හිස්බුල්ලා සාමාජිකයින් සතුව තිබූ පේජර් පුපුරා ගියේ කෙසේ ද?

A file picture of a pager

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පේජරයක පින්තූරයක්

හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් සන්නිවේදනය සඳහා භාවිත කරන ලද පේජර් සහ වොකි ටෝකි උපකරණ ඉකුත් අඟහරුවාදා සහ බදාදා එකවර ම ලෙබනනය පුරා පුපුරා යාමෙන් පසු එරට වැසියන් දහස් ගණනක් තුවාල ලැබූහ.

පිපිරීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 3000 ක් පමණ තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පැවසෙයි.

පිපිරීම් සිදුවූයේ කෙසේ ද? යන්න පැහැදිලි නොමැති වුව ද, හිස්බුල්ලා සංවිධානය තම විරුද්ධවාදියා වන ඊශ්‍රායලයට දොස් පවරා ඇත. ඊශ්‍රායල බලධාරීන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත.

පේජර් යනු රැහැන් රහිත විද්‍යුත් සන්නිවේදන උපාංගයක් වන අතර, එහි පණිවුඩ තිරය මත අක්ෂරවලින් දිස්වන අතර එයට හඬ පණිවිඩ ද ග්‍රහණය කර ගත හැක.

රෝහල් සහ හදිසි සේවාවන්වලදී එය නිරන්තරයෙන් භාවිතයට හුරු වී තිබුණ ද, 2000 වර්ෂයෙන් පසුව ජංගම දුරකතන මගින් පේජර් උපකරණයේ සේවාවන් අභිබවා යාමෙන් පසු දැන් එම තාක්‍ෂණය ගැන කතාබහට ලක් වන්නේ කලාතුරකිනි.

පේජර් පුපුරා ගියේ කෙසේ ද?

මෙම ප්‍රහාරය එල්ල වූ ආකාරය පිළිබඳව අනුමාන පළ කර ඇති නමුත් ලෙබනන් ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, පිපිරුණු පේජර් තුළ ඩෙටනේටර් සහිත පුපුරණ ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් තැන්පත් කර තිබූ බව ය. කෙටි පණිවිඩයක් යැවීමෙන් පිපිරීම් සිදුවී ඇති බවක් පෙනෙන්නට තිබිණි.

සන්නද්ධ කණ්ඩායම විසින් ගෝල්ඩ් ඇපලෝ සමාගමෙන් පේජර් 5,000ක් ඇණවුම් කර ඇති බවත්, ඒවා මෙම වසර මුලදී රට තුළට ගෙන එන ලද බවටත් අදාළ ආරක්ෂක අංශ ප්‍රකාශකයා පැවසීය.

සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ හිටපු යුදෝපකරණ විශේෂඥයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, ව්‍යාජ විද්‍යුත් උපාංගයක් තුළ සැඟවූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් මෙම උපාංග තුළ අසුරා තිබෙන්නට ඇති බව ය.

කෙටි පණිවිඩයක් ලෙස යවන ලද සංඥාවකින් අනතුරුව පේජර් යන්ත්‍ර සක්‍රීය වන්නට ඇති බව එම විශේෂඥයා පැවසීය.

කෙසේ වෙතත්, Gold Apollo නමැති තායිවාන සමාගම ඊට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවට ප්‍රකාශ කළේ, මෙම පේජර් යන්ත්‍ර හංගේරියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ඒවා බව පවසමිනි.

Ambulances overwhelmed the roads of Beirut late into the night on Tuesday.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරුවාදා රාත්‍රිය වන තුරු බේරූට්හි මාර්ග පුරා ගිලන්රථ ගමන් කළ අතර - පිපිරීම් කෙතරම් බරපතළ ද යන්න ඉන් පැහැදිලි වෙයි

පේජර් යනු කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දුම්වැටි පැකට්ටුවක ප්‍රමාණයෙන් යුක්ත මෙම අඩු තාක්‍ෂණික මෙවලම පෙට්ටියක හැඩයෙන් යුක්ත අතර ඉක්මන් පරිශීලනය සඳහා සාමාන්‍යයෙන් ගාංචුවල ආධාරයෙන් බඳ පටියට සවි කර තිබේ.

