වඩමාරච්චි: උතුරේ හමුදා කඳවුරුවල සිදුවන වෙනස්කම් මොනවා ද?

2024 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් අනතුරුව උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන විශේෂ සිදුවීමක් වූයේ, වසර ගණනාවක් යාපනය වඩමාරච්චි ජනතාව බලාපොරොත්තු වු යාපනය, ආරක්ෂක සේනා මූලස්ථානය හරහා අච්චුවේලි දක්වා වැටී ඇති මාර්ගය ජනතාවගේ සාමාන්‍ය ගමනාගමන කටයුතු වෙනුවෙන් විවෘත කිරීම ජාතික ජන බලවේගය නව රජය ගනු ලැබූ පළමු ක්‍රියාමාර්ගය ලෙසට දැක්විය හැකිය.

2024 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් අනතුරුව උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන විශේෂ සිදුවීමක් වූයේ, වසර ගණනාවක් යාපනය වඩමාරච්චි ජනතාව බලාපොරොත්තු වු යාපනය, ආරක්ෂක සේනා මූලස්ථානය හරහා අච්චුවේලි දක්වා වැටී ඇති මාර්ගය ජනතාවගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් විවෘත කිරීම ය.

එය ජාතික ජන බලවේගය රජය උතුරේ ජනතාවට සහනයක් සැලසීම සඳහා ගනු ලැබූ පළමු ක්‍රියාමාර්ගය ලෙස දැක්විය හැකිය.

වසර 35 ක පමණ කාලයක් වසා දමා තිබු පලාලි සිට අච්චුවේලි දක්වා වන මාර්ගය විවෘත කිරීම මගින් ප්‍රදේශවාසීන්ට මහත් සහනයක් ලැබී තිබේ.

මාර්ගය වසා තිබීම හේතුවෙන් කිලෝමීටර් පහකට වැඩි දුරක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කඳවුර වටා ගමන් කිරීමට ජනතාවට සිදුවු අතර එය කිලෝමීටර් දෙකක් වැනි කෙටි දුරකින් නිමා කර ගැනීමට ජනතාවට දැන් හැකියාව ලැබී ඇත.

එලෙසම වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව යාපනය පේදුරුතුඩුව කට්කෝවලන් ප්‍රදේශයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක පිහිටි හමුදා කඳවුරක් ඉවත් කොට අදාළ කඳවුරු භූමිය මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට යුද හමුදාව මේවන විට සුදානම් වෙමින් සිටියි.

අදාළ කඳවුරේ පැවති ස්ථිර ගොඩනැගිලි හා කඳවුර තුළ පැවති ආරක්ෂක මුරකුටි ආදිය මේ වන විට ඉවත් කරමින් සිටින බවත්, එම ඉවත් කර ගැනීම් අවසන් වු පසුව කඳවුර පැවති සීමාව මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට නියමිත බවත් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පැවසුවේය.

යාපනය පේදුරුතුඩුව කට්කෝවලන් ප්‍රදේශයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක පිහිටි යුද හමුදා කඳවුරක් ඉවත් කොට අදාළ කඳවුරු භූමිය මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට යුද හමුදාව මේවන විට සුදානම් වෙමින් සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය පේදුරුතුඩුව කට්කෝවලන් ප්‍රදේශයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක පිහිටි යුද හමුදා කඳවුරක් ඉවත් කොට අදාළ භූමිය මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට යුද හමුදාව මේවන විට සුදානම් වෙමින් සිටියි

අලිමංකඩ ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය යුද හමුදා මාර්ග බාධකය ද පසුගිය දිනවල ඉවත් කෙරුණු අතර, වර්තමානයේ උතුරු පළාත තුළ ස්ථිර වශයෙන් පවත්වාගෙන යන මාර්ග බාධක කිසිවක් නොමැති බව ආරක්ෂක අංශ අනාවරණය කළේය.

ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය වෙත සැළකිය යුතු ජනවරමක් ලබාදී තිබිණි.

ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු පළාතේ ජනතාව ජාතික ජන බලවේගයට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාදී තිබු අතර, ඉතිහාසයේ කෙදිනකවත් සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂවල ග්‍රහණයෙන් ගිලිහි නොතිබූ යාපනය ඡන්ද බලප්‍රදේශය පවා දිනා ගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබිණි.

