ජනතා කෝපය හමුවේ ලෙබනන් ආණ්ඩුව ඉල්ලා අස්වේ

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

පසුගිය අඟහරුවාදා බේරුට් හි සිදු වූ මහා පිපිරීමෙන් අනතුරුව ජනතා කෝපය උත්සන්න වෙමින් පවතිද්දී ලෙබනනයේ ආණ්ඩුව ඉල්ලා අස්විය.

එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතා කරමින් (සඳුදා සවස) මෙම ඉල්ලා අස්වීම නිවේදනය කරනු ලැබුවේ ලෙබනනයේ අගමැති හසාන් දියාබ් විසිනි.

බේරුට් නුවර සිදු වූ පිපිරීමෙන් 200කට අධික පිරිසක් මරණයට පත් වූ අතර විශාල දේපල හානියක් සිදු වී තිබුණි.

රටේ නායකයන්ගේ නොසැලකිල්ල සහ දූෂණ හේතුවෙන් මෙම විපත සිදු වූ බවට ලෙබනනයේ ජනතාවගෙන් බොහෝ පිරිසක් චෝදනා කළහ.

වීදි බට ජනතාව දින දෙකක් පුරා ආණ්ඩුවට එරෙහිව විරෝධතා පළ කරමින් සිටියහ.

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Protestors angry about corruption faced police in Beirut on Monday

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ජනතා විරෝධතා තුන්වැනි දිනයටත් පැවැත්වෙමින් තිබෙන අතර උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් හට ගත්හ.

අගනුවර හටගත් ගැටුම් අතරතුර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.

ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වී නව අගමැතිවරයෙකු පත් කර ගත යුතුව පවතී.

භාරකාර ආණ්ඩුවක්

නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාර ආණ්ඩුවක් වශයෙන් කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා පැවති ආණ්ඩුවෙන් ම ඉල්ලීමක් කර තිබේ.

බේරුට් නුවර සිදු වූ මහා පිපිරීමට ගොදුරු වී මේ වන විට මිය ගිය ගණන 220ක් දක්වා ඉහල ගොස් ඇති බවත් තවත් පුද්ගලයන් 110ක් පමණ අතුරුදහන් බවත් බේරුට් ආණ්ඩුකාරවර මර්වන් අබවුඩ් පැවසුවේයැයි al-Marsad පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

එමෙන්ම, ඔහු Al Jadeed රුපවාහිනී නාලිකාවට පවසා ඇත්තේ, අතුරුදහන් වී ඇති පුද්ගලයන් අතර විදේශීය සේවකයන් සහ රියදුරන් ද සිටින බවය.

මෙම පිපිරීම හේතුවෙන් කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි ගොඩනැගිලි සහ නිවාසවලට ද හානි සිදු වී තිබුණි.

මෙම පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව ගත් තීරණය, එරට දේශපාලනය කෙරෙහි කලකිරීමට පත්වී සිටින්නන්ගේ සැනසීමට ප්‍රමාණවත් නොවීය.

ආණ්ඩුව ඉල්ලා අස්වූ පමණින් ජනතාවගේ කෝපය අවසන් වේයැයි සිතිය නොහැකිය. මෙවර ඉල්ලා අස්වූයේ, පසුගිය වසරේ හටගත් විරෝධතා හමුවේ පිහිටුවාගත් නව ආණ්ඩුව යි. පසුගිය ආණ්ඩුවට එල්ල වූ සේම මෙම ආණ්ඩුවට ද එල්ල වී ඇත්තේ දුෂණ චෝදනාම ය.

සිදුවූයේ කුමක්ද?

ලෙබනන් ජනාධිපතිවරයා කියා සිටියේ බේරුට් වරායේ වසර කිහිපයක් තිස්සේ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2750ක් පුපුරා යාම නිසා මෙම මහා විනාශය සිදුවූ බවය.

