ඩවුන් සින්ඩ්‍රෝමය සහිත බාර්බි බෝනික්කන් වෙළෙඳපොළට

British model Ellie Goldstein

ඡායාරූප මූලාශ්‍රය, Mattel

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය නිරූපිකාවක වන එලී ගෝල්ඩ්ස්ටයින් පැවසුවේ මෙම නව බාර්බි බෝනික්කා දුටු විට තමා "සතුටින් ඉපිලී ගිය" බව ය
    • Author, ජෙමා ඩෙම්ප්සි
    • Role, බීබීසී පුවත්

මැටෙල් කෙළිබඩු සමාගම විසින් ඔවුන්ගේ බාර්බි බෝනික්කන්ගේ පරාසය තව තවත් විවිධාංගීකරණය කිරීම සඳහා නිකුත් කරන ලද නවතම බෝනික්කා වන්නේ ඩවුන් සින්ඩ්‍රෝමය සහිත බාර්බි බෝනික්කෙකි.

සම්ප්‍රදායික බාර්බි බෝනික්කන් සැබෑ කාන්තාවන් නිරූපණය නොකරන බවට, එක්සත් ජනපදයේ මෙම දැවැන්ත කෙළිබඩු නිෂ්පාදන සමාගම මීට පෙර විවේචනවලටද මුහුණ දී තිබිණි.

මෑත වසරවල දී එම සමාගම ශ්‍රවණාධාරයක්, කෘත්‍රිම පාදයක් සහ රෝද පුටුවක් සහිත බෝනික්කන් නිර්මාණය කර තිබේ.

මැටෙල් සමාගමේ ඉලක්කය වී ඇත්තේ "බාර්බි බෝනික්කන් තුළින් සියලු ම දරුවන්ට තමන්ව දැකීම" මෙන් ම "තමන් මෙන් නොපෙනෙන බෝනික්කන් දරුවන් සමග සෙල්ලම් කරනු" දැකීම ය.

1959 වසරේදී නිකුත් කරන ලද පළමු බාර්බි බෝනික්කා දිගු කකුල්වලින්, සිහින් ඉඟකින් සහ දිගු රන් පැහැති කෙස් කළඹකින් සමන්විත විය.

දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, බාර්බි බෝනික්කන්ගේ සිරුරේ හැඩය කාන්තාවකට පිහිටීමේ සම්භාවිතාව 100,000කට එකක් පමණක් බව ය.

ඇතැම් ක්‍රියාකාරීන් විසින් බාර්බි බෝනික්කන් තුළින් වඩා ත් යථාර්ථවාදී ශරීර රූපයක් නිරූපණය කරන ලෙස ඉල්ලා සිටියේ ඇතැම් ආබාධ සහිත පුද්ගලයින් මෙම බෝනික්කන් තමන් හෝ තම අත්දැකීම් නිරූපණය නොකරන බව පවසන පසුබිමක ය.

2016 වසරේ දී මැටෙල් සමාගම විසින් Curvy Barbie (පිරුණු සිරුරක් ඇති), Tall Barbie (උස්) සහ Petite Barbie (කුඩා සිරුරක් ඇති) යනුවෙන් මෙන් ම, විවිධ ජනවාර්ගිකත්වයන් පිළිබිඹු කරන පුළුල් පරාසයක් දක්වා විහිදුණු සමේ පැහැයන් සහිත බෝනික්කන් නිකුත් කරන ලදී.

මැටෙල් සමාගමේ බාර්බි ඇන්ඩ් ඩෝල්ස්හි ගෝලීය ප්‍රධානී ලීසා මැක්නයිට් පැවසුවේ, මෙම නව බෝනික්කා "අවබෝධය පිළිබඳව උගැන්වීම සහ සහකම්පනය පිළිබඳව පුළුල් හැඟීමක් ගොඩනැගීම තුළින්, පුද්ගලයින් හොඳින් පිළිගන්නා ලෝකයකට මග පාදනු ඇතැ යි" තමන් බලාපොරොත්තු වූ බව ය.

සිය නවතම බෝනික්කා ඩවුන් සින්ඩ්‍රෝමය සහිත පුද්ගලයෙකු නිවැරදි ලෙස නිරූපණය කරන බව සහතික කර ගැනීම සඳහා තම සමාගම එක්සත් ජනපද ජාතික ඩවුන් සින්ඩ්‍රෝම් සංගමය (NDSS) සමග සමීපව කටයුතු කළ බව මැටෙල් සමාගම පැවසුවේ ය.

මෙම බෝනික්කාට අදාළ ජානමය තත්ත්වය ඇති කාන්තාවන්ගේ ශරීර ලක්ෂණ විය හැකි සමස්තයක් ලෙස කුඩා සිරුරක් සහ දිගු කඳ කොටසක් ඇති අතර, වටකුරු ස්වභාවයක් ගන්නා එහි මුහුණ, කුඩා කන්, පැතලි නාසයක් සහ ආමන්ඩ් හැඩැති ඇස්වලින් සමන්විත වේ.

පුම්බන ලද අත් සහිත ඇඳුම ඩවුන් සින්ඩ්‍රෝම් පිළිබඳ දැනුවත් කිරීම හා සම්බන්ධ වර්ණ වන කහ සහ නිල් වර්ණවලින් යුක්ත වේ.

ඩවුන් සින්ඩ්‍රෝමය ආශ්‍රිත ලක්ෂණ ඇති කරන ජානමය ද්‍රව්‍යය වන 21 වන වර්ණදේහයේ පිටපත් තුන නියෝජනය කරන, ඉහළට හැරී ඇති 'V' හැඩැති සංකේතය සහිත රෝස පැහැති පෙන්ඩන්ට් එකක් ඇති මාලයක් ද මෙම බෝනික්කා සතුව ඇත.

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ඇතැම් දරුවන් ඔවුන්ගේ පාද සහ වළලුකර සඳහා අධාරක භාවිත කරන බැවින් මෙම බෝනික්කා ද ඒවා තම ඇඳුම මගින් පිළිබිඹු කිරීමට රෝස පැහැති වළලුකර ආධාරකයක් පැළඳ සිටියි.

New Barbie doll

ඡායාරූප මූලාශ්‍රය, Mattel

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නව බාර්බි බෝනික්කා නිර්මාණය කිරීමට මැටෙල් සමාගම එක්සත් ජනපදයේ ජාතික ඩවුන් සින්ඩ්‍රෝම් සංගමය සමග එක්ව කටයුතු කළේ ය

NDSSහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කැන්ඩි පිකාර්ඩ් පැවසුවේ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට ලැබීම ගෞරවයක් බව ය.

"මේක අපේ ප්‍රජාවට ලොකු දෙයක්. පළමු වතාවට එයාලට, එයාලා වගේ බාර්බි බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්."

"අපි කිසි විටෙකත් යම් දෙයක් නියෝජනය කිරීමෙන් ලැබෙන බලය අවතක්සේරු කරන්න හොඳ නැහැ. මෙවැනි බෝනික්කෙකු නිර්මාණය කිරීම විශාල ඉදිරි පියවරක් වගේ ම අපි සමරණ මොහොතක්."

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත පුද්ගලයින්ට අවස්ථා සහ සම්පත් සඳහා සමාන ප්‍රවේශයක් හිමිකර දීම, ඔවුන්ට සමාජය තුළ පිළිගැනීමක් ඇතිකරවීම සහ ඔවුන් පිළිබඳව අවබෝධය ඇති කරවීම වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍ය නිරූපිකාවක වන එලී ගෝල්ඩ්ස්ටයින් පැවසුවේ බෝනික්කා දුටු විට තමා "සතුටින් ඉපිලී ගිය" බව ය.

"විවිධත්වය වැදගත්... ලෝකය මම වගේ මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකය තුළ දකින්න නම් හැංගිලා ඉන්න හොඳ නැහැ," ඇය තවදුරටත් පැවසුවා ය.

බ්‍රිතාන්‍ය වෝග් සඟරාවේ නවතම සංස්කරණයේ කවරය පෙනී සිටි තාරකාවන් පස් දෙනා අතරින් එලී එක් අයෙකු වූ අතර එය ඇයගේ "සිහිනය" වූ බව ඇය පැවසුවා ය.

Young wheelchair using figurine

ඡායාරූප මූලාශ්‍රය, PromoBricks

අනෙකුත් සෙල්ලම් බඩු නිෂ්පාදන සමාගම් ද ඔවුන්ගේ මාදිලි සඳහා එක් කණ්ඩායමකට පමණක් සීමා නොවී සියලු ම ආකාරයේ පුද්ගලයින් ඇතුළත් කර ගැනීමට උත්සහ කරමින් සිටින අතර එවැනි නිෂ්පාදන බිහි කිරීම සඳහා ඊට සමාන පියවරක් ගෙන ඇත.

2016 වසරේ දී, Lego සමාගම එක්සත් රාජධානිය පදනම් කරගත් #ToyLikeMe සමූහය විසින් කරන ලද ප්‍රචාරක ව්‍යාපාරයකින් පසුව රෝද පුටුවක් භාවිත කරන තොප්පියක් පැළඳ සිටින තම පළමු තරුණ ආබාධිත කුඩා රූව නිර්මාණය කළේ ය.

එතෙක් රෝද පුටුවක් භාවිත කළ එහි එක ම චරිතය වියපත් මිනිසෙකු වූ බැවින්, එම කණ්ඩායම මෙම ඩෙන්මාර්ක සමාගම "ආබාධිත පුද්ගලයින් කොටසකට පමණක් ඉඩදීම" ගැන විවේචනය කර තිබිණි.

එක්සත් රාජධානියේ ආබාධිත දරුවන් 770,000ක් නියෝජනය කිරීම සඳහා තවත් සෙල්ලම් බඩු නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපාරය දියත් කරනු ලැබ තිබිණි.