාර්ලිමේන්තුව හොඳ ආයතනයක් බවට පත් කළ යුතුයි. වර්තමානයේ පවතින වරප්‍රසාද අඩු කළා නම් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු එන අය හැලෙනවා."

එමෙන් ම ජනතාවගේ මතය පිළිබිඹු කිරීමට පාර්ලිමේන්තුව අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

"පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න, අදහස් ප්‍රකාශ කරන්න පුළුල් වපසරියක වරප්‍රසාදයක් හිමිවෙලා තිබෙනවා. ජනතාව මුහුණ දෙන ගැටළු, ප්‍රාදේශීය වශයෙන් තියෙන ප්‍රශ්න, විවිධ ජනවර්ගවලට ඇති ප්‍රශ්න වගේ මහජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න, ඒවා නියෝජනය කරන්න මේ මහජන නියෝජිතයන්ට පුළුවන්," මහාචාර්යවරයා පැවසුවේ ය.

ජනතාවට වගකියන ක්‍රමවේදයක් මඟින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා පාර්ලිමේන්තුව අවශ්‍ය බව මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

"සාමාන්‍ය ගමක ජීවත් වෙන ඡන්දදායකයෙක් වුණත් කන බොන දේවල්, ගමේ පාරවල්වල තියෙන අඩුපාඩු, පොහොර මේ වගේ දේවල් ගැන වුණත් පාර්ලිමේන්තුවෙන් තීරණ ගන්න පුළුවන්. ඒ නිසා මහජනතාව වෙනුවෙන් මහජනතාව ගැන තීරණ ගන්න, 'හොඳ' පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යයි."