
මානව හිමිකම් සුරැකීම සඳහා ශ්‍රී ලංකාව විසින් පියවර රැසක් ගෙන තිබෙන්නේ යැයි අමාත්‍ය මහින්ද සමරසිංහ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සමාලෝචනය කිරීම පිණිස අද ජිනීවා නුවරදී ආරම්භ වූ වාර්ෂික සැසිවාරය අමතමින් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ අතුරුදහන්වීමේ සිද්ධි සොයා බැලීම සඳහා ජාතික යාන්ත්‍රණයක් සකස් කොට තිබෙන බවයි.
අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස ක්‍රියාකාරී කමිටුවක් පත් කොට ඇති බව සඳහන් කළ ඔහු ඒවා විමර්ශනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කර ඇති බවත් ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ පැවසුවේය.
මේ වන විටත් අතුරුදහන් වූ සමහර සිද්ධීන් ගැන තොරතුරු සොයා ගෙන ඇති බව කියා සිටි ඇමතිවරයා, වීදේශ රටවල දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කරන්නේ නම් ශ්‍රී ලංකාවට අතුරුදහන්වූවන් ගැන සැසදීමක් කොට නිශ්චිතව සංඛ්‍යාවන් තහවුරු කරගැනීමට ඉඩ සැලසෙන බව සඳහන් කළේය.
උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇතිබව පැවසූ අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග ගැන තොරතුරු ඉදිරිපත් කරන ලදී.
කමිටුව හමුවේ අදහස් දැක්වූ රටවල් පක්ෂව මෙන්ම විවේචනාත්මක ප්‍රතිචාර දක්වා සිටියහ.
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත් විසදිය යුතු බරපතල ප්‍රශ්න ඇති බවයි බොහෝ රටවල් කියා සිටියේ.
ඉන්දියාව පැවසුවේ ශ්‍රී ලංකාව දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළයුතු බවයි.
ජනාධිපතිවරයා විධායක බලතල ශක්තිමත් කර ගැනීම පිණිස ගන්නා උත්සාහය ගැන අවධානය යොමු කළ ඇමරිකාව අග විනිසුරුවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ගැනද සිය අවධානය යොමුවී ඇති බව ප්‍රකාශ කළේය.
උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ සාධණීය නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කියා සිටි ඇමරිකාව ප්‍රකාශන නිදහසට එල්ලවවී ඇති තර්ජනය ගැනද තම අවධානය යොමුවී ඇති බව සඳහන් කළේය.












