ට්‍රම්ප්ගේ තීරු බදු: 'කම්පැනි පාඩු විඳගෙන වැඩ කරන්නේ නෑනේ...එහෙම වුණොත් මේවා වහන්න ඉඩ තියෙනවා කියලා අපි කතාවුණා'

ඡායාරූප මූලාශ්‍රය, LOKESH SHARMA | BBC
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
පසුගිය සතියේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් විසින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා නව තීරු බදු පැනවීමක් සිදු කරන ලදී.
එහිදී ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක් පනවන බවට ඔහු නිවේදනය කළ අතර, ශ්‍රී ලංකාව එලෙස වැඩි ම ප්‍රතිශතයකින් තීරු බදු පැනවූ රටවල් අතර මුල් ස්ථානවල සිටියි.
මේ වන විට එලෙස පැනවූ ඉහළ තීරු බදු චීනය හැර අනෙකුත් රටවල්වලට දින 90කට අත්හිටුවන බවට ධවල මන්දිරය පවසා තිබේ.
ඒ සමග ම ඔහු චීනයෙන් ඇමෙරිකාවට යැවෙන භාණ්ඩ සඳහා තීරු බදු 125%ක් දක්වා වැඩි කළේ ය.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය හිමි වන එක් ප්‍රධාන අදායම් මාර්ගයක් වන්නේ අපනයනයයි.
ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් සිදු කරන අපනයන වන්නේ ඇඟලුම්, තේ, රබර්, පොල්, මැණික් වැනි ඒවා වේ.
එයින් ද ඇඟලුම් අපනයනය ප්‍රධාන ස්ථානයක් ගනියි.
ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ අපනයනයෙන් ඇඟලුම් අපනයනය අවසාන වසර කිහිපය තුළ ම 40% ඉක්මවා තිබිණි.
ශ්‍රී ලංකාවේ අපනයන වලින් වැඩි කොටසක් අපනයනය කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව එම කොටස සමස්ත ඇඟලුම් අපනයනයන්ගෙන් 23%කි.
අනෙකුත් රටවල්වලට ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයනයන් එම ප්‍රතිශතයට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනියි.
වැඩි ම අපනයන සිදු කරන රටවල් අතර දෙවැනි ස්ථානයේ පසුවන එක්සත් රාජධානියට සමස්ත අපනයනයන්ගෙන් අපනයනය කර ඇත්තේ 7.1ක් පමණි.
ශ්‍රී ලංකාවෙන් සිදු කරනු ලබන අපනයනයන්ගෙන් වැඩි ම අපනයන සිදු කරන්නේ ඇඟලුම් වීම නිසා ශ්‍රී ලංකාවට අපනයන අදායමෙන් වැඩිම අදායමක් ලබා දෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි.
ආසන්න වසර 10ක කාලය තුළ වැඩි ම අදායමක් හිමි ව ඇත්තේ 2022 වසරේදී වන අතර එම අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9කි.
2025 වසරේ පෙබරවාරි දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 888ක් ඇඟලුම් අපනයනයෙන් හිමිව තිබේ.
2023 වසරේ ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 5ක අදායමක් ලබා ඇති අතර, එයින් ඩොලර් බිලියන 1.9ක අදායමක් ලැබී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කර ඇති ඇඟලුම්වලින් ය.
'අපේ ආයතනයේ මහන ගොඩක් ඒවා ඇමෙරිකාවට යන්නේ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට ඇඟලුම් කර්මාන්තය 300,000කට අධික පිරිසකට සෘජු රැකියා සහ 600,000කට අධික වක්‍ර රැකියා අවස්ථා සපයයි.
එම වෙබ් අඩවියට අනුව ලෝකයේ ජනප්‍රිය ඇඟලුම් සන්නාම ගණනාවකම නිෂ්පාදන කටයුතු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙයි.
එමෙන් ම ශ්‍රී ලංකාවේ අපනයන සැකසුම් කලාපයන් 13ක් පමණ ඇති අතර, ඒවායේ විශාල ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාවක් තිබේ.
එයින් විශාලතම අපනයන සැකසුම් කලාපය වන කටුනායක අපනයන සැකසුම් කලාපය ආශ්‍රිතව බීබීසී සිංහල විසින් නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අතර, එහි දී අප සමග සාකච්ඡා කළ බොහෝ කාන්තාවන්ට මෙම තීරු බදු පැනවීම සමබන්ධයෙන් අවබෝධයක් නොමැති බව පෙනී ගියේ ය.
