13 වෙනි සංශෝධනය නැවතත් කරලියට එන්නේ චීන බලපෑම නිසාද?

ඡායාරූප මූලාශ්‍රය, dailynews sri lanka
- Author, රංග සිරිලාල්
- Role, බීබීසී සිංහල
දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් වටයකින් කරලියට පැමිණ තිබෙන්නේ එම සංශෝධනයට මග හෙළිකළ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මෑතදී කළ සංචාරයත් සමගය.
13 වන ව්‍යවස්ථා සංශෝධනය තවත් ශක්තිමත් කරන බවට, බලයට පැමිණි සියලුම රජයන් කිනම් හෝ අවස්ථාවකදී පොරොන්දු වී තිබුණ ද එය හුදෙක් ඊට ම පමණක් සීමා විණි. එවන් තත්ත්වයක් තුළ, රටේ බලය බෙදීමේ සහ සංහිදියාව ඇතිකිරීමෙහි ලා 13 වන සංශෝධනයට මුල්තැන හිමිවන බව ඉන්දියාව මතක් කර දෙයි.
එම සංශෝධනය හරහා ඇති කෙරුණු පළාත්සභා මේ වන විට අවුරුදු තුනකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන්නේ මහජන නියෝජනයකින් තොරව වීම තුළ, පළාත්සභා අකර්මණ්‍ය වී ඇති බවට හැඟවීම හරහා ඇතැම් දේශපාලනඥයින් සිය මතය හා සමපාත කරමින් පළාත්සභා අවශ්‍ය නැතැයි යන මතය සමාජගත කිරීමට යත්න දරන බවක් ද පෙනෙන්නට තිබේ.
පසුගියදා ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක නිරත වෙමින් ජනපති, අගමැති හා විදේශ ඇමති හමුවූ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් පැවසුවේ ඉන්දියාව විසින් කලාපයේ සාමය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ එක්සත්කම, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ඉන්දියාව දැඩි ලෙස කැපවී සිවින බවය.

ඡායාරූප මූලාශ්‍රය, Sri lanka foreign ministry
"ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අපගේ සහයෝගය දිගු කලක් තිස්සේ පවතින අතර ඇත්ත වශයෙන්ම ජනවාර්ගික සමගිය දිරිගැන්වීම සියලු දෙනාගේම දේශපාලන අභිප්‍රායයි. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය පිළිබඳ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන්නේ ශ්‍රී ලංකාවේම උන්නතිය වෙනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව අර්ථවත් බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද කැපවීම් එයට එක හා සමානව බලපායි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සමෘද්ධිය නිසැකවම ඉදිරියට යනු ඇත," යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් පැවසීය.
එහෙත් පසුගියදා සරත් වීරසේකර ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකුම පැවසුවේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සම්බන්ධ පළාත් සභා ක‍්‍රමය වහාම අහෝසි කළ යුතු බවකි.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ, "පළාත් සභාවලින් ඇත්ත වශයෙන්ම රටට සේවයක් සිදුවුණාද? සේවයක් සිදුවුණා නම් පළාත් සභා තිබිය යුතුයි. සේවයක් සිදුවුණේ නැද්ද? නැත්තම් කොච්චර වියදමක් යනවද? මෙන්න මේ දේ ගැන අධ්‍යනයක් කරගෙන යනවා. නමුත් පළාත් සභාවල දැනට තියෙන තත්ත්වය එහෙමයි. ඉතිං ඒක නිසා ඒක තමයි මගේ මතය." යනුවෙනි.
"නීති හදන්න පුළුවන් බලතල තියෙන කරුණු ඒ විෂයන් තවදුරටත් පළාත් සභාවලට දියයුතු ද කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. උදාහරණයක් හැටියට අපි සම්පුර්ණයෙන්ම උතුරු සභාවට දුන්නොත් පුරාවිද්‍යා නටඹුන් පිළිබඳව විෂයන්, ඉඩම් පිළිබඳව විෂය, පොලිස් බලතල විෂය අපිට අපේ උරුමය නැතිවෙන්න පුලුවන්. ඒ සම්බන්ධයෙන් ඒ වගේ බෝහෝ කරුණු තියෙනවා අපිට අධ්‍යනය කරන්න."