ඒවා ක්‍රියා කරන්නේ, අධිබලැති සම්ප්‍රේෂක සමග එක්වීමෙනි - ජංගම දුරකතන සංඥා කුලුනු මෙන් නොව විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට ඔබට ඒවා විශාල සංඛ්‍යාවක් අවශ්‍ය නොවේ.

රේඩියෝ මධ්‍යස්ථාන ක්‍රියාකරන ආකාරයට උස ස්ථානයක පිහිටි මධ්‍යස්ථානයක ස්ථානගත කර ඇති ට්‍රාන්ස්මීටරයක් හරහා පේජර් සඳහා සංඛ්‍යාත පණිවිඩ නිකුත් කරනු ලැබේ.

පේජර් භාවිතා කරන්නන් සෑම විට ම ඔවුන්ගේ සංඛ්‍යාතය මත ලැබෙන නව පණිවිඩවලට සවන් දෙන අතර බොහෝ පේජර් භාවිත කරන්නන්ට තොරතුරු පමණක් ලබා ගත හැක - ඔවුහු කිසිදු සංඥාවක් නිකුත් නොකරති.

ජංගම දුරකතනවලට වඩා ඔවුන් පේජර් සඳහා කැමැත්තක් දක්වන්නේ පේජර් භාවිත කරන්නන් GPS හෝ වෙනත් ක්‍රම මගින් සොයාගත නොහැකි බැවිනි.

පේජර් උපකරණයකට පණිවිඩයක් ලැබුණු විට, එය බීප් හඬක් සහ කම්පනයක් ඇති කරන අතර, එහි කෙටි අකුරු කිහිපයක් පමණක් දර්ශනය වේ. සාමාන්‍යයෙන් පණිවිඩය ලැබෙන ග්‍රාහකයාට අදාළ පුද්ගලයාට නැවත අමතන ලෙස හෝ අදාළ ස්ථානයකට යන ලෙස ඉල්ලා සිටී.

A female doctor reads pager message. She is wearing the pager on her hip.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තා වෛද්‍යවරියක පේජර් පණිවිඩය කියවමින්. ඇය ඇගේ ඉනෙහි පේජර් උපකරණය පැළඳ සිටී.

පුපුරා ගිය ස්ථානවල දර්ශනවලින් හඳුනාගත් ඇතැම් පේජර් තායිවාන සමාගමක් වන ගෝල්ඩ් ඇපලෝ විසින් සාදන ලද රග්ඩ් පේජර් AR924 බව බීබීසී සයිබර් වාර්තාකරු ජෝ ටයිඩි පවසයි.

සමාගම විසින් අදාළ මාදිලිය දැක්වෙන වෙබ් පිටුව සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බව පෙනේ. නමුත් Wayback Machine නමින් හැඳින්වෙන වෙබ් අඩවිවල තොරතුරු ඡායාරූප ලෙස ගබඩා කරනු ලබන මෘදුකාංගය මගින් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට අදාළ නිෂ්පාදනය පෙන්නුම් කරන අතර එම පේජරය දූවිලි සහ ජල ආරක්ෂණය සමග පැහැදිලිවම ශක්තිමත් එකක් බව එහි සඳහන් කර තිබූ බව අපගේ වාර්තාකරු පවසයි.

එහි ඇති ලිතියම් බැටරියට එක් ආරෝපණයකින් දින 85ක් දක්වා වන ආයු කාලයක් ද ඇත.

උපාංග විකෘති කළ බවට සැක පළ කිරීම සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව සමාගම පවසයි.

හිස්බුල්ලා සංවිධානය පේජර් භාවිත කරන්නේ ඇයි?

හිස්බුල්ලා යනු දේශපාලනික වශයෙන් බලගතු ෂියා මුස්ලිම් සංවිධානයක් වන අතර එය ලෙබනනයේ බලවත් ම සන්නද්ධ හමුදාව වේ.

එහි සන්නද්ධ අංශය ලෙබනනයේදී ඊශ්‍රායලය සහ ඇමෙරිකානු හමුදා වෙත මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇත.

