ඇමෙරිකාවේ ශිෂ්‍ය වීසා තහනමට මැලේසියාව, ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය විකල්පයක් වෙයි ද?

People holding up signs during a rally at the Harvard University campus. One of the signs says 'We stand with international students'.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්තර්ජාතික සිසුන්ට සහය දැක්වීම සඳහා මැයි 27 වන දා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ රැළියක් සංවිධානය කර තිබිණි
    • Author, රෙබෙකා තෝර්න්

විදේශීය සිසුන් පිළිබඳ දත්ත රැස් කරන ඕපන් ඩෝර්ස් සංවිධානයට අනුව, 2023-24 අධ්‍යයන වර්ෂය තුළ රටවල් 210කට අධික සංඛ්‍යාවකින් ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1කට වැඩි පිරිසක් එක්සත් ජනපද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී තිබේ.

ඕපන් ඩෝර්ස් ආයතනයට අනුව, පසුගිය වසරේ එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන වැඩි ම ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ඉන්දියාවෙන් පැමිණි අය වූ අතර, එම සංඛ්‍යාව 330,000කට අධික විය.

දෙවන ඉහළ ම ශිෂ්‍ය අනුපාතය වන ආසන්න වශයෙන් 280,000ක පිරිසක් චීනයෙන් පැමිණ තිබිණි. ඉන්පසු දකුණු කොරියාව, කැනඩාව, තායිවානය, වියට්නාමය, නයිජීරියාව, බංග්ලාදේශය, බ්‍රසීලය සහ නේපාලය යන රටවල් පිළිවෙලින් සිටියි.

කෙසේ වෙතත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ බදාදා (මැයි 28) පවසා ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය "චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධකම් ඇති හෝ තීරණාත්මක ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලබන අය ඇතුළු චීන සිසුන් සඳහා වීසා ආක්‍රමණශීලී ලෙස අවලංගු කරන" බව ය.

සැලැස්මේ කොටසක් ලෙස, චීනයෙන් සහ හොංකොං සිට පැමිණීමට නියමිත වීසා අයදුම්කරුවන්ගේ පිළිබඳ "නිරීක්ෂණ වැඩි කිරීම" සඳහා නිර්ණායක ද සංශෝධනය කෙරෙනු ඇත.

මේ නිසා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන චීන සිසුන් කොපමණ ප්‍රමාණයක් බලපෑමට ලක්වන්නේ ද යන්න පැහැදිලි නැත.

චීනය මෙම පියවරට "දැඩි ලෙස විරුද්ධ" බව පවසා ඇති අතර, වඩාත් ඵලදායී ලෙස සබඳතා පවත්වා ගන්නා ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ ය.

ට්‍රම්ප් පරිපාලනය දැනටමත් විදේශීය සිසුන් විශාල සංඛ්‍යාවක් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති අතර තවත් අයගේ වීසා දහස් ගණනක් අවලංගු කර ඇත.

මාර්තු මස අගදී, විශ්වවිද්‍යාල පරිශ්‍රවල පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් මර්දනය කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සාහයේ කොටසක් ලෙස එක්සත් ජනපදය අවම වශයෙන් විදේශීය සිසුන් 300 දෙනෙකුගේ වීසා අවලංගු කර තිබේ.

Harvard University students chant with fellow students

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර සිසුන්ට සහය දැක්වීමට හාවර්ඩ් සිසුන් විසින් විරෝධතාවක් සංවිධානය කරනු ලැබ තිබිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බදාදා (මැයි 28), හාර්වඩ් විශ්වවිද්‍යාලය අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක සඳහන් වූයේ, ජාත්‍යන්තර සිසුන්ට සත්කාරකත්වය සැපයීම සඳහා ලබා දී ඇති සහතිකය අවලංගු කිරීම විශ්වවිද්‍යාලයට ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කළ හැකි බව ය.

අධිකරණ මෝසම සමග ගොනු කරන ලද ප්‍රකාශයක, හාර්වඩ් ජාත්‍යන්තර කාර්යාලයේ අධ්‍යක්ෂ මොරීන් මාටින් පවසා තිබෙන්නේ, මෙම පියවර සිසුන්ට සහ බුද්ධිමතුන්ට "සැලකිය යුතු චිත්තවේගීය පීඩාවක්" ඇති කරන බව ය.

සිසුහු උපාධි ප්‍රදානෝත්සව මග හරිමින්, ජාත්‍යන්තර සංචාර අවලංගු කරමින් සහ සමහර අවස්ථාවල වෙනත් විශ්වවිද්‍යාලවලට මාරුවීම් කරමින් සිටින බව ඇය එහි ලියා තිබේ.

නඩු ගොනුවලට අනුව සක්‍රීය ගැටුම් හෝ දේශපාලන වධහිංසාවන්ට මුහුණ දෙන රටවලට නැවත යාමට බල කෙරෙනු ඇතැයි යන බිය ද සමහරු වාර්තා කර තිබිණි.

බටහිර වර්ජිනියා විශ්වවිද්‍යාලයට සහ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය සඳහා ගෝලීය උපදේශකයෙකු වන මහාචාර්ය එමරිටස් විලියම් බෲස්ටීන් පවසන්නේ මෙයින් එක්සත් ජනපදයට ඇති බලපෑම දරුණු වනු ඇති බවයි.

"හාර්වඩ් එකට ප්‍රශ්නයක් නැතිවෙයි; මම කියන්නේ ඒක අමාරු වෙයි, ඒ වුණාට මම ගොඩක් වදවෙන්නේ අධ්‍යයන ගාස්තුවලින් ලැබෙන ආදායම නිසා ජාත්‍යන්තර සිසුන් මත සෑහෙන්න යැපෙන අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගැන."

"අපේ විශ්වවිද්‍යාලවල තියෙන විවිධ ප්‍රශ්න ගැන විවිධ දෘෂ්ටිකෝණයෙන් දකින්න ජාත්‍යන්තර සිසුන්ට ඇති හැකියාව නැතිවෙන එක; ඒක තමයි ඇත්තට ම බලපෑමක් ඇති කරන තැන වෙන්නේ," ඔහු පවසයි.

අනෙකුත් විසඳුම් මොනවා ද?

An exterior view of a building at Harvard University with people walking

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කැනඩාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ද මෑත වසරවලදී විදේශීය සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ආකර්ෂණය කරගෙන තිබේ.

නමුත් ආගමන නීතිවල සිදු කරන ලද දැවැන්ත වෙනස්කම් හේතුවෙන් මෑතකදී එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

නිදසුනක් ලෙස විදේශීය සිසුන් සඳහා අරමුදල් ඇති බවට සනාථ කිරීමේ අවශ්‍යතා සැලකිය යුතු ලෙස වැඩි කිරීමෙන් කැනඩාව ඔවුන් බඳවා ගන්නා විදේශීය සිසුන් සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කර ඇති අතර, මෙය සංක්‍රමණ සීමා කිරීම සඳහා එහි අඛණ්ඩ උත්සහයන්ගේ කොටසක් වේ.

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ඇතුළු කීර්තිමත් ආයතන පිහිටා ඇති එක්සත් රාජධානිය ද, ජාත්‍යන්තර සිසුන් සඳහා අවස්ථා සීමා කිරීමට කටයුතු කර ඇත.

ශිෂ්‍ය වීසා ලබා දීම සීමා කිරීම් 2024 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ අතර,එයින් පශ්චාත් උපාධිධාරීන්ට ඔවුන් මත යැපෙන පවුලේ සාමාජිකයන් එක්සත් රාජධානියට ගෙන ඒමේ අයිතිය අහිමි වූ අතර නව සිසුන්ට ඔවුන්ගේ පාඨමාලා අවසන් වීමට පෙර රැකියා වීසා බලපත්‍රයකට මාරු වීම නැවත්විය.

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ශිෂ්‍ය වෙළෙඳපොළක් ඇති ඔස්ට්‍රේලියාව, සමස්ත සංක්‍රමණ වසංගතයට පෙර පැවති මට්ටම දක්වා අඩු කිරීමට උත්සහ කරන බැවින්, රටට ඇතුළු කරගන්නා විදේශීය අයැදුම්කරුවන් සංඛ්‍යාවට සීමාවක් ද හඳුන්වා දුන්නේ ය.

මහාචාර්ය බෲස්ටීන් යෝජනා කරන්නේ බොහෝ රටවල් තමන්ගේ ම අධ්‍යාපන ක්‍රම සඳහා ආයෝජනය කරන විට, සිසුන්ට විදේශයන්හි අධ්‍යාපනය ලැබීම වෙනුවට තම මව් රටවල රැඳී සිටීමට තෝරා ගත හැකි බව ය.

අවස්ථා ලබා දෙන අනෙකුත් රටවල් මොනවා ද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑත කාලීන වෙනස්කම් බොහෝ විශ්වවිද්‍යාල මගින් ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර, ඔවුන් ඉහළ අධ්‍යයන ගාස්තු හරහා විශ්වවිද්‍යාලවල අරමුදල්වලට සැලකිය යුතු දායකත්වයක් සපයයි.

හොංකොංහි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලී පැවසුවේ, "ඇමෙරිකානු ප්‍රතිපත්තිය නිසා වෙනස්කම්වලට ලක් වූ, අධ්‍යයන කටයුතුවල නියැලීමට අපහසුතා ඇති හෝ ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු කරගෙන යන" ඕනෑ ම සිසුවෙකු "සාදරයෙන් පිළිගන්නා" බව ය.

"හොංකොංවල දිගට ම ඉගෙන ගන්න තෝරා ගන්නා අයට රජය සහ දේශීය තෘතීයික ආයතන ඉතා හොඳ සහයක් සහ ක්‍රමවේදයක් සපයනවා," ලී පැවසීය.

"ඔයාලා හැමෝම හාවර්ඩ්වලින් ලබා ගත්ත ක්‍රෙඩිට් (ලකුණු) මාරු කරගන්න පුළුවන් හවුල්කාරීත්වයක් අපට ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය එක්ක තියෙනවා. එහෙමත් නැතිනම් ඔබේ ලකුණු අපේ Sun-U උපාධි වැඩසටහනකට මාරු කරන්න පුළුවන්, ඒක බ්‍රිතාන්‍යයේ ලැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් සහතිකයක් ලබා ගැනීමේ අමතර ප්‍රතිලාභයක් ලබා දෙනවා," [හාර්වඩ්] සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී එළිසබෙත් ලී සිය LinkedIn සමාජ මධ්‍යයේ පළ කළ සටහනක එලෙස දැක්වේ.

University students in their graduation gown in central London, posing for photos.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් ජනපදයෙන් පිටත විකල්ප සොයන සිසුන් සඳහා යුරෝපයේ ජර්මනිය වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව තිබේ.

ජර්මානු අධ්‍යයන හුවමාරු සේවයේ (DAAD) අනාවැකිවලට අනුව, 2025දී එම රට ජාත්‍යන්තර බුද්ධිමතුන් 400,000කට වඩා වැඩි පිරිසකට සත්කාරකත්වය දරනු ඇතැයි ගණන් බලා තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේදී, යුරෝපා සංගමයෙන් පිටත රටවල්වල ජාත්‍යන්තර සිසුන්ට පෙර තිබූ පැය 10 සීමාව සතියකට පැය 20ක් දක්වා වැඩ කිරීමට ඉඩ සලසන නව පියවර ද හඳුන්වා දෙන ලදී. විදේශීය සිසුන් සඳහා අරමුදල් ඇති බවට සනාථ කිරීමේ අවශ්‍යතා ජර්මනිය ද වැඩි කර ඇතත්, එය කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් ආරම්භ කරන ලද වැඩිවීම තරම් කැපී පෙනෙන වැඩිවීමක් නොවේ.

පසුගිය වසර 15 තුළ උසස් අධ්‍යාපනයේ ගෝලීය වෙළෙඳපොළ මූලික වශයෙන් වෙනස් වී ඇති බැවින්, ජාත්‍යන්තර සිසුන්ට සලකා බැලිය යුතු විකල්ප සහ ස්ථාන රාශියක් දැන් ඇති බව මහාචාර්ය බෲස්ටීන් පවසයි.

"මැලේසියාවේ බොහෝ විශ්වවිද්‍යාල ඉහළ ම මට්ටමේ ඒවා. මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ ශක්‍යතාව තව ම තියෙනවා. එක්සත් ජනපදය හැර යාමට සලකා බලන ඉහළ ම මහාචාර්යවරුන් ආකර්ෂණය කර ගන්න ප්‍රංශය මුදල් වෙන් කරන නිසා මම හිතන්නේ යුරෝපය තවමත් තරගයේ ඉන්නවා. නමුත් මම අවධානය යොමු කරන්නේ නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිදුවෙමින් පවතින දේ ගැන, මොක ද ඒක තමයි ලෝකයේ වැඩියෙන් ම වෙනස් වෙන පැත්ත," මහාචාර්ය බෲස්ටීන් පවසයි.

සිසුන්ට වෙනත් රටක ශාඛාවකට යාමට හැකි ද?

'ශාඛා-විශ්වවිද්‍යාල' සංකල්පය දැන් වඩා ත් ජනප්‍රිය වනු ඇතැයි මහාචාර්ය බෲස්ටීන් අපේක්ෂා කරයි.

"මම දන්නවා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට මේක කරන එකේ ලොකු ඉතිහාසයක් තියෙනවා," ඔහු පවසයි.

"මැලේසියානු විශ්වවිද්‍යාලත් ඒක ම කරනවා. ඇමෙරිකාවේ මේ වගේ දෙයක් වෙද්දී පවා ඉලිනොයිස් තාක්ෂණ ආයතනයේ ඉන්දියාවේ සහ චීනයේ වැඩ කරන විදිහ ගැන උදාහරණ තියෙනවා."

හාර්වඩ් විශ්වවිද්‍යාලය විසින් එහි නිල වෙබ් අඩවියේ, ආර්ජන්ටිනාව, එංගලන්තය, කොරියාව, සෙනගල් සහ බ්‍රසීලය ඇතුළු එම විශ්වවිද්‍යාලයේ විදේශයන්හි අධ්‍යයන අවස්ථා ලබා දෙන රටවල් 50කට වැඩි ප්‍රමාණයක් ලැයිස්තුගත කරනු ලැබ තිබේ.

ට්‍රම්ප්ගේ තහනම ස්ථිර වුවහොත්, සිසුන්ට තම අධ්‍යයන කටයුතු මෙම ස්ථානවලින් එකකට මාරු කළ හැකි ද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.