ගෝලීය දෙමළ සංසදය (ජීටීඑෆ්) නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ දෙමළ ජනතාවගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන්ට ආමන්ත්‍රණය නොකිරීම සහ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ප්‍රජාවන් අතර ඇති වෙනස්කම් නිර්දය ලෙස හාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බිහිසුණු මිලක් ගෙවා ඇති බවය.
මෙය දශක ගණනාවක ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් අතර සීමිත ආර්ථික ප්‍රගතියක් සහිත එකතැන පල්වූ රටක් බවට ලෝකයේ ප්‍රගතිශීලී ජාතීන් අතර අපකීර්තියට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ඛේදනීය ඉතිහාසය පෙන්නුම් කර ඇතැයි ද එම සංසදය සඳහන් කරයි.
"රාජපක්ෂ ආණ්ඩුවේ දෘෂ්ටිවාදීන් විසින් නැවත නැවතත් පෙන්නුම් කරනුයේ, දැඩි මතධාරී බහුතරවාදී දේශපාලනය තුළ , සුළුතර අපේක්ෂාවන් සහ ජාත්‍යන්තර කැපවීම් අපතේ යා හැකි බවට දෙමළ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව වෙත අනතුරු ඇඟවීමක් කෙරෙන බවයි." යනුවෙන් එම සංසන්දය කියා සිටී.
එය තවදුරටත් සඳහන් කරනුයේ දශකයකට වැඩි කාලයක් තිස්සේ රාජපක්ෂවරුන් සිය පුරවැසියන්ට, ඉන්දියාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු දී තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති පළාත් සභා අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජයේ නායකයින් කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ." යනුවෙනි.
කෙසේවෙතත්, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ම ක්‍රියාවට නැවීම හෝ එය ශක්තිමත් කරන ලෙස ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ බලකිරීමට ශ්‍රී ලංකාව මේ මොහොතේ ලක්වී සිටින්නේ ඇයිදැයි යන්න ප්‍රශ්ණ කිරීමට කාලය එළඹ ඇති බව විශ්ලේශකයෝ පවසති.
බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සුරියබණ්ඩාර, පැවසුවේ ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල් පවා බලය බෙදා රටේ ඒකීයත්වය රැකගෙන ඇති අතර බලය බෙදීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ජනවාර්ගික ගැටලුවට තිරසර දේශපාලන විසඳුමක් ලබාගත හැකි අතර ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම තුළින් ජාත්‍යන්තර අතපෙවීම්වලට ඉඩ සැලසෙන බව පෙන්වා දුන්නාය.
"මේක ඉතාමත් භයානක තත්ත්වයක්. අපේ රටේ පැවතුණු වාර්ගික අර්බුදයට දුන්නේ යුදමය විසඳුමක්. හැබැයි අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී කලාපීය බලවතා හැටියට හිටපු ඉන්දියාව ඇතුළු සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම මේ අර්බුදය විසඳීමට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පැවසුවා."

ඡායාරූප මූලාශ්‍රය, vishaka suriyabandara fb
ඇය පැවසුවේ මධ්‍යම ඒකාධිකාරයක් සතු චීනය ඔවුන්ගේ බලය ව්‍යප්ත කිරිමේදී ලංකාවේ බලය නොබෙදී තිබීම ඔවුනට වාසි සහගත තත්ත්වයක් ලෙස සිතනවා විය හැකි බවය.
