“අපිට අහන්න කන් දෙකක් ඕනම නෑ”

Woman reading a sign language card

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"අපිට අහන්න කන් දෙකක් ඕනම නෑ. මම හිතන්නේ එහෙම. ඇත්තටම මම ලෝකය අහන්නේ හිතින් සහ හදවතින්," රාජ්‍ය නිලධාරිනියක වන තක්ෂිලා වික්‍රමාරච්චි පැවසුවා ය. ඇය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකි.

ඇය පවසන්නේ ශ්‍රවනාධාරක උපකරණය නැති නම් තමන්ට කිසිවක් නෑසෙන බව යි.

මහනුවර තලාතුඔය සුන්දර ගම්මානයක හැදුණු වැඩුණු තක්ෂිලා හත්වැනි වියේ දී පමණ ශ්‍රවනාබාධිත තත්ත්වයට පත්වන්නේ නොසිතූ අභියෝග රැසකට මුහුණ දෙමිනි.

"මට වයස අවුරුදු හතේ දි තේරුණා මට ඇහෙන්නේ නෑ කියලා. මගෙ අම්මා මට කිව්වා අපිට අහන්න කන් දෙකක්ම ඕන නෑ කියලා. මගේ එක කනක් කිසිදාක ඇහිලා නෑ. අනිත් කන යන්තම් ඇහෙන තත්ත්වයක. ඒ වුනත් ඒකත් එතරම් පැහැදිලි නෑ. ඒත් අම්මා මට කියනවා හිත සන්සුන්ව අහන්න උත්සාහ කරන්න කියලා. පෙනෙන දකින දේවල්වලිනුත්, සිහින්ව ඇහෙන ශබ්ද ප්‍රමාණයත් උපයෝගී කරගෙන මම සාමාන්‍ය මිනිසෙක් ලෙස සමාජය හා උරෙනුර ගැටී වැඩ කරන්න පුළුවන් තරමටම මේ ලෝකය ජය ගත්තා."

"අදටත් මට සමහර වචන තේරෙන්නේ නෑ. ඒත් ඒ වචන ගැන මම දන්නවා. මට හොඳට හැමදේම ලියන්න පුළුවන්. කොයිතරම් වැඩ තිබුණත් මම අතට අහුවෙන පුංවි කොළ කෑල්ල පවා කියවන්න පුරුදු වෙලා තියනවා. අදටත් ඒ පුරුද්ද ඒ විදිහට ම තියනවා."

එහෙත් තක්ෂිලා එය තම අධ්‍යාපනයට හෝ ජීවිත ගමනට බාධාවක් කර ගන්නේ නැත. ඇය නොයෙකුත් අභියෝග, දුක් ගැහැට මැද උසස් අධ්‍යාපනය හදාරා ජීවන ගමන ජයගෙන සිටියි.

"උසස් අධ්‍යාපනය අපේ ජීවිතවලට හුඟක් වැදගත් වෙනවා. මොන අඩුපාඩුකම් බාධක තිබුණත් උසස් අධ්‍යයාපනය දක්වා හැම කෙනාම ඉගෙනගත යුතු යි. හිතේ හයිය ඇත්නම් බෑ කියලා හිතුණ හුගක් දේවල් කරන්න පුළුවන්. අපි සාර්ථක වෙන්න නම් අවදානම් ගන්න ඕනේ. කැපවීම තිබේ නම් ජීවිතය ජය ගන්න පුළුවන්, ඇය පැවසුවා ය.

ඇගේ එකම අරමුණ වී ඇත්තේ, ශ්‍රවනාබාධවලින් පෙළෙන දරු දැරියන්ට සවියක් වීම යි.

"මට විශේෂයෙන් කියන්න ඕන, ශ්‍රවනාබාධිත කුඩා දරුවන් සිටින දෙමාපියන් වඩාත්ම දැනුවත් විය යුතු කරුණක් තියනවා. ඒ, තම දරුවා ශ්‍රවනාබාධිත වුවත් ඔහුට ඇයට අහන්න සහ කතා කරන්න පුරුදු පුහුණු කළ හැකි බව."

"ආබාධිත නිසා කොන් වුණා"

"පාසලේ පන්තියේ ශ්‍රේණි විභාගයෙන් පළමුවෙනියට තමා නායකත්වය දෙන්නේ. ඒත් මම පංතියේ පළමුවෙනියා වුනහම මට නායකකම ලැබෙන්නේ නෑ, මොකද ඇහෙන්නේ නෑ කියලා," තක්ෂිලා තම පාසල් අත්දැකීම් සංවේදීව විස්තර කළා ය.

ශ්‍රවණාබාධිත දරුවන්ට විශේෂ දක්ෂතා තිබුණත්, ඒ අය ඉදිරියට ගෙන ඒමට කැපවෙන ගුරුවරුන් අල්පබව තක්ෂිලා කියයි.

"ලෙහෙසියෙන් ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් විතරයි බොහෝ ගුරුවරු ඉදිරියට ගන්න හිතන්නේ. මේක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ එක් ඛේදවාචකයක්," ඇය කියා සිටියා ය.

