කොටස් වෙළෙඳපොළ කඩාවැටීම ඔබට බලපෑ හැකි ආකාර හතරක්

A trader covering his face with his hand. He is wearing a blue shirt and is leaning on a desk. In the background four laptops with graphics on the screen.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොටස් වෙළෙඳපොළේ වර්තමාන කඩා වැටීම විවිධ ක්‍රම ඔස්සේ ජනතාවට බලපෑ හැකි බව විශේෂඥයෝ පවසති.
    • Author, මාරියා සැකාරෝ
    • Role, බීබීසී ලෝක සේවය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් රටවල් දිගින් දිගට ම පසුබෑමකට ලක්වීමත් සමග ලෝක ආර්ථිකය පිළිබඳ බියක් ඇති කරමින් ලොව පුරා කොටස් වෙළෙඳපොළවල් පහත වැටී තිබේ.

බොහෝ අය කල්පනා කරන්නේ, ඉන් තමන්ට ඇති විය හැකි බලපෑම කුමක් ද? යන්න පිළිබඳව ය.

සඳුදා, ෂැංහයි සිට ටෝකියෝ දක්වා සහ සිඩ්නි සිට හොංකොං දක්වා ආසියානු කොටස් දශක ගණනාවකින් නොදුටු මට්ටමකින් පහත වැටිණි.

ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ද සඳුදා දිනයේදී තාවකාලිකව අත්හිටුවීමට පවා සිදුවිය.

යුරෝපීය වෙළෙඳපොළවල් ද පහත වැටුණු අතර, බැංකු සහ ආරක්ෂක සමාගම් විශාලතම පහත වැටීම් අත්වින්දේ ය. 2020 දී කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළවල් වැඩි ම කඩා වැටීම මෙය විය.

බොහෝ රටවල් සඳහා 10% ත් 46% ත් අතර නව තීරුබදු පනවන බවට ජනාධිපති ට්‍රම්ප් බදාදා නිවේදනය කිරීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගත විය.

වත්මන් කොටස් වෙළෙඳපොළ කඩා වැටීම මිනිසුන්ගේ ජීවිතවලට සහ මූල්‍ය කටයුතුවලට කිහිප ආකාරයකින් බලපෑ හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

රැකියා අනතුරේ ද?

කොටස් මිල දිගු කාලයක් පහත වැටී පැවතියහොත්, එය රැකියා කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ය.

යමෙකු සමාගමක ආයෝජනය කරන විට, ඔවුහු එම ආයෝජනයෙන් ප්‍රතිලාභයක් අපේක්ෂා කරති.

සමාගමක කොටස් මිල ටික කලකට පහත වැටුණහොත්, එය තවදුරටත් පහත වැටීම වැළැක්වීමට සමාගම් පියවර ගනු ඇත.

එක් උදාහරණයක් වන්නේ, රැකියා කපා හැරීමෙන් වියදම් අඩු කර ගැනීම ය.

එහෙත්, ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මෝර්ටන් රාවුන්ගේ අදහස වී ඇත්තේ, "මේ අවස්ථාවේදී" සේවා යෝජකයින් සේවකයින් සේවයෙන් පහ කිරීමට බොහෝ සෙයින් අකමැති වනු ඇති බව ය.

"මේ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි සමාගම් විශ්වාස කරනවා නම් සහ තීරු බදු වැඩිවීම් ආපසු හැරවිය නොහැකි නම් පමණක් රැකියා කපා හැරීම් සිද්ධ වෙන්න පුළුවන්."

කෙසේ වෙතත්, දිගු කාලීනව සැලකුවහොත් "ඉක්මනින් හෝ පසුව ඔබට ඒ [රැකියා කප්පාදුව] ගැන තීරණයක් ගැනීමට සිදුවනු ඇති".

බදු සහ පොළී අනුපාත ඉහළ යයි ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොටස් වෙළෙඳපොළවල වත්මන් පහත වැටීම ජනතාව ගෙවන බදු සහ ණය, උකස් සහ ඉතිරිකිරීම් සඳහා අය කෙරෙන පොළී අනුපාත කෙරෙහි කුමන බලපෑමක් ඇති කරයි ද? යන්න තවමත් නොදනී.

රාවුන් පවසන්නේ, ඒ සියල්ලට එය බලපානු ඇති බව ය.

වෙළෙඳපොළ කඩා වැටීම රජයන්ගේ මූල්‍ය කටයුතු මත පීඩනයක් ඇති කළ හැකි බවත්, එයින් අදහස් කරන්නේ පිරිවැය අඩු කිරීම සහ බදු වැඩි කිරීම පිළිබඳව සොයා බැලීමට ඔවුන්ට සිදුවිය හැකි බවත් බව ඔහු පැහැදිලි කරයි.

පොළී අනුපාතවලට ද මෙය බලපෑ හැකි අතර පොළී අනුපාත උච්චාවචනය විය හැකි ය.

"ඒකේ දෙපැත්ත ම සිද්ධ වෙන්න පුළුවන්," යැයි පවසන රාවන්, ඇමරිකානු තීරුබදුවලට රටවල් ප්‍රතිචාර දක්වන ආකාරය ඇතුළු සාධක ගණනාවක් මත පදනම්ව පොළී අනුපාත ඉහළ යාම හෝ පහළ යාම සිදුවිය හැකි බව පැවසීය.

උදාහරණයක් ලෙස, රටක මහ බැංකුවක් පොළී අනුපාත අඩු කිරීමට තීරණය කළහොත්, ඉන් ඇතැම් උකස් සඳහා සහනයක් විය හැකි ය. - කෙසේ වෙතත් ගිණුම්වල මුදල් ඉතිරි කරන්නන්ට ඔවුන්ගේ ඉතුරුම්වලට අඩු පොළී මුදලක් ලැබෙනු ඇත.

අනෙක් අතට, පොළී අනුපාත වැඩිවීම ණය ගැනීමේදී වඩාත් මිල අධික විය හැකි අතර, ඉතිරි කරන්නන්ට වඩා ණය ගන්නන්ට හොඳ ප්‍රතිලාභ ගෙන එනු ඇත.

A woman walking past a screen showing stock market movements at a securities company in eastern China's Zhejiang province. In the background large screens with lots of numbers in green. In front of them a woman with grey hair, a light grey shirt and a dark grey vest. She has her right hand close to her chest.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වත්මන් තත්ත්වය ගෝලීය අවපාතයකට තුඩු දිය හැකි යැයි ඇතැම්හු බිය පළ කරති.

මගේ විශ්‍රාම වැටුපට බලපායි ද?

ඇතැමුන් කොටස් ඍජුව ම හිමිකර ගත්ත ද, තවත් බොහෝ දෙනෙකුට කොටස් වෙළෙඳපොළට නිරාවරණය වීම සිදුවන්නේ විශ්‍රාම වැටුප් සැලසුම් හරහා ය.

ඇතැම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම අනුව, එම මුදල් කොටස් වෙළෙඳපොළට යයි.

මෙම කොටස්වල වටිනාකම පහත වැටුණහොත්, ජනතාවගේ විශ්‍රාම වැටුප්වල වටිනාකමට එය බලපානු ඇතැයි රාවුන් පැහැදිලි කරයි.

එහෙත්, ඇතැම් විශ්‍රාම වැටුප්වල දායක මුදල් රජයේ බැඳුම්කර වැනි ආරක්ෂිත ආයෝජන සඳහා යොමු කෙරේ. කොටස් වෙළෙඳපොළ පහත වැටෙන විට මේවායේ වටිනාකම වැඩි වන්නේ, ඒවා රත්‍රන් වැනි අනෙකුත් වත්කම් සමග "ආරක්ෂිත තත්ත්වයක්" ලෙස ක්‍රියාත්මක වන බැවිනි.

එහෙයින්, රජයේ බැඳුම්කරවල වටිනාකම ඉහළ ගියහොත්, ජනතාවගේ විශ්‍රාම වැටුප් ඉතිරි කිරීම් වෙන් කරන ආකාරය අනුව කොටස්වල පහත වැටීමෙන් යම් ප්‍රමාණයක් හෝ සම්පූර්ණයෙන් ම පියවා ගත හැකි ය.

විශ්‍රාම යාමට ආසන්න පුද්ගලයින්, ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලෙන් වැඩි ප්‍රතිශතයක් බැඳුම්කරවල ආයෝජනය කිරීමට ඉඩ ඇති බැවින් ඔවුන්ට ඇති බලපෑම අඩු වනු ඇත.

ආර්ථික අවපාතයක් ඇති වීමට ඉඩ තිබේ ද?

ආර්ථික අවපාතයක් යනු රටක සමාගම්, පාලන ආයතන සහ ජනතාවගේ සියලු ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව මාස තුනක කාලයක් හැකිළී තිබීම ය.

ලෝකය ආර්ථික අවපාතයකින් පීඩාවට පත්වේ දැයි කීමට ඉක්මන් වැඩි බව රාවුන් පවසයි.

"මම හිතන්නේ අපි ඉදිරි සතියක් හෝ දෙකක් ඇතුළත මොක ද වෙන්නේ කියලා බලන්න ඕනේ. මේක පූර්ණ පරිමාණ වෙළෙඳ යුද්ධයක් දක්වා වර්ධනය වෙලා අනෙකුත් රටවල් ඇමෙරිකාවට එරෙහිව පළිගත්තොත් කනගාටුවට කරුණක්," ඔහු තවදුරටත් පවසයි.

කොටස් වෙළෙඳපොළේ වත්මන් තත්ත්වය ගෝලීය අවපාතයකට තුඩු දුනහොත් රැකියා අහිමිවීම් සිදුවීමට "බොහෝ දුරට ඉඩ ඇති" බව රාවුන් පවසයි.

ආර්ථික අවපාතයක් මගින් ජනතාවට සහ රටක ආර්ථිකයට විවිධ ප්‍රතිවිපාක ඇති විය හැකි ය.

උදාහරණයක් ලෙස, ඇතැමුන්ට රැකියා අහිමි විය හැකි අතර විරැකියාව ඉහළ යා හැකි ය. තවත් සමහරුන්ට උසස්වීම් ලැබීම හෝ වැටුප් වර්ධක ලබා ගැනීම දුෂ්කර විය හැකි ය.

කෙසේ වෙතත්, අවපාතයක බලපෑම සාමාන්‍යයෙන් සමස්ත සමාජයට එක හා සමානව නොදැනෙන අතර ආර්ථික අසමානතාව වැඩි විය හැකි ය.