13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම: "මර උගුලක්" ද? "ලොකු බොරුවක්" ද?

13th amendment

ශ්‍රී ලංකාවේ වරින් වර වැඩි ම කතාබහට ලක්වූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යළිත් කරළියට පැමිණ තිබේ.

එය යළිත් කතාබහට ලක්වන්නට වූයේ, පසුගිය ජනවාරි 15 වන දා යාපනයේදී පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයෙන් පසුව ය.

"අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කතා කරලා ඒවත් ක්‍රියා කරන්න යනවා. ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුද්දේ දෙකේදී. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමා වෙලා නැහැ නේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතු වෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ මම විශේෂයෙන් ම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් ගෙනල්ලා දෙවැනි වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරලා. අපි ඒ අයට සිංහල, දෙමළ, මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා," යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රදානය කිරීමට නියමිත මූල්‍ය සහනය වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව එකඟත්වය පළ කර ඇති වටපිටාවකය.

ඒ අතර පසුගිය පෙබරවාරි 1 වන දින ජිනීවාහී පැවති විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) සිව්වන චක්‍රයේදී 13A සම්පුර්ණයෙන්ම බලාත්මක කිරීම සහ උඩරට දෙමළ ජනතාව ඇතුළු දෙමළ ජනයාගේ මානව හිමිකම් සුරක්ෂිත කරන ලෙස ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට නිර්දේශ ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත්, මේ වන විට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව දැඩි විවේචන එල්ල කරමින් සිටී.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

විවිධ පාර්ශවවලින් විරෝධය

13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සන් සහිත ලිපියකින් පෙබරවාරි 01 වන දා ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.

එහි සඳහන් වූයේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන බවය.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබා දීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතු වන බව ද එහි සඳහන් කර තිබිණි.

chief prelates' letter

මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මාධ්‍ය හමුවක දී කියාසිටියේ "13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම නැවැත්වීමට පුළුවන් හැම දේ ම කරන" බවයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු බවට 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පූජය පාහියංගල ආනන්ද සාගර හිමියෝ ද පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසූහ.

මීට පෙර ජනාධිපති ධූරය දැරූ සමයේ මහින්ද රාජපක්ෂ පැවසුවේ, 13 වන ව්‍යවස්ථාවට එහා ගිය විසඳුමක් ලබා දෙන බවය.

කෙසේ වෙතත්, 1987 වසරේදී හඳුන්වා දුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට මේ වන විට වසර ගණනාවක් ගෙවී ගොස් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ, වෙනස් අර්ථකථනයකි.

සිකුරාදා (පෙබ. 03) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ, "රනිල් වික්‍රමසිංහ අටවා ඇත්තේ උගුලක්," බවය.

"රනිල් වික්‍රමසිංහලා මේ අටවලා තියෙන්නේ උගුලක්. ජාතිවාදී උගුලක් මේ අටවලා තියෙන්නේ. ජනතාව අතර ගැටුම් හදන උගුලක් අටවලා තියෙන්නේ. ජනතාව අධිෂ්ඨානයෙන් රට වෙනස් කරන්න හදනකොට ඒකට බාධා කරන්න උගුලක් මේ අටවලා තියෙන්නේ. ඒ උගුලට උදව් කරන්න බංකොලොත් ජාතිවාදී නඩත් ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ නිසා ජාතිවාදී උගුලට අහුවෙන්න එපා.උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුයි. ඒත් ඒක මේගොල්ලන්ට කරන්න බෑ," ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, "රනිල් වික්‍රමසිංහ ඇටවූ උගුල හරහා ජාතිවාදී කණ්ඩායම් බොරු ප්‍රශ්නයක් ඇති කරමින් සිටින," බවය.

