උසස් පෙළ විභාගය: 'වෛද්‍ය විද්‍යාලයට තේරුනොත් අපේ දුවට සම තැන දෙන්න'

වත්සලා මුතුකුඩේ සිය මව, සොහොයුරිය සහ සොහොයුරා සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, වත්සලා මුතුකුඩේ සිය මව, සොහොයුරිය සහ සොහොයුරා සමග
    • Author, සුනෙත් පෙරේරා, චමිල් රූපසිංහ
    • Role, BBC සිංහල

සිය දියණිය වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවහොත් ඇයට ද සෙසු සිසුන් හා සමාන අවස්ථා ලබා දෙන ලෙස විශේෂ අවශ්‍යතා සහිත සිසුවියකගේ දෙමව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සෙසු සිසු සිසුවියන් සමග එකම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිය දියණිගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ද බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇති බවට ඔවුහු බලාපොරොත්තු පළ කළේ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවොත් අපේ දුවට වෙනත් දරුවන් හා සමානව සලකන්න කියලා තමයි අපි ඉල්ලන්නේ,"

ජීවවිද්‍යා අංශයෙන් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ A සාමාර්ථ දෙකක් සහ B සමාර්ථයක් ලබා ගැනීමට සමත් විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, උසස් පෙළ විභාගය: සැත්කම් විසිහතකට මුහුණ දී දෛවයට අභියෝග කළ මුතූ

දෑතේ ආබාධ සහ වෙනත් සංකූලතා සහිතව උපන් ඇය මේ දක්වා සැත්කම් විසිහතකට මුහුණ දී ඇති අතර උසස් පෙළ විභාගයට මාස දෙකක් තිබියදී ද ශල්‍යකර්මයකට මුහුණ දී ඇත.

පළමු සහ දෙවෙනි වර උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූව ද වෛද්‍යවරියක වීමට තිබූ දැඩි අධිෂ්ඨානය නිසාම අභියෝග පසෙකලා ඇය තෙවෙනි වරට ද විභාගයට සූදානම් වූ බව දෙමව්පියෝ පවසති.

Presentational grey line
Presentational grey line

පළමු වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අධ්‍යාපනය ලද වත්සලා මුතුකුඩේ, A සාමාර්ථ 08 ක් සහ B සාමාර්ථයක් සමගින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු මහනුවර උසස් බාලිකා විදුහලට ඇතුළත්ව තිබේ.

සිය අධ්‍යාපන කටයුතුවල දී ගුරුවරුන්ගේ මෙන්ම සහෝදර සිසුවියන්ගේ ද නොමද සහාය ලැබුන බව වත්සලා මුතුකුඩේ පැවසීය.

'සමාජයට මුහුණ දුන්නා'

Wathsala Muthukude
ඡායාරූප ශීර්ෂ වැකිය, "අම්මටයි අප්පච්චිටයි පිං සිද්ධ වෙන්න එහෙම අවස්ථාවක් මට ලැබුනේ නැත්තන් අදටත් මම ගෙදරට වෙලා ඔහේ ඉඳියි කියලා හිතෙනවා."

එහෙත් සමාජයක් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් සම්බන්ධයෙන් දක්වන ආකල්පවල වෙනසක් සිදුවිය යුතු බව ඇය අවධාරණය කරන්නීය.

සිය සංකූලතා සමාජයෙන් සඟවා ගනිමින් මුලුගැන්වෙනවා වෙනුවට අභියෝගවලට මුහුණ දෙමින් සමාජය සමග මුසුවීමට සිය දෙමව්පියන් තමාට අවස්ථාව ලබා දුන් බව වත්සලා මුතුකුඩේ පවසයි.

"මම පොඩි කාලේ ඉඳන්ම ස්කූල් වෑන් එකක තමයි ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ මම අට, නවය වසරට ආවට පස්සේ අම්මියි අප්පච්චියි අනිත් ළමයි, මම කොයි වගේද කියලා හිතන්නේ නැතිව මාව සමාජයට හුරු කරන්න ඕනි නිසා මට අවස්ථාව ලබා දුන්නා බස් එකේ ඉස්කෝලේ යන්න,"

බැලූ බැල්මට එය සාමාන්‍ය දෙයක් ලෙස ඇතැමෙකුට පෙනිය හැකිමුත් එමගින් ලද ස්වාධීනත්වය ජීවිතයට පන්නරයක් වූ බව ඇය සිහිපත් කළාය.

