'තාක්ෂණයෙන් ලොවක් දිනූ' දෘශ්‍යාබාධිත නීතිඥවරයා

ඉසුරු මහේෂ් පණ්ඩිත උපන්නේ මීට වසර 27කට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ, තෙලිකඩ නම් ග්‍රාමයේදී ය.
උපතේදී සිදුවූ බව කියන ‘වෛද්‍ය නොසැලකිල්ලක්’ ඔහු දෘශ්‍යාබාධිත ළදරුවෙකු බවට පත් කළ අතර එය ඔහුගේ මෙන් ම, ඔහුගේ මව සහ පියාගේ ද ජීවිත පෙර නොවූ විරූ අභියෝගවලට මැදි කළේ ය.
නමුත්, එම අභියෝග මුළුමනින් ම පාහේ ජය ගනිමින් ඔහු අද "බොහෝ දෙනෙකු ප්‍රිය කරන" නීතිඥවරයෙකු බවට පත්ව තිබේ.
ඒ, ඔහුගේ මෙන් ම ඔහුගේ දෙමව්පියන්ගේ වූ අප්‍රහිත ධෛර්යය නිසා බව ඉසුරුගේ අදහසයි. එම ගමනේදී ඔහුට අසල්වාසීන්ගෙන් ද ලැබුණේ නොමද සහයකි.
දැන් ඔහු නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී වසරකට ආසන්න කාලයක් ගතවී ගොසිණි.
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයෙකු මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන සමග ස්වාධීන පර්යේෂකයෙකු, භාෂා පරිවර්තකයෙකු ලෙස සහ නීතිය පිළිබඳ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙකු ලෙස ද ඔහු කටයුතු කරන්නේ ය.
කලක් මෙරට දිග ම පාළම වූ ගිං ගඟ හරහා දිවෙන ගාල්ල, වක්වැල්ල පාලමෙන් එගොඩ වී බීබීසී සිංහල අප ඔහු උපන් තෙලිකඩ ග්‍රාමයේ පිහිටා ඇති ඔහුගේ නිවස වෙත ගොඩවැදුණේ, ඔහු පවසන පරිදි "ඉන්ද්‍රජාලික නොවන," නමුත් තාක්ෂණයෙන් "අධ්‍යාපනයේ නව මානයන්" සොයා ගිය, නීතිඥවරයෙකු දක්වා ඔහු පැමිණි ගමන් මග පිළිබඳව ඔහුත් සමග සල්ලාපයේ යෙදීමට ය.

'වෛද්‍ය නොසැලකිල්ල නිසා වෙච්ච දෙයක්...'
"මම ඉපදෙද්දි ම හුස්ම අරගෙන නැහැ. හුස්ම අරගත්තේ නැති නිසා වෛද්‍යවරු ඔක්සිජන් දීලා තියෙනවා. ඒ වෙලාවේදී ඇස් හරියට ආවරණය කරන්න බැරි උණ නිසා තමයි ලයිට් එළියත් එක්ක ප්‍රශ්නයක් [පෙනීමට] වෙලා තියෙන්නේ."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
උපතේදී තමා දෘශ්‍යාබාධිත තත්ත්වයට පත් වුණු ආකාරය පිළිබඳව සඳහන් කරමින් ඉසුරු අපත් සමග ඉතා මිත්‍රශීලීව සංවාදයට මුල පිරුවේ එලෙසින් ය.
"වෛද්‍ය නොසැලකිල්ලක් නිසා වෙච්ච දෙයක්," ඔහු අපට ප්‍රෙහෙළිකාවක් වූ ගැටලුවට නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ ය.
තම කුළුඳුල් පිරිමි දරුවා දෘශ්‍යාබාධිත බව ඉසුරුගේ මව සහ පියා අවබෝධ කර ගත්තේ, ඔහු මාස 2ක් පමණ වැඩුණු පසුව ය.
"අම්මලා ඒක දැනගන්නේ මාස දෙකක් විතර යද්දී. පොඩි දරුවන්ට දෙනවනේ අර සෙල්ලම් බඩු, කරකැවෙන. ඒ දිහා මම බලන නිසා සහ ඒ කරකැවෙන වේගෙන් ම මගේ ඇස් දෙකේ කළු ඉංගිරියා දෙක වේගයෙන් වැඩ කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි එයාලා දැනගෙන තියෙන්නේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා," ඔහු පැවසීය.
එතැන් පටන් ඉසුරුට වයස 17ක් පමණ වන තුරු ම ඔහුගේ දෙමව්පියෝ තම එක ම දරුවා සුවපත් කර ගැනීමට ගත හැකි සෑම උත්සහයක් ම ගන්නට වූහ. ඇතැම් අවස්ථාවලදී වෛද්‍යමය ප්‍රතිකාරවලින් ඔබ්බට යමින් ඔවුන් ඇදහිලි සහ විශ්වාස සම්බන්ධ පිළිවෙත්වල පවා යෙදුණු ආකාරය ඉසුරුගේ මතකයේ රැඳී ඇත.
එවකට ඉසුරුගේ පියා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රියැදුරෙකු ලෙස කටයුතු කළේ ය. මව ගෘහණියක වූවා ය.
ඔවුන් දෙපළට අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව තිබුණු අවබෝධය ඉසුරුට වාසනාව ගෙන ආ බව ඔහුගේ අදහසයි.
"අනිවාර්යයෙන් උගන්නන්න ඕනේ කියන එක එයාලා තේරුම් අරන් හිටියේ.ඒක මගේ වාසනාවට හිටියා. මොකද ඒ කාලේ අපේ තාත්තත් වැඩ කළේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. ඒකත් එක්ක යම් වැටහීමක් තිබුණා අධ්‍යාපනයේ වටිනාකම ගැන."
‘මම එක දවසකවත් වැටිල නැහැ…’
සාමාන්‍යයෙන් පෙර පාසලේදී දරුවන් සුළු අනතුරුවලට ලක්වීම ස්වභාවය වුව ද එවැනි අනතුරකට තමා කිසි විටෙකත් පත් නොවූ බව ඉසුරු පැවසීය.
සාමාන්‍ය දරුවන් සමග හැදුණු වැඩුණු තම පෙර පාසල් විය පිළිබඳව ඔහු සඳහන් කළේ, එම කාලය තාමාට අභියෝගයක් නොවන්නට වග බලා ගත් ගුරුවන් දෙපළක් ගැන ද ආවර්ජනය කරමිනි.
"පෙර පාසල් ගියේ මේ ළඟ සණස මොන්ටිසෝරියට. ගුරුවරු මට ඉතා හොඳින් ඉගැන්නුවා. අකුරු නෙවෙයි. එයාලට වෘත්තීය පුහුණුවක් තිබ්බේ නැහැ මෙහෙම ළමයෙක් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කොහොම ද කියලා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අඩුපාඩුවක් ඒක. සංවේදීතාව කියන එක හොඳට ම තිබුණා. මගේ අනෙත් දක්ෂතා දියුණු කර ගන්න උදව් කළා. මම හිටියේ සාමාන්‍ය ළමයි එක්ක. මම එක දවසකවත් වැටිලවත් නැහැ. එවැනි ආකාරයේ පරිස්සමක් තිබුණා," ඔහු විරාමයක් නොගෙන ම එක එල්ලේ පැවසීය.
ඉසුරු සඳහන් කළේ, 100%ක් නැතත් තමාට ඡායාවක් වැනි යමක් පෙනෙන බව ය. එය තම ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා ප්‍රයෝජනවත් වූ බව ඔහු සඳහන් කළේ ය.
"අනිත් අය වගේ ම මමත් හැමදේ ම කළා, ඒ නිසා යාළුවන් එක්ක එහෙම ගැටලු ඇති වුණේ නැහැ.100%ක් නැතත් මට ඡායාවක් වගේ එකක් මට පේනවා. ඇතුළක මට ඇවිදින එක කරන්න පුළුවන්. කවුරු හරි ඉන්නවා නම්, මට කෙනෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. මොන්ටිසෝරි යාළුවෝ අදටත් හම්බ වෙලා කතා කරනවා."
ජීවිතය වෙනස් කළ පාසල සහ බ්‍රේල් අධ්‍යාපනය

ඉසුරු මහේෂ් පණ්ඩිත ද්විතීයික අධ්‍යාපනය සඳහා ඇතුළත් වන්නේ ගාල්ල, සාන්ත ඇලෝෂියස් විද්‍යාලයට ය. ඒ, 2003 වසරේදී ය. එහි ඔහු වසර 3ක කාලයක් විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනුම ලබන්නේ ය.
බ්‍රේල් අධ්‍යාපනය සඳහා ඔහු අත්පොත් තබන්නේ එහිදී ය.
"ඉස්කෝලේ අත්දැකීම වෙනස්. එතකොට තිබුණේ විශේෂ අධ්‍යාපනය තමයි. දෘශ්‍යාබාධිත ළමයෙකුට ලබා දෙන්නේ බ්‍රේල් අධ්‍යාපනය නේ. ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ තමයි මම මුලින් ම ඉගෙන ගත්තේ. 2003 තමයි ගියේ. මම මුල් අවුරුදු 3 ඉගෙන ගත්තේ විශේෂ අධ්‍යාපන ඒකකයේ. කරුණාදාස සර් තමයි ඒකකය භාරව හිටියේ. එතැනදී තමයි බ්‍රේල් ලියන්න ඉගෙන ගත්තේ," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, බ්‍රේල් අධ්‍යාපනය එතරම් සුන්දර අත්දැකීමක් නොවුණු බව ඉසුරු අප හා පැවසුවේ ඔහු පසු කළ දුෂ්කර කාලය පිළිබඳව ද සඳහන් කරමිනි.