පිපිරීමත් සමඟ බේරුට් අගනුවර සමස්ථ කලාපය මහා විනාශයකට ලක්විය. මහජන නිවාස සහ ව්‍යාපාරික ස්ථාන බිමට සමතලා වී ගොස් ඇත. ඒ අතරම පුද්ගලයන් රාශියකට සිදුවූ දෙයක් තවමත් දැනගැනීමට නොමැත.

පිපිරීම හේතුවෙන් 300,000 ක පමණ පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව බේරුට් හි ආණ්ඩුකාර මර්වන් අබවුඩ් සඳහන් කළේය.

ඉහත කී තුවාලකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනෙක් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න පවසයි.

පිපිරීමට හේතුව කුමක්ද?

බේරුට් පිපිරීම

කෘෂිකර්මාන්තයේ දී පොහොරක් වශයෙන් යොදා ගනු ලබන සහ පුපුරන ද්‍රව්‍යයක් වන ඇමෝනියම් නයිට්‍රේට් තොගය බේරුට් වරාය ආශ්‍රිත ගුදමක අවුරුදු හයක් ගබඩා කර තිබී ඇතැයි වාර්තා වේ. එම තොගය ගොඩබා ඇත්තේ 2013 වසරේදී රාජසන්තක කරන ලද නැවකින්ය.

වරාය භූමියේ ආරක්ෂාව තහවුරු කරනුවස් එම රසායනික තොගය අපනයනය කිරීමට හෝ විකුණා දැමීමට අනුමැතිය ලබා දෙන ලෙස අධිකරණ නිලධාරීන් වෙත අවස්ථා ගණනාවකදී ලිඛිත ඉල්ලීම් කර ඇති බව බේරුට් වාරයේ ප්‍රධානියා සහ රේගු අධිකාරියේ ප්‍රධානියා යන දෙදෙනාම එරට මාධ්‍ය වෙත පවසා තිබේ.

අධිකරණය එම රසායනික ද්‍රව්‍ය ගුදමක ගබඩා කරන ලෙස නියෝග දුන් පළමු අවස්ථාවේදීම ඒවා අන්තරාකාරී බව දැන සිටිය ද "මෙතරම් අනතුරුදායක" බව දැන නොසිටි බව වරාය සාමාන්‍යාධිකාරී හසන් කොරේතම් OTV රූපවාහිනී සේවයට පැවසීය.

බේරුට් පිපිරීම

ඇමෝනියම් නයිට්‍රේට් තොගය ගබඩා කිරීම, එහි ආරක්ෂාව සහ ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කළ සියලූම වරාය නිලධාරීන්ට නිවාස අඩස්සියට අදාළ නීති බලපානු ඇති බව එරට තොරතුරු අමාත්‍යංශය භාර අමාත්‍ය මනල් අබ්දෙල් සමාද් සඳහන් කළේය.

නාවුක ප්‍රවාහනයට අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන Shiparrested.com පවසන පරිදි, ඇමෝනියම් නයිට්‍රේට් තොගය රැගත් මෝල්දෝවා ධජය සහිත 'රොසුස්' නැමති නෞකාව බේරුට් වරාය වෙත ඇතුළු වී තිබුනේ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. ඒ ජෝර්ජියාවේ සිට මොසැම්බික් බලා යාත්‍රා කරමින් සිටින අතරතුරදීය.

එහිදී පරීක්ෂාවට ලක් කෙරුණු 'රොසුස්' නෞකාවට වරායෙන් පිටවීම තහනම් කරනු ලැබිණි. ඉන් සුළු වෙලාවකට පසු එහි අයිතිකරුවන් විසින් නෞකාව අතහැර දමන ලද අතර නීතිමය ගැටලු රාශියක් මතු වී තිබිණි. ආරක්ෂක හේතුවෙන් මත එහි භාණ්ඩ වරාය ගුදමක ගබඩා කරන ලද බව වාර්තාවේ සඳහන් වේ.

තවත් කියවන්න: