මොසාඩ්: ඊශ්‍රායල් ඔත්තු සේවාව ලැබූ ජයග්‍රහණ සහ පරාජයන් මොනවා ද?

Images of a bullet-ridden car, damaged buildings and an exploded pager sit on top of an Israeli flag වෙඩි වැදුණු මෝටර් රථයක, හානි වූ ගොඩනැගිලිවල සහ පුපුරා ගිය පේජරයක රූප ඊශ්‍රායල ධජයක් මත ඇති ආකාරය.

ඡායාරූප මූලාශ්‍රය, EPA, Getty, Maxar, BBC

දින කිහිපයක සිට ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා කඳවුරු සහ පෞද්ගලික නිවාස ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉලක්ක වූ ස්ථාන අතරින් බොහෝමයක් ඉරානයේ බටහිර ප්‍රදේශයේ සහ ටෙහෙරාන් අගනුවර අවට පිහිටි ඒවා ය.

බොහෝ ප්‍රහාර ගුවනින් එල්ල කළ අතර, ඊශ්‍රායල ඔත්තු ඒජන්සියක් වන මොසාඩ්, ඉලක්ක සොයා ගැනීමට සහ භූමියේ මෙහෙයුම් මෙහෙයවීමට සහය ලබා දී ඇති බව විශ්වාස කෙරේ.

උදාහරණයක් ලෙස, ඉරානයේ ඉතිරිව ඇති ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කිරීම සඳහා මොසාඩ් නියෝජිතයන් රට තුළට හොර රහසේ ගෙන එන ලද ඩ්‍රෝන යානා භාවිත කර ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඊශ්‍රායල් බුද්ධි අංශ තම ආරක්ෂක හමුදා තුළට රිංගා ඇති බවට සැක කරන බව ඉරාන බලධාරීන් මීට පෙර පිළිගෙන තිබිණි.

ජුනි 13 වන දින ඊශ්‍රායල් ප්‍රහාර ආරම්භ වූ දා සිට ප්‍රධාන හමුදා නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් සැලකිය යුතු සංඛ්‍යාවක් සාර්ථකව ඉලක්ක කර ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ ඔවුන් සිටින ස්ථාන පිළිබඳව ඊශ්‍රායලයට බුද්ධි තොරතුරු ලැබී ඇති බව ය.

ඊශ්‍රායලය කලාතුරකින් මොසාඩ් ඔත්තු සේවයේ ක්‍රියාමාර්ග ගැන කතා කරන අතර, වෙනත් බුද්ධි අංශ ඇති බැවින් මොසාඩ් ඉටු කළ කාර්ය භාරය නිශ්චිත වශයෙන් දැන ගැනීම දුෂ්කර ය - නමුත් එහි ප්‍රධාන අතීත මෙහෙයුම් කිහිපයක් ගැන අප දන්නා කරුණු පහත දැක්වේ.

මොසාඩ් ලැබූ ජයග්‍රහණ
Ismail Haniyeh greeting IRGC commander Hossein Salami ඉස්මයිල් හනියේ ඉරාන විප්ලවවාදී බලකායේ ප්‍රධානි හොසේන් සලාමිට සුබ පතමින්.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ (වමේ) සිය ටෙහෙරාන් සංචාරයකදී ඉරාන විප්ලවවාදී අණදෙන නිලධාරී හොසේන් සලාමි (දකුණ) හමුවූ අවස්ථාව. ඔවුන් දෙදෙනා ම ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇත.

හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය

හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ 2024 ජූලි 31 වන දින ටෙහෙරානයේ නිවාඩු නිකේතනයකදී ඝාතනයට ලක්විය.

මුලදී ඊශ්‍රායලය ඝාතනයේ වගකීම භාර නොගත් නමුත් මාස කිහිපයකට පසු ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඝාතනය පිටුපස ඊශ්‍රායලය සිටින බව පිළිගත්තේ ය.

කෙසේ වෙතත්, හනියේගේ මරණය වටා ඇති තත්ත්වයන් තවමත් අපැහැදිලි ය.