"ඇත්තටම ඒක මගේ ජීවිතේ ලොකු අවස්ථාවක් වුණා. මොකද මට ගොඩක් වෙලාවට බස් එකේ අල්ල ගන්න බැහැ. අද මට ඕනිම වෙලාවක බස් එකේ හිටගෙන යන්න පුළුවන්. එතරම්ම මට ප්‍රැක්ටිස් එකක් තියෙනවා, මොකද මම හුඟක් වෙලාවට ඉස්කෝලේ ගියේ හිටගෙන."

"යාලුවෙක් දැක්කොත් මට ඉඳ ගන්න දෙන්නැත්තේ නැහැ. හැමෝම වගේ ඉඳගන්න දෙනවා, ගුරුවරු පවා. ඒ වුණාට මම ජීවිතේ ඒ ලබපු අත්දැකීමෙන් ගොඩක් ඉගන ගත්තා. ඒ කියන්නේ මිනිස්සු හැමෝම අපි දිහා බලන්නේ එක වගේ නෙමෙයි. අම්මටයි අප්පච්චිටයි පිං සිද්ධ වෙන්න එහෙම අවස්ථාවක් මට ලැබුනේ නැත්තන් අදටත් මම ගෙදරට වෙලා ඔහේ ඉඳියි කියලා හිතෙනවා. එහෙම අවස්ථාවක් දුන්න එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා."

'ජීවිතේ කියන්නේ අභියෝගයක්...'

Wathsala Muthukude
ඡායාරූප ශීර්ෂ වැකිය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අධ්‍යාපනය ලද වත්සලා මුතුකුඩේ, A සාමාර්ථ 08 ක් සහ B සාමාර්ථයක් සමගින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු මහනුවර උසස් බාලිකා විදුහලට ඇතුළත් විය

ජීවිතේ යනු "අභියෝග රැසක්" බව කී වත්සලා මුතුකුඩේ 'වැටි වැටි හෝ' ඒවාට මුහුණ දෙන ලෙස උසස් පෙළ වැනි තරඟ විභාගවලින් අසමත් වී "බලාපොරොත්තු අතහැරගත්" සිසු සිසුවියන් සහ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

"අන්තිම ඔපරේෂන් එක කළේ 2020 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න කලින්. ඔපරේෂන්ස් වලදී ගොඩක් අමාරු වුණු අවස්ථා තිබුණා. ජීවිතේ කියන්නේ අභියෝග රැසක් තියෙන එකක්."

"අනිත් ළමයි ගැන හිතලා මට මේවා නෑ, අඩුපාඩු තියනවා කියලා හිතන්න ගත්තොත් එහෙම, මම මගේ ජීවිතේ පරාජය භාර ගන්නවා වෙනවා. ඒ හින්දා එහෙම අනෙක් කට්ටිය දිහා බලලා තමන් පසුතැවෙනවා නම් ඒක ඇත්තටම ජීවිතේ වෙන්න ඕනි දෙයක් නෙමෙයි." යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මවගෙන් ඉල්ලීමක්

Wathsala Muthukude
ඡායාරූප ශීර්ෂ වැකිය, "වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවොත් අපේ දුවට වෙනත් දරුවන් හා සමානව සලකන්න කියලා තමයි අපි ඉල්ලන්නේ,"

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් දෙස සමාජය "අමුතු විදිහට" බලනවා වෙනුවට ඔවුන්ට සිය දක්ෂතා මතු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට සමාජය තුළ සංවාදයක් ඇති විය යුතු බව ඇයගේ මව ලුම්බිණි මුතුකුඩේ BBC සිංහල සේවය වෙත මේ අතර පැවසීය.

"ඒ වෙලාවට දරා ගන්න බැරි දුකක් ඇති වෙනවා. ඒ වුණාට මම ඒවට බය වුණේ නැහැ,"

"මගේ දරුවා වගේම තවත් දරුවෝ ලංකාවේ ඉන්නවා ඇති. ඒ ළමයින් දෙස වපර ඇහෙන් බලන්නේ නැතිව ඉදිරියට යන්න සමාජය අවස්ථාව ලබා දිය යුතුයි."

"විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ට වෙනත් දරුවන් හා සමාන අවස්ථා ලැබෙන්න ඕනි. සමහර රටවල් ඒ වගේ අවස්ථා දෙන්න විශාල වශයෙන් කටයුතු කර තිබෙනවා. එවැනි වැඩපිළිවෙලක්, ආකල්පවල වෙනසක් ශ්‍රී ලංකාවේත් ඇතිවිය යුතුයි," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.