අගලෙගා: මේ පුංචි දූපත ඉන්දියාවේ නවත ම රහස් ඔත්තු බැලීමේ මධ්‍යස්ථානය ද?

A beach in Agalega with white sand and blue sky, fringed by palm trees

ඡායාරූප මූලාශ්‍රය, Billy Henri

    • Author, ජේකබ් එවන්ස්
    • Role, බීබීසී ලෝක සේවය

අර්ණෝද් පූලේ ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතක් වන අගලෙගා හැර යාමට කිසිවිටෙක අවශ්‍ය නොවූ නමුත් මේ වසරේ ඔහු තම ගමන් මල්ල අසුරා ගෙන බිඳුණු සිතින් පිටත්ව ගියේ තම නිවහන හමුදාකරණය වන බව ඔහුට දැනුණු බැවිනි.

මෑතක් වන තුරු ම මිනිසුන් 350 දෙනෙක් පමණ අගලෙගාහි, මසුන් ඇල්ලීමේ සහ පොල් වගාවේ නිරත වෙමින් ජීවත් වූහ. මුරුසි අගනුවර සිට කිලෝමීටර් 1,100 (සැතපුම් 680) දකුණට වසරකට හතර වතාවක් නෞකාවකින් සෙසු ආහාර ද්‍රව්‍ය බෙදා හැරිණි. හදිසි වෛද්‍යමය අවස්ථාවලදී හැර කුඩා ගුවන් පථය භාවිත කළේ කලාතුරකිනි.

නමුත් 2015 දී, අගලෙගා දිවයින ද අයත් දූපත් රාජ්‍යයක් වන මුරුසිය, සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ගැඹුරු සහයෝගීතාවයේ කොටසක් ලෙස ඉන්දියාව සමග ගිවිසුමකට එළඹුණේ, ඉන්දියාවට එහි මීටර් 3,000ක් විශාල ගුවන් ධාවන පථයක් සහ නව විශාල ජැටියක් ඉදිකිරීමට හැකි වන පරිදි ය.

කෙසේ වෙතත්, මෙය සම්පූර්ණ හමුදා අනුයුක්ත කිරීම දක්වා වර්ධනය විය හැකි බවට ඇතැම් අගලෙගා වැසියෝ බිය පළ කරති.

44 හැවිරිදි හස්ත කර්මාන්තකරුවෙකු සහ රෙගේ සංගීත ශිල්පියෙකු වන පුල්ලේ මෙම ව්‍යාපෘතියට එරෙහිව ව්‍යාපාරයක් මෙහෙයවීය.

“මම මගේ දූපතට ආදරෙ යි, දූපත මටත් ආදරෙ යි,” ඔහු පවසයි. "නමුත් කඳවුර හැදුව ම මම දන්නවා මට යන්න වෙනවා කියලා."

A man with dark hear, short beard, a floppy hat, glasses and a blue T-shirt steers a motorboat

ඡායාරූප මූලාශ්‍රය, Arnaud Poulay

ඡායාරූප ශීර්ෂ වැකිය, අර්ණෝද් පූලේ දූපතේ ඉදිකිරීම් කටයුතු ඍජුව විවේචනය කරන්නෙකි

අගලෙගා - නිරිතදිග ඉන්දියන් සාගරයේ වර්ග කිලෝමීටර 25ක් ආවරණය වන කුඩා දූපත් දෙකකි - එය සමුද්‍ර ගමනාගමනය නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාවට සුදුසු ස්ථානයක් වනු ඇත. තව ද 2019 සිට මේ වසරේ ජූලි මාසයේදී ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ එය කොපමණ වෙනස් වී ඇත් ද යන්න යි.

ප්‍රධාන ගම්මාන දෙක වන උතුරේ ලා ෆෝර්චේ සහ තවත් දකුණට වින්ග්ට්-සින්ක් අතර උතුරු දූපතේ විහිදෙන ගුවන් ධාවන පථය සඳහා මාර්ගයක් සාදා ඇත.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය සැමුවෙල් බැෂ්ෆීල්ඩ්ට අනුව, මීටර් 60ක් පළල ගොඩනැගිලි දෙකක් දැකිය හැකි අතර ඉන් එකක අවම වශයෙන් ඉන්දීය නාවික හමුදාවේ P-8I ගුවන් යානයක් නතර කර තැබීමේ ගුවන් අංගනයක් විය හැකි ය.

