සුගත් වසන්ත ද සිල්වා: 'පළමු වරට' ජාතික ලැයිස්තුවකට ඇතුළත් වූ දෘශ්‍යාබාධිත පුද්ගලයා

Sugath Wasantha De Silva

ඡායාරූප මූලාශ්‍රය, NPP/Facebook

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත්වීමට අවස්ථාව උදා වී තිබේ.

ඒ, 2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලේඛනයට දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු ඇතුළත් කර තිබීම හේතුවෙනි.

ඔහු, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ය.

තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබුණහොත් ඉටු කිරීමට අපේක්ෂා කරන කාර්යයන් පිළිබඳව ඔහු බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

‘මම මේ ලෝකෙට ආවෙ ඇස් පෙනෙන කෙනෙක් විදිහට’

සුගත් වසන්ත ද සිල්වා 1967 ජූලි 26 වන දා, එනම් මීට වසර 57කට පෙර දකුණු පළාතේ බලපිටිය, ගොඩගෙදර ප්‍රදේශයේදී උපත ලැබුවේ, දෑස් පෙනෙන සාමාන්‍ය බිළිඳෙකු ලෙස ය.

“මම ඇස් පෙනෙන කෙනෙක් විදිහට තමයි, මේ ලෝකෙට ආවේ. මම මුලින් ම බාලාංශයේ සිට තුනේ පන්තිය දක්වා ගියේ, කන්දෙගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. එතන ඉඳන් පහ ශ්‍රේණිය දක්වා මම වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලයට ගියා,” සුගත් වසන්ත ද සිල්වා සිය අතීතය ආවර්ජණය ආරම්භ කළේ, එසේ ය.

ක්‍රිකට් නිසා ජීවිතය උඩුයටිකුරු වූ හැටි

ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කළ දෛවෝපගත සිද්ධිය සිදුවූයේ, පාසලේ 5 ශ්‍රේණියේ එනම්, 11 හැවිරිදි වියේ පසුවද්දී ය.

“පහේ පන්තියේදී ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහිල්ලා බෝලයක් ඇහේ වැදිච්ච අනතුරකින් තමයි මම දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වුණේ. ඒ අනතුරේදී මගේ ස්නායුවලට හානි වෙලා ඇස් දෙක ම පේන්නෙ නැතුව ගියා,” ඔහු පැවසීය.

ඉන්පසු ඔහුට අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ, බ්‍රේල් ක්‍රමයට ය.

ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. ඒ, අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ වෛද්‍ය හඩ්සන් සිල්වාගේ මග පෙන්වීම යටතේ ය.

උසස් පෙළ විභාගය සඳහා ඔහු යළිත් අම්බලන්ගොඩ, ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් විය.

උසස් පෙළ සමත්වූ සුගත්, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබී ය.

“මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ, 1990 වසරේ. මුල් අවුරුද්දේ සිංහල, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට පුළුවන් වුණා ඉතිහාසය විශේෂවේදී විෂය හදාරන්න. ඊට පස්සෙ මම ප්‍රථම පන්ති උපාධි සාමාර්ථයක් එක්ක 1994 වසරේදී උපාධිය සම්පූර්ණ කළා.”

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ එවකට කථිකාචාර්යවරයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි, සුගත් වසන්ත ද සිල්වා ඔහුගේ මුල් ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි අයෙකි.

ඒ පිළිබඳව, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙලෙස සටහනක් තබා තිබිණි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

වෘත්තීය ජීවිතය

ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ සේවය කළේ ය.

වසර ගණනක් එහි සේවය කළ ඔහු, 1999 වසරේ සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙකු ලෙස වසර 25ක කාලයක් සේවය කළේ ය.

“ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම නිසා මම මගේ රැකියාවෙන් ඉවත් වුණා. මම කරපු රැකියාවේ හැටියට දේශපාලනය කරනවා නම් රැකියාව තවදුරටත් කරන්න බැහැ. ඒ නිසා මම විශ්‍රාම ගත්තා,” සුගත් වසන්ත ද සිල්වා පැවසීය.

දේශපාලන ක්‍රියාකාරකම්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

“මගේ දේශපාලන ක්‍රියාකාරකම් පටන් ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක. එහෙදි, හම්බ වුණ පාසල් ශිෂ්‍ය සහෝදරයොත් එක්ක පාසල් ශිෂ්‍ය ව්‍යාපාරවල වැඩ කරලා තියෙනවා,” සිය දේශපාලන ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් සුගත් පැවසීය.

ඉන්පසු, ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ක්‍රියාකාරීව කටයුතු කිරීම ආරම්භ කර ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ය.

90 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ අභියෝග හමුවේ පක්ෂය සමග තමන් ද නිහඬ කාලපරිච්ඡේදයක් පසු කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.

“ජාතික ජන බලවේගය පටන් ගන්නකොට අපි ආයෙත් ඒකට සම්බන්ධ වුණා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ විදිහට නෙවෙයි. අපි සම්බන්ධ වුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ එක්සත් ශිෂ්‍ය සංවිධානය කියන සංගමය යටතේ යි. ඊට පස්සෙ අපි ජාතික විද්වත් සංසදයට සම්බන්ධ වෙලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියට ආබාධ සහිත වූවන් වෙනුවෙන් පරිච්ඡේදයක් ඇතුළත් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදීත් අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ආබාධ සහිත තැනැත්තන් වෙත ගෙනියන්න විවිධ මාධ්‍ය ඔස්සේ අපි කටයුතු කළා. ඒ ආපු ගමන තමයි ජාතික ලැයිස්තු ලේඛනය දක්වා ආවේ.”

පාර්ලිමේන්තුවට ගිහින් කරන්න යන දේ

2012 වසරේදී කරන ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාව තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 17ක් සිටිති.

සුගත් වසන්ත ද සිල්වා පවසන්නේ, ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 57%ක් කාන්තාවන් බව ය.

ඊට අමතරව, ආබාධ සහිත වූවන්ගෙන් 71%ක් කිසිදු ආර්ථික කටයුත්තක නිරත නොවී යැපෙන්නන් ලෙස ජීවත් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

“මම පාර්ලිමේන්තුවට ගියොත් නියෝජනය කරන්නේ, දෘශ්‍යාබාධිත ප්‍රජාව විතරක් නෙවෙයි. සියලු ආකාරයේ ආබාධ සහිත පුද්ගලයින්ට සාධාරණය සහ සමානාත්මතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මම කැපවෙන්නේ. ආබාධ නැති පුද්ගලයින්ට ලැබෙන සමාන සහ සාධාරණ අවස්ථා ආබාධ සහිත වූවන්ටත් ලැබිය යුතු යි. ඒ සමානාත්මතාව සහ සාධාරණය සෑම අංශයකින් ම හිමි විය යුතු යි.”

“දැනට ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් තියෙන ප්‍රශස්ත ම ලියවිල්ල තමයි, එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රඥප්තිය. ඒක අංග සම්පූර්ණ නෑ. ඒකෙත් අඩුපාඩු තියෙනවා. හැබැයි අපි ඒකවත් අනුගමනය කරන්න ඕන. අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරලා තිබුණාට ඒක ක්‍රියාත්මක කරලා නෑ. ඒ ගැනත් අපි ක්‍රියා කරනවා.”

ඊට අමතරව, ආබාධිත ප්‍රජාවේ ශුභසාධනය වෙනුවෙන් ඔවුන්ගේ ජන අනුපාතයට අනුව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ගැනීම ද සිය අරමුණු අතර වන බව සුගත් වසන්ත ද සිල්වා ප්‍රකාශ කළේ ය.