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු වන කලීල් අල්-හයියා, හනියේ සමග සිටි සාක්ෂිකරුවන් උපුටා දක්වමින්, මිසයිලයකින් හනියාට "ඍජුව ම" පහර දුන් බව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

නමුත් නිලධාරීන් හත් දෙනෙකු උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක සඳහන් වූයේ, හනියේ ඔහු නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට මාස දෙකකට පෙර හොර රහසේ රැගෙන ආ බෝම්බයකින් ජීවිතක්ෂයට පත්වූ බව ය.

මෙම ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීමට බීබීසීයට නොහැකි වී තිබේ.

2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය විසින් ඝාතනය කරන ලද හමාස් නායකයින් කිහිප දෙනෙකු අතර හනියේ ද එක් අයෙකි. හමාස් සංවිධානයේ ගාසා නායක යහ්යා සින්වාර්, ඔහුගේ සහෝදර මොහොමඩ් සින්වාර්, හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ් සහ ඔහුගේ නියෝජ්‍ය ප්‍රධානී මාර්වාන් ඊසා ඇතුළු තවත් අය ඝාතනයට ලක් විය.

පේජර් පිපිරවීම

Hezbollah fighters carry the coffin of Hussein Amhaz in front of crowds

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සන්නිවේදන උපකරණයක් පුපුරා යාමෙන් මිය ගිය හිස්බුල්ලා සටන්කරුවෙකුගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරුණු හැටි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2024 සැප්තැම්බර් 17 වන දින, ලෙබනනය පුරා, ප්‍රධාන වශයෙන් ශක්තිමත් හිස්බුල්ලා පැවැත්මක් ඇති ප්‍රදේශවල, පේජර් දහස් ගණනක් එකවර පුපුරා ගියේ ය. මෙම පිපිරීම් මගින් පේජර් භාවිත කළ පුද්ගලයින් සහ අවට සිටි ඇතැම් පුද්ගලයින් තුවාල ලබා හෝ මිය ගිය අතර, භීතිය හා ව්‍යාකූලත්වය පැතිර ගොස් තිබිණි.

ඊට පසුදින වෝකි ටෝකි යන්ත්‍ර ඒ ආකාරයෙන් ම පුපුරා ගොස් තවත් සිය ගණනක් මිය ගොස් තුවාල ලැබී ය.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුමක් පැවති අතර, ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් දිනකට පසු හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල් ස්ථාන වෙත වෙඩි තැබීම හේතුවෙන් එය තවත් උත්සන්න විය.

මාස දෙකකට පසු, ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බව අගමැති නෙතන්යාහු පිළිගත් බව ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කළේ ය.

බීබීසීයේ එක්සත් ජනපද මාධ්‍ය හවුල්කරු වන CBS සමග සම්මුඛ සාකච්ඡාවකදී, හිටපු නියෝජිතයන් දෙදෙනෙකු මෙහෙයුම පිළිබඳ තොරතුරු හෙළි කරමින් කියා සිටියේ මොසාඩ් සංවිධානය වෝකි-ටෝකි බැටරි තුළ පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති බවත්, ඒවා සාමාන්‍යයෙන් කබාවල හදවතට ආසන්න ප්‍රදේශයේ පැළඳ සිටින බවත් ය.

හිස්බුල්ලා සංවිධානය නොදැනුවත්ව ම වසර 10කට පෙර ව්‍යාජ සමාගමකින් "හොඳ මිලකට" වෝකි ටෝකි 16,000කට වඩා මිල දී ගෙන ඇති බව නියෝජිතයන් පැවසූ අතර පසුව පේජර් 5,000ක් ද මිලදී ගත් බව CBS වාර්තා කර තිබේ.

පිපිරීම් නිසා ලෙබනනය කම්පනයට පත්වූ අතර, මිනිසුන් පේජර් රැගෙන ගිය සුපිරි වෙළෙඳසල් වැනි බොහෝ ස්ථානවල ඒවා පුපුරා ගියේ ය.

රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආබාධිත තත්ත්වයට පත් වූහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස හැඳින්වීය.

මොහ්සෙන් ෆක්රිසාඩේ ඝාතනය

A car with bullet holes in the windscreen වීදුරුවේ වෙඩි උණ්ඩ සිදුරු සහිත මෝටර් රථයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

2020 නොවැම්බර් මාසයේදී, ඉරානයේ ප්‍රමුඛතම න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වන මොහ්සෙන් ෆක්රිසාඩේ රැගත් රථ පෙළක්, ටෙහෙරාන් අගනුවරට නැගෙනහිරින් පිහිටි අබ්සාර්ඩ් නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක් විය.