මෙම අපනයන සැකසුම් කලාපවල සේවය කරන සේවකයන්ගෙන් බහුතරයක් කාන්තාවන් වන අතර, ඔවුහු කොළඹින් පිටත ප්‍රදේශවලින් පැමිණ මෙම කර්මාන්තශාලා ආශ්‍රිතව තාවකාලිකව කුලී පදනම මත ලබා ගත් නවාතැන්වල රැඳී සිටිති.
අප සමග සාකච්ඡා කළ බොහෝ දෙනෙකු නාවලපිටිය, අනුරාධපුරය සහ මොණරාගල වැනි කොළඹින් බොහෝ දුර බැහැර සිට කටුනායකට පැමිණි කාන්තාවෝ වූහ.
මෙම කලාප ආශ්‍රිතව මානව හිමිකම්, යටිතල පහසුකම් මෙන් ම සමාජීය ගැටළු ද විශාල වශයෙන් පවතියි.
පසුගිය අප්‍රේල් 09 වන දින බීබීසී සිංහල විසින් කටුනායක ප්‍රදේශයේ නිරත වූ නිරීක්ෂණ චාරිකාවේදී, මුණ ගැසුණු 20 හැවිරිදි දීප්ති කාවින්ද්‍යා සහ 21 හැවිරිදි ආර්. පුවීෂා යන තරුණියන් දෙදෙනා පැවසුවේ ඇමෙරිකාවේ තීරු බදු පැනවීම හෝ එවැනි බදු පැනවීමක් සම්බන්ධයෙන් තමන්ට දැනුවත්භාවයක් නොමැති බව ය.
කටුනායක ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධානයක් වන ස්ත්‍රී මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී හමුවූ 34 හැවිරිදි සුරංගි සන්ධ්‍යා මෙම තීරු බදු පැනවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සමග අදහස් පල කළා ය.
ඇඟලුම් කර්මාන්තශාලාවක සුපරීක්ෂකවරියක් ලෙස සේවය කරන ඇය මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති විකාශ නැරඹීමේදී තොරතුරු දැනගත් බව පැවසුවා ය.
"අපේ ආයතනයේ මහන ගොඩක් ඒවා ඇමෙරිකාවට යන්නේ. එහෙම වුණොත් අපේ කම්පනියට එන ඕඩර් අඩු වෙනවා කියලා අපි කතාවුණා. එතකොට ඇඟලුම් ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් තියෙනවා මේ බද්ද නිසා. කම්පැනි පාඩු විඳිමින් වැඩ කරන්නේ නෑනේ. ඕඩර් අඩු වුණොත්, පාඩු වුණොත් කම්පැනිය වහන්න වුණත් ඉඩ තියෙන්න පුළුවන් කියලා අපි කතාවුණා. කම්පැනියෙන් ඒ ගැන අපි එක්ක තව ම මොකුත් කතා කළේ නෑ," ඇය පැවසුවා ය.
මේ අතර, වාර්ෂික ව සේවකයන් හට ලබා දෙන බෝනස් මුදල මේ වසරේදී මෙම තීරු බදු හේතුවෙන් ලබා දීමට නොහැකි පැවසීම හේතුවෙන් මාතර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන් විසින් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වයට පිටතට යාමට නොදී විරෝධතා පැවැත්වීමේ සිදුවීමක් පසුගිය අප්‍රේල් 09 සහ 10 වන දින වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විදේශ කටයුතු ඇමතිවරයා සහ ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් අතර විශේෂ සාකච්ඡාවක් අප්‍රේල් 07 පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. ඒ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ය.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව අවධානයට යොමු වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන් ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී සාකච්ඡා වූ බව එහි සඳහන් ය.

ඡායාරූප මූලාශ්‍රය, MINISTRY OF FOREIGN AFFAIRS
ඇමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, ජනාධිපතිවරයා විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ලිපියක් ද යොමු කර තිබේ.
එමෙන් ම ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දින එනම් අප්‍රේල් 10 පැවැත්වේ.
ඇමෙරිකාව විසින් පනවා ඇති නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව එහි සඳහන් ය.