බටහිර රාජ්‍යයන්, ඊශ්‍රායලය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය සහ අරාබි ලීගය විසින් මෙම කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබ ඇත.

බීබීසී අරාබි පුවත් සේවය පවසන්නේ, හිස්බුල්ලා අඩු තාක්‍ෂණික උපකරණයක් වන පේජර් භාවිත කරන්නේ ඊශ්‍රායලයේ නිරීක්ෂණ පද්ධතිය මග හැරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බැවිනි.

හිස්බුල්ලා සහ ස්මාර්ට් ෆෝන්

මුලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ඊශ්‍රායලය ඔවුන්ගේ දුරකතන ලුහුබඳිමින් සිටින බවට හිස්බුල්ලා සංවිධානය පසුගිය වසරේ මුල් භාගයේ සිට සැක කිරීමට පටන් ගත් බව ය.

එබැවින් මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට ඔවුහු සිය සටන්කරුවන් මෙහෙයුම් සිදු කරන විට සිය දුරකතන භාවිත කිරීම තහනම් කළහ.

ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා දේශපාලඥයන් ද රැස්වීම්වලට දුරකතන රැගෙන ඒමෙන් වැළකී සිටි අතර, ඊශ්‍රායල් ඔත්තුකරුවන්ට වඩා දුරකතන අනතුරුදායක බව කණ්ඩායමේ නායකයා අනතුරු ඇඟවීය.

පටිගත කොට විකාශනය කළ කතාවකදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා සිය ආධාරකරුවන්ට පැවසුවේ ඔවුන්ගේ දුරකතන කඩා දමන්න, වළදමන්න හෝ නැත්නම් යකඩ පෙට්ටියක දමා අගුළු දමන්න යනුවෙනි.

ඒ වෙනුවට, ඔවුන් පේජර් භාවිත කිරීමට තීරණය කලහ. එහෙත්, එක් විශ්ලේෂකයෙකු පවසන්නේ හිස්බුල්ලා සිය ආධාරකරුවන්ට ජංගම දුරකතන භාවිතය පිළිබඳව සිදුකළ අනතුරු ඇඟවීම ඉතා ප්‍රසිද්ධියට පත් වූ බව ය.

"හිස්බුල්ලා නිසැකයෙන් ම ලෝකයට පෙන්වුයේ ඔවුන් ජංගම දුරකතනවල සිට පේජර් දක්වා මාරුවෙමින් සිටින බව යි," ඩමිස් හි සයිබර් ආරක්ෂක කතුවරයා වන ජෝසප් ස්ටයින්බර්ග් රොයිටර් වෙත පැවසීය.

"ඔබ ඒ මගින් සිය ප්‍රතිවාදියාට සහ වෙනත් විරුද්ධවාදීන්ට නිසැකයෙන් ම පවසන්නේ හිස්බුල්ලා ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ තාක්‍ෂණයන් ද යන්නයි."

බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් පවසන්නේ, 1996 වසරේදී ඊශ්‍රායල් අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය වන ෂින් බෙට් විසින් ප්‍රමුඛ පෙළේ හමාස් බෝම්බ නිෂ්පාදකයෙකු වූ යාහ්යා අය්යාෂ් ඝාතනය කළේ ඔහුගේ ජංගම දුරකතනයේ සිදුකළ විකෘති කිරීමකින් සිදුවූ පිපිරීමක් හේතුවෙන් බව ය. එහිදී, ඔහු ක්ෂණිකව මිය ගියේ ය.

හංගේරියාවට අභිරහස් මාර්ගයක්

තායිවාන පොලිස් නිලධාරීන් තායිපේ නගරයේ ගොඩනැගිල්ලකට ඇතුළු වන විට වාර්තාකරුවන් පිරිසක් ඡායාරූප ගනිමින් සිටින අයුරු. A group of reporters is taking pictures as Taiwan police officers enter a building in Taipei.

ඡායාරූප මූලාශ්‍රය, JOY CHIANG/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිවානයේ තායිපේ පොලිසිය විසින් ගෝල්ඩ් ඇපලෝ පේජර් සමග ඇති සම්බන්ධය පිළිබඳ විමර්ශනය කරයි

පුපුරා ගිය පේජර් දැන් තායිවානයේ සිට හංගේරියාව දක්වා අභිරහස් මාර්ගයක් නිර්මාණය කර ඇත.