P-8I යනු සබ්මැරීන සෙවීමට, ප්‍රහාර එල්ල කිරීමට සහ සමුද්‍ර සන්නිවේදන නිරීක්ෂණය කිරීම උදෙසා නවීකරණය කරන ලද Boeing 737 යානයකි. දූපත් වැසියන් දැනටමත් ගුවන් පථයේ නතර කර ඇති යානයේ ඡායාරූප ලබා ගෙන ඇත.

වයඹ දෙසින් නව ජැටිය සාගරය දෙසට ඉදිකර ඇති අතර, එය ඉන්දියානු මුර යාත්‍රාවලට මෙන් ම අගලෙගා වෙත සැපයුම් ගෙන එන නෞකාවට ද භාවිත කළ හැකි බව බැෂ්ෆීල්ඩ් පවසයි.

"නව චන්ද්‍රිකා ඡායාරූප නිකුත් වුණා ම අපිට දැන ගන්න පුළුවන්, ඉන්දියන් සාගර සන්නිවේදනයේ අගලෙගා දූපතේ කාර්යභාරය මොකක් ද කියලා," ඔහු පවසයි.

උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය මෙම මධ්‍යස්ථානය “ආවේක්ෂණ මධ්‍යස්ථානයක්” ලෙස හඳුන්වන අතර මුරුසි දිවයිනේ වෙනත් ප්‍රදේශවල ද ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ලද උපකරණවලට සමාන වෙරළබඩ රේඩාර් නිරීක්ෂණ පද්ධතියක් මෙහි පැවතීමට ඉඩ ඇතැයි පවසයි.

Indian plane on the runway, pictured 9 July 2024

ඡායාරූප මූලාශ්‍රය, L'association les Amis d'Agalega

ඡායාරූප ශීර්ෂ වැකිය, අගලෙගාහි නව ගුවන් ධාවන පථයේ නවතා ඇති ඉන්දියානු නාවික හමුදාවේ P-8I ගුවන් යානයක්

අගලෙගා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙර පළ කර තිබූ ප්‍රකාශ වෙත බීබීසීය අවධානය යොමු කළේ ය. ඉන් එක් ප්‍රකාශයක අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, ඉන්දීය සාගර කලාපයේ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන අභියෝගවලට මුහුණ දෙන ඉන්දියාව සහ මුරුසි රාජ්‍යය සමුද්‍රීය ආරක්ෂාවේ “ස්වාභාවික හවුල්කරුවන්” බව ය.

1970 ගණන්වල සිට දෙරට අතර සමීප ආරක්ෂක සබඳතාවක් පවතී. රටේ ජාතික ආරක්ෂක උපදේශක, වෙරළාරක්ෂක ප්‍රධානියා සහ පොලිස් හෙලිකොප්ටර් බලඝණයේ ප්‍රධානියා යන සියල්ලන් ම ඉන්දියානු ජාතිකයන් සහ ඉන්දියාවේ බාහිර බුද්ධි ඒජන්සියේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීහු වෙති.

ලන්ඩන් කිංග්ස් කොලේජ්හි ඉන්දියා ආයතනයේ මහාචාර්ය හර්ෂ් පැන්ට් පවසන්නේ, “මෙම මධ්‍යස්ථානය මිලිටරි භාවිතයකට වඩා ධාරිතාව වර්ධනය කර ගැනීමේ උත්සහයක් ලෙස” හුවා දැක්වීමට දෙපාර්ශවයට ම අවශ්‍ය වනු ඇති බව ය.

කෙසේ වෙතත්, ඉන්දියාව සහ ඔවුන්ගේ බටහිර මිතුරු රටවල් මේ ගැන අවධානයෙන් සිටින බව රහසක් නොවේ.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි ඉන්දියා ආයතනයේ මහාචාර්ය හර්ෂ් පැන්ට් පවසන්නේ මෙම මධ්‍යස්ථානය “මෙම මධ්‍යස්ථානය මිලිටරි භාවිතයකට වඩා ධාරිතාව ගොඩනැගීමේ එකක් ලෙස” හුවා දැක්වීමට දෙපාර්ශවයටම අවශ්‍ය වනු ඇති බවයි.

ඉන්දීය සාගරය තුළ චීනයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙමින් පවතී.