'අවදානම අවම කරගැනීමට අවස්ථාවක් ඇඟලුම් කර්මාන්තයට ලැබී තිබෙනවා'
බීබීසී සිංහල විසින් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් එවූ ලිපියක ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රජිතා ජයසූරිය සඳහන් කොට තිබුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ අන්‍යෝන්‍ය තීරු බදු අප්‍රේල් 09 දින සිට දින 90ක කාලයකට අත්හිටුවා තිබීමෙන් ඇඟලුම් කර්මාන්තයට ඇතිවිය හැකි බලපෑම අවම කරගැනීමට අවස්ථාවක් ලැබී ඇති බව යි.
"එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය හැර අනෙකුත් සියලු ම [රටවල් සඳහා පැනවූ] 'අන්‍යෝන්‍ය තීරුබදුවලට' මාස තුනක විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, මීට පෙර පැනවීමට යෝජනා කර තිබු 44% තීරුබදු අනුපාතය මෙම මාස තුන අවසානයේදී නැවත පනවනු ලැබුවහොත්, අවශ්‍ය අවදානම් අවම කිරීමේ පියවරයන් සූදානම් කරගැනීමට ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට දැන් අවස්ථාව ලැබී තිබේ," යැයි ඇය එහි සඳහන් කොට තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් අපනයන සමාගම් ගණනාවක් ම මෙම ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් වන අතර, ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති දත්තවලට අනුව ඔවුන්ගේ සංගමයේ සමාගම්වලින් මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ඇමෙරිකා එක්සත් ජනපදයට සිදු කර ඇති අපනයනයන්ගේ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 322.85කි.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මීට ඉහත දී පැන වූ තීරු බදු (තාවකාලිව අත්හිටවනු ලැබූ) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට කෙසේ බලපානු ඇත්දැයි විස්තර කරමින් ඇය කියා සිටියේ "පවතින තීරුබදුවලට අමතරව 44%ක [තීරු බදු] මට්ටමක් ක්‍රියාත්මක කළහොත්, මෙම අලුතින් පනවන ලද තීරු බදු ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අතර, සමස්තයක් ලෙස ආර්ථිකයට ද බලපෑම් කළ හැකි," බවයි.
"බලශක්ති ගාස්තුවල අස්ථාවරත්වය, අත්‍යවශ්‍ය කම්කරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් සහ SVAT [සරල කරන ලද එකතු කරන ලද අගය මත බද්ද] ඉවත් කිරීමට මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මතවීම වැනි අභියෝගයන්ට කර්මාන්තය මේ වන විටත් මුහුණ දෙමින් සිටින," කාලයක මෙම තීරු බදු පැනවීම "ඇඟලුම් කර්මාන්තයට සැලකියයුතු බලපෑමක් ඇති කරන බව" එහි සඳහන් ය.
මේ වන විට ඇඟලුම් කර්මාන්තයේ පාර්ශවකරුවන් ඇතුළු අපනයනය කර්මාන්තයේ නියැලෙන්නන් ශ්‍රී ලංකාවේ රජය සමග එකතු වී එක්සත් ජනපද වෙළඳ ලේකම්වරයාට ඉදිරිපත් කළ යුතු ප්‍රති-යෝජනා සකස් කිරීමට ක්‍රියාකාරීව මැදිහත්වෙමින් සිටින බව ද ඇය කියා සිටියි.
මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී සේවක කප්පාදුවක් ඇතිවීමට ඉඩක් තිබේදැයි අප කළ විමසීමට ඇය ප්‍රකාශ කළේ "තීරු බදු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග සිදු කරන සාකච්ඡාවල තවමත් ශ්‍රී ලංකාව මුල් අදියරයන්ගේ සිටින නිසා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට තවමත් කල් වැඩි," බව ය.
මේ වන විට ඇඟලුම් නිෂ්පාදන සමාගම් විසින් තම ගනුදෙනුකරුවන් සමඟ ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයට වෙළඳ තීරුබදුවල බලපෑම අවම කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා කටයුතු කරමින් සිටින බව ද ඇය පවසයි.
මෙම තත්ත්වය යටතේ අදහස් දැක්වීමට තවමත් කල් වැඩි වුවත්, "ඉදිරියේදී ශ්‍රී ලංකාවට සිදු කිරීමට නියමිත ඕනෑම නව ආයෝජනයක පරිමාණයන් වෙනස් වීමට හැකියාවක් ඇතැයි," එහි වැඩිදුරටත් සඳහන් ය.