ගෝල්ඩ් ඇපලෝ සමාගම ක්ෂණිකව නිවේදනය කළේ, එම පේජර් නිපදවා ඇත්තේ බුඩාපෙස්ට්හි පිහිටි BAC නම් සමාගමක් බවත් සිය වෙළෙඳ නාමය භාවිත කිරීමට ඔවුන් බලපත්‍ර ලබා ඇති බවත් ය.

රොයිටර් පුවත් ඒජන්සියට අනුව බුඩාපෙස්ට්හි පිහිටි BAC උපදේශන සමාගමේ ලිපිනය පිහිටා ඇත්තේ තදාසන්න ප්‍රදේශයක පිහිටි ජනාකීර්ණ වීදියක වූ පීච් පැහැයෙන් යුක්ත වූ ගොඩනැගිල්ලකයි.

අදාළ සමාගමේ නම වීදුරු දොරක වූ කඩදාසියක සටහන්ව ඇත. ගොඩනැගිල්ලේ සිටි සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමති වූ පුද්ගලයෙකු පැවසුවේ, BAC උපදේශන ආයතනය එහි ලියාපදිංචි වී ඇති නමුත් භෞතික ලෙස එහි කිසිවෙකු නොමැති බව ය.

LinkedInහි යුනෙස්කෝ වැනි සංවිධාන සමග අත්දැකීම් ඇති බවට සඳහන් කර සිටින සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීනිය වූ ක්‍රිස්ටියානා බාර්සොනියි - අරිසිඩියැනෝ, රොයිටර් විසින් යොමු කළ ඊමේල් වෙත ප්‍රතිචාර දක්වා නැත.

මේ අතර, තායිවානයේ ආර්ථික අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ "ලෙබනනයට සෘජු අපනයන සිදුකිරීම පිළිබඳ වාර්තාවක් නොමැති" බව ය.

"මාධ්‍යයන්හි පළවී තිබූ ඡායාරූප සමාලෝචනය කිරීමෙන් පසු එම නිෂ්පාදිතය ඔවුන්ට අයත් දැයි සමාගම සැක කරන අතර අපනයනයෙන් පසු පේජර් වෙනස් කර ඇති බව විනිශ්චය කර ඇත," එම අමාත්‍යාංශය පැවසීය.

රැහැන් රහිත උපාංග ආරක්ෂිත ද?

න්‍යායාත්මකව, රැහැන් රහිත උපාංග අනාරක්ෂිත ය, "ඇතැම් විට එය තරමක් බියජනක" බව අපගේ සයිබර් වාර්තාකරු ජෝ ටයිඩි පවසයි.

ඊජිප්තු ආරක්ෂක විශේෂඥ මේජර් ජෙනරාල් මොහොමඩ් නූර් මෙම පිපිරීම විස්තර කර ඇත්තේ, බුද්ධි අංශ විසින් සංවිධානය කරන ලද "සයිබර් සිදුවිමක්" ලෙසිනි. රැහැන් රහිත උපාංග නිෂ්පාදනය කරන රටට දොස් පැවරිය යුතු බව ඔහු යෝජනා කළ අතර, එවැනි උපකරණ “සම්පූර්ණයෙන් ම අනාරක්ෂිත” බව ප්‍රකාශ කළේ ය.

ආරක්ෂිත සන්නිවේදනය සඳහා "විකල්පයක්" නොමැති බව පැවසූ ඔහු, හිස්බුල්ලා වෙත ඊශ්‍රායලයේ පණිවිඩය පැහැදිලි ය: ඊශ්‍රායලයේ මැදිහත්වීම් හේතුවෙන් ස්ථාවර දුරකතන, ඔවුන්ගේ ජාල, ජංගම දුරකතන, ස්මාර්ට්ෆෝන්, වෝකි ටෝකි සහ පේජර්වල පෞද්ගලිකත්වය අහිමි කර තිබේ.