කෘත්‍රිම බුද්ධියේ සහය ඇතිව ක්‍රියාත්මක වූ දූරස්ථ පාලක මැෂින් තුවක්කුවක ආධාරයෙන් ෆක්රිසාඩේ ඝාතනය කරන ලදී.

සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදු නොකර, ගමන් කරමින් සිටි ඉලක්කයක් මෙතරම් නිවැරදිව සාර්ථක කර ගැනීම සඳහා භූමියෙන් තත්‍ය කාලීන බුද්ධි තොරතුරු අවශ්‍ය බව එවකට බීබීසී පර්සියානු සේවයේ ජියාර් ගෝල් සඳහන් කළේ ය.

2018 අප්‍රේල් මාසයේදී, ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ යැයි කියනු ලබන ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කළ අතර, ඔහු පැවසුවේ, ටෙහෙරානයේ සිට කිලෝමීටර 30ක් දුරින් පිහිටි ගබඩාවක් වැටලීමේදී මොසාඩ් සංවිධානය විසින් මාස කිහිපයකට පෙර ඒවා සොරකම් කරන ලද බව ය. (මෙය පසුව ඉරාන ජනාධිපති හසන් රෝහානි විසින් තහවුරු කරන ලදී).

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ඊශ්‍රායල් අගමැතිවරයා ලේඛන පෙන්වමින් මොහ්සෙන් ෆක්රිසාඩේ රහසිගත න්‍යෂ්ටික අවි වැඩසටහනකට සම්බන්ධ බව පැවසීය.

"ආචාර්ය මොහ්සෙන් ෆක්රිසාඩේ... ඒ නම මතක තියාගන්න," ඔහු අවධාරණය කළේ ය.

2010 සහ 2012 අතර කාලය තුළ තවත් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් සිව් දෙනෙකු ඝාතනය කළ බවට ඉරානය මීට පෙර ඊශ්‍රායලයට චෝදනා කර තිබිණි.

නාසි නිලධාරියෙකු වූ ඇඩොල්ෆ් අයිෂ්මන් දඩයම් කිරීම

Adolf Eichman behind a bar with a security official in uniform behind him

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇඩොල්ෆ් අයිෂ්මන් ඊශ්‍රායලයේදී සිය නඩුවට පෙනී සිටිමින්

1960 වසරේදී නාසි නිලධාරියෙකු වූ ඇඩොල්ෆ් අයිෂ්මන් ආර්ජන්ටිනාවේ සිට පැහැරගෙන යාම මොසාඩ් ආයතනයේ වඩාත් ම කීර්තිමත් බුද්ධිමය සාර්ථකත්වයන් අතරින් එකකි.

දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය විසින් මිලියන හයක් පමණ යුදෙව්වන් ඝාතනය කරන ලද සමූල ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වූයේ අයිෂ්මන් ය.

ඊශ්‍රායල් ග්‍රහණයෙන් මිදීමය රටවල් කිහිපයක් අතර සැරිසැරීමෙන් පසුව, අයිෂ්මන් අවසානයේ ආර්ජන්ටිනාවේ පදිංචි විය.

මොසාඩ් නියෝජිතයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහුව ලුහුබැඳ ගොස් පැහැරගෙන ඊශ්‍රායලයට රැගෙන ආ අතර එහිදී ඔහු නඩු විභාගයකින් අනතුරුව මරා දමන ලදී.

එන්ටෙබේ මෙහෙයුම

A woman is supported as she is led through crowds

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්ටෙබේ ගුවන් යානයේ ප්‍රාණ ඇපකරුවෝ සතියක් රඳවාගෙන සිට පසුව නිදහස් කරනු ලැබූහ.

1976 උගන්ඩාවේ එන්ටෙබේ මෙහෙයුම ඊශ්‍රායලයේ සාර්ථක ම යුද්ධ මෙහෙයුමක් ලෙස සැලකේ.

මොසාඩ් ආයතනය ඔත්තු සේවා සැපයූ අතර ඊශ්‍රායල් හමුදාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කළේ ය.

ටෙල් අවිව් සිට ඇතන්ස් හරහා පැරිස් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයකින් ප්‍රාණ ඇපකරුවන් 100ක් බේරා ගැනීමට ඊශ්‍රායල කමාන්ඩෝ හමුදා සමත් විය. මෙම යානයේ ඊශ්‍රායල ජාතිකයින් 103 දෙනෙකු ඇතුළුව මගීන් 250ක් සිට ඇත.

ඊශ්‍රායල කමාන්ඩෝ භටයින් ගුවන් තොටුපළට කඩා වැදී ඉතිරි ඊශ්‍රායල සහ යුදෙව් ප්‍රාණ ඇපකරුවන් 100 දෙනා බේරා ගත්හ.

ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙක්, කොල්ලකරුවෝ, උගන්ඩා සොල්දාදුවන් කිහිප දෙනෙක් සහ ප්‍රධාන අණදෙන නිලධාරී යොනාටන් නෙතන්යාහු (ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහෝදරයා) වැටලීමේදී මිය ගියහ.

සොහොයුරු මෙහෙයුම

A male Mosad agent stands next a Landrover full of Ethiopian Jews being smuggled from Sudan

ඡායාරූප මූලාශ්‍රය, Raffi Berg

ඡායාරූප ශීර්ෂ වැකිය, සුඩානයේ සිට හොර රහසේ ගෙන එන ඉතියෝපියානු යුදෙව්වන්ගෙන් පිරුණු වාහනයක් අසල මොසාඩ් නියෝජිතයෙක් සිටී

රැවටීමේ ක්‍රියාවක් ලෙස, 1980 ගණන්වල මුල් භාගයේදී, මොසාඩ් - අගමැති මෙනචෙම් බෙගින්ගේ උපදෙස් මත ක්‍රියා කළේ ය - ව්‍යාජ කිමිදුම් නිවාඩු නිකේතනයක් ආවරණයක් ලෙස භාවිත කරමින්, ඉතියෝපියානු යුදෙව්වන් 7,000කට වැඩි සංඛ්‍යාවක් සුඩානය හරහා ඊශ්‍රායලයට රැගෙන යනු ලැබූහ.

සුඩානය සතුරු අරාබි ලීගයේ රටක් වූ බැවින් රහසිගතව ක්‍රියාත්මක වූ මොසාඩ් නියෝජිතයින් කණ්ඩායමක් සුඩානයේ රතු මුහුදේ වෙරළ තීරයේ නිවාඩු නිකේතනයක් පිහිටුවා ගත් අතර එය ඔවුහු කඳවුරක් ලෙස භාවිත කළහ.

ඔවුන් දිවා කාලයේදී හෝටල් සේවක සේවිකාවන් ලෙස වෙස්වලා ගත් අතර රාත්‍රියේදී ඔවුන් අසල්වැසි ඉතියෝපියාවේ සිට රහසිගතව ගුවනින් සහ මුහුදෙන් රටින් පිටවූ යුදෙව්වන් හොර රහසේ රැගෙන ගියහ.

මෙහෙයුම අවම වශයෙන් වසර පහක්වත් පැවති අතර, එම මෙහෙයුම අනාවරණය වන විට මොසාඩ් නියෝජිතයන් පළා ගොස් තිබිණි.

මියුනික් ඔලිම්පික් පැහැර ගැනීම්වලින් පසු පළිගැනීම

Members of the Israeli team march on the field of the Munich Olympic stadium on 6 September 1972 to attend the memorial ceremony paying tribute to their countrymen killed by Palestinian militants

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන සටන්කාමීන් විසින් ඝාතනය කරන ලද තම රට වැසියන්ට උපහාර දැක්වීමේ අනුස්මරණ උත්සවයකට සහභාගී වීමට ඊශ්‍රායල කණ්ඩායමේ සාමාජිකයින් මියුනික් ඔලිම්පික් ක්‍රීඩාංගණයට පාගමනින් ගියහ.

1972 වසරේදී පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන Black September මියුනික් ඔලිම්පික් උළෙලේදී ඊශ්‍රායල් ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු මරා දමා තවත් නව දෙනෙක් ග්‍රහණයට ගනු ලැබූහ.

පසුව බටහිර ජර්මානු පොලිසිය විසින් ඔවුන් ගලවා ගැනීමේ අසාර්ථක උත්සහයකදී ක්‍රීඩකයින් පිරිස මිය ගියහ.

Portraits of the eleven Israeli athletes and coaches slain in West Germany at the 1972 Olympic Games. They are (top left to right): Yosef Gutfreund, 40; Moshe Weinberg, 33: Yoseph Romano, 32; David Berger, 28; Mark Slavin, 18; Yaacov Springer, 52; (bottom left to right): Ze'ev Friedman, 28; Amitsur Shapira, 40; Eliezer Halfin, 24; Kehat Schorr, 53; Andre Spitzer, 27

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1972 වසරේදී පලස්තීන තුවක්කුකරුවන් පිරිසක් ඊශ්‍රායල් ඔලිම්පික් කණ්ඩායම රැඳී සිටි ස්ථානයට කඩා වැදී ඊශ්‍රායල් ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනෙකු මරා දැමූහ.

ඉන් වසර ගණනාවකට පසු, මොසාඩ් ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කරන ලද මහමුද් හම්ෂාරි ඇතුළු පිරිස ඉලක්ක කළේය.

පැරිසියේ පිහිටි ඔහුගේ මහල් නිවාසයේ දුරකතනයේ සවිකර තිබූ පුපුරණ ද්‍රව්‍යයකින් ඔහු මිය ගියේ ය.

එම පිපිරීමෙන් හම්ෂාරිගේ පාදයක් අහිමි වූ අතර අවසානයේ තුවාල හේතුවෙන් ඔහු මරණයට පත්විය.

යහ්යා අයියාෂ් සහ දුරකතන පිපිරීම

Yahya Ayyash's photo on a billboard

ඡායාරූප මූලාශ්‍රය, EPA

1996 වසර්දී ද එවැනි ම මෙහෙයුමකදී හමාස් සංවිධානයේ ප්‍රධාන බෝම්බ නිෂ්පාදකයෙකු වූ යහ්යා අයියාෂ් ඝාතනය කරන ලද්දේ, Motorola Alpha ජංගම දුරකතනයකට පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පුරවා තිබීමෙනි.

හමාස් හමුදා අංශයේ ප්‍රමුඛ නායකයෙකු වන අය්යාෂ්, ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව බෝම්බ තැනීම සහ සංකීර්ණ ප්‍රහාර සැලසුම් කිරීමේ විශේෂඥතාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් විය.

එමගින්, ඔහු ඊශ්‍රායලයට වඩාත් ම අවශ්‍ය පුද්ගලයෙකු බවට පත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සියේ මූලික අවධානය යොමු විය.

2019 වසරේ අගභාගයේදී, ඊශ්‍රායලය ඔහුගේ ඝාතනයේ ඇතැම් තොරතුරු මත පනවා තිබූ වාරණය ඉවත් කළ අතර ඊශ්‍රායලයේ චැනල් 13 රූපවාහිනිය ඔහුගේ පියා සමග අය්යාෂ්ගේ අවසන් දුරකතන ඇමතුමේ පටිගත කිරීමක් විකාශය කළේ ය.

හම්ෂාරි සහ අයියාෂ් යන දෙදෙනාගේ ම ඝාතන, ඉලක්කගත ඝාතන සඳහා දියුණු තාක්ෂණය භාවිත කිරීමේ දීර්ඝ හා සංකීර්ණ ඉතිහාසයක් ඉස්මතු කරයි.

මහ්මූද් අල්-මබූහ්: ගෙළ සිර කර මරා දැමීම

Mahmoud al-Mabhouh's images on a poster

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහමුද් අල්-මබූහ් විදුලි සැර වද්දවා පසුව ගෙල සිරකර මරා දමන ලදී.

2010 වසරේදී, හමාස් ජ්‍යේෂ්ඨ නායකයෙකු වූ මහ්මූද් අල්-මබූහ් ඩුබාහි හෝටලයක් තුළදී ඝාතනය කරන ලදී.

මුලදී එය ස්වභාවික මරණයක් ලෙස පෙනුණ ද අවසානයේ නිරීක්ෂණ දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු ඝාතන කණ්ඩායම හඳුනා ගැනීමට ඩුබායි පොලිසියට හැකි විය.

පසුව පොලිසිය අනාවරණය කළේ, අල්-මබූහ් විදුලි සැර වැදී ඝාතනය කර පසුව ගෙළ සිරකර ඇති බව ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික කෝපයට හේතු වූ මෙම මෙහෙයුම මොසාඩ් සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ බවට සැක කරන ලදී.

කෙසේ වෙතත්, ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින් කියා සිටියේ ප්‍රහාරයට මොසාඩ් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ය.

කෙසේ වෙතත්, ඔවුන් ඊට සම්බන්ධයක් ඇති බව ප්‍රතික්ෂේප කළේ නැත, එය එවැනි කාරණා සම්බන්ධයෙන් "අපැහැදිලි භාවය" පවත්වා ගැනීමේ ඊශ්‍රායල ප්‍රතිපත්තියට අනුකූල වේ.

අසාර්ථක වූ ඝාතන උත්සහයන්

සාර්ථක මෙහෙයුම් රැසක් පැවතිය ද, මොසාඩ් සංවිධානය ප්‍රසිද්ධියේ අසාර්ථක වූ මෙහෙයුම් ද තිබේ.

හමාස් දේශපාලන නායක ඛලීඩ් මෙෂාල්

Khaled Meshal speaking at a press conferece

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඛලීඩ් මෙෂාල් 1996 සිට 2017 දක්වා හමාස් සංවිධානයේ දේශපාලන නායකයා ලෙස කටයුතු කළේ ය.

බරපතළ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට තුඩු දුන් මෙහෙයුමක් වූයේ, 1997 දී හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වූ ඛලීඩ් මෙෂාල් ජෝර්දානයේදී වස පානය කරවා ඝාතනය කිරීමට ඊශ්‍රායලය දැරූ උත්සහය යි.

ඊශ්‍රායල් නියෝජිතයන් අල්ලාගත් විට එම මෙහෙයුම අසාර්ථක වූ අතර, මෙෂාල්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රතිවිෂ සැපයීමට ඊශ්‍රායලයට බල කෙරිණි.

එවකට මොසාඩ් ප්‍රධානියා වූ ඩැලී යාටොම්ට මෙෂාල්ට ප්‍රතිකාර සැපයීම සඳහා ජෝර්දානයට යාමට සිදු විය.

මෙම ඝාතන තැත හේතුවෙන් ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර සබඳතා සැලකිය යුතු ලෙස පළුදු විය.

හමාස් නායක මහ්මූද් අල්-සහාර්

Mahmoud al-Zahar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහ්මූද් අල්-සහාර් මොසාඩ් ආයතනයට වඩාත් අවශ්‍යව සිටි හමාස් නායකයෙකු විය.

2003 වසරේදී ඊශ්‍රායලය හමාස් නායක මහමුද් අල්-සහර්ගේ ගාසා නගරයේ පිහිටි නිවස ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ ය.

ප්‍රහාරයෙන් අල්-සහාර් දිවි ගලවා ගත්ත ද, එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ බිරිඳ සහ පුත් ඛලීඩ් සහ තවත් කිහිප දෙනෙකු මරණයට පත්වීම යි.

ජනාකීර්ණ ප්‍රදේශවල හමුදා මෙහෙයුම්වල දරුණු ප්‍රතිවිපාක ඉස්මතු කරමින් එම බෝම්බ ප්‍රහාරයෙන් ඔහුගේ නිවස සම්පූර්ණයෙන් ම විනාශ විය.

ලැවෝන් අෆෙයාර් (The Lavon affair)

Egyptian President Gamal Abdel Nasser announcing the nationalization of the Suez Canal

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් සූවස් ඇළ ජනසතු කිරීම නිවේදනය කිරීම

1954 වසරේදී, ඊජිප්තු බලධාරීන් ඔපරේෂන් සුසානා ලෙස හැඳින්වූ ඊශ්‍රායල ඔත්තු බැලීමේ මෙහෙයුමක් දියත් කළේ ය.

අසාර්ථක වූ සැලැස්ම වූයේ, සූවස් ඇළෙහි ස්ථානගත කර ඇති සිය හමුදා පවත්වාගෙන යාමට එක්සත් රාජධානියට බලපෑම් කිරීම සඳහා ඊජිප්තුවේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය මධ්‍යස්ථානවල බෝම්බ ඇටවීම යි.

මෙම සිද්ධිය එවකට ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය පින්හැස් ලැවෝන්ගේ නමින් නම් කරන ලද Lavon Affair ලෙස ප්‍රසිද්ධ විය.

මෙහෙයුම සැලසුම් කිරීමට ඔහු සම්බන්ධ වූ බවට විශ්වාස කෙරිණි.

මොසාඩ් ආයතනය සමහර ව්‍යසනකාරී බුද්ධිමය අසාර්ථකත්වයන්ට ගොදුරු වූවක් ලෙස ද සැලකේ.

යොම් කිපූර් යුද්ධය

Two Israeli troops look across across the Suez Canal in October 1973 during the 1973 Arab Israeli War

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අරාබි - ඊශ්‍රායල් යුද්ධය අතරතුර 1973 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල් යුද්ධ භටයින් සූවස් ඇළ තරණය කරමින්.

1973 ඔක්තෝබර් 6 වන දා ඊජිප්තුව සහ සිරියාව සීනායි අර්ධද්වීපය සහ ගෝලාන් කඳුකරය නැවත ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් දියත් කළේ ය.

යුද්ධයේ මුල් දිනවල යුදෙව්වන්ගේ සමාව දීමේ දිනයේ (Jewish Day of Atonement) යොම් කිපූර් වෙත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඊශ්‍රායලය ආරක්ෂා විය.

ඊජිප්තුව සහ සිරියාව පෙරමුණු දෙකකින් ඊශ්‍රායලයට පහර දුන්නේ ය.

ඊජිප්තු හමුදා සූවස් ඇළ තරණය කළ අතර, අපේක්ෂිත ජීවිත හානි සංඛ්‍යාවට වඩා අඩු හානියක් ලබමින්, සිරියානු හමුදා ඊශ්‍රායල ස්ථාන වෙත ප්‍රහාර එල්ල කර ගෝලාන් හයිට්ස් වෙත කඩා වැදුණේ ය.

සෝවියට් සංගමය සිරියාවට සහ ඊජිප්තුවට අවශ්‍ය සැපයීම් කළ අතර ඇමෙරිකාව ඊශ්‍රායලයට හදිසි සැපයුම් මාර්ගයක් සැපයීය.

ඊශ්‍රායලයට එම හමුදා පලවා හැරීමට හැකි වූ අතර යුද්ධය අවසන් වූයේ, ඔක්තෝබර් 25 වන දා ය - ඒ, යුද්ධය නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යෝජනාවකින් දින හතරකට පසුව ය.

2023 ඔක්තෝබර් 7 ප්‍රහාරය

هجوم السابع من أكتوبر

ඡායාරූප මූලාශ්‍රය, AFP

වසර 50කට පමණ පසු, ඊශ්‍රායලය නැවතත් හදිසි ප්‍රහාරයකින් පුදුමයට පත් වූ අතර, මෙවර හමාස් විසින් 2023 ඔක්තෝබර් 7 වන දින ගාසා දේශ සීමාව අසල ඊශ්‍රායල් නගර වෙත ප්‍රහාර එල්ල කරන ලදී.

ප්‍රහාරය පුරෝකථනය කිරීමට මොසාඩ් අසමත් වීම විශාල ව්‍යසනයක් ලෙස සලකනු ලබන අතර, විශ්ලේෂකයින්ට අනුව, හමාස් සංවිධානය පිළිබඳ ඊශ්‍රායලයේ වැළැක්වීමේ ප්‍රතිපත්තියේ දුර්වලතාවක් පිළිබිඹු කරයි.

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පුද්ගලයින් 1200ක් පමණ මිය ගිය අතර, ඉන් වැඩි පිරිසක් සිවිල් වැසියන් බව ඊශ්‍රායල් බලධාරීහු පවසති. තවත් 251 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස නැවත ගාසා වෙත ගෙන යන ලදී.

හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායලය ගාසා තීරයේ යුද්ධයක් ආරම්භ කළ අතර, මේ වන විට 40,000කට අධික මරණ සංඛ්‍යාවක් සිදුවී ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය සිවිල් වැසියන් බව ගාසාහි හමාස් පාලනය යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.