විශාල රටක් කුඩා මිත්‍ර රටක භූමියේ හමුදා මධ්‍යස්ථානයක් පිහිටුවීම අසාමාන්‍ය දෙයක් නොවූවත්, අගලෙගාහි ඉදිකිරීම් කටයුතු සමහර දූපත් වැසියන්ට පීඩාවක් ගෙන දී ඇත.

දිවයිනේ සමහර පොල්රුප්පාවන් සහ සුදු වැලි සහිත වෙරළ ඇතුළු ප්‍රදේශ ගණනාවක් දැනටමත් වට කර ඇති බව දූපත් වැසියෝ පවසති. ලා ෆෝර්චේ ගම්මානය අවට වර්ධනය වී ඇති ඉන්දියානු යටිතල පහසුකම් විසින් ගම ගිල ගනු ලබන බවටත්, එහි ජීවත් වන පවුල් 10ක් බලහත්කාරයෙන් ඉවත් කරන බවටත් දිගින් දිගට ම කටකතා පවතී.

"මේක සම්පූර්ණයෙන් ම ඉන්දියානුවන්ට සීමාවූ ප්‍රදේශයක් වෙයි," අගලෙගා මිතුරන්ගේ සංගමයේ සභාපති ලැවෙල් සුප්‍රමනියන් පවසයි.

"අගලෙගා චාගෝස් දූපත්වල වගේ ම කතාවක් බවට පත්වෙයි," ඔහු බිය පළ කරයි - 26 හැවිරිදි හස්ත කර්මාන්ත ශිල්පියෙකු වන බිලී හෙන්රි කියා සිටියේ ය, ඔහු චාගෝස් දූපත්වලින් නෙරපා හරින ලද කාන්තාවකගේ පුත්‍රයෙකි.

හෙන්රි පවසන්නේ, “මගේ අම්මට එයාගේ දූපත [අහිමි වුණා]. "ඊළඟට මගේ තාත්තාට."

Agalega's biggest village Vingt-Cinq - there is a narrow white road with small, detached red tin-roofed houses on either side

ඡායාරූප මූලාශ්‍රය, Yohan Henri

ඡායාරූප ශීර්ෂ වැකිය, අගලෙගා අගනුවර Vingt-Cinq ලෙස නම් කර ඇත්තේ වතු වහලුන්ට වරක් ලබා දුන් කස පහරවල් ගණන අනුව ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අගලෙගාහි පදිංචිකරුවන් ගණනාවක් නැගෙනහිරට කිලෝමීටර් 2,000ක් දුරින් පිහිටි චාගෝස් දූපතෙන් නෙරපා හැරීම නිසා අවතැන් වූ පවුල්වල අය වෙති.1965 දී එක්සත් රාජධානි රජය විසින් බ්‍රිතාන්‍ය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එහි විශාලතම දූපත වන ඩියෙගෝ ගාර්ෂියාහි සන්නිවේදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එක්සත් ජනපදයට අවසර ලබා දෙන ලදී. පසුව මෙය ක්‍රමක්‍රමයෙන් අංග සම්පූර්ණ හමුදා කඳවුරක් බවට පත් විය.

අගලෙගාහි සියලු ම ඉඩම් හිමි එක ම සේවායෝජකයා වන රජය සියලු දෙනා පිටව යන තරමට කොන්දේසි පැනවීමට උත්සහ කරන බවට බිලී හෙන්රි බිය පළ කරයි.

සෞඛ්‍ය හා අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, දේශීය ආර්ථිකයේ සීමිත ආයෝජන, රැකියා අවස්ථා හිඟකම සහ ප්‍රදේශ වාසීන්ට තමන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීම තහනම් කිරීම ඊට හේතු ලෙස ඔහු පෙන්වා දෙයි.

මුරුසි රජයේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, කිසිවෙකුට පිටව යන ලෙස නොකියන බවත්, ප්‍රදේශ වාසීන්ට ගුවන්තොටුපළට සහ වරායට ඇතුළුවීම පමණක් වළක්වා ඇති බවත් ය. - මෙම මධ්‍යස්ථානය මුහුදු කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම පාලනය කිරීමට රටට උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය.

අගලෙගා හමුදා කඳවුරක් පවත්වාගෙන යන බවට වන යෝජනා මුරුසිය ප්‍රතික්ෂේප කරන අතර එම දූපත තවමත් ජාතික පොලිසියේ පූර්ණ පාලනය යටතේ පවතින බව අවධාරණය කළේ ය. කෙසේ වෙතත්, ඉන්දියානු වියදමින් ඉදිකරන ලද නව මධ්‍යස්ථානවල "නඩත්තු සහ මෙහෙයුම්" සඳහා ඉන්දියාව සහය වන බව මුරුසි රජය පිළිගනී.