හිස්බුල්ලා සහ ලෙබනන් රජය මෙම ප්‍රහාරයේ "සම්පුර්ණ වගකීම" ඊශ්‍රායලය වෙත පවරා ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් ඊශ්‍රායලය නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

මෙවැන්නක් දුරකතන ඔස්සේ සිදු විය හැකි ද?

මීට පෙර ද දුරකතන භාවිතයෙන් මෙවැනි නවීන ප්‍රහාර එල්ල වී ඇති බව බීබීසී අරාබි පුවත් සේවය පවසයි. දුරකතන සහ වෙනත් තාක්ෂණයන් ඇතුළුව උදාහරණ කිහිපයකි, මේ:

  • 1972: පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) නියෝජිත මහමුද් හම්ෂාරි පැරිසියේදී දුරකතනයක අටවා තබා තිබූ බෝම්බයක් දූරස්ථව පුපුරුවා හැරීමෙන් මිය ගියේ ය.
  • 1996: යාහ්යා අය්යාෂ් මරා දැමුවේ ජංගම දුරකතනයක ඇටවූ බෝම්බයක් මගිනි.
  • 2000: රාමල්ලා අසල කලණ්ඩියා සරණාගත කඳවුරේ ෆාටා ක්‍රියාකාරිකයෙකු වූ සමිහ් මාලබි, ඔහුගේ හිසට යාබදව තිබූ ජංගම දුරකතනයක අටවා තිබු බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගියේ ය.
  • 2007: ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායල බුද්ධි අංශ විසින් නිර්මාණය කරන ලද ප්‍රබල පරිගණක වෛරසයක් වන Stuxnet, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන කොටසක් අක්‍රීය කර ඇති බව විශ්වාස කෙරේ.
  • 2020: ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වූ මෝසෙන් ෆක්රිසාඩෙ, මෝටර් රථයක සවිකර තිබු දූරස්ථ පාලකයකින් ක්‍රියාකරන මැෂින් තුවක්කුවක් යොදා ගනිමින් ඉරානයේදී ඝාතනය කරන ලදී.
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ ඡායාරූපයක් An image of Hezbollah leader Hassan Nasrallah

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා පසුගිය මාසයේ රූපවාහිනිය ඔස්සේ කතා කරමින්

ඊළඟට කුමක් සිදුවේ ද?

මෙම මෙහෙයුමේදී ඊශ්‍රායලය සැලකිය යුතු උපක්‍රමශීලී ජයග්‍රහණයක් ලබා ඇත - එය ත්‍රාසජනක චිත්‍රපටයක කියවිය හැකි ආකාරයේ දර්ශනීය කුමන්ත්‍රණයක් බව BBC ජාත්‍යන්තර කර්තෘ ජෙරමි බෝවන් පවසයි. නිසැකව ම එය හිස්බුල්ලා සංවිධානයට නින්දාවක් වන අතර එය එහි අනාරක්ෂිත බව වැඩි කරන අතර ඔවුන්ගේ චිත්ත ධෛර්යයට අහිතකර වනු ඇත.

කෙසේ වෙතත්, එමගින් ඊශ්‍රායලයට බරපතළ උපායමාර්ගික පසුබෑමක් විය හැකි ය.

මක්නිසා ද යත් මින් ලෙබනනයේ බලවත් සන්නද්ධ සහ දේශපාලන ව්‍යාපාරය සැහැල්ලුවට ලක් කළ ද, එමගින් ඔවුන්ට බාධාවක් සිදු නොවේ.

එය හිස්බුල්ලාගේ ප්‍රහාර නැවැත්වීමේ ඊශ්‍රායලයේ මූලෝපායික අරමුණ වෙත ළං නොකරන අතර වසරකට ආසන්න කාලයක් සිය නිවෙස්වල නොසිටි උතුරු දේශසීමා මායිමේ සිටින 60,000කට අධික ඊශ්‍රායල් ජාතිකයින්ට ආපසු ගෙදර යාමට ඉඩ සලසන්නේ නැත.

මෙම ප්‍රහාරය කලාපය සම්පූර්ණ යුද්ධයෙන් තවත් අඟලක් හෝ පසුපසට රැගෙන නොයන අතර එය එහි සමීපයට තල්ලු කරයි.