Thakshila Hettiarachchi

ඡායාරූප මූලාශ්‍රය, Thakshila Hettiarachchi

ඡායාරූප ශීර්ෂ වැකිය, "හිතේ හයිය ඇත්නම් බෑ කියලා හිතුණ හුගක් දේවල් කරන්න පුළුවන්"

"මොනම ආබාධිත තත්ත්වයක පුද්ගලයෙකුට වුණත් අනුකම්පාව අවශ්‍ය නෑ. ඒත් ඒ මනුස්සයාට ඒ අඩුපාඩුව දැනෙන්න නොදී හිටියොත්, ඒක තමයි මනුස්සයෙක් මනුස්සයෙකුට දක්වන්න පුළුවන් හොඳම මිනිසත්කම සහ ගෞරවනීයබව."

දරුවන් වෙනුවෙන් කතන්දර ලියන ගීත රචිකාව

කැලණිය විශ්වවිද්‍යාලයයේ උපාධිධාරිනියක වන තක්ෂිලා නිමාලි වික්‍රමාරච්චි සිළුමිණ, ලක්බිම යන පුවත්පත්වල වසර හයකට වැඩි සන්නිවේදන අත්දැකීම් ඇති මාධ්‍යවේදිනියක ද වෙයි.

ළමා ලෝකයට අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කළ ඇය ළමා පොත් රචිකාවියක ද වන අතර, 'මයුරි අහසට ගිය හැටි', 'ආත්තම්මාගේ සාධුනාදය', සහ 'ගොවියා නම් වූ සීයා' නමැති සොඳුරු ළමා කෘති රචනා කරනු ලැබුවා ය.

"මම හඳට ගොඩක් ආදරෙයි. අපේ මිදුලේ ලොකු කොස් ගහක් තිබුණා. ඒ කොස් ගහ අතරින් සඳ කිරණ පෙරී එනකොට හරිම ලස්සන යි. ඒ දිහා බලාගෙන ඉන්නකොට මට නිතැතින්ම ඇඬෙනවා. එහෙම දවසක අම්මා ළඟට ඇවිත් ඇහුවා ඇයි අඬන්නේ කියලා. ඒත් අම්මා දන්නවා මම අඬන්නේ ඇයි කියලා. එදා අම්මා මට පොතක් සහ පැන්සලක් ගෙනත් දුන්නා, 'මයෙ දුව අඬන්න එපා. ඔයා හිතට එන හැම දේම මේ පොතේ ලියන්න ඕන' කියලා. එදා ඉදලා මම හිතට එන හැමදේම ලියුවා."

"ඒ ලියන අතර ලස්සන කවි කතා බිහිවුණා. පසු කාලයේ මගේ අතින් ඒ නිර්මාණ ළමා කෘති ලෙසත්, ගීත ලෙසත්, කවි ලෙසත් ලෝකයට තිළිණ වුණා."

"ලෝකයේ අව්‍යාජම ආදරය මම දැක්කේ දරුවන් තුළින්. ඒ නිසාමයි මම ළමා කෘති ලියන්න විශේෂයෙන්ම පෙළඹුණේ. මම ලෝකයේ සෑම දරුවෙකුටම අසීමිතව ආදරේ කළා," ඇය පවසයි.

"මට හැගෙන්නේ දරුවන් තාක්ෂණය සමග අතරමං වෙලා. තාක්ෂණය අවශ්‍ය යි. ඒත් ළමා මනසට විවේකය අවශ්‍යයි. මේ විවේකයෙන් තමා ළමා මනසට ලස්සන සිතිවිලි මැවෙන්නේ. සොබාදහමට, මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන්න පෙළඹෙන්නේ. එහෙම නොවුණහොත් ආදරය, කරුණාව, සහ යහගුණය නැති දරු පරපුරක් තමා අනාගතයේ දී අපිට දකින්නට ලැබෙන්නේ."

තමා රචනා කළ ගීත, සංගීතය සමග හරියාකාරව රස විඳින්නට නොහැකි වුවත්, තක්ෂිලා ගීත රචිකාවක ද වෙයි. ඇය රචනා කළ ගීත කිහිපයක්ම මේ වන විට සංගීත නිර්මාණ බවට පත්ව යූටියුබ් ඔස්සේ පළකර ඇත.

ඇය හැම විටම උදාහරණයට ගනු ලබන්නේ, බීතෝවන් බව ඇය කියයි.

"කදුළු සගවා සිනාසෙන්නට මම ඉගෙන ගත්තේ බීතෝවන්ගෙන්," ඇය අප හා පැවසුවා ය.

"දෙසවන් නොඇසුණත් ලෝකයා වෙනුවෙන් ඉමිහිරි නාද රටා බිහිකරමින් සංගීත ලෝකයම රස ගැන්වූ සුවිශේෂී මිනිසා බීතෝවන්. ඔබ සැම ඔබේ දෙසවන් සංගීත රසයෙන් කුල්මත්කර ගනිමින් වින්දනීය සුවයක් විදින ඒ නාද රටා කොතරම් නම් මියුරු ද?" ඇය අසයි.

Thakshila Hettiarachchi

ඡායාරූප මූලාශ්‍රය, Thakshila Hettiarachchi

ඡායාරූප ශීර්ෂ වැකිය, තක්ෂිලා කුඩා දරුවන් වෙනුවෙන් බොහෝ පොතපත ලියා ඇත

"ශ්‍රවණාධාර මිල වැඩිවීම තුළත් අසරණ වෙන්නේ ශ්‍රවනාබාධිත අයම වීම ශෝකාන්තයක්"

තක්ෂිලා ඇගේ අරමුණු, සහ බලාපොරොත්තු ද අප හා බෙදාගත්තා ය.

"වැඩි මිල ගණන් යටතේ අලෙවි වන ශ්‍රවණාධාර ලබා ගැනීමේ ගැටලුවට විසදුමක් සොයා ගැනීම කළ යුතුම දෙයක්," ඇය අප හා පවසා සිටියේ ඒ අතරේ ය.

තක්ෂිලා පවසන්නේ වසංගතයත් සමග ඇතිවී තිබෙන තත්ත්වය මත දරුවන් භාවිතා කරන ශ්‍රවණ උපකරණවල මිල ගණන් ඉතා ඉහළ අගයකින් වැඩිවී ඇති බව යි. මේ හේතුවෙන් ශ්‍රවනාබාධිත දරුවන් තවත් දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇති බව ඇය පෙන්වා දුන්නා ය.

"කොව්ඩ් තත්ත්වයත් එක්ක ශ්‍රවනාධාරවලටත් ඇතිකරලා තියෙන්නේ ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක්. රු. 60 000, 80 000කට වගේ තිබුණු ශ්‍රවණාධාර මිල ලක්ෂයකටත් වඩා මේ වෙනකොට වැඩි වෙලා තියනවා. අසරණ දෙමව්පියෝ කොහොමද මේවා දරුවන්ට අරන් දෙන්නේ?" ඇය ප්‍රශ්න කරයි.

"හොඳ ශ්‍රවනාධාරයක මිල රුපියල් ලක්ෂ 4ක්, 5ක් වගේම ඊටත් වඩා වැඩි මිලක් වෙයි. සාමාන්‍ය ශ්‍රවනාධාර උපකරණයක් රුපියල් ලක්ෂයකට වඩා වැඩියි. මේක හරිම සංවේදී තත්ත්වයක්. ශ්‍රවණාධාර මිල වැඩිවීම තුළත් අසරණ වෙන්නේ ශ්‍රවනාබාධිත අයම වීම ශෝකාන්තයක්. අපි කවුරුත් මේ ලෝකයේ හැමදාම ජීවත් වෙන්නේ නෑ. ඒ ඉන්න ටික කාලයට ජීවිතයට අවශ්‍ය දේ ලැබීම තමයි වැදගත්," තක්ෂිලා සංවේදීව කියා සිටියා ය.

"...ශ්‍රවනාබාධිතයන්ට ලෝකය යන්තමින් හෝ ඇසීමට ඉඩ ඇහිරී ඇති මෙවන් තත්ත්වයක, ඔවුන් සදහා ශ්‍රවනාධාර ලබා ගැනීමට යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීම ගැන මම හිත යොමු කර සිටිනවා. මගේ මේ ප්‍රයත්නය සැබෑකර ගැනීමට ඔබ සැම මාත් සමග එකතු වේයැ යි මම විශ්වාස කරනවා."

ඇය ලොව පුරා විසිරී ඇති සංවිධානයන් සහ කාරුණික හදවත් ඇති සියලුම දෙනාටත් ඉතා උද්‍යෝගයෙන් ආරාධනා කර සිටින්නේ "ලෝකය අසන්නට බැරි මේ මිනිස්සුන්ට ලෝකය අහන්න මඟක්" විවරකර දීමට එක්වන ලෙස යි.

"මගේ ජීවිතය උදාහරණයට ගනිමින් මම මේ විදිහට ලෝකයට විවෘත වුණේ උපතින්ම මෙන්ම විවිධ හේතූන් මත ශ්‍රවණය අහිමි වන කුඩා දරුවන් වෙනුවෙන්. ඒ දරුවන්ගේ ජීවිතවලට නව පණක් ලබාදීම සහ ඔවුන්ගේ අනාගත ජීවිතය සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය පරිසරය මේ සමාජය තුළ ගොඩනැංවීමට මට අවශ්‍ය යි. වැඩි මිල ගණන් යටතේ අලෙවි වන ශ්‍රවණාධාර ලබා ගැනීමේ ගැටලුවට විසදුමක් සොයාගැනීමත් කළ යුතුම දෙයක්."

ඇගේ එකම අරමුණ වී ඇත්තේ ශ්‍රවනාබාධිත දරු දරියන්ට ශ්‍රවනාධාරක සැපයීමේ පුණ්‍යායතනයක් පිහිටුවීම යි. නුදුරේ දීම එය යථාර්තයක් බවට පත්කර ගැනීමේ අභියෝගය ජය ගැනීමට හැකියැ යි ද ඇය මනා විශ්වාසයෙන් පසුවෙයි.