Close up satellite image of the jetty with ships alongside it; the image also shows development on the island

ඡායාරූප මූලාශ්‍රය, Maxar

ඡායාරූප ශීර්ෂ වැකිය, අගලෙගාහි උතුරු කෙළවරේ පුළුල් ඉදිකිරීම් දැකි ය හැකි ය - චන්ද්‍රිකා ඡායාරූපවලින් ජැටිය සහ නතර කළ හැකි යාත්‍රාවල විශාලත්වය පෙන්වයි

මුරුසි සහ ඉන්දීය ආණ්ඩු පවසන්නේ, මුහුදු සහ ගුවන් ප්‍රවාහනය වැඩිදියුණු කිරීම් සැලසුම් කර ඇත්තේ, දූපත් වැසියන්ට ප්‍රතිලාභ ලබා දීමට සහ ඔවුන් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට උපකාරයක් ලෙස බව ය. නමුත් ප්‍රදේශ වාසීන් පවසන්නේ, එවැන්නක් සිදුවී නොමැති බව ය: මුරුසියේ ප්‍රධාන දූපත කරා තවමත් වාර්ෂිකව සිදු කෙරෙන්නේ, මගී යාත්‍රා ගමන් වාර හතරක් වන අතර මගී ගුවන් ගමන් නොමැත.

මුරුසි රජයේ මාධ්‍ය නිවේදනයක් මගින් ශල්‍යාගාර, එක්ස් කිරණ යන්ත්‍ර සහ දන්ත වෛද්‍ය උපකරණ ගැන පුරසාරම් දොඩන නමුත්, ඉන්දියාව විසින් ඉදිකරන ලද නව රෝහල තමන්ට තහනම් බව අගලෙගා වැසියෝ පවසති.

උතුරු දිවයිනේ සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි ප්‍රමාණයට වඩා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වූ පිළිස්සුම් තුවාළ ලැබූ පිරිමි ළමයෙකුට නව රෝහලට ඇතුළු කර ගැනීම ඔක්තෝබර් මාසයේදී ප්‍රතික්ෂේප කළ බව බිලී හෙන්රි පවසයි.

"ඒක ඉන්දියන්කාරයින්ට විතරයි!" ඔහු පවසයි.

එබැවින් තුවාල ලැබූ පිරිමි දරුවා සහ ඔහුගේ දෙමාපියෝ මුරුසියේ ප්‍රධාන දූපත වෙත ගුවන් මගින් පියාසර කළහ. ලවාල් සූප්‍රමනියන් පවසන්නේ, පිරිමි දරුවා තවමත් එහි රෝහල්ගතව සිටින බවත්, ඊළඟ බෝට්ටුව අගලෙගා වෙත යන තෙක් පවුලේ සාමාජිකයින් ප්‍රධාන දූපතේ සිටින බවත් ය.

පිළිස්සුම් තුවාල සහිත පිරිමි දරුවාගේ තත්ත්වය පිළිබඳව කළ විමසීමට මුරුසි රජය ප්‍රතිචාර දැක්වූයේ නැත. ඉන්දීය රජය ද අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

මෑතදී මුරුසි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රමාත්‍ය ප්‍රවින්ද් ජග්නවුත් කියා සිටියේ, අගලෙගාහි සමාජ-ආර්ථික සංවර්ධනය අන් කවරදාටත් වඩා ඔහුගේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ඉහළින් ම පවතින බව ය.

දූපත් වැසියන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපනය, ප්‍රවාහන පහසුකම් සහ විනෝදාස්වාද පහසුකම් වැඩිදියුණු කිරීම සහ ධීවර ක්ෂේත්‍රය සහ පොල් අතුරු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සූරාකෑම් වැළැක්වීම සඳහා “ප්‍රධාන සැලැස්මක්” සකස් කර ඇති බව ඔහු පැවසීය.

නමුත් ඉන්දියාව හෝ මුරුසිය 2015 අවබෝධතා ගිවිසුමේ විස්තර ප්‍රකාශයට පත් නොකිරීම නිසා අවිශ්වාසය අවුළුවයි, එබැවින් අනාගතය සඳහා ඔවුන්ගේ සැලසුම් කිසිවෙක් නොදනිති.