"13 ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ ව්‍යවස්ථාවට එකතු කළේ, 1987දී. 1987 සිට මේ දක්වා මේක තියෙනවා. ඒ කියන්නෙ අවුරුදු 37ක් අපි මේකත් එක්ක ජීවත් වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ උතුරු නැගෙනහිර ජනතාවගේ කිසි ප්‍රශ්නයක් විසඳිලා නෑ‍. ඉතින් ඒකට මොන මොන කෑලි එකතු කළත් මේක අසාර්ථක අසමත් ව්‍යුහයක්. බොරු ප්‍රශ්නයක් හදන්න උත්සහ කරන්නේ දැන්. ජාතිවාදයෙන් යැපෙන්න හදන කණ්ඩායම් මේක දැන් ම අල්ලගෙන යනවා."

කෙසේ වෙතත්, උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව ටිල්වින් සිල්වා පැවසීය.

"උතුරු නැගෙනහිර ජනතා ප්‍රශ්න විසඳීමට 13 සංශෝධනය අවශ්‍යයි" - ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

උතුරු - නැගෙනහිර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සඳහා යුද්ධය අවසන් වීමෙන් පසු කිසිදු පාර්ශවයක් දේශපාලනික විසඳුමක් දී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර චෝදනා කරයි.

"යුද්ධයෙන් පස්සේ කිසි ම රජයක් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් දීලා නෑ.ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන ක්‍රියාදාමයකට යා යුතුයි. මම හිතන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහා ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන්. මේක දැන්වත් ක්‍රියාත්මක කළේ නැත්නම් ඒ ප්‍රශ්න විසඳගන්න ලැබෙන්නෙ නැති වෙයි," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.

"13 ක්‍රියාත්මක කරනවා කියන්නේ ලොකු බොරුවක්" - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

දේශපාලන නායකයින් වරින් වර 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසුව ද, එය කිසි දා ක්‍රියාත්මක නොකරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

"1987 ඉඳලා මේ වෙනකම් නායකයෝ කී දෙනෙක් මේක ක්‍රියාත්මක කරනවා කිව්වා ද?. සමහර අය 13ට එහා ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියලත් කිව්වා. ඒත් ඒවා බොරු වචන විතරයි. මේගොල්ලෝ ඒවා කියන්නේ රටේ බොරු මතවාදයක් හදන්න අවශ්‍ය වුණා ම. මේ වගේ අදහසක් සමාජයට ආව ගමන් ජාතිවාදී පිරිස් සහ ඒකට පක්ෂ පිරිස් මතවාද ඉදිරිපත් කර කර ඉන්නවා. ටික දවසකට පස්සේ ඒවා අමතක කරලා දානවා," ඔහු පැවසීය.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පෙන්වා දෙන්නේ, උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලනික විසඳුමක් වශයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු වැදගත් වන බවය.

ඉඩම් බලතල, පොලිස් බලතල ආදී කරුණු හරහා උතුරු නැගෙනහිර ජනතාවට යම් සහනයක් ඇති වනු ඇතැයි ඔහු පැවසීය.

"හැබැයි මේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කතා කරන අය ඒ ජනතාවගේ ප්‍රශ්න මොනවා ද කියලාවත් හඳුනගෙන නෑ. සමහර විට ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැන ඒ ජනතවාටවත් හරිහැටි අවබෝධයක් නෑ. ඒ නිසා ඔවුන් දේශපාලකයෝ කියන සීනිබෝල කතා විශ්වාස කරලා ඡන්දය පාවිච්චි කරනවා. මේ 13 වන සංශෝධනය කවදාවත් ක්‍රියාත්මක කරන්නෙ නෑ මේ දේශපාලකයෝ," ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැඩිදුරටත් පැවසීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 13 වන සංශෝධනය ගෙන එන ලද්දේ, 1987 වසරේදීය.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස දෙමළ ජනතාවගේ ඉල්ලීම් දෙකක් වූ,

  • සමාන භාෂා අයිතිවාසිකම් සහතික කිරීම‍‍
  • පුළුල් ලෙස බලය බෙදා හැරීම ක්‍රියාත්මක කිරීම

යන කරුණුවල‌ට 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විසඳුම් අපේක්ෂා කෙරිණි.

ඒ අනුව, "දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන," බවත්, "ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන," බවත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර තිබේ.

ඊට අමතරව, පොලිස් බලතල සහ ඉඩම් බලතල පළාත් සභා වෙත පැවරීම ද යෝජිතය.