ට්‍රම්ප් පැනවූ තීරුබදු තවදුරටත් ක්‍රියාත්මකයි. මීළඟට මොකද වෙන්නේ?
- Author, පීටර් හොස්කින්ස්
- Role, ව්‍යාපාරික වාර්තාකරු, බීබීසී පුවත්
- Author, යැං ටියැන්
- Role, බීබීසී පුවත්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවල කොටසකට විශාල පහරක් එල්ල කළ තීන්දුවකට එරෙහිව ධවල මන්දිරය අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහුට තීරුබදු පැනවීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවසර හිමිව තිබේ.
ඊට දිනකට පෙර ජාත්‍යන්තර වෙළඳ අධිකරණය තීන්දු කළේ හදිසි නීතියක් ලෙස ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරන ලද පරිදි ලෝකයේ සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වික බලයක් ලබා දී නොමැති බවයි.
නිව්යෝර්ක් පදනම් කරගත් අධිකරණය පැවසුවේ, අනෙකුත් ජාතීන් සමඟ වාණිජ්‍ය කටයුතු නියාමනය කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට සුවිශේෂී බලතල ලබා දී ඇති බවත්, ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාට පවරා ඇති වගකීම තුළින් එය අවලංගු කර නොමැති බවත්ය.
ලෝක ආර්ථික පිළිවෙල සෙලවීමට ලක්කර ඇති මෙම තීරුබදු වලට කුඩා ව්‍යාපාර සහ රාජ්‍යයන් සමූහයක් අභියෝග කර තිබිණි.
තීරුබදු වලට එරෙහිව නඩුව ගොනු කළේ කවුද?
නියෝගය වෙනම නඩු දෙකක් මත පදනම් විය. නිර්පාක්ෂික ලිබර්ටි යුක්ති මධ්‍යස්ථානය (Liberty Justice Center) විසින් තීරුබදු වල ඉලක්කයක් වී ඇති රටවල් වලින් භාණ්ඩ ආනයනය කරන කුඩා ව්‍යාපාර කිහිපයක් වෙනුවෙන් එක් නඩුවක් ගොනු කළ අතර, සන්ධානගත වූ ඇමෙරිකානු ප්‍රාන්ත රජයන්ද ආනයන බදු වලට අභියෝග කළහ.
ට්‍රම්ප් විසින් හඳුන්වන "Liberation Day" බදු වලට එරෙහිව පැමිණි පළමු ප්‍රධාන නෛතික අභියෝගයන් වූ මෙම නඩු දෙක, වෙළඳාම පිළිබඳ විශේෂ අධිකාරියක් ඇති, ෆෙඩරල් අධිකරණ පද්ධතියේම කොටසක් වන ජාත්‍යන්තර වෙළඳ අධිකරණය දක්වාම ගමන් කළේය.
ට්‍රම්ප් විසින් බදු සාධාරණීකරණය කිරීමට උපුටා දක්වන ලද, 1977 වසරේ පැනවූ නීතියක් වන ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA), ආනයනික තීරු බදු පැනවීම සඳහා ඔහුට බලය ලබා නොදුන් බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කරන ලදී.
ට්‍රම්ප් පරිපාලනයෙන් චීනය, මෙක්සිකෝව සහ කැනඩාව මත පනවන ලද තවත් බදු ඛාණ්ඩයක් අධිකරණය විසින් අවහිර කරන ලද අතර, පරිපාලනය ඊට පිළිතුරු වශයෙන් දැක්වූයේ ඇමෙරිකාව තුළට මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී සංක්‍රමණිකයින් පිළිගත නොහැකි ලෙස ගලා ඒමයි.
කෙසේවෙතත්, වෙනත් නීතියකට යටත් වන, මෝටර් රථ, වානේ හා ඇලුමිනියම් වැනි සමහර විශේෂ භාණ්ඩ මත පැනවූ බදු ගැන තීරණයක් ගැනීමට අධිකරණයෙන් ඉල්ලා නොමැත.
මේ දක්වා ප්‍රතිචාරය කුමක්ද?
තීරුබදු පැනවීම අවහිර කිරීමේ තීන්දුව සහ තීරණය ගත් විනිසුරුවන් විවේචනයට ලක් කරමින් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සමාජ මාධ්‍ය වේදිකාවේ දිගු පණිවිඩයක් පළ කළේය.
"ආර්ථික හා මූල්‍යමය හානියක් කරන අයගෙන් ඇමෙරිකාව ආරක්ෂා කරන්න එක්සත් ජනපද ජනාධිපතිවරයාට ඉඩ දිය යුතුයි," ඔහු පැවසීය.
නමුත් නඩුවට සම්බන්ධ ප්‍රාන්ත 12 න් එකක් වන නිව්යෝර්ක්හි නීතිපති ලෙටීටියා ජේම්ස් මෙම තීරණය පිළිගත්තාය.
"නීතිය පැහැදිලියි: කිසිම ජනාධිපතිවරයෙකුට තමන් කැමති වෙලාවක තනිව බදු වැඩි කරන්න බලයක් නැහැ," ඇය පැවසුවාය.
දැන් මොකද වෙන්නේ?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නඩුවේ මීළඟ නඩු විභාගය ජුනි 5 වන දින සිදු කෙරේ.
අවසානයේදී නඩුව, ඇමෙරිකාවේ ඉහළම උසාවිය වන එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යා හැකි අතර එහිදී ට්‍රම්ප් පරාජයට පත් වූවත් එය ඔහුගේ තීරැ බදු සැලසුම් වල අවසානය වනු ඇතැයි නිශ්චිතව කිව නොහැක.
එක් කරුණක් නම්, වෙළඳ සමතුලිතතාවය පිළිබඳ ගැටළු විසඳීම සඳහා දින 150ක කාලයක් සඳහා 15% දක්වා තීරු බදු පැනවීමට ජනපතිට බලය ඇති බවට නියෝගයේ සඳහන් වූ අතර, එය හදිසි අවස්ථාවකදී බවට ධවල මන්දිරය ද තර්ක කර තිබිණි.
ගෝල්ඩ්මන් සැෂ් හි විශ්ලේෂකවරුන්ට අනුව, පරිපාලනය එම මාර්ගය තෝරා ගත්තේ නම්, නව තීරු බදු දින කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.
ට්‍රම්ප්ට, ඔහුගේ පළමු ධූර කාලයේදී තීරු බදු සාධාරණීකරණය කිරීම සඳහා භාවිතා කළ, ජාතික ආරක්ෂාව හා අසාධාරණ වෙළඳ ප්‍රතිපත්ති වැනි ප්‍රශ්න ගැන අවධානය යොමු කරන, වඩාත් ස්ථාපිත නීති වෙතද යොමු විය හැක. නමුත් ඒ යටතේ තීරුබදු බලාත්මක කිරීමට පෙර විමර්ශන සහ මහජන අදහස් දැක්වීමේ කාල සීමාවන් අවශ්‍ය වේ.
ගෝල්ඩ්මන් සැෂ් පවසා සිටියේ ඇමෙරිකාවට එරෙහිව වෙනස් කොට සලකන රටවලින් කරන ආනයන මත 50% දක්වා තීරු බදු පැනවීමට ජනපතිට ඉඩ ලබා දෙන, 1930 වෙළඳ නීතියේ පෙරදී පිරික්සා නොබැලූ කොටසක් වෙතද ට්‍රම්ප් යොමු වීමට ඉඩ ඇති බවයි.
අප මෙතැනට පැමිණියේ කෙසේද?
අප්‍රේල් මස 2 දින, ඇමෙරිකාවේ වෙළඳ හවුල්කරුවන්ගෙන් බොහොමයකට තීරු බදු පනවමින්, ට්‍රම්ප් පෙර නොවූ විරූ අන්දමේ ගෝලීය තීරු බදු ක්‍රමයක් එළි දැක්වූයේය.
යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, කැනඩාව, මෙක්සිකෝව හා චීනය වැනි රාජ්‍යයන් හා සමූහයකට පැනවූ දැඩි අන්‍යෝන්‍ය තීරු බදු සමඟින්, බොහෝ රටවලට 10% මූලික තීරු බද්දක් පනවන ලදී.
ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම් තුළින් ඇමෙරිකානු නිෂ්පාදන නැංවීම හා රැකියා සුරක්ෂිතතාවයක් ඇති බවටත්, සාධාරණ නොවන වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවටත් ට්‍රම්ප් තර්ක කළේය.
තීරු බදු පැනවීමේ නිවේදනයත් සමඟ ගෝලීය වෙළෙඳපොළ කැළඹීමක් ඇති කළ නමුත් ට්‍රම්ප් විසින් සමහර බදු කපා හැරීමට සහ අඩු කිරීමට හෝ ප්‍රමාද කිරීමට කටයුතු කර ඇත.
තීරුබදු වලට මුහුණ දෙන ව්‍යාපාර සහ රජයන්ට මෙයින් අදහස් වන්නේ කුමක්ද?
CBP හි හිටපු ඉහළ නිලධාරියෙකු වන ජෝන් ලෙනාඩ් බීබීසීයට පවසා සිටියේ, දැනට දේශසීමාවලදී කිසිදු වෙනසක් සිදු නොවන අතර තීරු බදු ගෙවිය යුතුව ඇති බවයි.
ධවල මන්දිරය තම අභියාචනයෙන් අසාර්ථක වුවහොත් එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ ඒජන්සිය (US Customs and Border Protection Agency) (CBP) විසින් මුදල් ආපසු ගෙවීමට තම නිලධාරින්ට විධිවිධාන ලබා දෙනු ඇතැයි ඔහු පවසා සිටියේය.
මෙම නියෝගය එක්සත් ජනපදය හා අනෙකත් රටවල් අතර සිදු වෙමින් පවතින වෙළෙඳ සාකච්ඡා පිළිබඳවද ප්‍රශ්න කරන්නේය. අධිකරණය තීරු බදු අත්හිටුවනු ලැබුවහොත් තමන්ට වෙළෙඳ සාකච්ඡාවලදී දුර්වල ස්ථාවරයක් ගැනීමට සිදුවනු ඇතැයි ධවල මන්දිරය තර්ක කර ඇත.
Capital Economics හි පෝල් ඈෂ්වර්ත් පවසා සිටියේ, මෙම නියෝගය "පැහැදිළිවම දින 90 ක බදු විරාමය තුළදී සැණින් 'වෙළඳ' ගනුදෙනු නතු කරගැනීමට ට්‍රම්ප් පරිපාලනයෙන් ගන්නා උත්සාහය අවුල් කරනු ඇත" යනුවෙනි.
මීළඟට සිදුවන දේ අනෙක් රටවල් බලා සිටිනු ඇතැයි ඔහු උපකල්පනය කළේය.
එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපද අතර තීරුබදු ගනුදෙනුවට මෙම නියෝගයෙන් අදහස් වන්නේ කුමක්ද?
එක්සත් රාජධානිය හා එක්සත් ජනපද රජයන් ඔවුන් අතර වෙළෙඳාම් වන සමහර භාණ්ඩ මත පැනවූ තීරු බදු අඩු කිරීමට මෙම මස මුලදී එකඟතාවයකට පැමිණියේය.
ඇමෙරිකාවට එක්සත් රාජධානියෙන් කෙරෙන ප්‍රධාන අපනයනයන් වන මෝටර් රථ, වානේ හා ඇලුමිනියම් වැනි දෑ මත පැනවුණු බදු අඩු කිරීම හෝ ඉවත් කිරීම ඊට ඇතුළත් විය.
ගනුදෙනුවේ එම පැතිකඩ අධිකරණ තීන්දුවෙන් බලපෑමට ලක් නොවූවත්, එක්සත් ජනපදයට ඇතුළු වන එක්සත් රාජධානියේ අනෙකුත් බොහෝ භාණ්ඩ මත පනවා ඇති 10% පොදු බද්ද පිළිබඳ දැන් ප්‍රශ්න කෙරේ.
රජයන් දෙක අතර ගිවිසුම තවමත් ක්‍රියාත්මක කර නොමැති බැවින්, තීන්දුවෙන් පසුව ගනුදෙනුවේ එම කොටස වෙනස් විය හැක්කේ කෙසේද යන්න තවමත් අවිනිශ්චිතව පවතී.
අධිකරණ තීන්දුව පිළිබඳව එක්සත් රාජධානියේ රජය අදහස් දක්වා නොමැති නමුත්, බ්‍රිතාන්‍ය ව්‍යාපාරවලට "හැකි ඉක්මනින්" මෙම එකඟතාවය ඔස්සේ ප්‍රතිලාභ ලබා ගත හැකි බව සහතික කිරීමට කටයුතු කරන බව පැවසීය.