"චීන මොඩලය ඉන්දියානු මොඩලයට කිසි සේත්ම පෑහෙන්නේ නෑ. ඉතින් මේ චීන මොඩලයට යන්න නම් මේ දැන් තියෙනව වාගේ මධ්‍යම ආණ්ඩු කේන්ද්‍රීය ක්‍රමයකට ඔවුන් කැමති යි. එහෙම තැනකදී ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුනට අවනත කරගත හැකි යම් දැඩි පාලනයක් සහිත මධ්‍යම ආණ්ඩුවක අවශ්‍යතාවය. හැබැයි එයිටවඩා වෙනස් දේශපාලන අවශ්‍යතාවයක් ආණ්ඩුවක් හැටියටත් වඩා කලාපීය බලවතා හැටියට ඉන්දියාව මෙය දකිනවා. මොකද එහෙම බලය බෙදීම නොවුනෝතින් ඉන්දියාවට විශාල වශයෙන් දේශපාලනිකවත් බලපානවා මොකද ඉන්දියාවේ එක පැත්තක තමිල්නාඩුව වගේ විශාල ප්‍රාන්තයක බලපෑම ප්‍රබලව දැනෙන්න පටන්ගන්නවා ඒවගේම චීනය වගේ මධ්‍යම ඒකාධිකාරියක් සතු රටක් තමන්ගේ කලාපය තුළ නිර්මාණය වීමත් යම් අභියෝගයක් වෙන්නට පුළුවන් ඉන්දියාවට," යනුවෙන් ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.
මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු, ඉන්දියාව සාපේක්ෂ වශයෙන් බොහොම බලවත් රටක් ලෙස ලංකාවට ආසන්නයේ පිහිටා තිබීම, කලාපයේ පිහිටා තිබීම සහ න්‍යෂ්ටික බලවතෙක් වීම මෙන්ම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය බටහිරත් සමඟ සමීප සම්බන්ධතාවයක් තිබීම වැනි හේතුන් නිසා ඉන්දියාව එක හෙලා ප්‍රතික්ෂේප කළ නොහැකි බව කියා සිටියාය.
කොහොමද අපි ඉන්දියානු සාධකය තුලනය කරන්නේ?
"මට දැනෙන දේ නම් මේ මොහොතේ ඉන්දියානු සාගරයේ සහ ලංකාවේ චීන අවකාශය, විවිධ ක්‍රම වලින් ඉන්දියාව බැලුවනේ කළමනාකරණය කරන්න. එහෙම කරලා කරලා බැලුව මේකත් ඒගොල්ලොන්ගේ ඒ ක්‍රියාදාමයේම තවත් එක් තුරුම්පුවක් විදිහට මේක දැම්මා කියල තමයි මම හිතන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Kulani Wijeyabahu
"මේක වෙනම කතාවක්නේ මේක මෙච්චර වෙලා කරලියේ තිබුණේ වෙන වෙන දෙවල්නේ. චීනයට මෙච්චර දෙන්න එපා. හම්බන්තොට වරයා ව්‍යාපෘතිය ගැන යළි සලකාබලන්න. ඒවා නැවත සමාලෝචනය කරන්න. ඒවා පාවිච්චි කරලා කරලා එම්සීසී එක ඇමරිකාවම හකුලාගැනීමත් එක්ක ඉන්දියාව දැන් වෙන පාරකින් එන්න හදනවා ලංකාවේ ඇතුලේ චීන සාධකය ඒගොල්ලන්ට වඩා ගැලපෙන විදිහට මෙහෙයවගන්න වගේ කාරණයක් තමයි මට හැඟෙන්නේ," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු බීබීසී සිංහල සේවයට පැවසීය.
මෙහිදී ඔවුන් ඔවුන්ගේ භූ දේශපාලනික වැදගත්කම උපයෝගී කරගන්නා බවත්. ලංකාවත් සමඟ සම්බන්ධතා පවත්වද්දී, ඉන්දියාව නම් සාධකය ශ්‍රී ලංකාවට විදේශ ප්‍රතිපත්තියේදී සියයට සීයක් නොසලකා හැරිය නොහැකි සහ වෙනස් කළ නොහැකි සාධකයක් බවට ලංකාව හොදින් තේරුම් ගෙන ඇති බව ඇය තවදුරටත් පැවසීය.
"අපි කියනවා අපේ විදේශ ප්‍රතිපත්තිය ඇතුලේ තියෙන්නේ බහුවිධ සම්මුතීන් තියාගෙන හැමොත් එක්කම සම්බන්ධතා තියාගෙන යන ගමනක් කියල. හැබැයි මෙහෙම බලපෑමක් එනකොට ඒක කළමනාකරණය කරන්න අපි ළඟ තියෙන සම්පත් ඇතිද කියන එක ගැන සළකා බලන්න සිද්ධ වෙනවා."
"අපි හැමතිස්සෙම ආණ්ඩුවට බෝලය පාස් කරලා ඉන්න හදනවානේ මේක ආණ්ඩුවේ වැඩක් ආණ්ඩුව කරන්න ඕන කියල. හැබැයි අපි අනිත්පැත්තට හිතල බලන්න ඕන පුරවැසියන් විදිහට අපි අපේ යුතුකම ඉටුකරලා තියෙනවාද කියල ඔතනදි."
ඇය තවදුරත් පැවසුවේ "අපි දේවල් හරියට කළමනාකරණය කරගන්න පුළුවන් මිනිස්සුන්ව ඒ තැන්වලට තීරණ තීන්දු ගන්න තෝරා පත්කරලා යවල තියෙනවද? ඒ තෝරා පත්කරලා යවල තියෙන මිනිස්සුන්ට ඒ දේවල් කරන්න හැකියාව තියෙනවද? එතකොට ඒ පුරවැසි යුතුකම කොතනදීද ඉෂ්ඨ වෙලා තියෙන්නේ?"
පුරවැසියාගේ වගකීම
කුලණි විජයබාහු පැවසුවේ මියන්මාරයේ, හම්බන්තොට වරාය මෙන් වාරයක් හැදීමට යාමේදී එහි ප්‍රජාවන් අගතියට පත්වෙනවිට මිනිස්සු චීන සාධකයට එරෙහි වීමට පටන් ගත බවත් එමගින් එය පසුව මුළු රට පුරාම ව්‍යාප්ත වූ උද්ඝෝෂණයක් බවට වුනු බවයි.
"හැබැයි අපි ලංකාවේ වගේ රටක ඒ වගේ trends දකින්නේ නෑ. එකට ප්‍රධානම හේතුව පුරවැසියාට දැනෙන්නේ නෑ මේක මගෙත් වැඩක් කියල. පුරවැසියා හැම තිස්සෙම බලාගෙන ඉන්නේ අපි චන්දෙන් පත්කරලා යැවුවහම දැන් ඕගොල්ලෝ තමයි මේ වැඩේ කරන්න ඕන කියල. එතකොට මොකද්ද අපේ වගකීම? මේක ආණ්ඩුවට තනියම කරන්න පුළුවන් විදිහේ, මොන ආණ්ඩුව ආවත් මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මොන ආණ්ඩුව ආවත් මේක තනියෙන් බෝලේ පාස් කරලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි."
ඇය පැවසුවේ මෙය භූ දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් සාකච්ඡා කරනවිට අත් හරිය නොහැකි සාධකයක් වන අතර මෙයට කෙසේ මුහුණ දිය යුතුද යන්න රාජතාන්ත්‍රිකව විමසා බැලිය යුතු බවය.
"අපිගාව ඒ රාජතාන්ත්‍රික සම්පත් තියෙනව, කෞශල්‍යය තියෙනවා එතකොට ඒ රාජතාන්ත්‍රික කෞශල්‍යය තියන කට්ටියවද අපි පත්කරලා යවල තියෙන්නේ? ඒක එතකොට කැරකිලා විෂම චක්‍රයක් වගේ අපි ළඟම නවතින ප්‍රශ්නයක් නේ. ඉතින් ඊටපස්සේ බැන බැන ඉදල හරියන්නේ නෑ අපි ගෝඨාභය පත්කරලා යැවුවේ මේක කරන්න නෙමෙයිනේ අරක කරන්න නෙමෙයිනේ කියල වැඩක් නෑ."
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පළමුවන සංචාරය ලෙස ඉන්දියාව කරා ගියේ චීන සාධකය ලංකාවට අත්‍යවශ්‍ය බැවින් ඉන්දියාව කළමනාකරණය කිරීමට විය යුතු බවය.
"අපි හරියට කළමනාකරණය කරන්නේ නෑ නේ. අපි නොබැඳියි අපි තුලිතයි කියල කිවුවට අපිටම බැරිවෙලා තියෙනවා ඒ තරාදිය සමබර කරගන්න. ඒ තරාදිය සමතුලිත කරගන්න ඕනේ අපේ ස්වාධිනත්වය තියාගෙන නේ. අපි ඉන්දියාවට ඇමරිකාවට අපිට ඇගිලි ගහන්න එපා කිව්වට ඒ සෘජු බවින්ම චීනයට කියන්නේනෑනෙ ඇඟිලි ගහන්න එපා කියල."
කොන්ෆියුසියස් මධ්‍යස්ථාන ප්ලේ කරන ස්මාර්ට් ගේම් එක
"හොදමදේ, හොයල බලන්න ලංකාව ඇතුළේ තියෙන කොන්ෆියුසියස් මධ්‍යස්ථාන හරිම ස්මාර්ට් ගේම් එකක් ප්ලේ කරනවා. ලංකාවේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ චීනය කියන සාධකය වාසිදායක විදිහට හදන්න. ඇමරිකාව ඇවිල්ල මේක යටත්කරගන්නවට වඩා චීනය ආවට කමක් නෑ කියන සාධකය ඒගොල්ලෝ හදනවා ඔළුව ඇතුළේ. සමාජ ක්‍රමය ඇතුළේ ඉහල තලයේ ඉන්න අය, ශාස්ත්‍රඥයන් වෙන්න පුළුවන් වෘත්තීයවේදියෝ වෙන්න පුළුවන් ඒගොල්ලොත් මේකට මැදිහත්, ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ එකේ කොටස් කරුවෙක් වෙලා කියල. ඇයි චීනෙන් අපිට ආධාර දෙනවා, අපේ ළමයින්ට ශිෂ්‍යත්ව දෙනවා. විශ්වවිද්‍යාලවලට අර ආධාර දෙනවා මේ ආධාර දෙනවා භාෂා පාඨමාලා පවත්වනවා. අපිට තේරෙන්නේ නෑ නොදැනුවත්වම අපි ඒගොල්ලන්ගේ ව්‍යාපෘතියේ කෑල්ලක් වෙලා කියල."
ශ්‍රී ලංකාව විසින් චීනය නමැති සාධකය සෘජුව හසුරුවනු නොලැබීම තුළ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සහ ඇමරිකාව ප්‍රතික්‍රියාකිරිම ශ්‍රී ලංකාවට තර්ජනයක් වන අතර එම තර්ජනය අවම කරගත හැකි තරමේ රාජ්‍යතාන්ත්‍රික හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එයින් ලංකාවේ ස්වාධිනත්වයට බලපෑමක් ඇති වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු සඳහන් කළාය.
පුරවැසියා යනු කවුද? පුරවැසියාට ඇති අයිතීන් මොනවාද?
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු පවසන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැටලු සහගත බවය. පුරවැසි අධ්‍යයනය නමින් විෂයක් පාසල් පද්ධතිය තුළ තිබුණත් එහි අන්තර්ගතය ගැටලු සහගත බව ඇය පැවසීය.
"පුරවැසියා කියන්නේ කවුද? පුරවැසියාට මොනවාද තියෙන අයිතීන් කියන එක ගැන අපේ ළමයෙක්ට තියෙන හැඟීම අඩුයිනේ. අපේ අධ්‍යාපන ක්‍රමය හදල තියෙන්නෙම ඔයා හොදට සමාන්‍ය පෙළ පාස් වෙන්න, උසස් පෙළ පස්වෙන්න මිසක් එයා තමා ඉගෙන ගත්ත රටට සේවයක් ආපසු කරන්නේ කොහොමද? නිදහස් අධ්‍යාපනය ගැන තමන්ට තියෙන කෘතවේදී බව මොකද්ද? ඒ වෙනුවෙන් තමන් කරන්න ඕන යුතුකම මොකද්ද? කියන ඒ ආකල්පය දියුණු කරලා නෑ නේ. එක නිසායි මම කියන්නේ අර තෝරලා පත්කරලා යවන ආණ්ඩුවේම ප්‍රශ්ණයක් විතරක් නෙමෙයි."
ඇය තවදුරටත් පැවසුවේ ලෝකයේ බොහෝ සම්බන්ධතා අසමමිතික සම්බන්ධතා වන අතර ඉන්දියාව සහ ලංකාව අතර ද පවතින්නේ ස්වභාවයෙන්ම අසමමිතික සම්බන්ධතාවක් බවය. බලයෙන්, ප්‍රමාණයන්, හැකියාවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා හැමවිටම බලවත් වීම තුළ කිසිලෙසකත් ඉන්දියාවත් සමඟ ශ්‍රී ලංකාව සමානුපාතික නොවන නමුත් එම අසමමිතික සම්බන්ධතාව සමාන්‍ය අසමමිතික සම්බන්ධතාවක් ලෙස පවත්වාගත හැකි බව ද ඇය පෙන්වා දුණි.
"කොහොමද පුළුවන් වෙන්නේ? මහා බලවත් රට අර කුඩා බලවත් රටේ ස්වාධිනත්වය පිළිගන්නවානම් වගේම කුඩා බලවත් රට, මහා බලවත් රට තමන්ට වඩා බලයෙන් වැඩියි කියල පිළිගන්න තාක්කල් ඒ සම්බන්ධතාවය සාමාන්‍යයයි."
"එතකොට ඒ පිළිගැනීම අපිට ලබාදෙන්න වෙන්නේ ක්‍රියාවෙන්නේ. එතකොට මෙතන වෙලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක අපේ සම්බධතාවය සාමාන්‍ය නෑ. එතකොට ඒ අසාමාන්‍ය සම්බන්ධතාවයක් නම් කුඩා බලවත් රටට හැකියාවක් තියෙන්න ඕන ඒකට resilient වෙන්න. එකට ඔරොත්තු දෙන්න, එකට ප්‍රතිවිරෝධය පෙන්වන්න. හැබැයි අපිට ඒක කර ගන්න විදිහයක් නෑ, ඒක කරන්න පුළුවන් විදිහේ රාජතාන්ත්‍රික හැකියාවක් නෑ. ඒක කරන්න පුළුවන් සහ දැනෙන පුරවැසි පිරිසක් ලංකාව ඇතුලේ නෑ. ඒකට නායකත්වය දෙන්න එතකොට අපිට ඒකට resilient වෙන්න බෑ. ඒකනිසා තමයි මේක තව තවත් ඛේදනීය දිශානතියකට ගෙන යන හේතුව වෙලා තියෙන්නේ."
"මම සමාන්‍ය මිනිස්සු එක්ක කතාකරනකොට ඔවුන් කියන දෙයක් තමයි මේක ලංකාවේ ඉන්න පාලකයන්ට කරන්න බැරිනම් චීනය හරි මේක බාරගෙන කළාට කමක් නෑ. දැන් මේක එතනට මිනිස්සුන්ගේ මානසිකත්වය හදලා."
"ඉන්දියාව බලාපොරොත්තු වෙන්නේ big brother concept එක ඇතුළේ regional hegemony (කලාපීය ආධිපත්‍යය) එක දකුණු ආසියාවේ තියෙන හෙජමනික ආධිපත්‍ය තමන් ගාව තියාගන්න. දැන් මෙතන මෙහෙම ප්‍රශ්ණයකුත් තියෙනවනේ ඉන්දියාවට අපි චීනයට ළංවෙන්න, ළංවෙන්න ඒක තව පකිස්ථානයට වාසියි, ඉරානයට වාසියි."
"ඉන්දියාවට සිද්ධවෙනවා තමන්ගේ හෙජමනික බලවත්භාවය තියාගන්නනම් අඩුම වශයෙන් තමන්ගේ ආසන්නයේ තියෙන රටවල් ටික තමන්ගේ බල ආධිපත්‍ය යටතේවත් තියාගන්න. තමන්ගේ control එක යටතේවත් තියාගන්න. දැන් ලංකාව ඇතුළේ චීන presence එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තමන්ගේ අතින් ගිලිහෙනවානේ . එක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය. bigbrother concept එක වගේම හෙජමනිය දියාරුවෙලා යයි කියන බය."
කියවන්න:









