ඉරානය හා පවතින ආතතීන් ඉහළ යෑම නිසා සිය ඉරාක තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන සේවකයින් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව තීරණය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ටොම් බේට්මන්
- Role, බීබීසී රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාකරු
- Author, මයික් වෙන්ඩ්ලිං
- Role, බීබීසී පුවත්
ආරක්ෂක අවදානම් ඉහළ යාම හේතුවෙන් බැග්ඩෑඩ්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිටින අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉරාකයෙන් ඉවත් කිරීමට නියමිත බව එක්සත් ජනපද රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම ඉවත් කර ගැනීමට හේතු වූයේ කුමක්දැයි නිලධාරීන් නිශ්චිතව ප්‍රකාශ නොකළ නමුත්, බදාදා (ජූනි 11) එක්සත් ජනපද නිලධාරීන්ට ඉරානයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය සූදානම් බව දැනුම් දුන් බව බීබීසීයේ ඇමෙරිකානු සහකරු සීබීඑස් වාර්තා කළේ, මේ කාරණය පිළිබඳව තොරතුරු දන්නා නිලධාරීන් උපුටා දක්වමිනි.
එම නිලධාරීන් සඳහන් කළේ, එක්සත් ජනපදය ඇතැම් ඇමෙරිකානුවන්ට මෙම කලාපයෙන් ඉවත් වන ලෙස උපදෙස් දීමට මෙය හේතුවක් බව ත් ඉරාකයේ ඇති ඇතැම් ඇමෙරිකානු ස්ථානවලට ඉරානය ප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂා කළ බව ත් ය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එක්සත් ජනපද සාකච්ඡා ඇණහිට ඇති බවක් පෙනෙන්නට ඇති අවස්ථාවක මෙය සිදුවිය.
ඇමෙරිකානු මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් එළෙඹෙන ඉරිදා (ජූනි 15) හයවන වටයේ සාකච්ඡා සඳහා ඉරාන නිලධාරීන් හමුවීමට තවමත් සැලසුම් කරමින් සිටින බව අදාළ නිලධාරීහු සීබීඑස් වෙත පැවසීය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් බීබීසීයට මෙසේ පැවසීය: "අපේ හැම තානාපති කාර්යාලයකම අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල ඉන්නවා ද කියන එක අපි නිරන්තරයෙන් තක්සේරු කරනවා."
"අපේ අලුත් ම විශ්ලේෂණය අනුව, ඉරාකයේ ඉන්න අපේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගණන අඩු කරන්න තීරණය කළා."
බදාදා කෙනඩි මධ්‍යස්ථානයේ පැවති හමුවකදී ට්‍රම්ප් ඉරානය ගැන කථා කළේ, "එහේ භයානක තැනක් වෙන්න පුළුවන්, අපි බලමු මොක ද වෙන්නේ කියලා," යනුවෙන් ඇමෙරිකානුවන්ට කලාපයෙන් ඉවත් වන ලෙස උපදෙස් දුන් බව වාර්තාකරුවන්ට පවසමිනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම සිදු කිරීම එක්සත් ජනපදයට අවශ්‍ය නොවන බව ට්‍රම්ප් නැවතත් අවධාරණය කළේ ය: "අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ."
ටෙහෙරානය න්‍යෂ්ටික අවි නිපදවීම නැවැත්වීම සඳහා ගිවිසුමකට එළඹීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ.
ඉරානය යුරේනියම් බලගැන්වීම නවත්වනු ඇතැයි යන විශ්වාසය අඩු වෙමින් පවතින බව ට්‍රම්ප් බදාදා පැවසීය.
මේ සතිය මුලදී ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග විනාඩි 40ක "ආතතිකර" දුරකතන සංවාදයක ද නිරත විය. බෙන්ජමින් නෙතන්යාහු, දිගු කලක් පුරා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයකට වඩා මිලිටරි ප්‍රවේශයක් සඳහා වාද කර ඇත.
න්‍යෂ්ටික අවි පිළිබඳ සාකච්ඡා තීරණාත්මක මොහොතකට පැමිණ ඇති හෙයින්, එක්සත් ජනපද නිවේදනය සැබෑ කනස්සල්ලකට වඩා කිනම් සංඥාවක් ලබා දෙනවා ද යන්න තවමත් පැහැදිලි නැත.
නමුත් සාකච්ඡා අසාර්ථක වී සහ ට්‍රම්ප් ඉස්ලාමීය ජනරජයට එරෙහිව මිලිටරි ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළහොත් කලාපයේ ඇමෙරිකානු කඳවුරුවලට පහර දී තම රට පළිගන්නා බව ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ පැවසීය.
කුවේට් සහ බහරේන් ඇතුළු මැදපෙරදිග රටවල සිටින ඇමෙරිකානු හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ස්වේච්ඡාවෙන් පිටත්ව යාමට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සත් ද අනුමැතිය දුන් බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.
බදාදා කොංග්‍රස් මණ්ඩලයක් ඉදිරියේ සාක්ෂි දෙමින් පෙන්ටගනය (එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව) පැවසුවේ, ඉරානය "න්‍යෂ්ටික අවියක් වැනි දෙයක් කරා ගමන් කරමින් සිටින බවට" "බොහෝ ඉඟි" ඇති බව තමන් විශ්වාස කරන බව ය.
ඉරානය පවසන්නේ තම යුරේනියම් බලගැන්වීමේ වැඩසටහන සිදුවන්නේ සිවිල් බලශක්ති උත්පාදනය සඳහා බවත් තමන් පරමාණු බෝම්බයක් තැනීමට උත්සහ නොකරන බවත්ය.
බදාදා දිනයේදී, රාජකීය නාවික හමුදාවේ කොටසක් වන එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් සංවිධානය, මැද පෙරදිග වැඩිවන මිලිටරි ආතතීන් නැව් ගමනාගමනයට බලපෑ හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය.
එක්සත් ජනපදය සිය කාර්ය මණ්ඩල ඉවත් කර ගන්නා පුවත පිළිබඳ පළ වූ විට, කලාපීය අනාරක්ෂිතභාවය සැපයුම් ගැටලුවලට තුඩු දිය හැකි බවට පුරෝකථනය කරමින් තෙල් මිල 4%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගියේ ය.
ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව ඇමෙරිකානු හමුදා භටයින් 2,500ක් පමණ ඉරාකයේ යොදවා සිටිති.