"බ්‍රේල් කියවද්දී ප්‍රශ්නයක් ආවා. මගේ ඇඟිලි සිනිදු වැඩියි. බ්‍රේල් කියවන්නේ අතගාලානේ. එතකොට අතට අකුරු අහුවෙන්නේ නැහැ. අම්මා සෑහෙන මහන්සි වුණා මට ඒක උගන්නන්න. මොකද මේක කර ගත්තේ නැත්නම් වෙන කරන්න දෙයක් ඇත්තේ ම නැහැනේ. පස්සේ කරන්න දෙයක් නැතිව, අර කඩල පරිප්පු ඇට බ්‍රේල් අකුරු විදිහට තියලා තමයි ඉගෙන ගත්තේ. අම්මත් බ්‍රේල් ඉගෙන ගත්තා. මොකද මට උගන්නන්න ඕනේ නිසා. පවුලේ එක ම ළමයා සහ අම්මත් බ්‍රේල් ඉගෙන ගත්ත නිසා මට ඒක ලොකු වාසියක් වුණා."
රත්මලාන අන්ධ විද්‍යාලයට
සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ තෙවසරක කාලයක් අධ්‍යාපනය ලැබීමෙන් පසු ඉසුරුගේ ජීවිතයේ ඊළඟ නැවතුම වූයේ, රත්මලාන අන්ධ විද්‍යාලය යි.
විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුවරයාගේ ද උපදෙස් මත එය ඔහුගේ අනාගත අභිවෘධිය වෙනුවෙන් ගත් තීරණයක් විය.
"3 වසරේදී අපි තීරණයක් ගන්නවා, සර් පවා යෝජනා කරනවා, බ්‍රේල් ඉගෙන ගන්න අලුත් ක්‍රම තියෙන්න පුළුවන්. ඒ නිසා විශේෂ පාසලකට අධ්‍යාපනය ලබන්න ගියොත් හොඳයි කියලා. ඉස්කෝලෙන් මුලින් කැමති වෙන්නේ නැහැ යන එකට. පස්සේ ලියුමකුත් දීලා ගියේ, 'කැමැත්තෙන් අස් කර ගෙන යනවා, නමුත් අවුරුදු දෙකකට පස්සේ ආයෙත් පාසලට ගන්න එකඟතාවක්' ඇතිව තමයි යන්නේ."
ඉසුරු රත්මලාන අන්ධ විද්‍යාලයේ ද වසර තුනකට ආසන්න කාලයක අධ්‍යාපනය ලබන්නේ ය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභායට ද ඔහු එහි සිට මුහුණ දෙයි. වසරක පමණක කාලයක් එහි නේවාසිකාගාරයේ ද සිටි බව ඔහු පැවසීය.
ගාල්ලේ තමන් අධ්‍යාපනය ලද පාසලට සාපේක්ෂව එහිදී ලද අත්දැකීම තරමක් වෙනස් වූ බව ඉසුරු සඳහන් කළේ ය. ඒ පිළිබඳව තමා සතුටට පත්වන බව ද ඔහු පැවසීය.
තම එදිනෙදා කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය හුරුව මව සහ පියා ලබා දී තිබුණු බැවින් එහි ගත කළ කාලය ඔහුට එතරම් දුෂ්කර කාලයක් නොවිණි.
ඉසුරු පෙන්වා දුන්නේ, 1 ශ්‍රේණියේ සිට ම තම මව ඔහුට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණු බව ය.
රත්මලාන අන්ධ විද්‍යාලයේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව ඉසුරු පැවසුවේ මෙලෙසිනි.
"එහෙදි ම ශිෂ්‍යත්වය ලිව්වා. ඒකෙදි ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ ඉස්කෝලෙක ශිෂ්‍යත්වයක් වගේ විභාග කරන්නේ ළමයි හැමෝට ම පේපර් එක කියවලා. එතකොට උණ දේ තමයි, රූපසටහන් කියලා, එයාල ම තීරණය කරලා, එයාල ම ඒ ප්‍රශ්න ටික අත් හරිනවා. ළමයෙකුට සාමාන්‍යයෙන් කියල දෙන්න පුළුවන් නේ. මෙහෙමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එහෙම මුකුත් නැහැ, කෙළින් ම රූප සටහන් කියලා අත අරින්න කියනවා. හැබැයි ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක බලද්දී, සමහර ප්‍රශ්න කර ගන්න පුළුවන්," ඔහු සඳහන් කළේ ය.
ශිෂ්‍යත්ව විභාගය සඳහා ඔහු ලකුණු 102ක් ලබා ගන්නේ ද එවැනි දුෂ්කරතා මධ්‍යයේ ය.
කෙසේ වෙතත්, අවසානයේ රත්මලාන අන්ධ විද්‍යාලයේ ගුරුවරුන්ගේ අදහස වූයේ, ඉසුරුගේ හැකියාවන් සමග ඔහු සාමාන්‍ය පාසලක ඉගෙනුම ලැබීම වඩා ත් උචිත බව ය.
රත්මලානෙන් යළිත් ගාල්ලට
6 ශ්‍රේණියේදී යළිත් ගාල්ල, සාන්ත ඇලෝෂියස් විද්‍යාලයට ඇතුළත් වූ බව ඉසුරු අප හා පැවසීය. නමුත් මෙවර ඔහු ඇතුළත් කෙරුණේ විශේෂ අධ්‍යාපන ඒකකයට නොව, සාමාන්‍ය පන්තියකට ය.
එතැන් පටන් ඉසුරු අධ්‍යාපනය ලැබුවේ, සාමාන්‍ය සිසුන් සමග ය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බව ඉසුරු අප හා පැවසීය.
නමුත් විශේෂ අධ්‍යාපන ඒකකය භාරව සිටි ගුරුවරයා විශ්‍රාම යාමත් සමග ඉසුරුගේ බ්‍රේල් සටහන් පරිවර්තනය කිරීම පාසලට තරමක් අභියෝගයක් වන්නට විය.
"ඊට පස්සේ ගුරුවරයෙක් අපි ඉල්ලුවා. නමුත් ඒ ගුරුවරු ඉස්කෝලවල නැහැ ගොඩක් වෙලාවට. ඊට පස්සේ ඉස්කෝලෙන් පියවරක් ගත්තා, 'මේ ළමයා විභාගේ ලියන්න ඕනේ නේ...' මට පේපර් එක කියවන්න සාමාන්‍ය ගුරුවරයෙක් ම අනුයුක්ත කරලා, මම උත්තර බ්‍රේල්වලින් කියද්දී ම උත්තර කටින් කිව්වා. එතකොට ගුරුවරයා ඒක සටහන් කර ගන්නවා."
ඇතැම් අවස්ථාවලදී ඒ ඒ විෂයට අදාළ ගුරුවරුන් ම එම ප්‍රශ්න පත්‍ර කියවීමටත්, ඉසුරු ලබා දෙන පිළිතුරු නැවත සටහන් කර ගැනීමටත් අනුයුක්ත කිරීමට පාසල පියවර ගෙන තිබිණි.
එතැන් පටන් එය සාමාන්‍ය පිළිවෙතක් බවට පත් වූ බව ඔහු අප හා පැවසීය.
"මම විෂය සමගාමී ක්‍රියාකාරකම් පවා කළා. මාධ්‍ය ඒකකයේ හිටියා, විවාද කණ්ඩායමේ හිටියා, සමස්ත ලංකා මට්ටමට යනකම් සංගීත තරගවලට සහභාගී වුණා, මට ගායනා කරන්නත් පුළුවන්. මාධ්‍ය ඒකකයේ නිවේදන කටයුතු කළා. උදෑසන රැස්වීම මෙහෙයවන තැනට ම ආවා. වැඩිහිටි අයියලා එක්ක වැඩ කරද්දී උණත් එහෙම මට වෙනසක් දැනුනේ නැහැ. ඉතින් සාමාන්‍ය ළමයෙක් කරන හැමදේ ම කළා. යාළුවෝ එක්ක විනෝද වුණා.
කිව්වට අවුලක් නැහැ, පීරියඩ් කට් කරන එකත් කළා. හැබැයි අපි හැමෝම හොඳට ඉගෙන ගත්තා," ඉසුරු සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ ගෙවූ කාලය පිළිබඳව සිහිපත් කළේ එලෙසිනි.
ඔහු සාමාන්‍ය පෙළ විභාගය දක්වා ම එහි අධ්‍යාපනය ලද අතර බ්‍රේල් ක්‍රමය ම භාවිතයෙන් විභාගයට මුහුණ දුන්නේ ය. බ්‍රේල් ප්‍රශ්න පත්‍ර නොතිබුණු බැවින් ගුරුවරුන් තමන් වෙත ප්‍රශ්න කියවා දුන් බව ඔහු පැවසීය.
"ගණිතය විෂයට ඇරෙන්න සාමාන්‍ය ළමයින්ට දෙන පේපර් එක ම තමයි ලැබුණේ. ගණිතයේ ජ්‍යාමිතිය කොටස් වැඩි නිසා, ඒවා අයින් කරලා අලුත් ප්‍රශ්න දාලා වෙන ම පේපර් එකක් දෙනවා. මම වෙන ම ශාලාවක, ගුරුවරයෙක් මට ප්‍රශ්න කියවනවා, මම බ්‍රේල්වලින් ලියනවා."
සාමාන්‍ය දරුවන් සහභාගී වූ උපකාරක පන්ති සඳහා තමා ද සහභාගී වූ බව ඉසුරු සඳහන් කළේ ය. මව බ්‍රේල් ක්‍රමය හුරුවී තිබී ම එහිදී වාසියක් වුණු ආකාරය ගැන ද ඔහු සිහිපත් කළේ ය.
අවසානයේ තොරතුරු තාක්ෂණ විෂය ද ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගයේදී A සමාර්ථ 8ක් සහ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට B සාමාර්ථයක් ලබා ගත් බව ඔහු සඳහන් කළේ ය.
'ගමේ ජයසේකර මාමා තමයි පරිගණකය පාවිච්චි කරන්න කියලා දුන්නේ...'
දකුණු පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුගේ මැදිහත් වීමකින්, පෞද්ගලික ආයතනකින් 7 වන ශ්‍රේණියේදී තමා වෙත පරිගණකයක් ලැබුණු අයුරු ඉසුරු සිහිපත් කළේ ය.
"ඒ කාලේ දෘශ්‍යාබාධිත අය පාවිච්චි කරන මෘදුකාංග හරි අඩු යි. දැන් වගේ එහෙම ලොකුවට තිබුණේ නැහැ. ගෙවලා ගන්න ඕනේ ඒවා. ඒවා දරාගන්න බැරි ගණන්වලට තිබුණේ. පෞද්ගලික ආයතනයකින්, දකුණු පළාතේ අධ්‍යාපන
අධ්‍යක්ෂවරයෙකුගේ මැදිහත් වීමකින්, මට පරිගණකයක් දුන්නා ඒ මෘදුකාංග සේර ම දාලා. ඩෙස්ක්ටොප් පරිගණකයක්. මට 7 වසරේදී," ඔහු පැවසීය
අනතුරුව පරිගණක හුරුව ලැබුවේ තෙලිකඩ තම නිවස අසල විසූ ‘ජයසේකර මාමාගෙන්’ බව ඉසුරු සඳහන් කළේ ඔහු තමා වෙනුවෙන් වුණු කැපවීමට කෘතඥතාව ද පළ කරමිනි.
"මට දැන් ඒක ඉගෙන ගන්නත් එපැයි. අපේ හිටියා ජයසේකර මාමා කියලා ගමේ මාමා කෙනෙක්. එයා තමයි මට වර්ඩ්, එක්සෙල් මුල ඉඳන් පුරුදු කළේ. මුදල් ගන්නෙවත් නැතිව. එයාට අභියෝගයක් වුණා ඒක. මොකද සාමාන්‍ය කෙනෙක් මවුස් එකෙන් කරන දේ මට කීබෝඩ් එකෙන් කරන්න කියලා දෙන්න එපැයි. එයාටත් ඉගෙන ගන්න සිද්ධ වුණා කොහොම ද ස්ක්‍රීන් රීඩර් එකක් පාවිච්චි කරන්නේ කියලා. ලොකු කැප කිරීමක් කළා."
සාමාන්‍ය පුද්ගලයින් මෙන් නොව ඉසුරු වැනි දෘශ්‍යාබාධ ඇති පුද්ගලයෝ පරිගණක භාවිතයේදී තිරයේ ඇති දෑ සහ තමා සිදු කරන ක්‍රියාකාරකම් කියවා ගැනීමට මෘදුකාග භාවිත කරති. ඒවා "ස්ක්‍රීන් රීඩර්ස්" ලෙස හඳුන්වන බව ඉසුරු පැවසීය.

දැන් ඉසුරුට ඉතා පහසුවෙන් පරිගණකය හැසිර වීමේ හැකියාව තිබේ. ඔහු එය හසුරුවන ආකාරය අප ද මවිතයට පත් කළේ ය. දිනපතා පළ වන පුවත් පත් මෙන් ම වෙබ් අඩවිවල අන්තර්ගත තොරතුරු ද ඉසුරු කියවන්නේ ය. සිංහල බසින් පළවන ලිපි පවා ඉසුරුට කියවීමට හැකියාව ලැබී ඇත්තේ යුනිකේත නිසා බව ඔහු අප සමග සඳහන් කළේ ය.
අනතුරුව 10 ශ්‍රේණියේදී ඉසුරුට දකුණු කොරියාවේ පැවති තොරතුරු තාක්ෂණ තරගයකට ද සහභාගී වීමට අවස්ථාව උදාවන අතර එහිදී ඔහු ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 20 ගණනක් අභිබවා යමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වන්නේ ය.
එවකට පාසලේ එක්සත් රාජධානියේ ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් තමා වෙත "බ්‍රේල් රයිටර්යක්" ලැබුණු අයුරු ද ඉසුරු සිහිපත් කළේ ය.
"ඒකෙ වටිනාකම ලක්ෂ දෙකක් තුනක් වුණා, ඒ කාලේ. දැන් ඒක නැහැ. මම ඒක ඉගෙන ගන්න වෙන ළමයෙකුට දුන්නා. ඒක හම්බ වුණේ සාමාන්‍ය පෙළ කරන්න මාස දෙකකට කලින්. විභාගය ලිව්වෙත් ඒකෙන්."
සාමාන්‍ය පෙළ විභගය සඳහා මුහුණ දෙන අවධියේදී පාසලෙන් තමා වෙත ලැප්ටොප් පරිගණයක් ද ලබා දුන් බව ඔහු පැවසීය.
ගාල්ලෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට
උසස් පෙළ සඳහා ඉසුරු කලා විෂය ධාරාවෙන් විෂයයන් හැදෑරීමට තීරණය කළේ, අනාගතයේදී නීතිඥවරයෙකු වීමේ අරමුණ ඇතිව ය.
නමුත් ඔහු තෝරා ගත් විෂයයන් ගෙන් උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ ගුරුවරයෙකු නොවූ බැවින් ඔහුගේ ඊළඟ නැවතුම කොළඹ ආනන්ද විද්‍යාලය බවට පත් විය. ඒ, 2014 වසරේදී ය.
ඉසුරු පැවසුවේ එහිදී පාසල් ද්විත්වයේ වූ සංස්කෘතිකමය වෙනස තමාට හොඳින් දැනුනු බව ය.
"ඉස්කෝල දෙකේ සංස්කෘති දෙකේ වෙනස සෑහෙන්න දැනුනා. ඇලෝෂියස් එකේ පුරුදු සර්ව ආගමික පරිසරයක් නේ. ඒක තනිකර ම බෞද්ධ පරිසරයක් වෙනවනේ," ඔහු පැවසීය.
ඒ වන විට ඉසුරුට ෆේස්බුක් ගිණුමක් පවා තිබිණි. එය ඔහු සහ ආනන්ද විද්‍යාලයේ ඔහුගේ මිතුරන් අතර මිතුදම තවත් ශක්තිමත් කරන්නට මහඟු වේදිකාවක් විය.
එහිදී ද තමා සමස්ත ලංකා සංගීත තරගවලට සම්බන්ධ වුණු බව ඉසුරු පැවසීය.
එමෙන් ම, පාසල තමා වෙනුවෙන් ම විශේෂ අධ්‍යාපනය සඳහා ගුරුවරයෙකු බඳවා ගත් බව ඔහු සඳහන් කළේ ය.
"මම ආපු නිසා ආනන්දෙන් මට විශේෂ ගුරුවරයෙක් ගත්තා. සුරංග සර් මට පේපර් එක කියවනවා, මම බ්‍රේල්වලින් ලියන එක සර් පරිවර්තනය කරලා දෙනවා. එහෙදිත් විෂයට අදාළ ගුරුවරයා ම දාන්න තරම් ඒ අය සැලකිලිමත් වුණා. ඉතාමත් හොඳ ගුරුවරු හිටියා. මගෙන් අදහස් හා යෝජනාත් අරගත්තා. සාමාන්‍යයෙන් ළමයෙකුගෙන් අහල දේවල් කරන්නේ නැහැනේ, හැබැයි එහෙම කළා," ආනන්ද විද්‍යාලයේ අත්දැකීම් ඔහු අප හා විස්තර කළේ ළය පිරි සතුටිනි.
කෙසේ වෙතත්, ඔහු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට තෝරා ගෙන තිබුණු තොරතුරු තාක්ෂණ විෂය පරිවර්තනය කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමත් සමග විෂයයන් දෙකක් වෙනස් කිරීමට පියවර ගත් බව ඔහු පැවසීය.

"ඊට පස්සේ මම, ආර්ථික විද්‍යාව, ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව කළා. විෂයන් මාරු කරද්දී පවා ඉස්කෝලෙන් ලොකු සහයෝගයක් දුන්නා. හැමදා ම වගේ ඉස්කෝලේ ගියා. ඉතිහාසයට පන්ති ගියේ නැහැ, ඉස්කෝලෙන් විතරයි ඉගෙන ගත්තේ. ඉංග්‍රීසිත් එක්ක උසස් පෙළට A 4ක් ගත්තා. දිස්ත්‍රික්කයේ 20, දිවයිනෙන් 87," ඔහු තම ද්විතීයික අධ්‍යාපනික කඩයිම ජයග්‍රාහී ලෙස පසු කළ ආකාරය සඳහන් කළේ ය.
උසස් පෙළින් පසු ඉසුරු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මෙන් ම අලෙවිකරණය පිළිබඳව ද ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීය.
"මාව එහා මෙහා එක්කන් යන්න ඕන නිසා ම අම්මා ස්කූරටයක් ගත්තා," ඔහු සඳහන් කළේ ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට වෙනසක්
උසස් පෙළ විභාගය ජයග්‍රාහීව අවසන් කළ ඉසුරු 2017 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී පත් විය.
එහිදී තමා වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීමේදී කටයුතු කළ යුතු ආකාරය විශ්වවිද්‍යාල බලධාරීන් විමසා සිටි ආකාරය ඔහු සිහිපත් කළේ ය.
"2017 නොවර්ම්බර් වගේ කැම්පස් පටන් ගත්තා. මුල් සති දෙකේදී වගේ මගෙන් ඇහුවා මොනවා ද ඔයාට වෙන්න ඕනේ කියලා. පස්සේ මටත් බ්‍රේල්වලින් ලියන එක කම්මැලියි වගේ නිසා මම විසඳුමක් දුන්නා ඒ අයට," ඔහු පැවසීය.
"මම බ්‍රේල්වලින් ලියන එක වෙන තැනකට යවලා ඒක පරිවර්තනය කරලා, ආයෙත් ටයිප් කරලා ගෙන්න ගන්න ඕනේ, කැම්පස් එකෙන්. ඒකෙන් ප්‍රතිඵල පරක්කු වෙන්නත් පුළුවන්. ලොකු වියදමකුත් යනවා. මම කිව්වා 'ඔය වැඩේ කරන්න එපා, ඔයාලට මම විසඳුමක් දෙන්නම් කියලා. එතකොට අර මෘදුකාංග සේරම නොමිලේ තිබුණා. NVDA කියන ස්ක්‍රීන් රීඩර් එකක්. ඒක සිංහල යුනිකෝඩ් පවා කියවනවා. ඉතින් මම කිව්වා, කැම්පස් එකේ ලැප්ටොප් එකකට මේ මෘදුකාංගය දාන්න, විභාගය වෙලාවට මට දෙන්න, පේපර් එකේ මෘදු පිටපතක් දාලා. එතකොට මම අනිත් ළමයි වගේ උත්තර ටයිප් කරලා දෙන්නම්, ඔයාලා ඒක මුද්‍රණය කර ගන්න කියලා," ඔහු තම විසඳුම විශ්වවිද්‍යාලය වෙත ලබා දුන්නේ ය.
ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමේ දෘශ්‍යාබාධිත ශිෂයෙකු ලෙස සිට ඇත්තේ ඔහු පමණක් වන අතර ඉසුරු පෙන්වා දුන්නේ, ඔහු දක්වා ම විශ්වවිද්‍යාලය භාවිත කර ඇත්තේ බ්‍රේල් ක්‍රමය බව ය.
"ලැප්ටොප් එකෙන් සටහන් ලියන එක හරි ම පහසුයි. දේශනවලට අරන් යනවා. පොත් කියවද්දිත් ඒක ලේසි උණා. පරිශීලනය කරන්න පොත් තියෙනවනේ. ඒවාත් දාලා නෝට්ස් හදද්දී මගේ නෝට් එක සම්පූර්ණයි. ඉතින් මුළු බැච් එකේ ම අය ළඟ තිබුණේ මගේ නෝට් එක. මෘදු පිටපත් නැති පොත් ස්කෑන් කරලා කියවා ගන්නවා. OCR කරලා. මම ඩ්‍රයිව් එකට ඒ නෝට්ස් පිළිවෙළට අප්ලෝඩ් කරලා තිබ්බේ. යුනිකෝඩ් කියන්නේ ගැලවුම්කාරයෙක්," බ්‍රේල් ක්‍රමයෙන් ඔබ්බට යමින් නව තාක්ෂණයට අනුගත වීම තම කාර්යයන් පහසු කළ ආකාරය ඔහු එලෙස පැවසීය.
එවකට ඔහුට ස්මාර්ට් ජංගම දුරකතනයක් ද භාවිත කළ බව ඔහු සඳහන් කළේ ය.
පාසල් අවධියේ මෙන්, විශ්වවිද්‍යාලයේ ද විභාගවලදී තමා වෙනුවෙන් අමතර කාලයක් ලබා දුන් බව ඉසුරු පැවසීය.
ඔහු තම විශ්වවිද්‍යාල දිවිය අවසන් කළේ, දෙවන පෙළ (ඉහළ) පත්ති සාමාර්ථයක් ද ලබා ගනිමිනි.
තාක්ෂණයෙන් ඉදිරියට
තාක්ෂණය භාවිත කිරීම ජීවිතයේ ඉදිරියට යාමට තමාට උපකාරී වුණු බව ඉසුරු පැවසීය.
"තාක්ෂණය පාවිච්චි කරපු නිසා මම සෑහෙන ඉස්සරහින් හිටියා. ඒක සෑහෙන වැදගත් වුණා කොරෝනා කාලයේදී. සමහර දේවල් මම තනියම හොයලා ඉගෙන ගත්තේ. ගූගල් කළා ම හැමදේ ම තියෙනවනේ. තාක්ෂණය කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක හරි සාමාන්‍ය දෙයක්."
කොවිඩ්-19 වසංගත සමය ද ඵලදායී ලෙස ඉසුරු ප්‍රයෝජනයට ගෙන තිබුණේ, දූරස්ථව සීමාවාසිකව විවිධ පෞද්ගලික ආයතනවල ද සේවය කරමිනි.
"කොවිඩ් කාලේ මම IT කම්පැනි එකක රිමෝට් වැඩ කළා. කැම්පස් 4 වන අවුරුද්දේ එතකොට. 2020 අග භාගයේ. භාෂා පරිවර්තන වැඩ කළා මම. පර්යේෂණ සහයකයෙක් විදිහට වැඩ කළා. ඒවා කළේ ආසාවට. ඒ ලැබෙන මුදල් මම ආයෝජනය කළා. කොටස් වෙළෙඳපොළේ දැම්මා. කැපිටල් මාකට්ස්වල ආයෝජනය කළා. ඒකෙන් තව ආදායමක් ආවා. ඒවත් ආපහු ආයෝජනය කළා. ගෙදරටත් වියදම් කළා," ඔහු තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Provided
'අපරාධ නඩු සහ මූලික අයිතිවාසිකම් නඩු කතා කරන නීතිඥවරයෙක්'
ඉසුරු මහේෂ් පණ්ඩිත මේ වන විට තම ඉලක්කය සාක්ෂාත් කර ගෙන අවසන් ය. ඔහු දැන් වෘත්තියෙන් නීතිඥවරයෙකි. අපරාධ සහ මූලික අයිතිවාසිකම් ඔහුගේ විෂය බවට පත් වී ඇත.
"අපරාධ නඩු තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. අපරාධ සහ මූලික අයිතිවාසිකම්. දැනට අපරාධ නඩු 3ක් 4ක් කතා කරනවා. රාජ්‍ය නොවන සංවිධාන එක්ක මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුවලට කතා කරනවා," ඔහු පැවසීය.
පසුගිය දා ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු වන සී.ඩී. ලෙනව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමට එරෙහිව නීතීඥ අමන්දා කල්පශාඛා මෙනවිය විසින් ද ගොනු කරනු ලැබ තිබූ අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ඉසුරු මගින් පෙනී සිටිමිනි.
ඉසුරුගේ අරමුණ නීතිඥ වෘත්තියෙන් ජාත්‍යන්තර වශයෙන් තවත් ඉදිරියට යාම ය. ඒ සඳහා ඔහු මේ වන විටත් පියවර තබා තිබේ.
'මට ප්‍රධාන පාසල් දෙකකට යන්න ලැබුණේ නැත්නම්, මේ ඉන්න තත්ත්වය වෙනස් වෙන්න තිබුණා'
ඉසුරු බීබීසී සිංහල සමග පැවසුවේ, රටේ ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපනය ලැබීමට නොහැකි වූයේ නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණු බව ය.
පවුලෙන් මෙන් ම සමාජයෙන් ද ලද පන්නරය තම ජීවිතය වෙනස් කිරීමට බලපෑ බව ඉසුරුගේ අදහසයි.
"ආබාධිතයි කිව්වා ම ගොඩක් අය හිතනවා, මුකුත් කරන්න බැහැ කියලා. සමහර අය හිතනවා සුපර් ටැලන්ටඩ් කියලා. ඒ දෙක ම නැහැ ඒ අයත් සාමාන්‍ය මිනිස්සු ම තමයි. ආබධයක් තියෙන පුද්ගලයෙකුට භාවිත කරන්න පුළුවන් හොඳ ම යෙදුම තමයි 'ආබාධ සහිත' කියන එක. මොකද ඒ පුද්ගලයාට විශේෂ හැකියාවලුත් නැහැ. විශේෂ අවශ්‍යතාත් නැහැ. අවශ්‍යතා හැමෝට ම එකයි නේ," ඔහු පැවසීය.
සමාජයටත්, ආබාධ සහිත අයටත් ඉසුරුගෙන් උපදෙසක්
ඉසුරු පෙන්වා දුන්නේ, ආබාධ සහිත පුද්ගලයින් තමන් සිටින තත්ත්වය පිළිගත යුතු බව ය. ඒ සම්බන්ධයෙන් පවුලට මෙන් ම සමාජයට ද අවබෝධයක් තිබිය යුතු බව ඔහු පැවසීය.
අනතුරුව ආබාධ සහිත පුද්ගලයින් තම හැකියාවන් පිළිබඳව මනා තක්සේරුවක් සිදු කර ඒ ඔස්සේ ඉදිරියට යා යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
"ඉංග්‍රීසි භාෂාව හදා ගන්න එක ආර්ථික වශයෙන් හරි ම වැදගත්. අපි කොච්චර කිව්වත්, භාෂාව බාධාවක් වෙන්න ඕනේ නෑ කියලා, මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයි ආබාධ සහිත පුද්ගලයෙක් නම්," ඔහු ඉංග්‍රීසි භාෂාව ආබාධ සහිත පුද්ගලයින්ට උපකාරී වන අයුරු පිළිබඳව ද අවධාරණය කළේ ය.
"ගොඩක් අයගේ මම දකින වරදක් තමයි, අපි ආබාධ සහිත අය නිසා සමාජය අපිට මේ දේ දෙන්න ඕනේ වගේ එකක්. එහෙම එකක් නැහැ. අපි අපේ හැකියාවන් හදාගත්තා ම ආබාධ තත්ත්වය බාධාවක් නොවන තැනක් එනවා. එතැනට අපි හදා ගන්න ඕනේ."
ආබාධ සහිත පුද්ගලයින්ගෙන් සමාජය වීරයන් අපේක්ෂා නොකළ යුතු යි යන්න තම මතය බව ඉසුරු පෙන්වා දුන්නේ ය.
"සමාජයත් දැනගන්න ඕනේ, ආබාධ සහිත අයගෙන් වීරයෝ අපේක්ෂා නොකර ඉන්න. ආබාධ සහිත දරුවන්ගේ අම්මලත් දැනගන්න ඕනේ, අධ්‍යාපනය තමයි යතුර," ඔහු බීබීසී සිංහල සේවය සමග සිදු කළ සංවාදය නිමා කළේ ය.