උතුරේ ජනතාව පවසන්නේ, ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු ඉටු කරනු ඇති බවට වන විශ්වාසය මත තමන් ජනාධිපතිවරයාට හා ජාතික ජන බලවේගයට ජන්දය ලබාදුන් බව ය.

වඩමාරච්චි ලෙස හැඳින්වූයේ කුමන සීමාව ද?

උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද සමයේ පැවැත්වු යුද ගැටුම් අතර ප්‍රධාන සටනක් වූයේ වඩමාරච්චි සටනය.

වඩමාරච්චි ලෙසට හදුන්වනු ලබන්නේ උතුරු පළාතේ කෙළවර වන පේදුරුතුඩුව, කරවෙඩ්ඩි හා මරුදන්කේනි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ගම්මානයන්ය.

පේදුරුතුඩුව නගර සභාව, වැල්වැටිතුරෙයි නගර සභාව, නෙල්ලිඅඩි ප්‍රාදේශීය සභාව හා මරුදන්කේනි ප්‍රාදේශීය සභා ඒ තුළ පිහිටි පළාත් පාලන ආයතන වේ.

LTTE සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ උපන්ගම ද වඩමාරච්චි සීමාවට අයත්ව තිබිණි.

වඩමාරච්චි සටන යනු කුමක්ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙරට පැවති සිවිල් යුද්ධය ආරම්භයේදී ශ්‍රී ලංකා යුද හමුදාව, LTTE සංවිධානයට එරෙහිව ආරම්භ කළ පළමු සංවිධානාත්මක සටනක් වන්නේ වඩමාරච්චි සටනය.

1987 මැයි 26 වැනිදා වඩමාරච්චි සටන ආරම්භ කළ අතර,එවක යුද හමුදාපති ලෙස කටයුතු කළ සිරිල් රණතුංගගේ නියෝග යටතේ සටන ආරම්භ කොට තිබිණි. එවක බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න හා බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වාගේ මෙහෙයවීම් යටතේ සටන ක්‍රියාත්මකව තිබිණි.

යාපනය දිස්ත්‍රික්කයෙන් LTTE සංවිධානය වෙත බරපතල හානි සිදුවීම හේතුවෙන් උතුරු පළාතට යුද හමුදාව ලබාදී තිබු අවධානය වෙනතකට යොමු කිරීමට නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ LTTE ක්‍රියාකාරීන් කටයුතු කොට තිබු අතර, ඔවුන් 1987 ජුනි 02 වැනිදා අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුකරමින් වඩමාරච්චි මෙහෙයුමේ අවධානය බිඳ දැමීමට උත්සහ ගෙන තිබිණි.

සටන ආරම්භ වී දින හතක් ගතවු අවස්ථාවේ ඉන්දියාව විසින් යාපනය ජනතාව වෙත ලබාදීමට පාන් පිටි, සහල්, පරිප්පු, භූමිතෙල් හා ගිනිපෙට්ටි රැගත් නෞකා 19 ක් එවීමට කටයුතු කොට තිබු අතර, මෙරට නාවික හමුදාව විසින් අදාළ නෞකාවලට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර ලබා දී තිබුණේ නැත.

අනතුරුව අසල්වැසි ඉන්දියාව ඊට පසුදින සිය ගුවන් යානා යොදාගෙන යාපනයට පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය ගුවනින් දැමීමට පියවර ගත්තේ ය.

ඉන්දියාවේ අදාළ මැදිහත්වීම මත වඩමාරච්චි සටන නවතා දැමීමට සිදුවු අතර, 1981 ජුනි 04 වන දා වඩමාරච්චි මෙහෙයුම නවතා දැමුණි.

වඩමාරච්චි භූමිය උතුරේ කේන්ද්‍රීය භූමිය වන අතර එය කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ බහුවිධ සම්පත් හා ආදායම් මාර්ග පවතින බව උතුරේ ජනතාව පවසති.

උතුරු පළාතේ කොපමණ ඉඩම් ප්‍රමාණයක් යුද හමුදාව සතුව පවතින්නේද?

යුද ගැටුම් හේතුවෙන් උතුරු පළාත තුළ වැඩිම කඳවුරු ප්‍රමාණයක් යුද හමුදාව විසින් ස්ථාපිත කොට තිබු අතර ,2009 වසර වන විට උතුරු පළාත තුළ ඉඩම් අක්කර 73016.50 ක ප්‍රමාණයක්ද, නැගෙනහිර පළාත තුළ ඉඩම් අක්කර 12236.69 ක ප්‍රමාණයක්ද යුද හමුදා කඳවුරු ස්ථාපිත කිරීම වෙනුවෙන් යොදාගෙන තිබු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය සඳහන් කළේය.

වර්තමානයේදී උතුරු පළාත තුළ යුද හමුදාව භාරයේ රජයේ ඉඩම් අක්කර 7264.59 ක් හා පෞද්ගලික ඉඩම් අක්කර 2306.77 ලෙසට ඉඩම් අක්කර 9571.36 ක ප්‍රමාණයක් පවතින බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පැවසීය.

එලෙසම නැගෙනහිර පළාත තුළද යුද හමුදාව භාරයේ රජයේ ඉඩම් 3596.90 ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 41.48 ක් ඇතුළු අක්කර 3638.38 ක ප්‍රමාණයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ පෞද්ගලික ඉඩම් වැඩි ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති බවයි.

නැගෙනහිර පළාත තුළ සීමිත පෞද්ගලික ඉඩම් ප්‍රමාණයක් පමණක් තවමත් නිදහස් කිරීමට ඇතැයි හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

යුද්ධයෙන් අනතුරුව ක්‍රමයෙන් පෞද්ගලික ඉඩම් නිදහස් කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසූවේය.

හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ පෞද්ගලික ඉඩම් වැඩි ප්‍රමාණයක් මේ වන විට නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ පෞද්ගලික ඉඩම් වැඩි ප්‍රමාණයක් මේ වන විට නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ය

'අපි ඉල්ලන්නේ අපේ මුල් ඉඩම් අපිට දෙන්න. උපන් බිමට ආසා නැත්තේ කවුද?'

වර්තමානයේ වඩමාරච්චි ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් යාපනය වලිකාමම් පදිංචි එස්.වසීකරන් විසින් බීබීසී සිංහල වෙත අදහස් දක්වනු ලැබීය.

“අලුත් ජනාධිපතිතුමා පත්වීමත් එක්ක වලිකාමම් පැත්තේ ජනතාව වැඩි බලාපොරොත්තුවකින් ඉන්නේ. මොකද ජනාධිපතිතුමා පත්වෙලා වැඩිකල් යන්න කලින් අපේ උතුරු පළාතේ ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීමක් අනුව යාපනය පලාලි ඉදලා අච්චුවේලි දක්වා වන මාර්ගයේ කොටසක් විවෘත කළ දුන්නා. ඒක අපේ මිනිස්සුන්ට ලොකු සහනයක්.”

“දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු 16 කට වැඩි කාලයක් ගිහිල්ලා තිබෙනවා.ඒත් තවමත් උතුරේ අපේ මුල් ඉඩම්වල ආරක්ෂක අංශ කඳවුරු තිබෙනවා. අපි ඉල්ලන්නේ අපේ මුල් ඉඩම් අපිට දෙන්න. උපන් බිමට ආසා නැත්තේ කවුද? අපේ ඉඩම් අපිට දීලා රටේ ආරක්ෂාව වෙනුවෙන් පොදු ඉඩම්වල හමුදා කඳවුරු පවත්වාගෙන යනවා නම් ඒක හොදයි කියලා අපි විශ්වාස කරනවා.” ඔහු පැවසීය.

“ජනාධිපතිතුමා උතුරට ඇවිල්ලා පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ කිව්වා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට නීතිපති උපදෙස් අනුව කටයුතු කරනවා කියලා.ඉතින් ඒක ගැනත් උතුරේ මිනිස්සු විශ්වාසයෙන් ඉන්නවා.ජනතා විශ්වාසය දිනාගත්තොත් ඒක හැමදාම ජනාධිපතිතුමාගේ ජයග්‍රාහණ වෙනුවෙන් තියෙයි.”